කවියකු, පරිවර්තකයකු සහ ළමා කෘති රචකයකු ලෙස ප්‍රකට ප්‍රවීණ ලේඛක ටියුඩර් අමරසේන විසින් පරිවර්තිත ‘පවුර’ කෙටිකතා සංග්‍රහය 2025 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ දී හොඳම පරිවර්තිත කෙටිකතා කෘතියට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම සංවාදය ටියුඩර් අමරසේන මහතා සමග පැවැත්වෙන්නේ එම රාජ්‍ය සම්මානලාභි කෘතිය පදනම් කර ගනිමිනි.
ප්‍ර ඔබ පරිවර්තනය කළ ‘පවුර ඇතුළු ශ්‍රේෂ්ඨ කෙටිකතා කෘතියට මෙවර රාජ්‍ය සම්මාන හිමි වුණා. ‘පවුර’ ඇතුළු ශ්‍රේෂ්ඨ කෙටිකතා සංග්‍රහයෙහි කෙටි කතාවල ඔබ දකින අපූර්වත්වය කෙබඳු ද?
‘පවුර’ මගේ දෙවැනි පරිවර්තිත කෙටිකතා සංග්‍රහයයි. මෙම කෙටිකතා එකතුවෙහි විවිධ රටවල, විවිධ සංස්කෘතීන් විදහා දැක්වෙන එකිනෙකට වෙනස් තේමාවන්ගෙන් යුත් විශිෂ්ට කෙටිකතා පහළොවක් සංග්‍රහ කර තියෙනවා. මෙහිදී මම සිංහල පාඨකයාට ආගන්තුක කෙටිකතාකරුවන් කිහිප දෙනෙකුම හඳුන්වා දී තිබෙනවා. හෙන්රි ලෝසන් (ඕස්ට්‍රේලියාව), ලොව ප්‍රථම නොබෙල් සාහිත්‍ය සම්මානලාභිනිය වන සෙල්මා ලෝගර්ලෙෆ් (ස්වීඩන්), ග්‍රෙගරියෝ ලෝපෙස් ෆුඑන්තෙස් (මෙක්සිකෝව), කැතරින් ලිම් පෝ (සිංගප්පූරුව), එමා ලාර්කින් (ඇමෙරිකාව), රාවුල් බ්‍රැන්දාඕ (පෘතුගාලය), ජුවාන් රුල්ෆෝ (මෙක්සිකෝව), හෙයින්රිච් බෙල් (ජර්මනිය), හර්නැන්ඩෝ තෙලෙස් (කොලොම්බියාව) වැනි ලේඛකයන් ලාංකික පාඨකයන්ට හුරු පුරුදු අය නොවේ යැයි මා සිතනවා.
හෙන්රි ලෝසන්ගේ ‘ගොපලු බිරිය’ කෙටිකතාවෙන් ඕස්ටේලියාවෙහි වනගතව දිවි ගෙවන එඬේරකුගේ බිරිඳක් හුදෙකලාව සිය දරුවන් සමග ගත කරන කටුක දිවියත්, විෂ ඝෝර නාගයකුගෙන් දරුවන් බේරා ගැනීමට කරන සටනත් මනාව විවරණය වෙනවා. එමා ලාර්කින්ගේ ‘මකර දමනය’ තායිලන්ත ජනකතාවක් ඇසුරින් නිර්මාණය වූවක්. ජනතාව පීඩනයෙන් මුදා ගැනීමට පෙරමුණ ගන්නා පාලකයන්, සම්පත් හා බලය හමුවේ මකරුන් බවට පත්වන ආකාරය එයින් විදහා දැක්වෙනවා. මෙය බොහෝ රටවලට මෙන් ම අපේ රටටත් කදිමට ගැලපෙන නිර්මාණයක්. හෙයින්රිච් බෙල්ගේ ‘මැක්සිකානු ධීවරයා’ උපමා කතාවක් වැනි නිර්මාණයක්. එයින් මැක්සිකානුවන්ගේ සරල, අල්පේච්ඡ ජීවිතය විවරණය කෙරෙනවා. මෙම කෙටිකතා එකතුව පාඨකයන්ට නව අත්දැකීමක් වේවි යැයි මම හිතනවා”
ප්‍ර සාර්ත්‍ර ඇතුළු ප්‍රංශ ලේඛකයන්ගේ ලිවීම් පිළිබඳව ඔබ වඩා උනන්දු වන කෙනෙක්. ෂොන් පෝල් සාර්ත්‍ර නම් ලේඛකයා, ඩීගෝල් නම් වූ ප්‍රංශ පාලකයා දැක තිබුණේ මුළු ප්‍රංශයම හැටියටයි. සාර්ත්‍රගේ ලිවීමේ ඔබ දකින විශේෂත්වය කුමක්ද?
සාංදෘෂ්ඨිකවාදී දර්ශනයෙහි පීතෘවරයා වූ ෂොන් පෝල් සාර්ත්‍ර, 21 වැනි සියවසෙහි ලොව සිටි විශිෂ්ටතම දාර්ශනිකයායි. සාංදෘෂ්ඨිකවාදයෙහි හරය වූයේ මිනිසාගේ පැවැත්ම සාක්ෂාත් කිරීමයි. දෙවැනි ලෝක සංග්‍රාමයෙහිදී ප්‍රංශ රජය යුද්ධයට සම්බන්ධවීම සාර්ත්‍ර හෙළා දුටුවා. යුද්ධය යනු තිරශ්චීන ලෙස මිනිසුන් ඝාතනය කිරීමයි. ඊට එරෙහිව සාර්ත්‍ර නොයෙක් අයුරින් උද්ඝෝෂණ පැවැත්වූවා. මේ නිසා ප්‍රංශ හමුදා නායකත්වයට සාර්ත්‍ර මහත් බාධකයක් වුණා. සාර්ත්‍ර යනු කවුරුදැයි හමුදා නායකයන් දැන සිටියා. එහෙත් යුද්ධයක දී බාධක ඉවත් කළ යුතුයි. එබැවින් හමුදා නායකයන් එක්ව සාර්ත්‍ර අත්අඩංගුවට ගැනීමට ප්‍රංශ පාලක ඩී. ගෝල්ගේ අවසරය ඉල්ලා සිටියා. ඒ මොහොතේ ඩී ගෝල් “සාර්ත්‍ර කියලා කියන්නේ මුළු මහත් ප්‍රංශයටයි. ඔහේලා මට කියන්නේ ප්‍රංශය අත්අඩංගුවට ගැනීමට නියෝගයක් දෙන්න කියලාදැ”යි විමසා සිටියා. එයින් හමුදා නායකයන් දුර්මුඛ වී ගියා. බුද්ධිමතකු රාජ්‍යය අභිභවනය කර ගෞරවයට පත් මොහොතක් ලෙස එය දැක්විය හැකියි.
ඔහු 1964 සාහිත්‍යය සඳහා වන නොබෙල් ත්‍යාගය ප්‍රතික්ෂේප කළා. අල්පේච්ඡ දිවියක් ගත කළ ඔහු ගෞරවනීය සම්මානවලට බියක් දැක්වූවා. මාක්ස්වාදියකුට කිසි දිනෙක ලබා නොදුන් සම්මානයක් තමන්ට ලබා දීමෙන් හැඟෙන්නේ මෙම සම්මානය පක්ෂපාති එකක් බවත්, එයට දේශපාලනය ගෑවී තිබිය හැකි බවත් ඔහු සිතුවා. එහෙත් තමන්ගේ තීරණය ගැන සාර්ත්‍ර පසුතැවෙන්නට පටන් ගත්තේ ඔහුට සාමාන්‍ය ජනතාවගෙන් ලිපි ලැබෙන්නට පටන් ගත් පසුවයි. ඔවුන් කියා සිටියේ එම විශාල මුදල භාරගෙන දිලිඳු ජනයා අතරේ එය බෙදා දිය යුතුව තිබුණු බවයි. එසේ නැතිනම් සමාජ සේවා සඳහා යොදා ගන්නට තිබුණු බවයි. එසේ කළ නොහැකිවීම ගැන ඔහු කනගාටු වුණා.
සාර්ත්‍රගේ ලිවීමේ මා දකින විශේෂත්වය නම් ඔහුගේ විශිෂ්ට අවස්ථා නිරූපණ කුසලතාවයි. එමෙන්ම ඔහු චරිතවල ගති ලක්ෂණ විශ්ලේෂණය කිරීමටත් විශාරදයෙක්. නිදසුනක් ලෙස ‘පවුර’ කෙටිකතාවෙහි මරණය අබියස භීතියට පත්ව සිටින තිදෙනෙකුගේ හැසිරීම් රටා සියුම් නිරීක්ෂණයට ලක් කෙරෙනවා. මරණයේ බිහිසුණු බව කොතරම් ද යත් මෙහි ටොම්ගේ මනසින්, සිරුරෙහි පාලනය ගිලිහී යනවා. ඔහුගේ සිරුරින් මුත්‍ර වැගිරී යාම පවා ඔහු දන්නේ නෑ. මෙය දැඩිව හද සසල කරවන ලෙස සාර්ත්‍ර විවරණය කරනවා.
ප්‍ර මෝපසාං, සාර්ත්‍ර සහ කැමූ වැනි ලේඛකයන් මතු කළ ප්‍රංශ සාහිත්‍යය, ශ්‍රී ලාංකික සාහිත්‍යයට ඇති කළ බලපෑම කෙබඳු ද?
ප්‍රංශ කෙටිකතා සම්ප්‍රදායේ පීතෘවරයා වන්නේ මෝපසාං. ඔහු දහස් ගණනක් කෙටිකතා නිර්මාණය කර තියෙනවා. මෝපසාං අපූර්ව ලෙස කතාව ආරම්භ කර, කුතුහලය වඩවමින් පාඨක සිත ග්‍රහණය කර අනපේක්ෂිත අවසානයක් වෙත යොමුවෙමින් සූර ලෙස ගැටුම නිමා කරනවා. අපේ විශිෂ්ට ලේඛක ජී.බී. සේනානායක, මෝපසාංගේ කෙටිකතා ශෛලිය අපූර්ව ලෙස ශ්‍රී ලාංකික සාහිත්‍යයට හඳුන්වා දෙමින් මහත් මෙහෙවරක් කළා. ඒ අනුව අපේ සාහිත්‍යය පෝෂණය වුණා.
ෂොන් පෝල් සාර්ත්‍ර මෙන්ම ඇල්බෙයා කැමූ මෙහිදී අපගේ අවධානයට ලක් විය යුතුයි. මේ දෙදෙනාම එක සේ ශ්‍රී ලාංකික සාහිත්‍යයේ මෙන්ම නාට්‍ය කලාවේ වර්ධනයට බලපෑම් කළ විශිෂ්ට දාර්ශනිකයන්. කෙටිකතා රැසක් මෙන්ම ජුගුප්සාව නමින් නවකතාවක් නිර්මාණය කළ සාර්ත්‍ර වඩාත් ප්‍රකට වූයේ නාට්‍යකරුවකු ලෙසයි. ඔහුගේ එක් නාට්‍යයක් ‘ධවල් භීෂණ’ නමින් ධර්මසිරි බණ්ඩාරනායක වේදිකා ගත කළා. 1957 දී සාහිත්‍යය සඳහා වන නොබෙල් ත්‍යාගය දිනාගත් කැමූගේ ‘මහාමාරිය, පිටස්තරයා යන නවකතා විශිෂ්ට නිර්මාණ එමෙන්ම ඔහුගේ ‘කලිගියුලා’ නාට්‍යයත් ලාංකික වේදිකාව සැරසුවා.
ප්‍ර ඔබ කවිය, ළමා සාහිත්‍යය, පරිවර්තනය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් නියෝජනය කරන කෙනෙක්. ලෝක සාහිත්‍යය ඇසුරු කරන කෙනෙක්. වර්තමාන ලාංකික සාහිත්‍ය ප්‍රවණතා ගැන සතුටු ද?
උසස් කාව්‍ය, කෙටිකතා මෙන්ම නවකතා ද නිර්මාණය වන පසුබිමක් තියෙනවා. එහෙත් බොහෝ ලේඛකයන්ගේ භාෂා භාවිතය පිළිබඳ ගැටලු තියෙනවා. හැම ලේඛකයකු තුළම තම මවුබස පිළිබඳව මහත් අභිමානයක් තිබිය යුතුයි. එමෙන්ම ඔවුන් මවුබස පෝෂණය කිරීමට උර දිය යුතුයි. එහෙත් එවැන්නක් දක්නට නොලැබීම කනගාටුවට කරුණක්. වියරණය නොතැකීම, වාග් කෝෂය පුළුල් නොවීම, යටිපෙළ අරුත් නොතිබීම, නිර්මාණාත්මක වදන් භාවිත නොකිරීම ආදි අඩුපාඩු බහුලව දක්නට ලැබෙනවා. මෑතක දී මා කියැවූ පොතකින් නිදසුනක් දක්වන්නම්. ‘ටෙලිෆෝනය නාද වෙද්දී ඇය ටෙලිවිශනය නරඹමින් සිටියාය.’ මෙය රස දනවන නිර්මාණාත්මක වැකියක් ද? මෙසේ ලිවීම ලැජ්ජාවට කරුණක් නොවන්නේ ද? අනෙක නිසි වදන් නිසි තැන යෙදිය යුතුයි. තවත් පොතක ‘මිනී ඇඳුම’ යන වදන යොදා තිබුණා. එහෙම ඇඳුමක් තියෙනවා ද? මෘත දේහයකට අන්දවන ඇඳුම හඳුන්වන්නේ ‘ශව වස්ත්‍රය’ කියලායි. මිනී ඇඳුම යන්නෙන් අදහස අධ්‍යහාර කර ගත හැකි වුවත්, නිසි වදන යෙදුවේ නම් පාඨකයා වුව යම් දැනුමක් ලබනවා නොවේද? අනෙක් අතට පළ නොකළ යුතු අශ්ලීල පොත පත පවා ප්‍රකාශයට පත් කෙරෙන යුගයක් මේක.
ප්‍ර සාහිත්‍ය ප්‍රවර්ධනය උදෙසා රජය මැදිහත් විය යුතු යැයි ඔබ සිතනවාද?
ලංකාව වගේ රටක සාහිත්‍ය ප්‍රවර්ධනය උදෙසා අනිවාර්යයෙන්ම රජය මැදිහත් විය යුතුයි. පළමුවෙන්ම රජය පොත් මත පනවා තියෙන බදු ඉවත් කළ යුතුයි. මේ බද්ද සාහිත්‍යය වළපල්ලට යැවීමක්. පොත්පත් මුද්‍රණය සඳහා සහන මිලකට කඩදාසි ලබා දිය යුතුයි. පොත් කර්මාන්තයක් වශයෙන් දියුණු කිරීමට පියවර ගත යුතුයි. පහසු මිලට ජනතාවට පොත් ලබාගත හැකි වැඩපිළිවෙළක් සම්පාදනය කිරීම ඉතා වැදගත්. යහපත් සමාජයක් බිහි කිරීමට නම් සාහිත්‍ය ප්‍රවර්ධනය කළ යුතු වෙනවා.
මේ සඳහා කැප විය යුතු ආයතන රාශියක් ලංකාවේ තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය, අධ්‍යාපන සේවා අමාත්‍යාංශය, සංස්කෘතික අමාත්‍යාංශය, ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලය ආදි ආයතන රැසක් තිබුණත් මේවායේ නිලධාරීන් සිටින්නේ අධි ශීත නිද්‍රාවක කියලයි මට හිතෙන්නේ. පුස්තකාල සේවා මණ්ඩලය නම් ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය ලේඛකයන්ට යම් යම් කොන්දේසි පනවමින් වුවත් පවත්වා ගෙන යනවා. ලංකාවේ පාසල් දස දහසක් තියෙනවා. මේවායින් පාසල් දහසකටවත් හොඳ පුස්තකාල නෑ. ගම්බද පාසල්වල පුස්තකාල ඇත්තේම නැහැ.
ක්‍රීඩාව සඳහා කාල පරිච්ඡේදයක් සේම කියවීම වෙනුවෙන් ද කාල පරිච්ඡේදයක් අනිවාර්ය කළ යුතුයි. ඕස්ට්‍රේලියාවේ පාසල්වල මෙය ක්‍රමවත්ව සිදු කරනවා. එමෙන්ම ඕස්ට්‍රේලියාවේ සෑම පාසලකම වාර්ෂිකව පුස්තකාල සතියක් පවත්වනවා. එම සතිය පුරාම සිසුන්ට වැඩමුළු, විවිධ තරග, ක්‍රියාකාරකම් පවත්වනවා. පන්ති මට්ටමින් පොත් 20ක් නිර්දේශ කර ඒවා කියවා අසා ඇති ප්‍රශ්නාවලියකට පිළිතුරු සැපයිය යුතු වෙනවා. එහි ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනමනවා. සමහර පාසල්වල ළමා පොත් ලිවීමේ තරග පවත්වා, ජයග්‍රාහක නිර්මාණ මුද්‍රණය කර පාසලට මෙන්ම සිසුන්ටත් මුදල් උපයා දෙනවා. ඕස්ට්‍රේලියාවේ සෑම නගර සභා, විශ්වවිද්‍යාල පුස්තකාලයකම මේ පුස්තකාල සතිය අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු දෙයක්. අනෙක ඕස්ට්‍රේලියාවේ සෑම පුරවැසියකුගෙන්ම නගර සභාවට අය කරන බදු මුදලින් සියයට15 ක් එහි පුස්තකාලවලට සෘජුවම වෙන් කෙරෙනවා. අපේ රටෙත් මේවා මෙලෙස කරනවා නම් කොතරම් අගේද?
විද්‍යුත් මාධ්‍ය, පරිගණක ක්‍රීඩා ආදිය හේතුකර ගෙන කියවීමෙන් දුරස් වන යොවුන් පරපුර පොත පත වෙත සමීප කරවීම වැඩිහිටියන්ගේ වගකීමක්. නැතහොත් ඔවුන් අධ්‍යාපනික වශයෙන් පමණක් නොව කායික, මානසික වශයෙන් ද පිරිහී යාමට ඉඩකඩ තියෙනවා. බටහිර රටවල් දැනටමත් මේ නිසා විපාක විඳිමින් සිටිනවා. පොතක් කියවීම යනු භාවනාමය වින්දනයක්. එයට ඔවුන් හුරු කළ යුතුයි.
ප්‍ර අපේ නූතන සාහිත්‍ය විචාරය ගැන මොකද සිතන්නේ?
අපේ නූතන සාහිත්‍ය විචාරය උසස් මට්ටමක පවතිනවා. විශේෂයෙන්ම මහාචාර්ය විමල් දිසානායක, මහාචාර්ය කුලතිලක කුමාරසිංහ, සේන තෝරදෙනිය වැනි විද්වතුන් සාහිත්‍ය විචාරය වෙනුවෙන් කරන ලද මෙහෙවර අගය කළ යුතුයි. එමෙන්ම මනා හැදෑරීමකින් යුතුව සාහිත්‍ය විචාරයෙහි යෙදෙන අනුර බී. සෙනෙවිරත්න, උදේනි සරත්චන්ද්‍ර, කැත්ලීන් ජයවර්ධන, සුනිලා විජේසිංහ, චන්දන ඉළංදාරිගේ වැනි අයත් කරන්නේ මහත් මෙහෙවරක්. එහෙත් ලේඛකයන්ට මෙන්ම විචාරකයන්ට පුවත්පත්වලින් ලැබෙන ඉඩකඩ සහ අවස්ථා මද වීම කනගාටුවට කරුණක් ලෙස මම දකිනවා.
(***)
සංවාද සටහන - ගාමිණී කන්දේපොළ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd