1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත අවුරුදු 45 ක් පුරා මූලික දේශපාලනික හා සිවිල් අයිතිවාසිකම් විනාශයට පත් කරන ව්‍යවස්ථාදායක තන්ත්‍රයක අඩිතාලමය යන බලවත් ප්‍රහාරයට භාජන වී තිබේ. එය යුක්තිය අහිමි කිරීම සඳහා වූ උපකරණයක් ලෙස විවිධ සන්දර්භයේ දී අපකීර්තියට භාජන වී ඇති අතර, අප රට සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදී රටක් වශයෙන් තිබූ ජාත්‍යන්තර පිළිගැනීම ද අනතුරේ හෙළා තිබේ.

කලින් කලට 1982 අංක 10 දරන පනත මගින් හා 1988 අංක 22 දරන පනත මගින් ව්‍යවස්ථාදායක මැදිහත්වීම් සිදු කර ඇත.

ප්‍රතිසංස්කරණවල කටයුතු කඩිනම් කළ යුතු බව 2022 වර්ෂය වන විට පසක්ව තිබුණි. 2022 මාර්තු 22 වැනිදා එවක සිටි විදේශ අමාත්‍යවරයා වශයෙන් මම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට සංශෝධන මාලාවක් ඉදිරිපත් කර ඒවා සම්මත කර ගැනීමට කටයුතු කළෙමි. මෙය සිදු කරන ලද්දේ 2022 අංක 12 දරන පනත ආකාරයෙනි. මෙම සංශෝධනවල මූලික අරමුණු වූයේ නඩු විභාගයකින් තොරව රඳවා තැබීමට අවසර ලැබෙන උපරිම කාලය අඩු කිරීම, රඳවා තැබීම සම්බන්ධයෙන් අධිකරණයේ අධීක්ෂණය වඩා යහපත් කිරීම, නීතිඥවරයකුගේ සේවය හා සන්නිවේදනය සඳහා අවස්ථාව දීම, නඩු විභාග කඩිනම් කිරීම, ඇප දීම පිළිබඳ නීතිය ලිහිල් කිරීම, සහ මූලික අයිතිවාසිකම් පෙත්සම් සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණ පාත්‍රතාව ලබා දීමය.

එය අත්‍යාසන්න සංකා ආමන්ත්‍රණය කරනු පිණිස වූ හදිසි සංශෝධන හඳුන්වා දීමට පමණක් සීමා වූ ප්‍රාරම්භක පියවරක් පමණක් බව මම පාර්ලිමේන්තුවේ දී පැහැදිලිව ප්‍රකාශ කළෙමි. අවසාන අරමුණ විය යුත්තේ පවත්නා නීතිය ඒ ඒ අවස්ථාවට අනුව තාවකාලික ලෙස වෙනස් කිරීම නොව සමස්තයම ග්‍රහණය කර ගන්නා නව ව්‍යවස්ථා සම්පාදනයක් පැනවීම බව පාර්ලිමේන්තුවට දැන්වීමි. මෙම අරමුණ උදෙසා රාජ්‍ය ආරක්ෂක, අධිකරණ හා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරුන්ගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් විස්තීර්ණ සමාලෝචනයක් සිදු කෙරෙමින් පැවතුණි.

2022 ජූනි 13 වැනිදා ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 50 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් මම අදාළ නීතිය ප්‍රතිසංස්කරණය කෙරෙන තෙක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කිරීම පිළිබඳ තත්වාකාර විරාමයක් ක්‍රියාත්මක වනු ඇති බව මම ස්ථිරසාර සහතිකයක් ලබා දුනිමි. එම අවස්ථාවේදී, පොලිස්පතිවරයා ඒ අනුව උපදෙස් නිකුත් කර තිබුණ ද, අවාසනාවට ඉන් පසු ආණ්ඩුවේ වෙනසත් සමග මෙම ප්‍රතිඥාව අනුව කටයුතු සිදු නොවුණි.

ත්‍රස්තවාදය පිළිබඳ පූර්ණ ව්‍යවස්ථා සම්පාදනයක් පනවනු පිණිස විවිධ රජයන් විසින් තුන් වතාවක් උත්සාහ දරා තිබේ. මේවා නම් 2018 සැප්තැම්බර් මාසයේ ගැසට් පත්‍රයේ පළ කරන ලද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත සහ 2023 මාර්තු හා සැප්තැම්බර් මාස තුළ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත් දෙකය. මහජන විරෝධය හමුවේ මේවායින් කිසිවක් නීති පොතට සපැමිණියේ නැත.

වසරකට ආසන්න කාලයක් මුළුල්ලේ පිළියෙල කෙරෙමින් පැවැති ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත (PSTA) නමැති වත්මන් කෙටුම්පත 2025 දෙසැම්බර් මාසයේදී පළ කරන ලදී. එය ජනිත කර තිබූ ඉහළ මට්ටමේ අපේක්ෂණය කවරක් වුව ද, ශෝචනීය ලෙස මෙම පනත් කෙටුම්පත මූලිකාංගමය අංශවලින් යුක්තිය හා නිදහස කරා නීතිය ප්‍රගමනය කරවීමට අසමත් වෙයි.

 

II. නිර්වචනය හා විෂය සීමාව පිළිබඳ ගැටලු‍

අසාමාන්‍ය අපරාධ වගකීම් පද්ධතියක සුජාත මායිම් පිළිබඳ කේන්ද්‍රිකවද විෂය ආමන්ත්‍රණය කිරීමෙහිලා එහි පූර්ණ අසමත්කම මෙම කෙටුම්පත් ව්‍යවස්ථා සම්පාදනයේ ප්‍රධාන දුර්වලතාවලින් එකක් වන අතර එමගින් නීතියේ ආධිපත්‍යය තුළ ගැබ්ව ඇති වැදගත්ම අයිතිවාසිකම් විතැන් කෙරේ. ඉතාමත් අත්‍යන්ත අවස්ථාවලදී ආරක්ෂාව පිළිබඳ අවශ්‍යතා සාමාන්‍ය නීතිය මගින් සුරක්ෂිත කරනු ලබන නිදහස පිළිබඳ සහතික සමග පරස්පර වූ ක්‍රියා මාර්ගවල අවශ්‍යතාව මතු කරන්නේය යන කාරණය සියලු‍ම ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතීන් තුළ පිළිගැනෙන සත්‍යයකි. කෙසේ වුවද, එම සීමා නිර්ණ මායිම් රේඛා සියල්ල අබිබවන වැදගත්කමින් යුක්ත වෙයි. මෙම ස්ථාවරය අනුව, මෙම යෝජිත ව්‍යවස්ථා සම්පාදනය පෙර නොවූ විරූ අපේක්ෂා කඩ කිරීමකි.

ව්‍යුහාත්මකව ගත් කල එහි මූලික පදනම මගින්ම එය ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය මගින් පනවා ඇති නිර්ණායක උල්ලංඝනය කරයි. මෙය ත්‍රස්තවාදය - ආශ්‍රිත වැරැදි සම්බන්ධයෙන් වූ සම්පාදක ධාතු අතරින් මානසික අංගය හෙවත් චෛතසික සංරචකය (mental element) පිළිබඳ නිර්වචනය පිළිබඳව මෙම පනත් කෙටුම්පතේ ප්‍රවේශය මගින් මැනවින් ප්‍රදර්ශනය කෙරේ. වරදක මානසික අංගය අපරාධ වගකීම යම් උචිත සීමා තුළට සීමා කිරීමෙහිලා තීරණාත්මක සාධකවලින් එකක් වෙයි.

ජාත්‍යන්තර නීති තුළ මෙම සන්දර්භයේදී, ද්විත්ව-ස්ථර චේතනාවකින් මරණය හෝ බරපතළ තුවාල කිරීමෙන් හෝ ප්‍රාණ ඇපකරුවන් තබා ගැනීමෙන් සමන්විත එහෙත් අත්‍යවශ්‍ය සාධකයක් ලෙස ත්‍රාසයේ පාලනයක් ඇති කිරීමේ හා පොදු ජනයා බියගැන්වීමේ සැලසුම් සහගත චේතනා සමග බද්ධ වූ දෙමුහුන් මානසික සංරචකයක් තිබිය යුතු යැයි ජාත්‍යන්තර නීතිය මගින් නියම කෙරේ. මෙම සංරචක දෙකම ත්‍රස්තවාදය-ආශ්‍රිත වරදක වගකීම සඳහා වූ අනිවාර්ය අවශ්‍යතා වේ. මෙම මූලික පූර්ව අවශ්‍යතාව යෝජිත ව්‍යවස්ථා සම්පාදනය මගින් උල්ලංඝනය කෙරෙන බව සැලකිය හැක්කේ, 3(1) වගන්තියේ පළමු සංරචකය සම්බන්ධයෙන් ඍජු චේතනාව හෝ දැනුම අවශ්‍ය කෙරෙන ප්‍රවේශය අනුගමනය කරන නමුදු 3(2) වගන්තියේ දෙවැනි සංරචකය තුළ පුද්ගලයකුගේ මරණය, තුවාල හෝ ප්‍රාණ ඇපකරුවන් ග්‍රහණයට ගැනීම වැනි “ප්‍රතිවිපාකයක්” සම්බන්ධයෙන් වක්‍ර අනුමානයක් කිරීමේ ප්‍රවේශයක් අනුගමනය කරන බැවිනි. මෙම නිර්වචන ක්‍රමය මගින් වගකීම පැවරීම සඳහා වූ සීමාව බරපතළ ලෙස පහළ දැමීමෙන් ජාත්‍යන්තර නීතිය තුළ ස්ථාපිතව ඇති සාරධර්ම පද්ධතියේ මූලයටම පහර එල්ල වේ.

මෙම නීති කෙටුම්පත ත්‍රස්තවාදයේ වර්ණය ගැන්වෙන ක්‍රියා ප්‍රභේද 13කට නොඅඩු සංඛ්‍යාවක් ඇති කරයි. මෙම පුළුල් වැරැදි එකතුව මගින් සාමාන්‍ය අපරාධ ක්‍රියා සහ ත්‍රස්තවාදය සම්බන්ධ වන අතිශයින් සීමිත ක්‍රියා ප්‍රභේදය අතර ඇති වෙනස බොඳ කරනු ලබනවාය යන්න එයට එරෙහිව ඇති බලවත්ම විරෝධයයි. ත්‍රස්තවාදය සම්බන්ධ ක්ෂේත්‍රයේ ව්‍යවස්ථා සම්පාදනයේ පළමු සහ නැතිවම බැරි අවශ්‍යතාව වන්නේ අර්ථ නිරූපනය සම්බන්ධයෙන් සුනම්‍යතාව උදෙසා අවකාශයක් රහිත, නිරවුල්වීමේ හා බහු අර්ථවලින් තොරවීමේ අවශ්‍යතාවයි. එයට පරස්පර ලෙස, දණ්ඩ නීති සංග්‍රහය සහ වෙනත් සාමාන්‍ය නීති තුළ සිය නිසි තැන සොයා යා යුතු, එහෙත් ත්‍රස්තවාදය යන හංවඩුවට කිසිසේත් හසු නොවිය යුතු වැරැදි ගණනාවක් මෙම කෙටුම්පත් නීතිය තුළ අඩංගු වෙයි. බරපතළ නිදසුන් වන්නේ යම් මහජන භාවිත ස්ථානයකට හෝ පොදු දේපළකට බරපතළ හානි, කොල්ල කෑමේ, කප්පම් ගැනීමේ හෝ සොරකම් කිරීමේ වරද, යම් විද්‍යුත්, ස්වයංක්‍රීයගත හෝ පරිගණකගත පද්ධතියකට බරපතළ බාධා හෝ හානි හෝ අවහිර කිරීම් සිදු කිරීමයි. [3(2) වගන්තිය]

අතීතයේ ප්‍රත්‍යක්ෂ අත්දැකීම් හමුවේ, මෙම වැරැදි ත්‍රස්ත-විරෝධී නීතියක් තුළට ඇතුළත් කිරීම වෙනත් පරමාර්ථ උදෙසා මෙම පද්ධතිය වැරැදි ලෙස භාවිත කිරීමට කෙරෙන ආරාධනාවකට වඩා අඩු නොවන අතර, එමගින් සන්නිවේදනය හා රැස්වීම් පැවැත්වීම වැනි වැදගත් ක්ෂේත්‍ර තුළ අප පතන ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අන්තරායට වැටීමේ හැකියාව ද ඇත. මෙය විශේෂයෙන්ම මෙසේ වන්නේ අදහස් කර ඇති චේතනා ප්‍රභේද “ශ්‍රී ලංකා රජයට හෝ අන් කවර හෝ රජයකට හෝ ජාත්‍යන්තර සංවිධානයකට යම් ක්‍රියාවක් කිරීමට හෝ නොකර සිටීමට බල කිරීම” [3(1)(ඇ) වගන්තිය] වැනි නොපැහැදිලි ක්‍රියාවක් අන්තර්ග්‍රහණය කර ගන්නා බැවිනි. මෙහි අන්තරාය සහමුලින්ම නීත්‍යනුකූල විරෝධතාවලට හා උද්ඝෝෂණවලට බව පැහැදිලිය. මෙයට අදාළ දඬුවම අවුරුදු 20 දක්වා වූ බන්ධනාගාරගත කිරීමක් සහ රුපියල් කෝටි 2 ක් (මිලියන 20 ක්) ඉක්මවන දඩයක් [4(ආ) වගන්තිය] බව අප සිහිපත් කර ගත යුතු ය.

මෙම පැහැදිලිවම තර්ජනාත්මක ලක්ෂණය මෙම පනත් කෙටුම්පතෙහි අනෙකුත් ලක්ෂණවලින් තවත් උග්‍ර කෙරේ. ඉන් කිහිපයක් මෙහි සඳහන් කරනු වටී.

(i) පරිපූරක වැරැදි සකස් වී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සුරක්ෂිත කර ඇති තනි පුද්ගල හා කණ්ඩායම් අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම කෙරෙහි නිවර්තක ඵලයක් පිවිසවීමට තරම් පුළුල් පද හා අර්ථයන්ගෙන්ය. මෙහි 8(1) වගන්තියේ තීර සටහනට අනුව එම වගන්තිය “ත්‍රස්තවාදය ආශ්‍රිත” ක්‍රියා පිළිබඳව කටයුතු කෙරෙතැයි ගම්‍ය කෙරෙන අතර එය ඉතා නොපැහැදිලි හා සියල්ල ග්‍රහණය කර ගන්නා වාක්‍යාංශයකි. මෙම විධිවිධානයෙහි පද පෙළ ත්‍රස්තවාදී වරදක් සිදු කිරීම “සමග සම්බන්ධ” තැනැත්තකු මත වගකීම පනවයි. මෙහි 9 වගන්තියෙහි මාතෘකාව වන “ත්‍රස්තවාදය දිරිගැන්වීම” පැහැදිලිවම පුළුල්ය. “වක්‍ර දිරිගැන්වීම” යන්නෙහි සියලු‍ ස්වරූප ආවරණය කරන එහි විෂය සීමාව නිදසුනක් ලෙස 2022 ආණ්ඩු වෙනසක් ඇති කළ ‘අරගලය’ ආශ්‍රිත ක්‍රියාකාරකම් වැනි ඒවා විශාල පරාසයක් එහි විෂය පථය තුළට අන්තර්ගත කර ගනී.

නිසැකවම සියලු‍ ආකාරවල සාමාජීය ක්‍රියාකාරිත්වය හානියට නිරාවරණයව පවතී. “ත්‍රස්තවාදී ප්‍රකාශන ව්‍යාප්ත කිරීම” යන ශීර්ෂයැති 10 වගන්තිය “ත්‍රස්තවාදී ප්‍රකාශනයක් ලබා ගැනීමට, කියවීමට, සවන් දීමට හෝ නැරැඹීමට හැකියාව ලැබෙන යම් සේවාවක් වෙනත් තැනැත්තන්ට සපයන” කවර හෝ තැනැත්තකු ත්‍රස්තවාදය සඳහා වගකීමේ දැල තුළට ගෙන ඒම තරම් දුරට විහිදෙයි. අවිවාදාත්මකවම, සමස්ත ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හා සමාජ මාධ්‍ය මාලාවම අනතුරේය.

(ii) එහි තවත් අනර්ථකර කොටස් ද තිබේ. මෙම කෙටුම්පත් කරන ලද නීතිය ප්‍රකාශ පළ කිරීම හා වචන කතා කිරීම (9 වගන්තිය) පිළිබඳ සන්දර්භය තුළ සහ ප්‍රකාශන ව්‍යාප්ත කිරීම (10 වගන්තිය) පිළිබඳ සන්දර්භය තුළ “අනවධානී බව” පිළිබඳ අදහස නොමසුරු ලෙස භාවිත කරයි. මෙය චේතනාවට විකල්ප මානසික තත්වයකි. එහෙත් අපරාධ අධිකරණ කටයුතු ක්ෂේත්‍රය තුළ “අනවධානීත්වය” (recklessness) යන සංකල්පය ක්‍රියාත්මක වන්නේ ඉතාම පටු සීමාවන් ඇතුළතය. මෙය නිසි ලෙස නාමිත ත්‍රස්තවාදී වැරැදි අයත් පන්තිය අබිබවා යන ලෙස වගකීම ව්‍යාප්ත කරන තවත් උපක්‍රමයකි.

(iii) යෝජිත නීතියෙහි තව තවත් දැඩි විරෝධතාවට විවෘත ලක්ෂණයක් වන්නේ මෙම තදබල දඬුවම්වලට පාත්‍ර වන කර්කශ ස්වරූපයේ වගකීම, හුදු පැහැර හැරීම් දක්වා ද ව්‍යාප්ත කිරීමයි. මෙය 15 වගන්තියෙහි ඵලය වන අතර එමගින් තොරතුරු සැපයීමට අපොහොසත් වීම ත්‍රස්තවාදී වරදක් බවට පත් කෙරේ. චූදිතයා ක්‍රියාවක් කිරීමෙන් වැලකී සිට තිබීම පමණක් වන අවස්ථා දක්වා වගකීමෙහි මායිම් පුළුල් කිරීම කෙරෙහි නූතන අපරාධ නීතිය තුළ ඇති ප්‍රවණතාව ප්‍රතිවිරුද්ධ එකකි. ශ්‍රීමත් ෆිට්ස් ජේම්ස් ස්ටීවන් ගෙන් පසු එක්සත් රාජධානියේ ශ්‍රේෂ්ඨතම අපරාධ නීතිඥවරයා වන එවක ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ වයිනේරියානු මහාචාර්යවරයා වූ ශ්‍රීමත් රූපට් ක්‍රොස් විසින් ද විස්තර කරන ලද පරිදි, මගේ ද උපාධ්‍යායයන්ගෙන් කෙනකු වන කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ග්ලැන්විල් විලියම්ස් ප්‍රතිපත්තියක් වශයෙන් ත්‍රස්තවාදී වැරැදි කෙසේ වෙතත්, සාමාන්‍ය අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් වුව ද පැහැර හැරීම් සම්බන්ධයෙන් අපරාධ වගකීම ආරෝපණය කිරීමට විරුද්ධව සිටියේය. මෙම ක්‍රියාමාර්ගය, මෙම කෙටුම්පතෙහි ගැබ්ව ඇති අන් සියලු‍ම උපකරණ හා සංයෝජිතව, අත්තනෝමතික ලෙස ත්‍රස්තවාදී සම්බාධක පැනවීමේ පහසු මගක් දේශපාලනිකව අභිප්‍රේරිත විධායකය හස්තයෙහි තබන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සාමාන්‍යයෙන් පිළිගත් අයිතිවාසිකම් භුක්ති විඳීම අනතුරේ හෙළමිනි.

(iv) විරෝධතා, මහජන සහාය ලබා ගැනීමක හෝ විරුද්ධ මතයක් පළ කිරීමක යෙදී සිටීම, හෝ වැඩවර්ජනවල යෙදී සිටීම යන ක්‍රියාකාරකම් ත්‍රස්තවාදී චේතනාව ඇති බවට නිගමනය කිරීම සඳහා ප්‍රමාණවත් ලෙස නොසැලකිය යුතු බවට වන විධිවිධානයක් මගින් එම ක්‍රියාකාරකම් සඳහා යම් ආරක්ෂාවක් ලබා දෙතැයි පෙන්වන 3(4) වගන්තියෙහි ඇත්තේ යම් මවා පෑමේ ස්වභාවයකි. එය යම් සුව පහසු හැඟීමක් ඇති කරන අතරම, එහි අදාළ කර ගත හැකි බව යෝජිත නීතියේ ඇති සමාන්තර විධිවිධාන මගින් නිෂේධ කෙරේ. නිදසුනක් ලෙස රාජ්‍යය මත දැඩි පීඩනය ඇති කිරීමේ චේතනාව යන පදනම මත වගකීම පැනවීමේ හැකියාව ඇති කරන 3(1)(ඇ) වගන්තිය දැක්විය හැකි ය. මෙම විධිවිධාන අතර ඝට්ටනය මගින් නිර්මාණය කෙරෙන අවිනිශ්චිතතාව ප්‍රජාතන්ත්‍රවාදී සුරැකියාවේ හරය අයහපත් අවදානමකට ලක් කරයි.

 

III. අත්අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීම පිළිබඳ විධායක අංශයේ අධික බලය

ත්‍රස්තවාදී වැරැදිවල ප්‍රභේද නීත්‍යනුකූල සීමා ඉක්මවා පුළුල් කිරීම ඉදිරියේ එන අන්තරායක පෙර නිමිති පළ කරයි. මෙය සන්නද්ධ හමුදා, පොලිසිය හා වෙරළාරක්ෂක පිරිස් යන අය විසින් නියෝජනය කරනු ලබන විධායකය මත ඇති වගකීම් භාරය පිළිබඳ මූලික හරය දුර්වල කිරීමට විධායකය මත පවරා දෙනු ලබන අධිකාරි බලයක ස්වරූපය ගනී. ත්‍රස්තවාදී වැරැදිවල වපසරිය පුළුල් වන තරමටම, එම නිලධාරීන්ට පුරවැසියන්ගේ නිවෙස්වලට ඇතුළුවීමේ, පුද්ගලයන් ප්‍රශ්න කිරීමට භාජන කිරීමේ, ලිපිලේඛන ග්‍රහණයට ගැනීමේ, පොදු මං මාවත්වලදී නවතා පරීක්ෂා කරන මෙහෙයුම් සිදු කිරීමේ, හා වෙනත් ආකාරවල හිංසනයේ යෙදීමේ ක්‍රියාමාර්ග ගැනීම මගින් නිදහස ආක්‍රමණය කිරීමට ලැබෙන බලය ද ඉමහත් ය. මෙම බලතල පූර්ණ වශයෙන්ම පවරා දීම පිළිබඳව කිසිම පැකිලීමක් මෙම කෙටුම්පතෙහි නැත.

 

(i) රැඳවුම් නියෝග

මෙය දශක හතරකට අධික කාලයක් මුළුල්ලේ දැඩි විවේචනයට භාජන වූ 1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙහි එක් ලක්ෂණයකි. එකී 1979 පනතේ 9(1) වගන්තිය ප්‍රකාරව, පළමු අවස්ථාවේදී මාස තුනක උපරිම කාලයක් සඳහා රැඳවුම් නියෝග නිකුත් කිරීමටත්, එකතුව මාස 18 නොඉක්මවන උපරිමයකට යටත්ව වරකට මාස තුන නොඉක්මවන කාලයක් සඳහා එම රැඳවුම් නියෝග දීර්ඝ කිරීමටත් ආරක්ෂක අමාත්‍යවරයා හට බලය පැවරේ. කැපී පෙනෙන ලෙස, වත්මන් කෙටුම්පතෙහි ද එයට අනුරූප විධිවිධානය අඩංගු කර ඇති අතර එමගින් පොලිස්පතිවරයාගේ ඉල්ලීම මත හෝ තත් කාර්යය සඳහා පොලිස්පතිවරයා විසින් බලය පවරන ලද නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ ඉල්ලීම මත [29 (1) වගන්තිය] රැඳවුම් නියෝග නිකුත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත බලය පැවැරේ. [29(2) වගන්තිය].

එකම වෙනස ඇත්තේ රැඳවුම් කාලපරිච්ඡේදය සම්බන්ධයෙන් පමණි. නව කෙටුම්පතට අනුව, රැඳවුම් නියෝගය වරකට මාස දෙකකට වඩා වැඩි කාලපරිච්ඡේදයක් සඳහා දීර්ඝ කළ නොහැකි වන අතර, උපරිම රැඳවුම් කාලපරිච්ඡේදය අවුරුදු එකකි. මෙම සුළු වෙනසට යටත්ව, රැඳවුම් නියෝගය නැමැති උපකරණයේ උපද්‍රව අඩුවකින් තොරව අඛණ්ඩව පවතී.

මෙම කෙටුම්පතෙහි විශේෂයෙන්ම සිත නොසන්සුන් කරවන දේ වන්නේ රැඳවුම් නියෝගයක් නිකුත් කිරීම සඳහා දක්වා ඇති හේතු ය. විග්‍රහ කර ඇති හේතු හතරකි. මේවා අතර “සැකකරු සම්බන්ධයෙන් විමර්ශන කිරීමට පහසුකම් සැලසීම සඳහා” [29(3)(අ) වගන්තිය] යන්න ද අඩංගු වේ. මෙය ඉතාමත්ම සාහසික අවභාවිතයකට අවසර දීමට තරම් පුළුල්ය. මෙතරම් සුනම්‍ය ලෙස වදන්ගත කරන ලද විධිවිධානයකින් අධිකරණමය සමාලෝචනයකින් තොරව රඳවා තැබීමට ඉඩ සැලසේ. සාමාන්‍ය අපරාධ අධිකරණ පද්ධතියක ඇති නිසි ක්‍රියාවලියේ අවශ්‍යතාව හෙවත් ස්ථාපිත රීති හා මූලධර්ම අනුව නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ඉවත් කෙරෙනුයේ නීතියේ ආධිපත්‍යයෙහි මූලධර්මවලට සහමුලින්ම ප්‍රතිවිරුද්ධ නීති තන්ත්‍රයක් මගිනි.

අප රට තුළ රැඳවුම් භාර ස්ථාන තුළ නීති විරෝධී ඝාතන හා වධදීම් පිළිබඳ ශෝචනීය අතීතයක් පැවතුණි. මෙහි පුනරාවර්තනය වන ලක්ෂණය වන්නේ ඒවා සාමාන්‍යයෙන් අධිකරණමය නොවන රැඳවීම් තුළ සිදුවීමයි. මෙම යථාර්ථය හමුවේ සහ අවභාවිතය සඳහා ඇති මෙම පැහැදිලි මගට එරෙහි අඛණ්ඩ විරෝධතා අවඥාවෙන් බැහැර කරමින්, වත්මන් කෙටුම්පත උද්දාමයෙන් යුතුව මෙම සුවපහසු ඉඩකඩ පුළුල්ව විවර කරයි. මෙය 30(1) වගන්තියෙන් ඉටු කෙරෙන අතර එය “අනුමත රඳවා තැබීමේ ස්ථාන” සඳහා නිල පිටුබලය ලබා දෙයි. මින් පෙනී යන්නේ අතීතයේ කටුක අත්දැකීම් සමුච්චය සහමුලින්ම අවධානයෙන් ගිලිහී ගොස් තිබෙන බවයි.

බොහෝ කොටම ආටෝපය පිණිසම වූ යම් අනුග්‍රහ තිබුණ ද, යෝජිත නීති සම්පාදනයේ ව්‍යුහය ඇතුළත රැඳවුම් නියෝගවල වින්දිතයන් පෙර ව්‍යවස්ථාපිත තන්ත්‍ර යටතේ තිබුණාට වඩා නොඅඩු ලෙස විධායකයේ කරුණාව මත සැලකිය යුතු ලෙස යැපෙනු ඇත.

විමර්ශන සඳහා අනිවාර්ය උපරිම කාලපරිච්ඡේදයක් නොමැතිකම තුළ, 36 වගන්තියේ “සෑම විමර්ශනයක්ම අනිසි ප්‍රමාදයකින් තොරව සම්පූර්ණ කරනු ලැබිය යුතුය” යන අනුශාසනය හුදෙක් භක්තිමත් ප්‍රාර්ථනයකට වඩා වැඩි දෙයක් නොවේ. එසේම විවෘත අවසානයක් තිබිය හැකි මෙම විමර්ශනය සම්පූර්ණ කර ඒ පිළිබඳ වාර්තාව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරනු ලැබූ විටද, අදාළ සැකකරු නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයාට ඇති බලය දැඩි ලෙස සීමා කර තිබේ. එයට හේතුව 36(3) වගන්තිය ප්‍රකාරව නිදහස් කිරීම සඳහා වන අධිකරණ නියෝගයක් දිය හැක්කේ වන්නේ වාර්තාවෙහි සැකකරුට එරෙහිව චෝදනාවක් අනාවරණය වී නොමැති විට පමණක් වීමයි. මෙම තත්වයෙහි ඉමහත් සරදම් සහගත බවක් ඇත.

මෙම හිදැස විධායකයට ඉතාමත්ම පහසුවෙන් රිංගා යා හැකි එකකි. සම්පූර්ණයෙන්ම චෝදනාවකින් තොර ඒවා නොව, ඉතාමත් අතාර්කික, ගොතන ලද, ඇදහිය නොහැකි චෝදනා අධිකරණ හමුවට එන බව අතීතයේ විකාරරූපී ප්‍රායෝගික අත්දැකීම් මැනවින් පෙන්වා දී තිබේ. යෝජිත ව්‍යවස්ථා සම්පාදනය ඉතා සාමාන්‍ය තත්වයක් වූ මෙම කාරණය සම්බන්ධයෙන් ඉක්මනින්ම අවශ්‍ය වන සහනය ලබා දීමට මහේස්ත්‍රාත්වරයාට අධිකරණ බලය ලබා නොදීමට තීරණය කර තිබේ.

මෙහි වඩාත් අන්තරායකර විධිවිධානය වන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කරනු ලබන රැඳවුම් නියෝගයක් අනුව, දැනටමත් අධිකරණමය භාරය යටතේ සිටින සැකකරුවකු පොලිස් භාරයට මාරු කිරීමට ඇති හැකියාවයි. මෙම නව කෙටුම්පත එහි 39(1) වගන්තිය තුළින් අනර්ථකර ප්‍රතිවිපාකවලින් ගහන එකී බලය ලබාදීමට අපේක්ෂා කරයි. අත්අඩංගුවට ගැනීමට පෙර අදාළ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට ද නොදැනෙන පරිදි සැකකරු වරදක් සිදු කර තිබුණේය යන ව්‍යාජ හේතුව දක්වමින් මෙම බලය ක්‍රියාවේ යෙදවිය හැකි ය. යෝග්‍ය ගමන් දිශාව පොලිස් භාරකාරත්වයේ සිට අධිකරණ භාරත්වය දෙසට වුවද, ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට සැකකරු යොමු කිරීම මෙම විධිවිධානයේ අද්භූත ප්‍රතිඵලයයි. මහාධිකරණ විනිසුරුවරයකුගේ මැදිහත්වීම පිළිබඳව අවධානය යොමු කළ හැකි වුවද, ආරක්ෂක තත්වයේ බැරෑරුම්කම සහ විධායකය විසින් කෙරෙන අවධාරණය ද සමග ප්‍රායෝගිකව එයට විරුද්ධ වීම දුෂ්කර විය හැකි ය.

 

IV. වෙනත් මර්දනකාරී මැදිහත්වීම්

(අ) සීමා කිරීමේ ආඥා

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක වූ සමස්ත කාලය තුළම දැඩි දෝෂාරෝපණයට භාජන වූ මර්දනයේ අනෙකුත් උපකරණ උපද්‍රවයකින් තොරව එලෙසම තබා ගැනීම ඉතා සුවිශේෂී ය.

සීමා කිරීමේ ආඥා එය මැනවින් විදහා දක්වන උදාහරණයකි. සීමා කිරීමේ ආඥාවක් නිකුත් කිරීමේ අධිකාරි බලය නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ නිලයේ හෝ ඉන් ඉහළ නිලයක සිටින ඕනෑම පොලිස් නිලධාරියකුට ලැබේ. (64 වගන්තිය). එහි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා ඇති එකම වෙනස, පෙර එම නියෝගය ඍජුවම නිකුත් කිරීමේ බලය අමාත්‍යවරයා වෙත තිබීමයි. එය ප්‍රතිසංස්කරණය සඳහා කළ පසු උත්සාහයේ දී මෙය පිළිගත නොහැකි එකක් ලෙස පැහැදිලි ලෙසම පිළිගත් අතර, 2023 සැප්තැම්බර් මාසයේ යෝජනා කරන ලද එහෙත් සම්මත නොවුණු සංශෝධන පනත් කෙටුම්පත තුළ එම ආඥාව නිකුත් කිරීමේ මූලිකත්වය ජනාධිපතිවරයා සතු වූ අතර ආඥාව නිකුත් කිරීමේ අධිකරණ බලය මහාධිකරණය වෙත තිබුණි. මේ සමග සන්සන්දනය කරන කල, වත්මන් යෝජනාව ප්‍රතිගාමී එකක් වන්නේ එම ඉල්ලීම (පැහැදිලිවම විධායකයේ නියෝගය මත) පොලිස් නිලධාරියකු විසින් කරනු ලබන අතර, ආඥාව නිකුත් කිරීමේ අධිකරණ බලය වඩා පහළ අධිකරණයකට පවරා ඇති බැවිනි.

තවත් පැත්තකින් සලකා බලන කල, 2023 යෝජිත නව්‍යකරණයට වඩා වත්මන් යෝජනාව අසතුටුදායක වන්නේ 2023 යෝජනාවෙහි අපේක්ෂිත ආඥාව “අවශ්‍ය” හා “සමානුපාතික” විය යුතුය [80(4) වගන්තිය] යන්න වත්මන් යෝජනාවෙහි මග හැර ඇති බැවිනි. මෙම අර්ථයෙන් ගත් කල, ප්‍රතිසංස්කරණය කෙරෙහි ප්‍රශංසනීය ප්‍රවේශය අත් හැරීමෙන් වත්මන් කෙටුම්පත හුදෙක් උදාසීන එකක් නොව, ප්‍රතිගාමී එකක් වෙයි.

සීමා කිරීමේ ආඥා නිසැකවම පීඩාකාරී ලෙස මූලික අයිතීන් උල්ලංඝනය කරයි. එහි බිය උපදවන විෂය සීමාව සන්නිවේදනය, රැස්වීම් පැවැත්වීම හා සංගම්ගත වීම, රැකියා නියුක්තිය හා ගමන් බිමන් යාම සම්බන්ධයෙන් වූ මූලික අයිතිවාසිකම්වලට පටහැනි වෙයි. [64(3) වගන්තිය] මෙම පීඩාකාරී විධිවිධාන ඒවායේ කාලය සම්බන්ධයෙන් හැර ඒවායේ තීව්‍රතාව හා පරාසය සම්බන්ධයෙන් නොවෙනස්ව පවතී. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින්, සීමා කිරීමේ ආඥාව මාස 3 ක් නොඉක්මවන කාලයක් සඳහා බලාත්මකව පැවැතිය යුතු ලෙසත්, වරකට මාස 3 ක් නොඉක්මවන කාලයක් සඳහා දීර්ඝ කළ හැකි ලෙසත්, මුළු කාලසීමාව මාස 18 නොඉක්මවිය යුතු ලෙසත් විධිවිධාන සලස්වා තිබූ අතර, වත්මන් යෝජනාව මගින් කර ඇති එකම සහනය වන්නේ සීමා කිරීමේ ආඥාව මාස 1 කට සීමා කිරීමත්, මුළු කාලපරිච්ඡේදය මාස 6 නොඉක්මවිය යුතු යැයි පැනවීමත් පමණි. [64(9) වගන්තිය]

 

(ආ) තහනම් කිරීමේ නියම

මේ සම්බන්ධයෙන්ද වත්මන් යෝජනාව වැරැදි දිශාවට පියවරක් තබයි. තහනම් කිරීමේ නියම යනු යම් සංවිධානයක් නීති විරෝධී බව ප්‍රකාශ කරමින් සරලව ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නිවේදනයක් මගින් ජනාධිපතිවරයා අතික්‍රමණ බලය ක්‍රියාවේ යොදවන මාර්ගයක් වන අතර, එහි ප්‍රතිවිපාකයක් ලෙස බඳවා ගැනීම, රැස්වීම් හා වෙනත් ක්‍රියාකාරකම් සිදු කිරීම ද, බැංකු ගිණුම්වල ගනුදෙනු කිරීම ද, විරෝධතා, මහජන සහාය ලබා ගැනීම හෝ මතයක් පළ කිරීමක යෙදී සිටීම හෝ යම් දේ පළ කිරීම වැළැක්වේ. (63 වගන්තිය). තහනම් කිරීමේ නියමයක් ඉල්ලීමේ කාලපරිච්ඡේදය අත්තනෝමතික හා අනියත ස්වභාවයකින් යුක්ත වෙයි. එය සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයාගේ අභිමතය මත පවතින අතර එය පරිච්ඡින්න කරනු ලබන තෙක්ම බලාත්මකව පවතී. [63(6) වගන්තිය].

විශේෂයෙන්ම සැලකිය යුතු දෙය වන්නේ වර්තමානයේ බලාත්මකව ඇති ව්‍යවස්ථාදායක තන්ත්‍රය වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තුළ තහනම් කිරීමේ නියම නිකුත් කිරීම සඳහා කවර හෝ විධිවිධානයක් නොමැති වීමයි. මෙම අරමුණ පනතේ 27(1) වගන්තිය යටතේ සාදනු ලබන රෙගුලාසි මගින් ඉටු කර ගත හැකි ය. 2023 කෙටුම්පත් කරන ලද ව්‍යවස්ථා සම්පාදනය තුළ ද මෙම බලය ප්‍රධාන ප්‍රඥප්තියේ අන්තර්ගතය තුළට ඇතුළත් කිරීමට යෝජනා වුවත්, තදබල ප්‍රතිවිරෝධය හේතුවෙන් එය පැනවිය නොහැකි විය. කුතුහලය දනවන පරිද්දෙන් වත්මන් යෝජනාව තුළ දැනට අනුනීති සම්පාදන හරහා පමණක් යොදා ගත හැකිව ඇති මෙම අන්තරාය පිරි කාර්ය පටිපාටිය පනතේම කොටසක් ලෙස ඇතුළත් වේ. එවිට මෙම කෙටුම්පත ප්‍රතිකර්මයක් වෙනුවට නීතිය ආපස්සට තල්ලු‍ කරන විකෘතියක් ලෙස ක්‍රියාත්මක වෙයි. මෙය කිසිසේත් වත්මන් යෝජනාව පළ කිරීම දක්වා ආ වසරක් දිගු ක්‍රියාවලියට පාදක වූ ප්‍රතිඥාව ඉටු කිරීමක් වන්නේ නැත.

 

(c) තහනම් ස්ථාන නම් කරමින් කෙරෙන ප්‍රකාශ

මෙහිදීද කටුක යථාර්ථය වන්නේ වත්මන් යෝජනාව වත්මන් නීතියේ පිළිල ඉවත් කරනු වෙනුවට, සැබැවින්ම අද පවතින ත්‍රස්තවාදය පිළිබඳ නීතියේ නැති ප්‍රශ්න සහගත විධිවිධාන තවදුරටත් එකතු කිරීමයි.

ඉතාමත් ගර්හිත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තුළ ජනාධිපතිවරයාට යම් ස්ථාන “තහනම් ස්ථාන” වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ බලයක් ඇතුළත් වී නොමැත. මෙය කිරීමටම අවශ්‍ය නම්, එය කළ යුත්තේ සහමුලින්ම වෙනස් විෂය කාරණයක් සම්බන්ධයෙන් කටයුතු කරන නීතියක, නිදසුනක් ලෙස 1955 අංක 32 දරන රාජ්‍ය රහස් පනතේ 2 වගන්තියේ, පිටිවහලෙනි. ප්‍රකාශ කරන ලද අරමුණට පටහැනිව, නව යෝජනාව ප්‍රථම වරට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට “තහනම් ස්ථාන” නම් කිරීමේ බලය හඳුන්වා දෙයි.

මෙහි ප්‍රතිවිපාක සැබවින්ම දීර්ඝව විහිදේ “යම් නම් කරන ලද ස්ථානයකට ඇතුළුවීම, ඡායාරූප ගැනීම හා වීඩියෝ පටිගත කිරීම සහ සිතුවම් හෝ කටුසටහන් ඇඳීම අපරාධ වැරැදි බවට පත් වන අතර, වරදකරු අවුරුදු 3 දක්වා වූ බන්ධනාගාරගත කිරීමකට හෝ රුපියල් මිලියන 3 නොඉක්මවන දඩයකට යටත් වේ. [66(8) වගන්තිය]. මෙය ජනමාධ්‍යවේදීන් මත බිය පළවන ඵලයක් ඇති කරවන අතර, එය නිදහසේ නිම්වළලු‍ පුළුල් කිරීමේ අපේක්ෂාවෙන් ප්‍රතිඥා දුන් ව්‍යවස්ථා සම්පාදනයේ දායාදයයි.

 

V.  කටුක පීඩනයෙන් විමුක්තිය අහිමි කිරීම

නව යෝජනාවේ ධනාත්මක අංගවලින් එකක් වන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තුළ ඇති, සහකාර පොලිස් අධිකාරිවරයකුට වඩා ඉහළ නිලයක පොලිස් නිලධාරිවරයකු වෙත කරන ලද පාපෝච්ඡාරණය සාක්ෂි වශයෙන් පිළිගත හැකිය යන විධිවිධානය [ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 16(1) වගන්තිය] ඉවත් කිරීමයි. කෙසේ වුවත් අවාසනාවට, නීතියේ ආධිපත්‍යය යන සංකල්පයේ නෛසර්ගික වටිනාකම් ආක්‍රමණය කරන වෙනත් විධිවිධාන මගින් මෙහි ප්‍රතිලාභය විශාල වශයෙන් හීන කෙරේ. මේවා අතර වැදගත් වන්නේ නිර්දෝෂී බව පිළිබඳ පූර්වානුමානය සහ හරයාත්මක මෙන්ම කාර්ය පටිපාටිය ලෙස නිසි ක්‍රියාවලිය පූර්ණ ලෙස පිළිපැදීමෙන් හැර නිදහස අහිමි කිරීම වැළැක්වීමේ පූර්ව කොන්දේසියයි.

මෙම අනුල්ලංඝනීය වටිනාකම් යෝජිත නීතිය තුළ අවසැලකිල්ලට ලක් කර ඇති අතර එමගින් කටුක විකල්පයක පදනමින් අපරාධ නඩු කටයුතු කල් දැමීම සම්බන්ධයෙන් අධික පීඩක බලයක් නීතිපතිවරයා වෙත ලැබේ. නීතිපතිවරයා හට මහාධිකරණයේ අනුමැතියට යටත්ව තමා සහ සැකකරු අතර “පූර්ව සම්මුතික එකඟත්වය” පදනමින් අවුරුදු 20 දක්වා වූ දිගු කාලපරිච්ඡේදයක් සඳහා අපරාධ නඩු පැවැරීම අත්හිටුවීමේ අධිකාරි බලය පවරා තිබේ. [56(1) වගන්තිය].

මෙම “එකඟත්වය” වෙත කවර හෝ ආකාරයක ස්වායත්තතාවක හෝ ස්වාධීන කැමැත්තක ලක්ෂණයක් ආරෝපණය කිරීම කිසිසේත් යථාර්ථවාදී නොවේ. ඇතැම් විට බරපතළම දඬුවම් හිමි විය හැකි අපරාධ නඩු විභාගයක පීඩනයෙන් හා කම්කටොලු‍වලින් මිදීම පිණිස යෝජිත කවර හෝ කොන්දේසිවලට වුවද එකඟ වීම ප්‍රතික්ෂේප කළ නොහැකි පාහේ පීඩනයක සැකකරු පසු වෙයි. මෙම කොන්දේසි “විශේෂිත පුනරුත්ථාපන වැඩසටහනකට” යටත් වීමේ ස්වරූපය ගන්නා විට ස්ථාවරය සම්පූර්ණයෙන්ම පවත්වා ගත නොහැක්කක් බවට පත් වෙයි. මෙය අධිකරණයක් ඉදිරියේ සාධාරණ නඩු විභාගයක මැදිහත්වීමෙන් තොරව දුහුල් පටකින් වසන ලද බලහත්කාරය යටතේ තත්වාකාර සිරගත කිරීමට යොදන අන්වර්ථ නාමයකි.

VI. නිගමනය

ආරක්ෂාව හා නිදහස අතර සමබරතාව යථා තත්වයට පත් කිරීම සඳහා කවර හෝ යම් වටිනාකමකින් යුතු දායකත්වයක් දෙනු වෙනුවට, දෝෂ නිවැරැදි කිරීමේ ලක්ෂණ අතින් කිසිවක් දායක නොකරමින්, මෙම ක්ෂේත්‍රයේ නීති ප්‍රතිසංස්කරණවලින් දිනා ගත් දේ ආපසු හැරවීමේ ඵලය මෙම යෝජිත කෙටුම්පතෙහි ඇත. මෙය අප රටේ නීති මත කිසිදු යහපතක් පිළිබිඹු නොකරන ව්‍යවස්ථාපිත දුර්භාග්‍යයකි.

 

(***)