ඇමෙරිකාවත් ඊශ්‍රායලයත් ඉරානයට එරෙහිව යුද ප්‍රකාශ කිරීමෙන් ඇවිළී ගිය මැදපෙරදිග අර්බුදය මේ වන විට ලෝකයේ ප්‍රධාන රටවල් පිල් දෙකකට බෙදෙමින් ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට යන බවක් පෙනෙන්නට තිබේ. මීට පෙර ගාසා තීරය සහ ඊශ්‍රායලය අතර පැවැති යුදමය තත්වය දැන් ක්‍රම ක්‍රමයෙන් සමස්ත මැදපෙරදිග කලාපය පුරාම වර්ධනය වීමක් දක්නට ලැබේ.

මේ වනවිට ලෝක දේශපාලනයේ තීරණාත්මක වෙනස්ම තැනකට ගමන් කරමින් තිබෙන සැටියක් නිරීක්ෂණය කළ හැකිය. මේ වන විට මැදපෙරදිග කලාපය පුරාම මෙම අර්බුදය ව්‍යාප්ත වීමෙන් ඒ බව තහවුරු වේ. කලාපය පුරා අර්බුදය ව්‍යාප්ත වීමත් සමග ලෝකයේ බලවත් රටවල් මේ වන විට එකිනෙකාට සහයෝගය පළ කරමින් ප්‍රධාන පිල් දෙකකට බෙදී සිටීම ලෝක දේශපාලනයේ අනාගතය තිරණය කරන්නක් විය හැකිය.

කෙසේ වෙතත් මේ වනවිට මැදපෙරදිග කලාපය පුරා වර්ධනය වී ඇති මෙම තත්වය ලෝක දේශපාලනයට හා ආර්ථිකයට විවිධ අංශවලින් ඍජුව හා වක්‍රව බලපානු ඇත. විශේෂයෙන්ම ලෝකය පුරා බලශක්ති ක්ෂේත්‍රයට මේ තත්වය බලපෑමක් ඇති කරනු ඇත. බලශක්ති මිල ගණන් සම්බන්ධයෙන් ඉදිරියේ දී යම් බලපෑමක් මේ නිසා සිදු විය හැකිය. ඉන්ධන ප්‍රවාහනයේ දී අතිශයින් වැදගත් වන හෝමුස් සමුද්‍ර සන්ධිය පිහිටා තිබෙන්නේ මැද පෙරදිග යුදමය තත්වය පවතින ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමිනි. මේ යුදමය තත්වය හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ දී ඉන්ධන ප්‍රවාහන නෞකාවලට දිගින් දිගටම ප්‍රහාර එල්ලවීම සහ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය මැදපෙරදිග කලාපයේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ලෝක බොරතෙල් මිල ඉහළ යාමේ තත්වයක් පසුගිය දිනවල වාර්තා විය. මේ තත්වය ඉදිරියේදී ද තවදුරටත් ලෝක ආර්ථිකයට බලපෑම් කරන කාරණයක් ලෙස සැලකිය යුතුය. ලෝකයේ බලශක්ති සැපයුමෙන් සියයට 20ක් පමණ සිදුවන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ නිසා එම සමුද්‍ර සන්ධිය අවහිරවීම බලශක්ති සැපයුමට දැඩි බලපෑමක් ගෙන දෙනු ඇත.

ඇමෙරිකාවත් ඊශ්‍රායලයත් ඉරානයට ප්‍රහාර එල්ල කරමින් ආරම්භ කළ යුදමය තත්වය නිසාම ගත වූ දින කිහිපයක කාලය තුළ ලෝකයේ බොරතෙල් මිල මේ වනවිට සියයට 13 කින් පමණ ඉහළ ගොස් තිබේ. සාමාන්‍යයෙන් බොරතෙල් මිල ගණන් ඩොලර් දහයකින් ඉහළ ගියහොත් එය ලෝක දළ දේශීය නිෂ්පාදිතය දශම දෙකකින් පමණ පහළ වැටීම සඳහා හේතු විය හැකි බව අතීත පර්‌යේෂණවලින් සනාථ වී තිබේ. මේ මැදපෙරදිග යුදමය තත්වය තවදුරටත් වර්ධනයවීමෙන් බොරතෙල් මිල දිගින් දිගටම ඉහළයාමෙන් ලෝක ආර්ථිකයේ දැඩි සංකෝචනයට හේතුවක් විය හැකිය.

අනෙක් පැත්තෙන් ලෝක උද්ධමනය ක්‍රම ක්‍රමයෙන් වැඩිවීම සිදුවේ. භාණ්ඩ සැපයීම, නැව් මාර්ග, ගුවන්යානා ඇතුළු ප්‍රවාහන සැපයුම් ජාලයට මේ වනවිටත් දැඩි බලපෑම් ඇතිවී තිබේ. එය ද මිලගණන් ඉහළයාමට තවත් හේතුවක් වේ. ලෝකයේ මූල්‍ය වෙළෙදපොළ වැඩිවශයෙන් මේ වනවිටත් කඩාවැටීමේ අවදානමක් දකින්නට පුළුවන. මූල්‍ය වෙළෙදපොළ ආයෝජන ලෝකයේ බොහෝ රටවල ක්‍රමක්‍රමයෙන් කිසියම් අස්ථාවරභාවයකට ලක්වෙමින් තිබේ.

තවත් පැත්තකින් ආර්ථික වශයෙන් අර්බුදවලට ලක්වී ඇති ශ්‍රී ලංකාව වැනි දුප්පත් රටවලින් පැමිණි ශ්‍රමිකයෝ බොහෝදෙනෙක් මැදපෙරදිග කලාපයේ රටවල රැකියාවල නිරතව සිටිති. මැදපෙරදිග කලාපයේ රැකියාවල නියුතු ලාංකිකයෝ මිලියනයක් පමණ සිටිති. දැනට පවත්නා යුදමය තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එහි ප්‍රතිඵල වශයෙන් මැදපෙරදිග කලාපයේ මෙසේ රැකියා කරන ශ්‍රමිකයන්ගේ රැකියාවල යම් අවදානමක් මතුවීමේ ඉඩකඩ පවතින්නට පුළුවන. එම රැකියා අස්ථාවරභාවය ලංකාව ඇතුළු අඩුආදායම්ලාභී රටවලට දැඩිව බලපානු ඇත. සමස්තයක් වශයෙන් මේ පසුබිම තුළ මේ වසරේ ලෝක ආර්ථික වර්ධනය සැලකිය යුතු මට්ටමකින් පහළ යාමට පුළුවන. එසේම දරිද්‍රතාව ද සැලකිය යුතු මට්ටමකින් ඉහළ යා හැකිය. උද්ධමනයේ ඉහළ යාමක් ද මේ වසරේ අපේක්ෂා කළ හැකිය. ඒ සියල්ල මැදපෙරදිග කලාපයේ දැනට ඇතිවී තිබෙන යුද තත්වයේ ප්‍රතිඵල ලෙස දැක්විය හැකිය.

දැන් අප කල්පනා කර බැලිය යුත්තේ මැදපෙරදිග අර්බුදය ආර්ථික හා දේශපාලන වශයෙන් ලංකාවට කෙසේ බලපානු ඇද්ද යන්නයි. ඉන්ධන සම්බන්ධයෙන් ඇතිවන බලපෑම ඉන් එකකි. තවදුරටත් මැදපෙරදිග තෙල් සැපයුම් මාර්ග අවහිර වුවහොත් ආර්ථික වශයෙන් විශාල බලපෑමක් අපට ඇතිවනු ඇත. මේ රටේ භාණ්ඩ ප්‍රවාහනය, මගී ප්‍රවාහනය ආදිය ප්‍රධාන වශයෙන්ම රදා පවතින්නේ පෙට්‍රල්, ඩීසල් ඇතුළු ඉන්ධන මතය. බොහොමයක් රටවල මේ වනවිට සූර්ය බලශක්තිය වඩාත් සාර්ථක ලෙස නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගෙන තිබුණත් අප එවැනි තත්වයක් සඳහා තවමත් ගමන් කර ඇති බවක් පෙනෙන්නට නැත. ඒ නිසා අපට තවදුරටත් යැපෙන්නට සිදුව ඇත්තේ ඉන්ධන සැපයුම මතම බව පැහැදිලිය. වර්ෂයකට ඩොලර් බිලියන 4-5ක් ඉන්ධන සඳහා වැය කරන්නට අපට සිදුව තිබේ. සියයට 43ක ප්‍රමාණයක් සිංගප්පූරුවෙන් ද ඉන්දියාවෙන් සියයට 28ක් පමණ ද මැලේසියාවෙන් සියයට 13ක් පමණ ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සියයට 10ක පමණ ද ඕමාන් රාජ්‍යයෙන් සියයට 5ක ප්‍රමාණයක් ද වශයෙන් දැනට මෙරටට තෙල් ආනයනය කෙරෙයි. මේ අනුව පැහැදිලි වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමාන් යන මැදපෙරදිග කලාපයට අයත් රටවලින් ලංකාවට තෙල් ආනයනය කෙරෙන්නේ සියයට 15ක් පමණ ප්‍රමාණයකි. ඉතිරි සියයට 85ම මැදපෙරදිග කලාපයට ඍජු සම්බන්ධයක් නැති රටවලින් ආනයනය කරන බව පෙනේ.

මේ නිසාම මෙරටට තෙල් ආනයනය කිරීමේ දී දැනට පවත්නා මැදපෙරදිග යුද්ධය බලපෑමක් නොවනු ඇති බවටත්, ඒ නිසාම මෙරට තෙල් අර්බුදයක් ඇති නොවන බවටත් ඇතැමුන් තර්ක කරන අන්දම විවිධ මාධ්‍ය ඔස්සේ අපට දැකගන්නට ලැබිණ. එහෙත් මෙම ගැටලු‍ව එබදු සරල තැනකින් විග්‍රහකර බැලීමට නොහැකිය. උදාහරණයක් ලෙස මෙරටට තෙල් ආනයනය කිරීම ඉන්දියාවෙන් සිදු කළත් ඉන්දියාව තෙල් සැපයුම බොහෝවිට සිදුකරන්නේ මැදපෙරදිග කලාපවලිනි. මැලේසියාවට එක් පැත්තකින් මැදපෙරදිගින් ද, තව පැත්තකින් රුසියාවෙන් ද තෙල් ආනයනය සිදුවේ. කෙසේ වෙතත් මේ තත්වය අනුව මේ කියන රටවල් මැදපෙරදිග කලාපයෙන් තෙල් ගෙන්වීම අවහිරවූ විට මෙරටට තෙල් ගෙන්වීමද ඊළග පියවරේදී ගැටලු‍කාරී විය හැකිය. අප තෙල් ආනයනය කරන ඉහත සඳහන් කළ ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවල් තෙල් ගෙන්වීමේ ක්‍රියාවලිය රුසියාව පැත්තට මාරුකළොත් එම සැපයුම් ජාලය යථා තත්වයට පත් කරගැනීමේ හැකියාව පවතිනු ඇත.

ගෑස් ආනයනය සම්බන්ධයෙන් අවධානය යොමු කළහොත් මේ තත්වය ඊට වඩා සංකීර්ණ වේ. මෙරටට ගෑස් ආනයනය සම්පූර්ණයෙන්ම පාහේ සිදු වන්නේ ඕමානය, ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවල්වලිනි. මේ සියලු‍ රටවල් මැදපෙරදිග කලාපයට අයත්ය. ඕමාන් රාජ්‍යයෙන් සියයට 65 ක් ද ඉරාකයෙන් සියයට 30ක් ද වශයෙන් අපේ රටට ගෑස් ආනයනය කෙරෙයි. දැනට පවත්නා මැදපෙරදිග යුදමය වාතාවරණය තවදුරටත් පැවැතියහොත් ගෑස් ආනයනය සම්බන්ධයෙන් අපට යම් සීමාවලට සංකීර්ණතාවලට මුහුණ දීමට සිදුවනු ඇත. එසේ වුවහොත් අපට ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග කවරේදැයි දැන් තියාම සොයා බැලීමට අපට සිදුවනු ඇත. මැදපෙරදිග කලාපයෙන් ගෑස් ආනයනය අවහිර වුවහොත් ඊට විකල්පයක් වශයෙන් රුසියානු කලාපයෙන් ගෑස් ආනනය කිරීමට හැකිද? ඒ සදහා කොපමණ පිරිවැයක් යෙදවීමට සිදුවනු ඇද්ද යන්න කෙරෙහි මේ වනවිටත් අපගේ අවධානය යොමු කළ යුතුව තිබේ. මැද පෙරදිග කලාපයේ දැනට පවත්නා අර්බුදකාරී තත්වයට අනුව පොදුවේ ගත් කල මෙරට බලශක්ති අර්බුදයකට අවශ්‍ය කිසියම් පසුබිමක් නිර්මාණයවෙමින් තිබෙන බව අප පිළිගත යුතුය. එහෙත් අපට මෙය විසදාගත නොහැක්කේ නොවේ. මාසයකට පමණ සරිලන සංචිත අප සතුව ඇත්නම් ඉදිරියේදී ඇතිවිය හැකි අර්බුදයට දැන් තබා විකල්ප සෙවීම අත්‍යවශ්‍ය කාරණයක් වනු ඇත. පොදුවේ බලශක්ති අර්බුදය කෙරෙහි රජයේ පුළුල් අවධානයක් මේ වනවිට යොමු කළ යුතුව ඇත.

මුලින් ද සඳහන් කළ පරිදි මැදපෙරදිග කලාපයේ මිලියනයකට ආසන්න ලාංකික ශ්‍රමිකයෝ පිරිසක් සේවයේ යෙදී සිටිති. මෙම අර්බුදය තවදුරටත් පැවතුණහොත් මෙරටට ලැබෙන විදේශ පේෂණවල යම් අඩුවීමක් සිදු විය හැකිය. අපේ රටේ පසුගිය වසර කිහිපයට වඩා සංචාරක කර්මාන්තයේ කිසියම් වර්ධනයක් මෑත කාලයේ දක්නට ලැබුණි. මැදපෙරදිග කලාපය යනු අපේ රටට සංචාරකයන් වැඩි වශයෙන් ආකර්ෂණය වන කලාපයකි. දැනට මැදපෙරදිග කලාපයේ පවත්නා අවිනිශ්චිතතාව ද සැලකිල්ලට ගෙන එම කලාපයෙන් අපේ රටට සංචාරකයන් වැඩි වැඩියෙන් ගෙන්වා ගැනීමට ඇති හැකියාව මේ මොහොතේ සොයා බැලීම වැදගත්ය. එය සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට ද විශේෂ හේතුවක් වනු ඇත. මැදපෙරදිග අර්බුදය අවස්ථාවක් කර ගනිමින් උපක්‍රමශීලීව කටයුතු කිරීමේ සැලසුම් සහගත වැඩපිළිවෙළක් සඳහා අවශ්‍ය පසුබිම සකස් කරගැනීම කෙරෙහි අවධානය යොමුකළ යුතුවේ.

මෙරටින් අපනයනය කෙරෙන තේ ඇතුළු ද්‍රව්‍ය වැඩි වශයෙන් යොමුවන්නේ ඉරානය වැනි රටවලටය. මැදපෙරදිග අර්බුදය දිගින් දිගටම ඇදීයන්නේ නම් එම අපනයන සඳහා වන ඉල්ලු‍මට සැලකිය යුතු බලපෑමක් සිදුවිය හැකිය. මාසයකට ඩොලර් මිලියන 200ක පමණ ආදායමක් මැදපෙරදිග කලාපවලට අපනයනය කිරීමෙන් සාමාන්‍යයෙන් අපි ලබා ගන්නෙමු. එම අපනයන ක්‍රියාවලියට යම් බාධාවක් එල්ල වන්නේ නම් ඊට විකල්ප අවස්ථා පවතින්නේ ද යන්න කෙරෙහි අවධානය යොමු කළ යුතුව තිබේ. 

තව පැත්තකින් මේ වනවිට යුද්ධය පවතින රටවල ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඇදුම් පැලදුම් යම් ආකාරයකට වැඩි වශයෙන් නිෂ්පාදනය කර එම රටවලට අපනයනය කළ හැකි අවස්ථා තිබේදැයි මේ අවස්ථාවේ සොයා බැලීම කළ හැකිය. එබදු උපක්‍රමශීලී වැඩපිළිවෙළක් අනුව අප දැන් තියාම ක්‍රියාකළහොත් මැදපෙරදිග අර්බුදය හමුවේ අපට මතුවන ප්‍රධාන ගැටලු‍වලට යම් යම් උත්තර සොයා සපයා ගත හැකිය. එය තීරණය වන්නේ රජය මෙම අර්බුදයට මුහුණ දීමට කෙසේ ක්‍රියාකරන්නේද යන කාරණය මතය. එසේම ලෝක බලවතුන් හමුවේ එක් පාර්ශවයක් නියෝජනය කරමින් ඔවුන් වෙනුවෙන් සහාය පළකිරීමේ හැකියාවක් අප වැනි රටකට නැත. එම නිසා රජය මේ අවස්ථාවේ කළයුත්තේ නොබැදි පිළිවෙතක් අනුගමනය කරමින් අර්බුදය අපට බලපාන සැටි තේරුම් ගනිමින් ඊට විකල්ප සොයමින් ඉදිරියට යාමය.

 

(***)

සාකච්ඡා සටහන

ගාමිණී කන්දේපොළ