ලෝක තෙල් මිල ඉහළ යාම, නැව් ගාස්තු සහ රක්ෂණ වියදම් වැඩිවීම, රුපියල මත පීඩනයක් ඇතිවීම සහ ජීවන වියදමට බලපෑම් කිරීම නිසා සමාජය තුළ 2022 මතකය නැවතත් අවදි වීම ස්වාභාවිකය. ඉන්ධන පෝලිම්, විදුලි කප්පාදු, ඖෂධ හිඟය, ආනයන සීමා සහ රුපියලේ වේගවත් කඩා වැටීම ජනතාවගේ මතකයෙන් තවමත් මැකී නැත.
එහෙත් ආර්ථික විද්‍යාත්මකව බලන විට, 2026 වත්මන් තත්වය 2022 ආර්ථික අර්බුදය නැවත පැමිණීමක් නොවේ. එය 2022ට වඩා ශක්තිමත් සාර්ව ආර්ථික පදනමක් මත, යහපාලනය, මූල්‍ය විනය, නීතිගරුක පාලනය සහ ආයතනික වගවීම නැවත ගොඩනැගීමට ගන්නා ප්‍රතිසංස්කරණ උත්සාහ මධ්‍යයේ වැටෙන බාහිර තෙල්-නැව්-රක්ෂණ කම්පනයකි. පීඩනය සැබෑය. එහෙත් එය වැටී ඇති ආර්ථික හා ආයතනික පදනම 2022ට වඩා ශක්තිමත්ය.
2022: අභ්‍යන්තර බිඳවැටීම
2022දී ශ්‍රී ලංකාවද බාහිර තෙල්, පොහොර, ආහාර මිල සහ සැපයුම් දාම කම්පනවලට මුහුණ දුන්නේය. රුසියා-යුක්රේන යුද්ධය හේතුවෙන් ලෝක තෙල් මිල, පොහොර මිල සහ ආහාර වෙළෙඳපොළේ අවිනිශ්චිතතාව වැඩි විය. එබැවින් 2022 අර්බුදයේ ද බාහිර පසුබිමක් තිබුණි. 2026දී මැදපෙරදිග යුද අවදානමෙන් මතුව ඇති තෙල්-නැව්-රක්ෂණ කම්පනය සමග ද පෙනුමෙන් සමාන ලක්ෂණ කිහිපයක් තිබේ.
එහෙත් තීරණාත්මක වෙනස වන්නේ, 2022දී එම බාහිර පීඩනය ගැටුණේ දැනටමත් බිඳවැටී තිබූ අභ්‍යන්තර සාර්ව ආර්ථික හා ආයතනික පදනමක් සමඟ වීමයි. සංචිත හිඟය, විදේශ ණය ගෙවීමේ අසමර්ථතාව, මූල්‍ය විනය බිඳවැටීම, ප්‍රතිපත්ති විශ්වාසය අහිමි වීම සහ ආනයන පද්ධතියේ අකාර්යක්ෂමතාව ඒ වන විටත් පැවතිණි. 2022දී ඇත්ත වශයෙන්ම සිදු වූයේ, දිගු කලක් ආර්ථිකය තුළ සැඟවී තිබූ අභ්‍යන්තර බිඳවැටීමේ අනතුර බාහිර කම්පනයක් හමුවේ මහජන ජීවිතයට පෙනෙන අර්බුදයක් බවට පත්වීමයි.
එම අර්බුදය හුදෙක් දුර්වල සාර්ව ආර්ථික කළමනාකරණයක ප්‍රතිඵලයක් පමණක් නොවීය. නීතියේ ආධිපත්‍යය දුර්වල වීම, දූෂණය සාමාන්‍යකරණය වීම, ප්‍රසම්පාදන විනය බිඳවැටීම, බදු ප්‍රතිපත්ති දේශපාලනිකරණය වීම සහ ආයතනික වගවීම දුර්වල වීම ද එයට පසුබිම සකස් කළේය. 2022 අවසානයේ නිල විදේශ සංචිතය ඩොලර් බිලියන 1.9ක් පමණ වූ අතර, අර්බුදයේ උච්ච අවස්ථාවේ භාවිත කළ හැකි සංචිත ඩොලර් මිලියන 20ක් පමණ දක්වා වැටී තිබුණි. ඒ අතර 2022 සඳහා අපේක්ෂිත විදේශ මුදල් ණය ගෙවීම් ඩොලර් බිලියන 7.6ක් පමණ විය. එනම්, ගෙවිය යුතු ඩොලර් තිබුණත්, ගෙවීමට අවශ්‍ය ඩොලර් තිබුණේ නැත.
එම කාලයේ රුපියල සති කිහිපයක් තුළම දැඩි ලෙස කඩා වැටුණි. උද්ධමනය සියයට 70 වැනි ඉතිහාසගත ඉහළ මට්ටමකට ළඟා විය. අයවැය හිඟය GDP හි සියයට 10 ඉක්ම වූ අතර, ප්‍රාථමික අයවැය ද හිඟයක පැවතුණි. එබැවින් 2022 යනු බාහිර පීඩනයක් පමණක් නොව, සංචිත, ණය ගෙවීම්, අයවැය, විනිමය අනුපාතය සහ මහජන විශ්වාසය එකවර බිඳවැටුණු ව්‍යුහාත්මක අර්බුදයකි. එය “ඩොලර් හිඟයක්” පමණක් නොව, සාර්ව ආර්ථික දුර්වලතාව සහ ආයතනික පාලන බිඳවැටීම එකට ගැටුණු ප්‍රතිඵලයකි.
2026 කම්පනය
2026දීද පීඩනය ආරම්භ වන්නේ බාහිර කම්පනයකින්ය. මැදපෙරදිග යුද අවදානම, ලෝක තෙල් මිල, නැව් ගාස්තු, රක්ෂණ වියදම් සහ ගෝලීය අවදානම් මනෝභාවය එහි ප්‍රධාන මාර්ග වේ.
මෙම පීඩනය දත්ත තුළ දැනටමත් පෙනේ. 2026 පළමු කාර්තුවේ වෙළෙඳ හිඟය ඩොලර් බිලියන 2.295ක් වූ අතර, එය වාර්ෂික පදනමින් සියයට 26.5ක වැඩිවීමකි. ඉන්ධන ආනයනය කිරීමට වැය වූ මාසික පිරිවැය පෙබරවාරි මාසයේදී පැවැති ඩොලර් මිලියන 93 සිට මැයි මාසය වන විට ඩොලර් මිලියන 522 දැවැන්ත මට්මක් දක්වා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. ලෝක බැංකුවේ Pink Sheet දත්ත අනුව, Brent තෙල් මිල 2026 පළමු කාර්තුවේ සාමාන්‍යයෙන් බැරලයකට ඩොලර් 80.5ක් වූ අතර, අප්‍රේල් මාසයේදී ඩොලර් 120.4ක් දක්වා ඉහළ ගියේය. රොයිටර් වාර්තා කළ පරිදි, මැයි මාසයේ වෙළෙඳපොළ මිලද ඩොලර් 100-108 පරාසයේ පැවතිණි. මෙය ඉන්ධන ආනයන බිල, ඩොලර් ඉල්ලුම සහ ජීවන වියදම මත ඇති පීඩනයේ තීව්‍රතාව පෙන්වයි.
2025දී ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන බිල ඩොලර් බිලියන 4ක් වූ අතර, බොර තෙල් බැරලයක සාමාන්‍ය මිල ඩොලර් 73.2ක් විය. සරල ගණනය අනුව, තෙල් මිල බැරලයකට ඩොලර් 1කින් ඉහළ යාම වසරකට ඩොලර් මිලියන 54කට වැඩි අතිරේක බරක් ඇති කළ හැකිය. එම මිල දිගු කාලයක් ඩොලර් 100ක් පමණ මට්ටමක පැවතියහොත්, ඉන්ධන ආනයන බිල ඩොලර් බිලියන 5.46ක් දක්වා ඉහළ ගොස්, අතිරේක ඩොලර් බිලියන 1.46ක විදේශ විනිමය පීඩනයක් ඇති කළ හැකිය. ඩොලරය රුපියල් 320ක් නම්, එය වසරකට රුපියල් බිලියන 468ක්, එනම් මාසයකට රුපියල් බිලියන 39ක් (ඩොලර් මිලියන 122ක් පමණ) පමණ වේ. කෙසේ වෙතත්, ආනයන ප්‍රමාණය, ඉන්ධන මිශ්‍රණය, නැව් ගාස්තු, බදු සහ විනිමය අනුපාතය අනුව අවසාන බලපෑම වෙනස් විය හැකිය. ඉහළ තෙල් මිල, ඩොලර් ඉල්ලුම, රුපියල, ආනයන මිල, විදුලිබල වියදම්, ප්‍රවාහනය, පොහොර, නිෂ්පාදන වියදම් සහ ජීවන වියදම මත දෙවන වටයේ පීඩනයක් ඇති කරයි. එබැවින් කම්පනය සැබෑය; තීරණාත්මක ප්‍රශ්නය වන්නේ එය දරාගැනීමට ආර්ථික හා ආයතනික පදනම කෙතරම් ශක්තිමත්ද යන්නයි.
වෙනස පෙන්වන දත්ත
2022 සහ 2026 අතර ව්‍යුහාත්මක වෙනස ආනයන හැසිරීමෙන්ද පෙනේ. මෙයින් ආනයන වැඩිවීම ප්‍රශංසා කිරීමක් අදහස් නොවේ. තෙල් හා ඩොලර් පීඩනය ඉහළ යන විට අනවශ්‍ය ආනයන පාලනය අත්‍යවශ්‍යය. එහෙත් සංචිත කඩා වැටුණු ආර්ථිකයක් සාමාන්‍ය ලෙස ආනයන කරන්නේ නැත. 2022දී ආනයන දැඩිව සීමා වූ අතර, 2026 පළමු කාර්තුවේ මුළු භාණ්ඩ ආනයන ඩොලර් බිලියන 5.77ක් සහ වාහන ආනයන ඩොලර් මිලියන 613ක් වීම, 2026 ආර්ථිකය 2022 වැනි ආනයන අසමර්ථතාවක් නැති බව පෙන්වයි. එහෙත් මෙය සංචිතවලට පීඩනයක් නැතැයි නොවේ. එබැවින් ආනයන විනය අද අත්‍යවශ්‍යය.
අපනයන හා ජංගම ගිණුමද එම වෙනස පෙන්වයි. 2026 පළමු කාර්තුවේ අපනයන ආදායම ඩොලර් බිලියන 3.461ක් වූ අතර, එය සියයට 3.4ක වැඩිවීමකි. එම කාලයේ ජංගම ගිණුම ඩොලර් මිලියන 531.5ක අතිරික්තයක් වාර්තා කළේය. 2025දී ජංගම ගිණුම් අතිරික්තය ඩොලර් බිලියන 1.719ක්, එනම් GDP හි ප්‍රතිශතය සියයට 1.6 ක් පමණ වූ අතර, එය වාහන ආනයන සඳහා ඩොලර් බිලියන 2.047ක් වැය වූ පසුබිමක ලැබූ ප්‍රතිඵලයකි.
සංචිත හා මූල්‍ය විනය පැත්තෙන්ද පදනම වෙනස්ය. 2026 මාර්තු අවසානයේ නිල විදේශ සංචිත ඩොලර් බිලියන 7.0ක් පමණ වූ අතර, අප්‍රේල් අවසානයේද එය ඩොලර් බිලියන 6.76ක් පමණ මට්ටමක පැවතිණි. 2025දී රජය, ණය පොලී ගෙවීම් හැර, ආදායමට වඩා අඩුවෙන් වියදම් කළ අතර, එම ඉතිරිය GSP හි ප්‍රතිශතය සියයට 5.6ක් විය. 2025දී විදේශ ණය ගෙවීම් සඳහා ඩොලර් බිලියන 5.149ක් පමණ වැය කර තිබියදීත්, 2026 මුලදී සංචිත ඩොලර් බිලියන 7කට ආසන්න මට්ටමක පවත්වා ගැනීම, 2022ට සාපේක්ෂව වත්මන් ආර්ථික පදනම ශක්තිමත් බව පෙන්වන සාක්ෂියකි.
ණය ගෙවීම් ව්‍යුහය ද වෙනස්ය. ණය ප්‍රතිව්‍යුහගතකරණය නිසා ආසන්න විදේශ ණය පීඩනය ලිහිල් වී ඇත. 2026 ණය ගැනීම් සැලැස්ම අනුව, ණය පියවීම් පැතිකඩ තුළ විදේශ ණය පියවීම් කොටස සියයට 6කට ආසන්නය. එය රුපියල් බිලියන 396ක්, හෙවත් වත්මන් විනිමය අනුපාතයෙන් ඩොලර් බිලියන 1.15ක් පමණය. 2022දී ඊට පටහැණිව, ණය ගෙවීම් නවතා දැමීමට පෙර අපේක්ෂිත විදේශ මුදල් ණය ගෙවීම් ඩොලර් බිලියන 7.6ක් වූ අතර, ඒවා ගෙවීමට භාවිත කළ හැකි සංචිත රට සතුව නොතිබුණි. 2026දී පොලී වියදම් තුළ විදේශ ණය සම්බන්ධ කොටස ද සියයට 16ක් පමණක් වීම ද මෙම වෙනස තවත් පෙන්වයි.
වෙනස දත්තවලින් පමණක් නොව, ආයතනික දිශාවෙන්ද පෙනේ. 2026දී ආර්ථිකය ක්‍රියාත්මක වන්නේ මූල්‍ය විනය, නීතිගරුක පාලනය, ආදායම් පරිපාලනය, ප්‍රසම්පාදන විනිවිදභාවය, දූෂණ විරෝධී ක්‍රියාත්මකභාවය සහ මහජන වගවීම ශක්තිමත් කිරීමට උත්සාහ කරන ප්‍රතිසංස්කරණ රාමුවක් තුළය. එම ප්‍රතිසංස්කරණ සම්පූර්ණ නොවුවත්, රට 2022ට පෙර පැවති විනය විරහිත පාලන දිශාවෙන් වෙනස් මාර්ගයකට ගමන් කරමින් සිටින බව පෙන්වයි. බාහිර කම්පනයකට මුහුණ දීමට සංචිත පමණක් නොව, අර්බුදය අවස්ථාවක් කරගෙන අසාධාරණ වාසි ලබාගැනීම වැළැක්විය හැකි ආයතනික පදනමක් ද අවශ්‍යය.
අවදානම නැතිද? නැත
2026 තත්වය 2022 නොවන බව කියන එකෙන් අවදානමක් නැතැයි අදහස් නොවේ. අවදානම සැබෑය. තෙල් මිල, නැව් ගාස්තු සහ රක්ෂණ වියදම් දිගටම ඉහළ ගියහොත් සංචිත, රුපියල, ආනයන බිල, අයවැය සහ ජීවන වියදම මත පීඩනය වැඩි වේ. ගෝලීය මන්දගාමීත්වයක් ඇති වුවහොත්, අපනයන ඉල්ලුම, සංචාරක ආදායම සහ ප්‍රේෂණද පීඩනයට ලක් විය හැකිය.
රජය ඉන්ධන මිල පීඩනයෙන් කොටසක් ජනතාවට නොපැවරීමට මාසිකව රුපියල් බිලියන 20ක් පමණ තාවකාලික සහනයක් ලබා දෙන අතර, අයවැයට සැබෑ පිරිවැයක් ද එකතු කරයි. වසරක් පුරා එය රුපියල් බිලියන 240ක් පමණ විය හැකිය. එබැවින් දිගු යුද කම්පනයක් හමුවේ පාරිභෝගික සහනය රැකගැනීම සහ IMF පදනම් වූ ප්‍රාථමික අයවැය ඉලක්ක රැකගැනීම අතර දුෂ්කරතා මතුවිය හැකිය.
භීතිය නොව විනයගරුක අවබෝධය
“2022 නැවත එනවා” යන භීතිය සමාජගත වූ විට, පාරිභෝගිකයන් ඉන්ධන ගබඩා කිරීමට, ආනයනකරුවන් ඩොලර් සොයා දිවීමට, අපනයනකරුවන් ඩොලර් සැඟවීමට, වෙළෙන්දන් මිල ඉක්මනින් ඉහළ දැමීමට සහ පුරවැසියන් බිය මත ආර්ථික තීරණ ගැනීමට පෙළැඹිය හැකිය. එවිට කම්පනයේ මුල් ආර්ථික බලපෑමට වඩා, එය ඇති කරන මානසික හා වෙළෙඳපොළ ප්‍රතිචාර විශාල විය හැකිය. එබැවින් අද අවශ්‍ය වන්නේ භීතිය නොව විනයගරුක අවබෝධයකි. රටට බාහිර කම්පනයක් පැමිණ තිබේ. එය සැබෑය. එහෙත් එය 2022 අභ්‍යන්තර බිඳවැටීම නොවේ. පුරවැසියන්ටද මෙහිදී භූමිකාවක් ඇත. හැකි තැන පොදු ප්‍රවාහනය භාවිත කිරීම, අනවශ්‍ය ඉන්ධන පරිභෝජනය අඩු කිරීම, විදුලිය ඉතිරි කිරීම, දේශීය නිෂ්පාදන භාවිතය වැඩි කිරීම සහ භීතික මිලදී ගැනීම්වලින් වැළකීම කුඩා ක්‍රියා ලෙස පෙනුණත්, ඒවාට සාමූහිකව සාර්ව ආර්ථික අර්ථයක් ඇත. 2022දී ගැටලුව වූයේ ආර්ථික පදනම බිඳවැටීමය. 2026දී එම පදනම නැවත ගොඩනැගී ඇත. එහෙත් එය අසීමිත ශක්තියකින් යුක්ත නොවේ. අද අවදානම වන්නේ, දිගුකාලීන බාහිර යුද කම්පනයක් එම පදනම ක්‍රමයෙන් දුර්වල කිරීමය. එබැවින් රටට අවශ්‍ය වන්නේ 2022 භීතිය නැවත විකිණීම නොව, දත්ත මත පදනම් වූ විනයගරුක ආර්ථික අවබෝධයකි.
(***)
රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව
පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය
චන්දික ගුණසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd