ඔහු ශ්‍රී ලාංකීය පුංචි තිරය තුළ තමන්ගේ නිර්මාණාත්මක හැඟීම් ප්‍රකට කළ දක්ෂ අධ්‍යක්ෂවරයෙකි. ‘‘කඩවර, දඩබිම’’ වැනි  ටෙලිනාට්‍ය හරහා ඔහු තම ලකුණ පුංචි තිරයේ සනිටුහන් කර හමාරය.

ඔහු දක්ෂ අධ්‍යක්ෂවරයෙකි. දක්ෂ සිනමා හා කලා ගුරුවරයෙකි. එමෙන්ම ඩිජිටල් තාක්ෂණයේ අපූරු හැකියාවක් පෙන්නුම් කරන්නෙකි. මේ නිර්මාණශීලී අධ්‍යක්ෂවරයා නමින් බර්ට්‍රම් නිහාල් වේ. ඔහු දැන් සිනමාවට අවතීර්ණ වී තිබේ. ඔහුගේ ප්‍රථම සිනමා නිර්මාණය  ‘දරී’ මෙරට ක්වොන්ටම් සිනමාවේ සුසමාදර්ශය ලෙස සැලකේ.  ළඟදීම තිරගතවීමට මෙම කුළුදුල් සිනමාපටය හරහා ඔහු මෙරට සිනමාවට ගෙනෙන අලුත් ආඛ්‍යානය කෙබඳුද යන්න දැන ගැනීමට අපට සිත්විණි. මේ බර්ට්‍රම් නමැති නිර්මාණශීලි අධ්‍යක්ෂවරයා සමඟ කළ කතාබහකි.

‘දරී’ ඔබගේ ප්‍රථම සිනමා වෘත්තාන්තය. මොකක්ද මේ ‘දරී’ කියන්නේ ?

‘දරී’ කියන්නේ පාලි භාෂාවෙන් සිංහලට බිඳී ආ වචනයක්. ඒකෙ අර්ථය ‘ගුහාව’ කියන එක. බෞද්ධ දර්ශනය තුළ ‘සිත’ ගුහාවකට ආදේශ කරලා තියෙනවා. මේක පියවරුන්ගේ කතාව. ඒ විතරක් නෙමෙයි මේක මවුවරුන්ගේත් කතාව. ඒ අතර දරුවන්ගේ ආත්මය තියෙනවා.

 

‘දරී’ ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් වෙයි කියා ඔබ සිතනවාද?

මම හිතනවා. මෙය අපරාධ අභිරහස් ශානරයට අයත් සිනමාපටයක්. ඒ වගේම බෞද්ධ දර්ශනයේ සිත පිළිබඳව ගවේෂණය කරන මනෝවිද්‍යාත්මක අන්තර්ගතයකින් යුතු වියමනක්.

 

සාමාන්‍ය අපරාධ අභිරහස් චිත්‍රපටවලට වඩා ‘දරී’ වෙනස් මානයක් ගන්නේ කොහොමද?

‘දරී’ කියන්නේ සාම්ප්‍රදායික අපරාධ අභිරහසක් පිළිබඳ ආඛ්‍යානයක් නොවෙයි. එය මතකය, කම්පනය, වරදකාරිත්වය සහ මානව පැවැත්ම පිළිබඳ මනෝවිද්‍යාත්මක සහ දාර්ශනික සිනමා ගවේෂණයක්. චිත්‍රපටය බාහිර අපරාධයක් විමර්ශනය කිරීමේ සිට මිනිස් මනසෙහි අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය පිළිබඳ හැසිරීම අවධානයට යොමුකරනවා.

 

ඔබගේ ටෙලිනාට්‍ය තුළත් මේ මනෝවිද්‍යාත්මක විශ්ලේෂණය තිබුණා. විශේෂයෙන් ‘දඩබිම’, ‘කඩවර’ වගේම ‘භාවනා’ ඒකාංගික ටෙලිනාට්‍ය මාලාව තුළ. ඔබ විශේෂයෙන් මනෝවිද්‍යාත්මක විශ්ලේෂණ කෙරෙහි අවධානය යොමුකරනවා. ඒකට විශේෂ හේතුවක් තියෙනවාද?

මිනිස් සිත තමයි සියලුදේට මුල්වෙන්නෙ. පාලි ධම්මපදයේ 37 වන වගන්තියෙන් මේ පිළිබඳව විග්‍රහ කරනවා. සිත, දූර, ඉබාගාතේ යන, හුදකලා වූ, අශාරීරික, ගුහාවක් වැන්නක්. මෙය දමනය කරන අය මාරයාගේ බන්ධනවලින් නිදහස් වන බවයි එහි සඳහන් වෙන්නෙ.  බුදුදහමේ ‘සිත ගුහාවක් වැනිය කියන සංකල්පය’ ‘දරී’ චිත්‍රපටයේ මූලික දාර්ශනික අත්බැඳිය ලෙස භාවිත වෙන්නේ ඒ නිසයි.  මේ සත්‍ය පසක් කරන්නට මම පාදකකරගන්නේ උපනන්ද වැලිකලගේ සම්මානනීය නවකතාවක් වන ‘කර්ම චාරිකාව’ යි. නවකතාවට ආශ්‍රය වූ සත්‍ය සිදුවීමක් චිත්‍රපටයේ නාට්‍යමය ව්‍යුහයට පදනම සපයනවා. එහෙත් ‘දරී’ එම සත්‍යය ඍජුව ප්‍රතිනිර්මාණය කිරීමක් නෙමෙයි. එය සිනමානුරූපිව අපරාධ අභිරහස් ශානරය තුළ නැවත සංකල්පනය කිරීමක්.

 

මෙවැනි ගැඹුරු මනෝවිද්‍යාත්මක අන්තර්ගතයකින් යුතු නවකතාවක් චිත්‍රපටයක් බවට පරිවර්තනය කිරීමේ දී ඔබ මුහුණදුන් අභියෝග මොනවාද?

නවකතාවක් චිත්‍රපටයක් ලෙස පරිවර්තනය කිරීම කියන්නේ රූප, සංගීත, කාලය, වාචිකභාව මගින් නව සන්නිවේදන භාෂාවක් නිර්මාණය කිරීමයි. නවකතාවක් සහ සිනමා නිර්මාණයක් අතර ඇති සම්බන්ධය සාමාන්‍යයෙන් අනුකරණයක් ලෙස සලකනවා. එහෙත් ඒ අනුකරණය ඍජුව නවකතාවේ අන්තර්ගතය පිටපත් කිරීමක් නොවෙයි. එය නව මාධ්‍යයකට රූපවත් කිරීමක්. කලාත්මක සහ නිර්මාණශීලි පරිවර්තනයක්. ඒ වගේම නව ආකෘතිමය විලාසයක්. මෙහිදී මානව අභ්‍යන්තර මනෝලෝකය බොහෝදුරට දෘශ්‍යමය ලෙස ප්‍රකාශිත කෙරෙනවා. මෙය නවකතාවේ ගැඹුර අඩු කරනවා නෙමෙයි. එහෙත් වෙනස් මානයකින් ඒ අරුත ගොඩනංවනවා. නවකතාවේ නිදහස්, විචිත්‍ර කතාකීමේ විලාසය චිත්‍රපටයේ දී ඍජු රූපක සහ තීරණාත්මක ලෙස ගොඩනගන නාට්‍ය සංකල්පයක් (Control Narrative Structure) වෙනවා. ‘දරී’ නවකතාවකින් උපන් නව සත්‍යයක් ලෙස හඳුන්වන්න පුළුවන්. කෙසේවෙතත්, මෙම චිත්‍රපටය අනුවර්තනයේ සාම්ප්‍රදායික සීමා ඉක්මවා ගිහින් නව සිනමානුරූපි අර්ථකථනයක් බවට පත්කිරීම වෙහෙසකර වුණා. 

 

කොහොමද ක්වොන්ටම් අධිස්ථාපනය (Quantum Superposition) ‘දරී’ සමග සම්බන්ධවෙන්නෙ?

ක්වොන්ටම් වාදය (Quantum Theory) කියන්නේ, විසිවැනි සියවසේ විද්‍යාත්මක විප්ලවයක් විදිහට නව යථාර්ථවාදී සංකල්පයක් ලෝකයට හඳුන්වා දුන්න සංකේත පද්ධතියක්. මේවනවිට ක්වොන්ටම් අධිස්ථාපනය (Quantum Superposition) විද්‍යාත්මක සීමාවෙන් බැහැරව යථාර්ථය, මනස, කාලය, දර්ශනය, සිනමා, කලා සහ කෘත්‍රිම බුද්ධිය යන ක්ෂේත්‍රවල නව නාට්‍යමය ආකෘතියක් ලෙස සියල්ල නැවත අර්ථදක්වන විප්ලවීය දාර්ශනික මූලධර්මයක් වන බවයි මම හිතන්නෙ. මෙය විද්‍යාත්මක සංකල්පයක් වුවද, නූතන සිනමාව, ඇවන්ඩ්ගාර්ඩ් (Avant-garde) කලාව, මනෝවිද්‍යාව සහ කෘත්‍රිම බුද්ධිය එකට බැඳෙන විට එය නාට්‍යමය සහ දාර්ශනික ආකෘතියක් ලෙස නව අර්ථයක් ලබාගන්නවා.

 ‘දරී’ තුළ මෙය විග්‍රහවන්නේ, එකම වස්තුවක්, එකම මොහොතක තත්ව නැතිනම් ස්වරූප කිහිපයක පවතින හැසිරීමේ ස්වාභාවය, සිනමානුරූපිව මානසික සන්දර්භයකට පරිවර්තනය කිරීමක් ලෙසයි. ‘දරී’ හි ප්‍රධාන චරිතය, එකවර අතීතය, වර්තමානය සහ සිද්ධවිය හැකි අනාගතය යන තත්ව තුනම මානසික අවකාශය තුළ එකම වේලාවේ ජීවත්වන චරිතයක් ලෙස නිරූපණය වෙනවා. මෙය ක්වොන්ටම් අධිස්ථාපන න්‍යායේ මූලික අදහස වන එකම වස්තුවක් එකම මොහොතක තත්ව කිහිපයක පවතින හැසිරීම යන්න සිනමාත්මක මානසික රූපයකට පරිවර්තනය කිරීමක්. මේ මතවාදය අනුව මෙහි එන චරිතය, කාලය, සිද්ධි සහ මනෝ ගැටුම් එකම මොහොතක බහුසත්‍යයක් පවතින ක්වොන්ටම් ලෞකික දර්ශනය නිරූපණය කරනවා.  

 

මෙය මනස නැතිනම් සිත පිළිබඳ ගැඹුරු විග්‍රහයක් බව පේනවා. ප්‍රේක්ෂකයා මෙය කෙතෙක්දුරට ග්‍රහණය කරගනීද?

‘දරී’ චිත්‍රපටයේ ආඛ්‍යාන ව්‍යුහය විශේෂයෙන්ම රේඛීය නොවේ. මිනිස් මතකය රේඛීය හෝ පිළිවෙලකට ක්‍රියා නොකරයි. කම්පනය විශේෂයෙන් කාලානුක්‍රමය කඩාකප්පල් කරයි. චිත්‍රපටයේ ආඛ්‍යාන ස්වරූපය මගින් සාම්ප්‍රදායික කතාන්දර කීමේ තර්කනය අනුගමනය කරනවාට වඩා මනසෙහි ක්‍රියාකාරිත්වය පිළිබිඹු කිරීමට මට අවශ්‍ය වුණා. ඛණ්ඩනය වූ ආඛ්‍යානය ප්‍රේක්ෂකයන්ට දුර සිට නිරීක්ෂණය කිරීම වෙනුවට, ප්‍රධාන චරිතයේ මානසික ව්‍යාධිය අත්විඳීමට ඉඩ සලසනවා. එහෙත් මතුපිට දිවෙන සරල කතා වින්‍යාසය මගින් ප්‍රේක්ෂකයාට චිත්‍රපටය මනා ලෙස රසවිඳීමට ඉඩකඩ සලසනවා. චිත්‍රපටයක් යනු,  ආලෝකයෙන් ලියන ලද කතාවක්. එය චලනය වන හැඟීම්, රූපය, ශබ්දය, රිද්මය සහ මතකයේ සම්මිශ්‍රණයක්. චිත්‍රපටයක් මගින් සත්‍යය හෙළිකරනවා. ජීවිතය ප්‍රශ්න කරනවා සහ බෙදාගත් සිනමා අත්දැකීමක් හරහා මිනිස් හැඟීම් අන්‍යෝන්‍යව සම්බන්ධ කරනවා. මෙහිදී මම සිනමාව, කලාවක්, ශිල්පයක් සහ වචනවලින් ඔබ්බට කතා කරන භාෂාවක් ලෙස ගවේෂණය කරනවා.

(***)