මේ කාලයේ ප්‍රධාන ඡන්දයක් පැවැත්වීමට යෙදී නැති නිසා ඡන්දය පවත්වන්නේ කවදාද යන ප්‍රශ්නය එතරම් වලංගු එකක් නොවේ. ඒ නිසා මේ ගැන ලියන්නේ ඇයිදැයි සමහරකුට ප්‍රශ්නයක් විය හැකිය. එහෙත් ආණ්ඩුවේ සමහරුන් අනාගත ඡන්ද පිළිබඳව සිදු කරන ප්‍රකාශ නිසා සහ පළාත් සභා ඡන්දය සම්බන්ධයෙන් මේ රටේ මේ වන විට ඇතිවෙමින් පවතින සංවාදය හේතුවෙන් මේ කාරණය ගැන ලියන්නට සිතුණි.
ඒ අනුව මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ ඡන්ද පැවැත්වීම ගැනය. විශේෂයෙන්ම දිගින් දිගටම කල් දමමින් තිබෙන පළාත් සභා ඡන්දය ගැන සහ අනෙකුත් ඡන්ද සම්බන්ධයෙනි.
ගත්තේ දෙන්න නෙමෙයිද?
පසුගිය මාස කිහිපය පුරා ආණ්ඩුවේ විවිධ නියෝජිතයෝ පළාත් සභා ඡන්දය පිළිබඳව විවිධ අදහස් පළ කරමින් සිටිති. සමහරුන් පවසන්නේ පළාත් සභා ක්‍රමය ප්‍රතිසංස්කරණය කළ යුතු බවයි. තවත් සමහරුන් පවසන්නේ ඡන්ද ක්‍රමය වෙනස් කළ යුතු බවයි. තවත් පිරිසක් කියන්නේ රටේ ආර්ථික තත්වය හේතුවෙන් එවැනි ඡන්දයක් පැවැත්වීම ප්‍රමුඛතාවක් නොවන බවයි.
මීට පෙර අවස්ථාවක රනිල් වික්‍රමසිංහ මහතා කීවේ ද ඔය වගේම කතාවකි. ඔහු 2022 ප්‍රාදේශීය සභා ඡන්දය කල් දැමුවේ මේ වෙලාවේ ඡන්දයක් තියන්න මුදල් නැහැ කියා ය. එහි ප්‍රතිඵලය වූයේ ජවිපෙ බලවේගය බරපතළ ආකාරයෙන් නැගී සිටීමය.
දැන් නැවතත් ආණ්ඩුවේ මැතිවරණ හැකිළීමේ කතාවට යා යුතුය. ආණ්ඩුවේ සමහරුන් කියන්නේ “ගත්තේ දෙන්න නෙමෙයි” කියාය. “අපි දිනන්නේ නැත්නම් ආයිත් ඡන්ද නැති බව” තවකෙක් ප්‍රකාශ කළේය “මේක අවසාන ආණ්ඩුව” කියා එක ඇමැතිවරයකු කියූ බව ද සමහරුන්ට මතකය. එසේම “චීනයේ වගේ එක පාලනයකින් 2048 වෙනකල්වත් බලයේ සිටිය යුතුය” යැයි කියන ඇමැතිවරු ද සිටිති.
මේවා ඇතැමුන්ට විහිළු කතා විය හැකිය. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය බැරෑරුම් ලෙස සලකන කෙනකුට මේවා විහිළු කතා නොවේ. මේවා ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය පිළිබඳව තිබෙන අවබෝධය ප්‍රශ්න කරන ප්‍රකාශ බව පැහැදිලිය.
ඡන්දය යනු ආණ්ඩුවකට අවශ්‍ය විට පවත්වන උත්සවයක් නොවේ. එය ජනතාවගේ අයිතියකි. ආණ්ඩුවක අනුග්‍රහයෙන් ලැබෙන වරප්‍රසාදයක් නොවේ. එය ව්‍යවස්ථාමය වගකීමකි.
ප්‍රජාතන්ත්‍රවාදයේ පළමු පාඩම
ජවිපෙ ප්‍රධාන ආණ්ඩුවක් මේ රටේ බලයට පැමිණියේ පළමු වතාවටය. ඒ අය 1971 සහ 1989 බලයට එන්න උත්සාහ කළේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදවලින් නොවේ. විවිධ ආකාරයේ ත්‍රස්තවාදී ප්‍රචණ්ඩ ක්‍රියා හරහාය. ඒ ඉතිහාසය පිළිබඳව විවාදයක් නැත.
එහෙත් මෙවර ඔවුන් බලයට පැමිණියේ ඡන්දය හරහාය. ජනතාවගේ තීන්දුව හරහාය. ව්‍යවස්ථානුකූල ක්‍රමවේදය හරහාය. එසේ බලයට පැමිණි පක්ෂයකට ඡන්දය ගැන සැක පහළ කරන හෝ ඡන්දය අත්‍යවශ්‍ය නොවන දෙයක් ලෙස ඉදිරිපත් කරන කතා කීමට සදාචාරාත්මක අයිතියක් නැත.
ප්‍රජාතන්ත්‍රවාදයේ පළමු පාඩම වන්නේ බලයට පත්වීම නොවේ. බලය අත්හැරීමට සූදානම් වීමයි. ජනතාව තීරණය කරන්නේ නම් ගෙදර යාමට සූදානම් වීමයි. ජයග්‍රහණය පමණක් නොව පරාජය ද පිළිගැනීමට සූදානම් වීමයි. 1931 සිට සර්වජන ඡන්ද බලය ක්‍රියාත්මක වූ රටක, දශක ගණනාවක් ඡන්ද දේශපාලනයට හුරු වූ සමාජයක, ඡන්ද ගැන මෙවැනි සැහැල්ලු කතා කීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික සංකල්පයම නොතේරීමකි.
පළාත් සභා වැසීම
පළාත් සභා ඡන්දය සම්බන්ධයෙන් ප්‍රශ්නය තරමක් සංකීර්ණය. පළාත් සභා ක්‍රමය මේ රටට හඳුන්වා දුන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසිනි.
එහෙත් අද පළාත් සභා ඡන්දය මේ තත්වයට පත් කළේ කවුද යන්න ගැන ද අප අවංක විය යුතුය. 2015 බලයට පැමිණි යහපාලන ආණ්ඩුව පළාත් සභා ඡන්ද ක්‍රමය වෙනස් කිරීමේ දී ඇති කළ ව්‍යාකූල තත්වය අද දක්වාම පවතී. එම අවස්ථාවේ ජවිපෙ මන්ත්‍රීවරු ද එම සංශෝධන සඳහා සහයෝගය දුන්හ. සුමන්දිරන්, හකීම් ඇතුළු බොහෝ පක්ෂ නායකයෝ ද එම ක්‍රියාවලියේ කොටස්කරුවෝ වූහ.
එහි ප්‍රතිඵලය වූයේ පළාත් සභා ඡන්දය සමග දේශපාලන පක්ෂ සියල්ලම ෆුට්බෝල් ගසන තත්වයක් උදාවීමයි. කවුරුන් කළත් වැරැද්ද වැරැද්දමය. ඒ වැරැද්ද නිවැරැදි කළ යුතුය. එහෙත් එය නිවැරැදි කරන්නේ තවත් වසර ගණනාවක් ඡන්දය කල් දමා නොවේ. ඡන්දය පවත්වාය.
ඡන්දය යනු ආණ්ඩුවේ අයිතියක් නොව ජනතාවගේ අයිතියකි. අපේ රටේ දේශපාලනය තුළ නැවත නැවතත් දක්නට ලැබෙන ප්‍රශ්නයක් වන්නේ ඡන්දය ආණ්ඩුවක කැමැත්ත මත පවත්වන දෙයක් ලෙස ඇතැමුන් සිතීමයි. ආණ්ඩුවක් ජනප්‍රිය නම් ඡන්දයට යනවාය. ජනප්‍රිය නැත්නම් ඡන්දය කල් දමනවාය. ඇතැම් විට නීති වෙනස් කරනවාය. තවත් විටක වෙනත් හේතු ඉදිරිපත් කරනවාය.
එහෙත් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික සංකල්පය එය නොවේ. ඡන්දය යනු ආණ්ඩුවේ අයිතියක් නොව ජනතාවගේ අයිතියකි. ජනතාවට තම නියෝජිතයන් තෝරා ගැනීමේ සහ අවශ්‍ය නම් ඔවුන් ඉවත් කිරීමේ බලය ලබාදෙන ක්‍රමවේදයයි.
මේ නිසා ඡන්දයක් පැවැත්වීමෙන් ආණ්ඩුවකට වාසියක් හෝ අවාසියක් සිදු වන්නේ ද යන්න අදාළ නැත. අදාළ වන්නේ නියමිත කාලයට ඡන්දය පැවැත්වීම පමණි. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී රටවල ආණ්ඩු ඡන්දයට බිය නොවේ. බිය වන්නේ ජනතාවගේ විශ්වාසය නැති කරගත් ආණ්ඩු ය.
අද පළාත් සභා ඡන්දය පිළිබඳව මතුවන සැකය ද එයයි. ආණ්ඩුව ඇත්තටම විශ්වාස කරන්නේ තමන් ජනතාව අතර ශක්තිමත්ව සිටින බව නම් ඡන්දය පැවැත්වීමට බිය විය යුතු නැත. ප්‍රජාතන්ත්‍රවාදයේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවේ නොවේ. කැබිනට් මණ්ඩලයේ නොවේ. ජනාධිපතිවරයා අත ද නොවේ. අවසානයේ එය තිබෙන්නේ ජනතාව අතය. ඒ බලය ක්‍රියාත්මක වන ප්‍රධාන මාර්ගය වන්නේ ඡන්දයයි.
ආර්ථිකයේ හා දේශපාලනයේ ප්‍රතිසංස්කරණ කෝ?
මේ ආණ්ඩුව බලයට පැමිණියේ වෙනසක් පිළිබඳ පොරොන්දුවක් සමගය. දූෂණය අවසන් කරන බවටත්, අලුත් දේශපාලන සංස්කෘතියක් ගොඩ නගන බවටත්, රටේ ආර්ථිකය සහ පාලන ක්‍රමය ප්‍රතිසංස්කරණය කරන බවටත් ජනතාවට පොරොන්දු විය. දැන් ආණ්ඩුවට බලය ලැබී මාස ගණනාවක් ගත වී ඇත. ඒ අනුව අපට අසන්නට සිදුවන්නේ සරල ප්‍රශ්නයකි. ඒ ප්‍රතිසංස්කරණ කොහේද? එකක්වත් පෙනෙන මානයකවත් නැත.
ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්කම් කොහේද? රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ කොහේද? රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ ප්‍රතිපත්තිය කොහේද? ආයෝජන ආකර්ෂණය කිරීමේ නව වැඩපිළිවෙළ කොහේද? ජනතාවට දැනෙන එකම ප්‍රතිසංස්කරණය වන්නේ බදු වැඩිවීම සහ දඩ වැඩිවීම පමණක් නම් එය ප්‍රතිසංස්කරණයක් නොව පරිපාලන පහසුවකි.
දේශපාලනය තුළත් එම ප්‍රශ්නයම තිබේ. බලය විමධ්‍යගත කිරීම ගැන කතා කළ උදවිය ද අද ඒ ගැන කතා නොකරති. ප්‍රාදේශීය පාලනය ශක්තිමත් කිරීම ගැන කතා කළෝ අද ඡන්ද කල් දැමීමේ තර්ක ඉදිරිපත් කරති. ආණ්ඩුවකට බලය ලැබෙන්නේ ඡන්ද කල් දමන්නට නොවේ. ප්‍රතිසංස්කරණ කරන්නටය. රට ඉදිරියට ගෙන යන්නටය. නව ආයතන, නව ප්‍රතිපත්ති සහ නව සංවර්ධන මාවත් ගොඩනැගීමටය.
අද වන විට පෙනෙන්නේ ආණ්ඩුවේ ශක්තියෙන් සැලකිය යුතු කොටසක් වැයවන්නේ රට වෙනස් කිරීම සඳහා නොව, බලය පවත්වා ගැනීම සඳහා බවය. ඒ නිසාම ඡන්ද පිළිබඳ සංවාදය දේශපාලන වේදිකාවට නැවත පැමිණ තිබේ.
පළා බබා එපාද?
මේ ලිපියේ මාතෘකාව ලෙස “පළා බබා එපාද?” යන්න යොදා ගත්තේ ඒ නිසාය. අද ඇතැමුන්ගේ හැසිරීම දෙස බලන විට පෙනෙන්නේ පළාත් සභා ජන්දය යනු අනවශ්‍ය කරදරයක් බවය. එය නැතිව සිටිය හැකි දෙයක් බවය. අවශ්‍ය නම් තවත් වසර කිහිපයක් කල් දැමිය හැකි දෙයක් බවය. එහෙත් ප්‍රශ්නය පළාත් සභා ක්‍රමය පිළිබඳව නොවේ. ප්‍රශ්නය ජනතාවගේ ඡන්ද අයිතිය පිළිබඳවය.
පළාත් සභා හොඳද නරකද යන්න ගැන විවාද කළ හැකිය. ඒවායේ බලතල වෙනස් කළ යුතුද යන්න ගැන විවාද කළ හැකිය. වියදම් අඩු කළ යුතුද යන්න ගැන විවාද කළ හැකිය. එහෙත් ජනතාවගේ ඡන්ද අයිතිය කල් දැමීම ගැන විවාදයක් තිබිය නොහැකිය.
ආණ්ඩුවක් ප්‍රජාතන්ත්‍රවාදී වන්නේ ඡන්දයකින් බලයට පැමිණි නිසා පමණක් නොවේ. එය ඡන්දයකට මුහුණ දීමට සූදානම් නිසාය. ජනතාවගේ තීන්දුව පිළිගැනීමට සූදානම් නිසාය. ඒ නිසා අද ඇසිය යුතු ප්‍රශ්නය “පළාත් සභා අවශ්‍යද?” යන්න නොවේ.
අද ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ “ජනතාවගේ තීන්දුවට මුහුණ දීමට අපේ දේශපාලන පක්ෂ සූදානම්ද?” යන්නයි.
එම ප්‍රශ්නයට ලැබෙන පිළිතුර මත ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතය තීරණය වනු ඇත.
(***)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd