දශක ගණනාවක් නිහඬව පැවති ජාතියක හදගැස්මට පණ දෙන්නටත්, පරගැති මානසිකත්වයෙන් බැට කෑ මෙරට ජනතාවගේ පෑරුණු සිත් සුවපත් කරන්නටත් පන්හිඳ අවියක් කරගත් අසහාය යුග පුරුෂයකු වූයේ ඔහුය. ලාංකීය පුවත්පත් කලාවේ ‘මහා පීතෘවරයා’ ලෙස විරුදාවලිය ලත් ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් යනු හුදෙක් ව්‍යාපාරිකයකු පමණක් නොව, නිදහස් සටනේ නිහඬ සෙන්පතියෙකි. අද අප භුක්ති විඳින පුවත්පත් නිදහසේ සහ දේශීය චින්තනයේ පදනම වැටුණේ ලේක්හවුස් මන්දිරයේ ඒ දැවැන්ත සෙවණැල්ල මධ්‍යයේය.
කිසි කලෙකත් දේශපාලනඥයකු නොවී රටේ දේශපාලන අනාගතය, රටේ නිදහස සහ සංවර්ධනය පිළිබඳ ඉහළ ජාතික සවිඥානයක් සහිත වූ ඩී.ආර්. විජයවර්ධනයන් රටකට කලාතුරකින් පහළ වන සුවිශේෂ පුද්ගල චරිතයකි. සැබෑ දේශප්‍රේමියකු වූ ඩී.ආර්. විජයවර්ධනයන් ජිවත්ව සිටියදී නොයෙකුත් ජාතික සහ සමාජමය කටයුතුවල නියැළුණේ, හුදෙක් චිර ප්‍රසිද්ධිය පිණිස නොව, තමා තුළවූ සැබෑ දේශිත සහ ජාතික මෙහෙවර ඉටු කිරීමේ පරම අරමුණ, සාක්ෂත් කරගැනීම උදෙසාය. 1886 වර්ෂයේ පෙබරවාරි මස 23 වැනි දා සේදවත්ත නම් ග්‍රාමයේ සේදවත්ත වලව්වේ දී දොන් ෆිලිප් විජයවර්ධන මොහොන්දිරම් මහතාට ද හෙලේනා විජයවර්ධන ළමාතැනීට ද දාව උපත ලැබු දොන් රිචඩ් විජයවර්ධන මැතිතුමාගේ 140 වැනි ජන්ම දිනය අදට යෙදී ඇත.
මෙරට අධිරාජ්‍ය විරෝධී අරගලය අධ්‍යයනයේදී ප්‍රධාන කොටස් ත්‍රිත්වයක් හඳුනාගත හැකිය. 1505 දී පළමු වරට ශ්‍රී ලංකාව යුරෝපීය යටත් විජිතවාදයකට ගොදුරු විය. 1602 දී ලන්දේසී ආක්‍රමණය සිදුවිය. 1815 දී සමස්ත ලංකාවම බ්‍රිතාන්‍ය යටත්විජිතයක් බවට පත්විය. පෘතුගීසීන්, ලන්දේසීන්, ඉංග්‍රීසින් යටතේ ශ්‍රී ලාංකික ජනතාව අවි ආයුධවලින් සටන් කර මෙරට නිදහස ස්වාධීනත්වය ලබා ගැනීමට උත්සාහ කළේය. 1818 කැරැල්ල හෙවත් ඌව-වෙල්ලස්ස මහා නිදහස් අරගලය යනු බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව ලාංකිකයන් ක්‍රියාත්මක කළ ප්‍රථම සහ ප්‍රබලම සන්නද්ධ අරගලයයි. මෙම සටනින් පාරද වූ ලාංකිකයන් නැවත වතාවක් අවි ආයූධ මගින් සන්නද්ධ සටන් මෙහෙය වූයේ නැත. පසුව බුද්ධිමය සහ ශාස්ත්‍රීයමය වශයෙන් අරගලයක් ආරම්භ විය. විශේෂයෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේ, ඉස්ලාම්, හින්දු පඩිවරු ඊට නායකත්වය සැපයූහ. මෙහිදී ඓතිහාසික පානදුරාවාදය සුවිශේෂ සංලක්ෂ්‍යයක් ලෙස හඳුනාගත හැකිය. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි ප්‍රධාන පැවදි පඬිවරුන් සහ ගිහියන් එකතුවෙන් කළ ශාස්ත්‍රීය වාදයකි. හුදෙක් ආගමික වාදයකට එහා ගිය අධිරාජ්‍ය විරෝධි ශාස්ත්‍රීය බුද්ධිමය අරගලයක් ලෙස මෙය හඳුනාගත හැකිය. මෙම ශාස්ත්‍රීය අරගලයට පෙරමුණ ගත්තෝ වූහ. අනගාරික ධර්මපාලතුමා, වලිසිංහ හරිස්චන්ද්‍රතුමා, ඕල්කොට්තුමා, අරුමුගන් නාවලර්තුමා, සිද්ධි ලෙබ්බේතුමා 19 වැනි සියවසේ අගභාගයේ සහ 20 වැනි සියවසේ මුල් භාගයේ ශ්‍රී ලංකාවේ ඇති වූ ජාතික සහ ආගමික පුනරුද ව්‍යාපාරයේ පුරෝගාමී නායකයෝ වූහ.
බ්‍රිතාන්‍ය පාලනය යත්තේ මෙරට ක්ෂේත්‍ර ගණනාවක වෙනස්කම් සිදුවිය. කෘෂිකාර්මික වශයෙන් කෝපි, තේ, පොල් වගාව ව්‍යාප්ත විය. දුම්රිය මාරග, මහාමාර්ග නිර්මාණය විය. එමෙන්ම මෙරට සාම්ප්‍රදායික අධ්‍යාපනය වෙනස් කරමින් ඉංශ්‍රීසි යටත්විජිතවාදයට උචිත ලෙස රැකියා ක්ෂේත්‍රයක් බිහි කළේය. නව දේශීය ප්‍රභූ සමජය හරහා 19 වැනි ශත වර්ෂයේ අග භාගයේ විදේශ අධ්‍යාපනයට යොමුවූ තරුණ පරම්පරාවක් වර්ධනය විය.
ඩී.ආර්. විජයවර්ධනයන් හමුවන්නේ මෙම සමාජ කණ්ඩායම හරහා ය. ඔහුගේ පියා යම් වරප්‍රසාද ලත් ප්‍රභූවරයෙකි. ඩී.ආර්. විජයවර්ධනයන් එංගලන්තය බලා යන්නේ නීතිය ඉගනගැනීම සඳහාය. නීතිය හැදෑරීමට අමතරව ඔහු පුවත්පත් කාර්යාල පිහිටා තිබෙන වීදිවලට ගොස් පුවත්පත් කළමනාකරණය, ආයතනික ව්‍යූහය ආදි වූ පුවත්පත් ව්‍යාපාරය පිළිබඳව පුළුල් අධ්‍යයනයක නිරත විය. එංගලන්තයේ දී එෆ්.එච්.එම්. කෝබට් මහතා සමග විජයවර්ධනයන්ට තිබූ ඇසුර පුවත්පත් කලාව පිළිබඳ ඇල්මක් තම සිත තුළ ඇතිකිරීමට දැඩි ව බලපෑවේ ය.
අධ්‍යාපනය නිම කර ලංකාවට පැමිණි විජයවර්ධනයන් තම පියාගේ අඩිපාරේ යමින් ව්‍යාපාර කටයුතු සදහා යොමු විය. ඔහුගේ නව ව්‍යාපාර ක්ෂ්‍රේත්‍රය වූයේ පුවත්පත් කර්මාන්තයයි. ඉංග්‍රීසි බසින් පළවූ පුවත්පතක් ලෙස 1908 වර්ෂයේදී ආරම්භ වූ සිලනීස් පුවත්පත වෙන්දේසියකින් මිලදී ගෙන පුවත්පත් කර්මාන්තය සඳහා අවතීර්ණ වීමට විජයවර්ධන මහතා තීරණය කළේය. පසුව වෙනත් ඉංග්‍රීසි පුවත්පතක් මිලට ගැනීමට කල්පනා කරමින් සිටි විජයවර්ධන මහතාට, ඩී.බී. ජයතිලක මහතා විසින්, එච්.එස්. පෙරේරා නම් තැනැත්තකුට අයත්ව තිබූ දිනමිණ පුවත්පත මිලට ගැනීමට සැලැස්වීය. 1918 ජනවාරි 03 වැනි දා සිලෝන් ඩේලිනිවුස් නමින්, විජයවර්ධන මහතා තමාගේ ප්‍රථම ඉංග්‍රීසි පුවත්පත ආරම්භ කළේය. එංගලන්තයේ ඩේලිනිවුස් පුවත්පතේ නාමය අනුකරණය කරමින්, සිලෝන් ඩේලිනිවුස් නමින් ඉංග්‍රීසි භාෂාවෙන් පුවත්පත බිහිකළේ උසස් තත්වයේ පුවත්පතක් ඇරැඹීමට ලාංකිකයාට ද හැකි බව පෙන්වා දීමටයි. සිලෝන් ඔබ්සර්වර් පුවත්පත විජයවර්ධන මහතා මිලට ගත්තේ 1923 වර්ෂයේදීයි. එහි හිමිකරුවෝ යුරෝපා ජාතිකයෝ වූහ.
සිංහල බෞද්ධයා, සිංහල ජාතිය, උඩරට තරුණයා, රුහුණු හඩ ආදී පුවත්පත් සහ වාමාංශික ව්‍යාපාරයට සම්බන්ධ පුවත්පත් වන කම්කරුවා වැනි පුවත්පත් මෙරට පෙර සිට මුද්‍රණය වූ පුවත්පත් විය. විජයවර්ධනයන් ප්‍රමුඛ උගත් තරුණයන් ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ ඩොමීනියන් නිදහසක් ලබා දෙන ලෙසටය. මෙම ව්‍යාපාරය හැදින්වූයේ පෙත්සම් ව්‍යාපාරය ලෙසය. පුවත්පත් මගින් මෙම පෙත්සම් ව්‍යාපාරයට විශාල ප්‍රචාරණයක් ලබා දුණි. විජයවර්ධනයන් ලංකාවේ නිදහස වෙනුවෙන් ජනමතය ගොඩනැගීමෙහිලා වෙහෙසුනි. එංගලන්තයේ චෙල්සි කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ ජාතික කොඩිය පිටපත් කර 1915 මාර්තු 02වැනි දා දිනමිණ සහ අනෙකුත් ඉංග්‍රීසි පුවත්පත්වල ප්‍රචාරය කිරීමෙන් නිදහස පිළිබදව කතිකාවක් වර්ධනය වීම ආරම්භ විය.
ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාව නොදියුණු ව්‍යාපරයක් ලෙස පැවතුණි. දියුණු කළමනාකරණ හැඩයක් සහිතව පුවත්පත් ව්‍යාපරයේ ආරම්භක පුරෝගාමියා වන්නේ විජයවර්ධනයන් ය. මොහු ලේක් හවුස් ආයතනය වැනි දැවැන්ත පුවත්පත් ආයතනයක් බිහි කළේය. සිංහල, ඉංග්‍රීසී, දෙමළ යන භාෂා ත්‍රිත්වයෙන් දිනපතා පුවත්පත් මුද්‍රණය වීම ආරම්භ කළේය. ලංකාවේ කීර්තිමත් පුවත්පත් කලාවේදීන් ගොඩනැගීමෙහිලා මගපෙන්වූයේද මොහු ය. ලේක් හවුස් ආයතනය දේශපාලන, සමාජ, සංස්කෘතික, චින්තනමය, මතවාදී, දෘෂ්ටිවාදී වශයෙන් ලොකු බලපෑමක් කළේය.
ඩී.ආර්. විජයවර්ධන මහතා ශ්‍රී ලංකාවේ නිදහස් අරගලයට දායක වූයේ සෘජු දේශපාලන ක්‍රියාකාරිකයකු ලෙසට වඩා, එම සටනට අවශ්‍ය බුද්ධිමය මගපෙන්වීම සහ ප්‍රචාරණ ශක්තිය සපයන ප්‍රධානතම මෙහෙයවන්නා ලෙසිනි. ඔහු තමා සතු පුවත්පත් බලය යොදාගනිමින් නිදහස පිළිබඳ ජනමතය ගොඩනැගූ අතර, ඩී.එස්. සේනානායක සහ ශ්‍රීමත් ජේම්ස් පීරිස් වැනි නායකයන්ට අවශ්‍ය උපදේශන සහාය නිරන්තරයෙන් ලබා දුන්නේය. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය රජයට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා කෙටුම්පත් කිරීමේදී ඔහුගේ මැදිහත්වීම තීරණාත්මක වූ අතර, ලාංකීය නායකයන් අතර එකමුතුවක් ඇති කිරීමට ඔහු ‘ලේක්හවුස්‘ ආයතනය මධ්‍යස්ථානයක් ලෙස භාවිත කළේය. බ්‍රිතාන්‍ය පාලකයන්ට බලපෑම් කළ හැකි ශක්තිමත් ජනමතයක් රට තුළ නිර්මාණය කිරීම හරහා ලේ වැගිරීමකින් තොරව සාමකාමීව නිදහස දිනාගැනීමේ රාජ්‍යතාන්ත්‍රික සටනේ නොපෙනෙන නියමුවා වූයේ ඔහුය.
පුවත්පත් කලාවට කළ සේවාවට අමතරව පේරාදෙණිය විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීමේදී ඔහු විශාල කාර්යභාරයක් ඉටු කළේය. බ්‍රිතාන්‍යයන් ලංකාවට විශ්වවිද්‍යාලයක් ප්‍රදානය කිරීමේදී, එය පිහිටුවන ස්ථානය පිළිබඳව බුද්ධිමතුන් අතර සංවාදයක් ඇතිවිය. යෝජිත සරසවිය අගනුවර පිහිටුවනවාද නැතිනම් ඉන් බැහැර පිහිටුවනවාද යන්න ඊට පාදක විය. ස්වකීය පුවත්පත් මගින් අර්ථාන්විත විග්‍රහයක් සමාජගත කර පේරාදෙණිය ප්‍රදේශයේ යෝජිත විශ්වවිද්‍යාලය පිහිටුවීමට කටයුතු කළ කණ්ඩායමේ විජයවර්ධනයන් පළමුපෙළේ සාමාජිකයෙකි. එහි ප්‍රථම උපකුලපති සර් අයිවර් ජෙනින්ග්ස් මහතාගෙන් අනර්ඝ සහායක් මේ සඳහා විජයවර්ධනයන්ට ලැබිණි. පේරාදෙණිය ප්‍රදේශය වැනි අතිශයින් මනස්කාන්ත නිශ්චල ප්‍රදේශයක විශ්වවිද්‍යාලය පිහිටුවීමෙන් සිසු මනස අධ්‍යාපනිකව ඒකාත්මික වන බව විජයවර්ධනයෝ විශ්වාස කළහ. පසුව විශ්වවිද්‍යාලය පේරාදෙණිය ප්‍රදේශයේ පිහිටුවීමට කටයුතු යෙදිණි. විශ්වවිද්‍යාලය ඇරඹීමෙන් පසුව, උසස් අධ්‍යාපනය පිණිස එහි සැපත් වන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ උදෙසා සිය පෞද්ගලික ධනය වැය කරමින් සංඝාරාම සංකීර්ණයක්ද ඔහු ඉදි කළේය.
නිදහස් ව්‍යාපාරයේ එක්තරා අවධියකදීත්, පුවත්පත් කලාවේ එක්තරා අවධියකදීත් සුවිශේෂ කාර්යභාරයක් ඉටුකළ දැවැන්තයකු ලෙස ඩී.ආර්. විජයවර්ධනයෝ සදා අමරණීය වෙති. ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් යනු හුදෙක් අතීතයට පමණක් අයිති චරිතයක් නොවේ. අද දවසේ පුවත්පත් කලාව තාක්ෂණයෙන් කොතෙක් දියුණු වුවද, ඔහු පෙන්නුම් කළ එම නොසැලෙන ධෛර්යය සහ වෘත්තීය ගරුත්වය වර්තමාන මාධ්‍ය ලෝකයට මහා පන්නරයකි. ඒ උතුම් මිනිසා දේශයට දායාද කළ ඒ මහා සන්නිවේදන උරුමය සදාකාලිකවම අගය කළ යුත්තකි.
මහාචාර්ය - රෝහණ ලක්ෂ්මන් පියදාස
(*** සටහන - ශෂිකා අබේරත්න)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd