මෙවර කිවිදා දැක්ම ලියන්නේ ලෝක දේශපාලනයේ බරපතළ උණුසුම් තත්වයක් මතුවී ඇති කාලයකය. ලෝකයේ අවධානය මේ දිනවල යොමුවී තිබෙන්නේ ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව සිදු කළ ප්‍රහාර සහ ඒ සමග උද්ගත වූ මැදපෙරදිග ගැටුම් තත්වය පිළිබඳවය.
මැදපෙරදිග ප්‍රදේශය ලෝකයේ බලශක්ති සැපයුමේ ප්‍රධාන මධ්‍යස්ථානයක් වන බැවින් එහි සිදුවන ඕනෑම යුදමය හෝ දේශපාලන ගැටුමක් ලෝක ආර්ථිකයට සෘජුවම බලපාන බව පැහැදිලිය.
කුඩා ආර්ථිකයක් ඇති ශ්‍රී ලංකාව වැනි රටකට මෙවැනි ජාත්‍යන්තර සිදුවීම් ඉතාමත් බරපතළ ආකාරයෙන් බලපාන බව විශේෂයෙන් කිව යුතු නැත. අපේ රටේ බලශක්ති අවශ්‍යතා බොහෝ දුරට ආනයන මත රඳා පවතින බැවින්, මැදපෙරදිග ප්‍රදේශයේ සිදුවන ගැටුම් අපට සෘජුවම බලපායි. එවැනි ගැටුමක් දිගටම පැවතුණහොත් තෙල් මිල ඉහළ යාම, සැපයුම් මාර්ගවල අස්ථාවරතාව සහ ආර්ථික පීඩනය වැනි තත්වයකට නැවතත් අපේ රටේ ජනතාවට මුහුණ දීමට සිදුවිය හැකිය.
එහෙත් මෙවර ලිපියේ දී මා කතා කිරීමට බලාපොරොත්තු වන්නේ මේ ජාත්‍යන්තර ගැටුම ගැන පමණක් නොවේ. ඒ සමග සම්බන්ධව අපේ රටේ දේශපාලන සහ ආර්ථික තත්වය පිළිබඳව ද සිතීමට අවශ්‍ය බව මට හැඟේ. ඒ නිසා මෙවර ලිපියේ දී කාරණා කිහිපයක් පිළිබඳව අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වෙමි.
ඉරානයට පහරදීමේ දේශපාලනයේ අර්ථය
ඉරානයට එරෙහිව සිදු කළ ප්‍රහාරයන් සරල යුදමය සිදුවීම් ලෙස පමණක් තේරුම් ගත නොහැකිය. මෙය ලෝක දේශපාලනයේ බල සම්බන්ධතා පිළිබඳව ගැඹුරු අර්ථයක් ඇති සිදුවීමකි.
නිල වශයෙන් ප්‍රකාශ කරන්නේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සහ එහි ප්‍රාදේශීය බලපෑම ලෝක ආරක්ෂාවට අවදානමක් බවයි. එහෙත් දේශපාලන විශ්ලේෂකයන් බොහෝ දෙනා පෙන්වා දෙන්නේ මෙය න්‍යෂ්ටික ප්‍රශ්නයට පමණක් සීමා වූ ගැටුමක් නොවන බවයි. මැදපෙරදිග ප්‍රදේශයේ බලශක්ති සම්පත්, භූ-දේශපාලනික බලය සහ ප්‍රාදේශීය බල සන්ධාන මේ ගැටුම පිටුපස ඇති වැදගත් කරුණු කිහිපයකි.
මෙවැනි තත්වයක් තුළ ලෝක බලය අතර ඇති ගැටුම් කුඩා රටවලට පවා බලපාන බව පැහැදිලිය. එපමණක් ද නොවේ. මේ සම්බන්ධව මුස්ලිම් ආගමේ පවතින ෂියා - සුන්නි කණ්ඩායම් අතර තිබෙන ආගමික බෙදීම් ද මේ ගැටුමේ අගින් පවතින බව පැහැදිලිය. ලෝකයේ මුස්ලිම් ජනගහනයෙන් සියයට 80ක් පමණ සුන්නි මුස්ලිම්වරුය. ඔවුහු සෞදි අරාබිය මුල් කරගනිමින් ලෝකය පුරා විසිරී සිටිති. අනෙක් සියයට 20ක් පමණ මුස්ලිම් ජනගහනය අයිති වන්නේ ෂියා මුස්ලිම්වරුන්ටය. ඔවුන්ගෙන් බහුතරතය සිටින්නේ ඉරානයේ ය. ඊට අමතරව ඉරාකය, ලෙබනනය, යේමනය වැනි රටවල් කීපයක ෂියා මුස්ලිම්වරු සිටිති. ඒ කණ්ඩායම එක පැත්තකින් සුන්නි - ෂියා ගැටුමේ ද තවත් පැත්තකින් ඊශ්‍රායලයට එරෙහි සටනේ ද සිටින්නෝය.
මේ තත්වය ඉතාමත් සංකීර්ණ ගැටලුකාරිත්වයන්ගෙන් යුක්ත නිසා කෙළින්ම තේරුම් ගත නොහැකි තත්වයක් බවට පත්වී ඇත.
අනුරගේ “හුණ්ඩු” කතාව
මේ ජාත්‍යන්තර සිදුවීම් පිළිබඳව අපේ රටේ දේශපාලන නායකයන් ද අදහස් ප්‍රකාශ කරන්නට පටන් ගෙන තිබෙන්නේ තරමක් විකාරරූපී ලෙසිනි. මේ සමහර නායකයන් පෙන්වන්නේ ලෝක දේශපාලනය පිළිබඳ ඒ අයට ඇති අවබෝධයේ සීමාය.
මෑතදී ඉරාකය පිළිබඳව කතා කරන අවස්ථාවකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශයක් සමාජයේ විශාල සාකච්ඡාවකට බඳුන් වී තිබේ. ජනාධිපතිවරයා ‘කෝකටත් තෛලය’ වගේ පාර්ලිමේන්තු කතාවක් හරහා රටේ ප්‍රශ්න විසඳන්නට යන්නේ ඔහු බලයට පැමිණි දා පටන්මය. රටේ බරපතළ ප්‍රශ්නයක් පැමිණි හැම විටම වගේ ඔහු කරන එක් ‘‘වැඩක්” වන්නේ පාර්ලිමේන්තුවට පැමිණ දිග කතාවක් කිරීමය. ඒ කතා හරහා බොහෝවිට සිදු වන්නේ සියලු ප්‍රශ්නවලට පැරැණි ආණ්ඩු වගකිව යුතු බව ලස්සනට කියා සිටීමය.
මෙවර රටේ ගෑස් ප්‍රශ්නය සම්බන්ධයෙන් ද ඔහු කියන්නට උත්සාහ කළේ මේ ප්‍රශ්නයට හේතුව මීට පෙර සිටි නායකයන් සහ ආණ්ඩු “ඇති තරම් ධාරිතාවක් තියෙන බහාලුම් හෙවත් ගැස් කල් තියාගන්නා මධ්‍යස්ථාන” ඇති කර නැති බවය. දැන් ගෑස් හිගවී තිබෙන්නේ ‘‘ගැස් කල්තියා ගන්නා ස්ටෝරු” හදා නැති නිසා බව ඔහුගේ අදහසය. මීට පෙර ඔවුන් විපක්ෂයේ සිටින කාලයේ මෙවැනි අවස්ථාවලදී ජවිපෙ මතය වූයේ ඒ ඒ ආණ්ඩුවල නොහැකියාව නිසා මෙවැනි දේවල් සිදු වන බවය. ඒත් තමන් ආණ්ඩුවට පැමිණි පසු එවැනි දේවල් සිදු වන්නේ “ස්ටෝරු නැති” නිසා ය.
දැන් මේ කාරණය කියන්නට ගොස් ඔහු එක්වරක කීවේ මේ රටවල් (ලංකාව වැනි රටවල්) “හුණ්ඩු” වැනි ඒවා මිසක අවශ්‍ය තරම් පහසුකම් තියෙන ඒවා නොවන බවයි. වෙනත් තේරුමකින් ගතහොත් ඔහු කියන්නේ අපේ රට ‘ලොකුවට තිබී’ සම්පත්වලින් සම්පූර්ණව තිබී’ පසුගිය ආණ්ඩු ඒ “ලොකු රට” මේ වන විට “පොඩි හුණ්ඩුවක්” වගේ තැනකට පත් කර ඇති බව විය යුතුය. මේ කතා තුළ කිසිම සත්‍ය දෙයක් ඇතුළත් වන්නේ නැතිවා පමණක් නොව ආණ්ඩු කරන අයගේ මනසේ තිබෙන ‘කුදු’ බව මිස එයින් ජනිතවන වෙනත් කිසිදු අර්ථයක් ඇත්තේ නැත.
තවත් පැත්තකින් මේ කියන්නේ අපේ රටට ජ්‍යත්‍යන්තර වශයෙන් ශක්තියක් නැති රටක් බවක් නම් ඒ තත්වය වෙනස් කිරීමට පසුගිය වසර එක හමාර තුළ වත්මන් රජය කළේ කුමක්දැයි ප්‍රශ්න කිරීමත් ඉතාමත් වැදගත් ය. “හුණ්ඩුවක්” වීම යනු කුමක්ද? එය වන්නේ තමන්ගේ තීරණ තමන්ට ගත නොහැකි තත්වයකට රටක් පත්වීමද? විදේශ බලයන්ගේ තීරණවලට පමණක් යටත් වන, ස්වයං ආර්ථික පදනමක් නැති, දේශපාලන ස්ථාවරත්වයක් නැති රටක් බවට පත්වීම එහි අර්ථය නම් එයට විරුද්ධව මේ රජය කළේ කුමන දේවල් ද යන්නද ප්‍රකාශ කිරීම වැදගත් ය. එහෙත් එවැනි දෙයක් එවැනි අදහසක් මේ අය කියන්නෙ නැත.
සලේ අත්අඩංගුවට ගැනීම
පසුගිය දිනවල රටේ දේශපාලන සාකච්ඡාවට ලක්වූ තවත් සිදුවීමක් වන්නේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියකු වන සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීමයි. මේ සිදුවීම පිළිබඳව සමාජයේ විවිධ අදහස් මතුවී ඇත. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය වසර කිහිපය තුළ විවිධ කොමිෂන් වාර්තා සහ පරීක්ෂණ වාර්තා නිකුත් වී තිබේ. ඒවා අතර කිසිදු වාර්තාවක සලේ මහතා සෘජුව සම්බන්ධ කරමින් සඳහන් වී නැත. සලේගේ නම මේ සඳහා සම්බන්ධ කළ බව පෙනෙන්නේ කිසිම පදනමකින් තොරව හුදු චැනල් 4 නාලිකාවේ ගිය වැඩසටහනක එක් ප්‍රශ්න සහගත පුද්ගලයකුගේ ප්‍රකාශයක් මත බව සමහරුන්ගේ මතයයි.
අනෙක් අතට පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව මේ වන විට නඩු කීපයක් ම අවසන් අදියරේ පවතින අතර ඒ එකකවත් සලේ කෙනෙක් ඇත්තේ නැත. මේ පිළිබදව රොහාන් ගුණරත්න ලියා ඇති කෘතිය දෙස බැලූ විට පෙනෙන්නේ සලේගේ නමක් මේ කාරණයට කිසිදු සම්බන්ධයක් නැති බවය. එහෙත් ආණ්ඩුවේ සමහරුන් සහ පල්ලියේ සමහරුන් සිතන්නේ තමන් සිතන ආකාරයට “මහ මොළකරුවකු” සිතන බවය.
තවත් පැත්තකින් මෙරට ත්‍රස්තවාදී යුද්ධය පරාජය කරන්නට සලේගේ මැදිහත්වීම නිසාම ඔහු දඩයම් කරන්නට අවශ්‍ය කණ්ඩායමක් ද සිටින බව අපගේ අවධනයට ගැනීම ඉතාමත් අවශ්‍යය. මේ සියල්ල දෙස මෙරට සමාජය ඉතාමත් විමසිල්ලෙන් සිටිය යුතු බව මගේ අදහසය. වත්මන් ආණ්ඩුව බරපතළ අර්බුදයකට මේ හරහා පත්වීමේ විශාල ඉඩ කඩක් තිබෙන බව මගේ අදහසය.
ආර්ථිකයේ තත්වය
අද රටේ ආර්ථිකය පිළිබඳව රජය සහ ආර්ථික විශ්ලේෂකයෝ විවිධ අදහස් ප්‍රකාශ කරති. රජය පවසන්නේ ආර්ථිකය ස්ථාවර වෙමින් පවතින බවයි. විදේශ මුදල් සංචිත වැඩිවීම, උද්ධමනය අඩුවීම, සහ මූල්‍ය ප්‍රතිසංස්කරණ වැනි කරුණු එයට උදාහරණ ලෙස පෙන්වයි.
එහෙත් ජනතාවගේ දෛනික ජීවිතය දෙස බැලූ විට තත්වය වෙනස් ලෙස පෙනේ. ජීවන වියදම තවමත් ඉහළ මට්ටමක පවතී. වැටුප් වර්ධනය එයට සමානව සිදු වී නැත. කුඩා සහ මධ්‍යම ව්‍යාපාර බොහෝ දෙනා තවමත් පීඩනයකට ලක්ව සිටිති.
ආර්ථිකය පිළිබඳ සාර්ථක කතා කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. එය ජනතාවගේ ජීවිත තුළ ද දැනිය යුතුය. ආර්ථික වර්ධනය යනු සංඛ්‍යාත්මක වාර්තාවල පමණක් පවතින දෙයක් නොව, ජනතාවගේ ජීවන තත්වය තුළ ද පෙනිය යුතු දෙයකි.
වැ. බැ. ආණ්ඩුවක්වීමේ අවදානම
මෙම සියලු කාරණා එකට ගත් විට මතුවන ප්‍රශ්නයක් වන්නේ රටේ පාලනයේ ගුණාත්මකභාවය පිළිබඳවය. රාජ්‍ය පාලනය යනු කතා කිරීම පමණක් නොව, ප්‍රතිපත්ති සකස් කිරීම, ඒවා ක්‍රියාත්මක කිරීම සහ ප්‍රතිඵල ලබා ගැනීම යන සියලු කාර්යය සමග සම්බන්ධ වේ.
එහෙත් සමහර අවස්ථාවල අපට පෙනෙන්නේ ප්‍රතිපත්ති වඩාත් කථන මට්ටමේ පමණක් පවතින බවයි. සැලසුම් සහිත ක්‍රියාමාර්ග, දිගුකාලීන ආර්ථික දෘෂ්ටිය, සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ගැටලු මතුවී ඇත.
එවැනි තත්වයක් තුළ රජයක් “වැ.බැ.” එනම් වැඩ බැරි ආණ්ඩුවක් ලෙස හැඳින්වීමට හේතු මතුවේ. රටක් ඉදිරියට ගෙන යාමට අවශ්‍ය වන්නේ කථන නොව, ක්‍රියාත්මක වීමයි. රාජකාරි භාෂවෙන් “වැ.බැ. කියන්නේ වැඩ බලන” යන තේරුමටය. එහෙත් දේශපාලන භාෂවෙන් “වැ. බැ.” යනු වැඩ බැරි ආණ්ඩුවක් යන්නය. මේ ‘ටැග්’ එක ගලවා ගැනීමට ආණ්ඩුව උනන්දු විය යුතුය.
ලෝකයේ දේශපාලන තත්වය වෙනස් වෙමින් පවතින මේ කාලය තුළ කුඩා රටවල් සඳහා ඇති අභියෝග විශාලය. ජාත්‍යන්තර ගැටුම්, ආර්ථික අර්බුද සහ දේශපාලන අස්ථාවරතා අතර රටක් ලෙස අප බුද්ධිමත් ලෙස හැසිරිය යුතුය.
එබැවින් අපේ රටේ පාලනයට අවශ්‍ය වන්නේ පැහැදිලි දේශපාලන දෘෂ්ටියක්, ශක්තිමත් ආර්ථික ප්‍රතිපත්තියක් සහ නීතිය පිළිබඳ විශ්වාසය තහවුරු කරන රාජ්‍ය පාලනයකි. නැතිනම් ලෝකයේ සිදුවන සෑම ගැටුමක්ම අපට බලපාන, ස්වයං තීරණ ගත නොහැකි “හුණ්ඩුවක් වගේ රටක්” බවට පත්වීමෙන් අපට වැළකිය නොහැකිය.
රටක් ලෙස අපට අවශ්‍ය වන්නේ එවැනි තත්වයකින් මිදී, ස්වයං විශ්වාසය සහිත, දේශපාලනිකව පැහැදිලි, ආර්ථික වශයෙන් ශක්තිමත් රටක් බවට පත්වීමයි.
(***)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd