අප අවට සිදුවන ඇතැම් සිදුවීම් අදහාගත නොහැකි තරම් පුදුම සහගතය. ඊයේ මිතුරන් ලෙස සිටි පිරිස් අද සතුරන් ලෙස එකිනෙකාට එරෙහිව කටයුතු කරමින් සිටිති. ඊයේ අප නිවැරැදි යැයි කියූ දේ අද වැරැදි යැයි අපටම කියන්නට සිදුවන්නේ අපටම ලජ්ජා සිතෙන අයුරිනි.

අප මෙසේ පවසන්නේ 2019 අප්‍රේල් මාසයේ දී එල්ල වූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ දේශපාලන කණ්ඩායම් එදා කියූ දෑ හා අද කියන දෑ මුල් කර ගනිමිනි. ඒ සියල්ල එම කණඩායම්වල දේශපාලන කුහකත්වය පෙන්වන්නේ යැයි අප සිතන්නේ නැත. ඇතැම් ඒවා ඇතැම් කණ්ඩායම් අවංකවම එදා තේරුම් ගත් ආකාරය හා අද තේරුම් ගෙන ඇති ආකාරය පෙන්වයි.

ඒවායින් වඩාත් උත්ප්‍රාසජනක ප්‍රශ්නයකට මුහුණ දී සිටින්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි. එම ත්‍රස්තවාදී ප්‍රහාර මාලාව එල්ල වූ වකවානුවේ ඉන් විපතට පත් වූවන්ගේ ගැලවුම්කරුවා ලෙස පෙනී සිටි එම පක්ෂය අද වනවිට එම අපරාධයේ වගඋත්තරකරුවා ලෙස චෝදනාවට ලක් වී සිටී.

තමන් බලයේ සිටිය දී ඉතා ශක්තිමත්ව තිබූ මෙරට රහස් ඔත්තු සේවය ඉන් පසු බලයට පත් වූ ප්‍රධාන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල කිරීම නිසා මෙම ප්‍රහාර මාලාව එල්ල වූ බවට පොදුජන පෙරමුණ එදා චෝදනා කළේය. අද එම පක්ෂය තමන් මෙම ප්‍රහාරයට වග කිවයුතු නැතැයි ඔප්පු කරන්නට විශාල උත්සාහයක නිරත වී සිටී.

ආරක්ෂක හමුදා හා කොටි සංවිධානය අතර යුද්ධය පැවැති කාලයේ ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කිරීම හේතුවෙන් ඉතා දැඩි හා ශක්තිමත් පරිපාලකයකු වශයෙන් ද ආරක්ෂක අංශයේ විශේෂඥයකු වශයෙන් ද එදා බොහෝ දෙනා හැඳින්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් බලයට පත් වී රටේ ආරක්ෂාව සහතික කරන බවටත් පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට වගකිවයුතු සියල්ලන් හෙළිදරව් කර ඔවුන්ට නිසි දඬුවම් දෙන බවටත් එදා පෙරොන්දු විය. එහෙත් අවාසනාව නම් මෙම අපරාධය සම්බන්ධයෙන් පිරිසක් වෙතින් චෝදනාවට ලක්වෙමින් ද තවත් පිරිසකගේ සැකයට භාජන වෙමින් ද අද ඔහුට තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටීමට සිදුවීමය.

පොදුජන පෙරමුණට බලයට එන්නට අවශ්‍ය පරිසරය සකස් කිරීම සඳහා එම පෙරමුණේ ඇතැම් අයගේ පෙළැඹවීම මත ජාතික තව්හීද්ජමාඅත් නම් මුස්ලිම් වියරු අන්තවාදී කණ්ඩායම මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව එල්ල කළ බවට එම පෙරමුණට එරෙහි පිරිස් චෝදනා කරති. එහිදී තම නායකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොදුජන පෙරමුණ ඉදිරිපත් කරන ප්‍රබලතම තර්කය වන්නේ සිංහල බෞද්ධ ජාතිකවාදී නායකයකු බලයට පත් කරන්නට මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් මරාගෙන මැරෙනු ඇත් ද යන්නයි.

එහෙත් 2023 සැප්තැම්බර් මස බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ රූපවාහිනියේ විකාශය වූ වැඩසටහනකින් මෙම තර්කය බොහෝ දුරට දුර්වල වී ඇතැයි අපට සිතේ. අප එසේ සිතන්නේ එම වැඩසටහනේ දී නැගෙනහිර පළාතේ හිටපු ප්‍රධාන ඇමැති සිවනේසතුරයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ගේ හිටපු ලේකම් අසාද් මව්ලානා විසින් ඉදිරිපත් කරන ලද කරුණු කිහිපයක් නිසාය. ඔහුගේ මතය වූයේ කණ්ඩායම් දෙකක් එකිනෙකට වෙනස් අරමුණු දෙකක් සඳහා මෙම ත්‍රස්තවාදී ප්‍රහාර මාලාව එක්ව ක්‍රියාත්මක කර ඇති බවයි.

මරාගෙන මැරෙන ප්‍රහාර මගින් තම ආගමික සතුරන් විනාශ කිරීමෙන් ස්වර්ගයට යා හැකි යැයි ජාතික තව්හීද් ජමාඅත් සංවිධානයේ නායකයන් සිතන බවත් අනෙක් අතට රටේ නොසන්සුන්කාරී තත්වයක් නිර්මාණය කර ගෝඨාභය රාජපක්ෂ මහතා වැනි අයකු බලයට පත් කළ යුතු යැයි ජනතාව සිතන තත්වයක් රටේ ඇති කළ යුතු බව රාජපක්ෂ මහතාගේ සමීප හිතවතුන් සිතන බවත් පිල්ලයාන් මෙම ත්‍රස්තවාදී ප්‍රහාරවලට පෙර තමන් සමග පැවැසූ බව මව්ලානා එම රූපවාහිනී සංවාදයේ දී පැවැසීය. ඔහු ඉන් අදහස් කරන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ දී මෙම වෙනස් වූ අරමුණු සඳහා මෙම දෙපාර්ශ්වය එක් වූ බවය.

පිල්​​ලෙයාන් මෙම අදහස තමන් සමග පවසන විටත් ඔහු හා ජාතික තව්හීද් ජමාඅත් සංවිධානයේ නායක සහ්රාන් හෂීම්ගේ සොහොයුරු ෂයිනි මව්ලවි අතර සමීප සබඳතාවක් පැවැති බව ද ඒ සබඳතාව ඇති වූයේ දෙදෙනාම යම් යම් සිදුවීම් සම්බන්ධයෙන් මඩකළපුව බන්ධනාගාරයේ රඳවා ගනු ලැබ සිටි 2017 වර්ෂයේ දී බව ද මව්ලානා එහි දී පවසා තිබිණි.

මරණය ගැන නිතර කියමින් සිටින සහ්රාන්ගේ සාමාජිකයන් යම් අවශ්‍යතාවකට යොදා ගත හැකි යැයි පිල්ලයාන් කී බව ද ඒ අනුව පිල්ලයාන්ගේ උපදෙස් මත 2018 මුල් භාගයේ දී තමන් සහ්රාන් හා එවක රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අතර හමුවක් සංවිධානය කළ බව ද ඔහු වැඩිදුරටත් පවසයි.

එම හමුවට පැමිණි සලේ මහතා ද ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කිරීමට නම් රටේ නොසන්සුන්කාරී තත්වයක් ඇති කළ යුතු යැයි තමන් සමග පැවැසූ බව ද මව්ලානා කියා ඇත.

කෙසේ වෙතත් මෙම කුමන්ත්‍රණ කතාව මුලින්ම ඉදිරිපත් කළේ මව්ලානා නොවේ. එය මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ චැනල් ෆෝ වැඩසටහනට වසර දෙකකට පමණ පෙර මනූෂ නානායකකාර හා හරින් ප්‍ර නාන්දු වැනි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසිනි. ඔවුන් හා එක්සත් ජනරජ පෙරමුණේ නායක චම්පික රණවක මහතා වැන්නන් එදා පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව පිටුපස රාජපක්ෂවරුන් සිටි බවට චෝදනා කරන වීඩියෝ දර්ශන මේ දිනවල සමාජ මාධ්‍යවල පැතිර යමින් තිබේ. ඇතැම් විඩියෝ දර්ශනවල මනුෂ නානායක්කාර වැනි මන්ත්‍රීවරු සලේ මහතා මෙම අපරාධය පිටුපස සිටි බවට ඍජුවම චෝදනා කරති.

මෙම චෝදනා සම්බන්ධයෙන් රහස් පොලිසිය වෙත ප්‍රමාණවත් සාක්ෂි තිබේදැයි අප දන්නේ නැත. එහෙත් දැනට පරීක්ෂණ කෙරෙන්නේ එම චෝදනා පදනම් කරගෙන බව පෙනේ. මුලින්ම රහස් පොලිසිය 2006 දී නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති එස්. රවීන්ද්‍රනාත් මහතා අතුරුදන්වීම සම්බන්ධයෙන් පසුගිය වසරේ අප්‍රේල් 9 වැනිදා පිල්ලයාන් අත්අඩංගුවට ගත්තේය. පිල්ලයාන් හා පාස්කු දින ප්‍රහාර මාලාව අතර සම්බන්ධයක් තිබූ බව විමර්ශනවලදී පෙනී ගිය බව මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා ඉන්පසු කිහිප වතාවක්ම පැවැසීය.

අනතුරුව පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් මේ වසරේ පෙබරවාරි මස සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබීය. එම සිද්ධිය සම්බන්ධයෙන්ම පසුගිය 3 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විදේශ ගමන් තහනමක් පැනවීය. ඒ අනුව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජපක්ෂ මහතා ඉකුත් 16 වැනිදා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කළේය.

පාස්කු ඉරිදා සිද්ධි සමග පිල්​ලෙයාන්, සලේ හා ගෝඨාභය රාජපක්ෂ යන තිදෙනාට යම් සබඳතාවක් ඇත්නම් ඒ පිළිබඳව පොදු සමාජය වෙත අනුමාන විනා පැහැදිලි සාක්ෂි නැත. ඒ තත්වය යටතේ බොහෝ දෙනා දේශපාලන ඇසින් ඒ දෙස බලා තීරණ ගැනීමට පෙළැඹීම නොවැළැක්විය හැකිය. එහෙත් දේශපාලන පක්ෂවල නායකයන් ද කරන්නේ දේශපාලන වාසි ගත හැකි අයුරින් හා තම පස මිතුරු පක්ෂවලට හානි කරන අයුරින් විටින් විට පරස්පර අදහස් පළ කිරීමය.

ත්‍රස්තවාදී ප්‍රහාර මාලාව සිදු වූ විගසම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉන් උපරිම වාසි ලබා ගැනීමට කටයුතු කළේය. සිද්ධියෙන් දින පහකට පසු එනම් 2019 අප්‍රේල් 26 වැනිදා අදහස් දැක් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් එම වසරේම පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ද ජාතික ආරක්ෂාව සහතික කරන බව ද පැවැසීය. ඉන්පසු ඔහුගේ පක්ෂය වන පොදුජන පෙරමුණ එම සිදුවීම මුල් කරගෙන අතිවිශාල ආණ්ඩු විරෝධී හා මුස්ලිම් විරෝධී ප්‍රචාරයක් ආරම්භ කළේය. මාස ගණනාවක් රූපවාහිනී ප්‍රවෘත්ති විකාශ පිරී ගියේ කාති උසාවි, මද්‍රසා, වඳ දොස්තර, වහබ්වාදය, ගව ඝාතනය, මුස්ලිම් නිවෙස්වලින් සොයා ගනු ලබන කඩු වැනි ආයුධ ආදී මාතෘකාවලිනි.

ඒ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ කොමිසමක් පවත්වා ත්‍රස්තවාදී ප්‍රහාරයේ මහමොළකරුවන් ඇතුළු සුලමුල සොයා ගන්නා බවට ද ඔහු කිතුනු ජනතාවට පොරොන්දු විය. ඒ අනුව ඔහුට සිංහල ජනතාවගේ ඡන්දයෙන් පමණක් බලයට පත්වන්නට හැකි විය.

බලයට පත් වූ පසු ඔහු ඒ කිසිවක් කළේ නැත. පරීක්ෂණ කරමින් සිටි ශානි අබේසේකර ඇතුළු රහස් පොලිස් කණ්ඩායම විවිධ තැන්වලට මාරු කෙරුණි. ඔහුගේ කාලයේ දී හිටපු ඇමැති රිෂාද් බදියුදීන් හා ඔහුගේ සොහොයුරා ත්‍රස්තවාදී ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබුව ද ප්‍රමාණවත් සාක්ෂි නැතිකමින් ඔවුන් නිදහස් කිරීමට සිදුවිය. එපමණක් නොව එම කාලයේ දී අලු‍තින් මහමොළකරුවකු සොයා ගනු ලැබුවේ ද නැත. එවක මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර මහතා පැවැසුවේ පොදුජන පෙරමුණ බලයට පත්වන විටත් අත්අඩංගුවට ගනු ලැබ සිටි නව්ෆර් මව්ලවි මහමොළකරු බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ දී එනම් 2022 දී එම ප්‍රහාර මාලාවට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනකුගේ පියා වන මොහමඩ් ඉබ්‍රාහීම් නම් ව්‍යාපාරිකයා හා ඔහුගේ තවත් පුත්‍රයෙක් ඇප මත නිදහස් කරනු ලැබූහ. මෙම ව්‍යාපාරිකයා 2015 මහ මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙක් විය.

ත්‍රස්තවාදී ප්‍රහාර මාලාව පිළිබඳ චෝදනාව ආපසු කැරකී පොදුජන පෙරමුණ වෙත එල්ල වූයේ මේ තත්වය යටතේය. එම චෝදනාව එල්ල කිරීමේ දී පෙරමුණේ සිටියේ සමගි ජන බලවේගයයි. එම පක්ෂයේ මනූෂ නානායක්කාර හා හරීන් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරු ගෝඨාභය රාජපක්ෂ, සුරේෂ් සලේ ඇතුළු විවිධ අයගේ නම් සඳහන් කරමින් හා විවිධ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙම චෝදනාව කළහ. ඉහතින් සඳහන් කළ පරිදි ඒ පිළිබඳ විඩියෝ දර්ශන මේ දිනවල නිතර සමාජ මාධ්‍යවල පළවේ. විපක්ෂ නායක හා සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා පාස්කු ඉරිදා අපරාධය පිළිබඳ පරීක්ෂණ යළිත් ශානි අබේසේකර මහතාට බාර දෙන මෙන් කියා සිටියේය.

සජබ එදා කී දෑ අද සිදු වෙමින් තිබේ. එහෙත් එම පක්ෂය අද එහි අයිතිය හෝ සම්මානය ගන්නට පැකිළේ. හරීන් මනූෂ වැනි අය ගැන අද තොරතුරක් නැත. තම පක්ෂය දැරූ ස්ථාවරය ප්‍රතික්ෂේප කරමින් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පොතක් එළිදැක්වූ විට එම උත්සවයේ මුල් අසුන් පෙළේ විපක්ෂ නායකවරයා ද විය. සජබ දැරූ මුල් ස්ථාවරයේ අද ප්‍රසිද්ධියේ සිටින්නේ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් මහතා පමණි.

විෂය මූලිකව දැකිය යුතු ප්‍රශ්නයක් දේශපාලනීකරණය වී ඇත්තේ එසේය.

 

(*** එම්.එස්.එම්. අයුබ්)