ජූනි 17 වැනිදා ඇමෙරිකාව සහ ඉරානය අතර යුද්ධය නැවැත්වීම සඳහා වූ අවබෝධතා ගිවිසුම අත්සන් කරනු ලැබීය. ඉන්පසු යුද්ධය නැවත ආරම්භ වූ අවස්ථාව දක්වා කාලය තුළ ඉරානය විසින් තෙල් බැරල් මිලියන 36 ක් අපනයනය කර තිබුණි. ගල්ෆ් කලාපයේ දිනකට ඉන්ධන බැරල් බිලියන 14 ක් නිෂ්පාදනය කිරීමට හැකිවන පරිදි එම කලාපයේ ඉන්ධන නිෂ්පාදනය ඉහළ ගොස් තිබුණි. එසේ වුව ද ඇමෙරිකාව සහ ඉරානය අතර යුද්ධය නැවත ඇරඹීමත් සමගම ගල්ෆ් කලාපයේ තෙල් අපනයනය මෙන්ම ඉරානයේ තෙල් අපනයනය ද අවහිර වී තිබේ.

පසුගිය සඳුදා වනවිට ලෝක වෙළෙඳපොළේ බෙන්ට් වර්ගයේ ඉන්ධන බැරලයක මිල ඩොලර් 90 දක්වා ඉහළ නැග තිබුණි. ඇතැම් ජාත්‍යන්තර මූල්‍ය පුරෝකථන ආයතන සඳහන් කර තිබුණේ යුද්ධයේ නිමාවක් පිළිබඳව ඇතිව තිබෙන අවිනිශ්චිතතාව නිසා ලෝක වෙළෙඳපොළේ ඉන්ධන බැරලයක මිල ඩොලර් 150 දක්වා ඉහළ යෑමට ඉඩ ඇති බවයි.

ඇමෙරිකා, ඊශ්‍රායල් සහ ඉරාන යුද්ධය ලෝක ආර්ථිකය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කර තිබුණි. ලෝක සමස්ත ඉන්ධන නිෂ්පාදනයෙන් පහෙන් එකක ප්‍රමාණයක් ප්‍රවාහනය කරනු ලබන හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම නිසා ඉන්ධන මිල ගණන් විශාල ලෙස ඉහළ ගිය අතර සමහර රටවලට ඉන්ධන හිඟයකට මුහුණදීමට ද සිදුවිය. යුද්ධය ආරම්භ කිරීමට මුල් වූ ඇමෙරිකාවේ ද ඉන්ධන මිල ඉහළ ගොස් උද්ධමනය ද ඉහළ යන තත්වයක් ඇතිව තිබුණි. ඒ අතරම ඉන්ධන මිල ඉහළ යෑම සහ ඉන්ධන හිඟය හේතුවෙන් බොහෝ රටවල නිෂ්පාදන හා සේවා කටයුතුවල පහළ යෑමක් වාර්තා විය. මේ සියල්ලේ ප්‍රතිඵලය වූයේ නැවත වරක් සමස්ත ලෝකයම ආර්ථික අර්බුදයකට තල්ලු‍ වී යෑමයි.

ඉරානය සහ ඇමෙරිකාව අතර ඇති කරගත් සාම ගිවිසුමෙන් පසුව ඉහතින් විස්තර කළ පරිදි ඉන්ධන නිෂ්පාදනය ඉහළයෑම පමණකින් වුව ද ලෝක ආර්ථිකය පිළිබඳ අලු‍ත් බලාපොරොත්තු සහගත තත්වයක් ඇති කළේය. එසේ වුව ද දැන් සියල්ල ආපසු හැරෙන තත්වයකට පත්ව තිබේ. ගල්ෆ් කලාපයේ ගුවන් ගමනාගමන කටයුතු අවහිරවීම නිසා ලෝක සංචාරක ව්‍යාපාරයට ද අනෙකුත් ව්‍යාපාරවලට ද තර්ජනයක් එල්ල වී ඇත. යුක්‍රේනය රුසියාවේ ඉන්ධන නිෂ්පාදනාගාරවලට පහරදීම හේතුවෙන් ඉන්ධන අපනයන කටයුතු සමහරක් නවතා දැමීමට රුසියාව කටයුතු කර තිබේ. යුරෝපා රටවලට ගල්ෆ් කලාපයෙන් ඉන්ධන නොලැබෙන විට එයට විකල්පයක් වශයෙන් පැවැතියේ රුසියාවෙන් ඉන්ධන සපයා ගැනීමය. කෙසේ වුව ද රුසියාව මුහුණදී සිටින අර්බුද හමුවේ එරට තෙල් ගැන තවදුරටත් කෙටිකාලීනව බලාපොරොත්තු තැබීමට නොහැකි තත්වයක් නිර්මාණය වී ඇත. සියල්ලේම ප්‍රතිඵලය විය හැක්කේ ලෝක ආර්ථිකය තුළ දරුණු පසුබැස්මක් ඇතිවී බෙහෝ රටවල් ආර්ථික අවිනිශ්චිතතාවකට ගොදුරු වීමයි.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට ඉහත ප්‍රකාශ කර තිබූ පරිදි ඉරානය විනාශ කර දැමීම පහසු කාර්යයක් නොවන බව දැනට යුද්ධය සිදුවන ආකාරය අනුව පැහැදිලි වේ. ඇමෙරිකාව විසින් ඉරානයේ දුම්රිය, පාලම්, මහාමාර්ග වැනි පොදු යටිතල පහසුකම් ඉලක්ක කරගෙන විශාල පහරදීම් සිදු කරනු ලබයි. ඉරානය වෙනත් රටවල මහජනතාවගේ පොදු පහසුකම්වලට කිසිදු ප්‍රහාරයක් එල්ල නොකරමින් අවට රටවල ඇති ඇමෙරිකානු හමුදා කඳවුරුවලට සහ ඒවායේ පහසුකම්වලට පහරදීම් සිදු කරයි. ඇමෙරිකාව මේ වනවිට දස වතාවක් ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ. ප්‍රහාරවලින් පසුව ඇමෙරිකාව නිකුත් කර ඇති නිවේදනවල සඳහන් වන්නේ ඉරානයේ අවි නිෂ්පාදන මධ්‍යස්ථාන, ඩ්‍රෝන සහ මිසයිල රඳවා ඇති මධ්‍යස්ථාන මෙන්ම ඉරාන ප්‍රහාර ක්‍රියාත්මක කරන ස්ථාන ආදිය ඉලක්ක කර ඒවා විනාශ කළ බවයි. එසේ වුව ද ඉරානය දිගින් දිගටම ගල්ෆ් කලාපයේ ඇමෙරිකානු යුද කඳවුරුවලට සහ පහසුකම්වලට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටී.

 එවැනි තත්වයක් තුළ පැහැදිලි වන්නේ ඇමෙරිකාව නැවත වරක් කොටි වලිගයක් අල්ලා ගෙන ඇති බවකි. පකිස්තානය සහ චීනය වැනි රටවල් වහාම දෙරට අතර සාම සාකච්ඡා ආරම්භ කර අවබෝධතා ගිවිසුමට අනුකූලව යුද්ධය නැවැත්විය යුතු බව ප්‍රකාශ කර තිබේ. එම රටවල් නැවත සාකච්ඡා ඇරඹීම සඳහා විවිධ ක්‍රියාකාරකම් ආරම්භ කර ඇති බවක් ද පෙනේ. එසේ වුව ද ඉරානය ප්‍රකාශ කරන්නේ ඩොනල්ඞ් ට්‍රම්ප් සමග සාකච්ඡා කර එකඟතා ඇති කර ගැනීමෙන් කිසිදු සාධනීය ප්‍රතිඵලයක් ලබාගත නොහැකි බවකි. එමෙන්ම ඇමෙරිකාව යුද්ධය නතර නොකළහොත් සාකච්ඡාවලට එළැඹීමට තමන් ඉදිරිපත් නොවන බවයි. ඉන් පැහැදිලි වන්නේ යුද්ධය පිළිබඳව ඉක්මන් විසඳුමක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් අපේක්ෂා තැබිය නොහැකි බවයි.

යුද්ධය දිගටම පවතින්නේ නම් ලෝක ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් දැඩි අර්බුදකාරි තත්වයක් ඇතිවීමට ඉඩ තිබේ. මුල්වරට හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් පසු ඉන්ධන හිඟයට තාවකාලිකව විසඳුම් ලබාදීම සඳහා බොහෝ රටවල් විසින් විවිධ පියවර අනුගමනය කරනු ලැබීය. ඇමෙරිකාව, ජපානය සහ ඇතැම් යුරෝපා රටවල් තමන් සතු ඉන්ධන සංචිත වෙළෙඳපොළට මුදාහැරීය. ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල් ඉන්ධන භාවිතය සීමා කිරීමට ද, මිල ගණන් ඉහළ දැමීමට ද කටයුතු ක​​ළේය. ඇමෙරිකාව රුසියාවේ ඉන්ධන අපනයනය සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක ඉවත් කළේය. එවැනි පියවර හේතුවෙන් යුද්ධයේ පළමු අවස්ථාවේ දී ඉන්ධන මිල අසීමිතව ඉහළයෑම වළක්වා ගැනීමට හැකියාවක් ලැබුණි.

එසේ වුව ද අද වනවිට එම තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබේ. ලෝකයේ ප්‍රධාන රටවල් විසින් පවත්වාගෙන යන ලද ආරක්ෂිත ඉන්ධන සංචිතවලින් වැඩි ප්‍රමාණයක් මුදා හැර ඇති බැවින් තවදුරටත් එවැනි සංචිත වෙළෙඳපොළට මුදා හැරෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. සියල්ලටම වඩා වැදගත් වන්නේ රුසියාවේ ඉන්ධන සැපයුම පිළිබඳ තත්වයයි. යුරෝපයේ බොහෝ රටවලට රුසියාව තෙල් අපනයනය කරන ලද්දේ නළ මාර්ග මගිනි. ඇමෙරිකානු සම්බාධක ඉවත් කිරීම නිසා බොහෝ රටවලට ගල්ෆ් කලාපයේ තෙල් වෙනුවට රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීමට හැකි විය. එසේ වුව ද රුසියාව දැන් ඉන්ධන අපනයනය නතර කර ඇති බව වාර්තාවේ. එසේම සැලකිය යුතු රටවල් ගණනකට රුසියානු ඉන්ධන යැවීම සඳහා භාවිත කළ කැස්බියානු මෙහෙයුම් පද්ධතිය ද බිඳවැටී ඇති බව වාර්තාවේ. මෙම කරුණුවලින් පැහැදිලි වන්නේ පළමු යුද අවස්ථාවේ දී පැවැති තත්වයට වඩා වෙනස් දරුණු ඉන්ධන අර්බුදයක් යුද්ධය දිගටම පවතින්නේ නම් ඇතිවිය හැකි බවයි.

අවබෝධතා ගිවිසුමේ එක් කොන්දේසියක සඳහන් වනුයේ නිදහසේ ප්‍රවාහන කටයුතු පවත්වා ගෙන යාමට හැකිවන අයුරින් හෝමුස් සමුද්‍ර සන්ධිය වහාම විවෘත කරන බවයි. ගිවිසුමෙන් පසු ඉතා කෙටිකලක් තුළ පෙරට වඩා හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්ධන ඇතුළු ප්‍රවාහන කටයුතු වර්ධනය වී තිබුණි. එසේ වුව ද දින කිහිපයකට පෙර එය සම්පූර්ණයෙන්ම වසා දමන බව ඉරානය ප්‍රකාශ කළේය. ඇමෙරිකාව එය සම්පූර්ණයෙන්ම විවෘතව තබන බවත්, එය නියාමනය කිරීමේ කටයුතු තමන් විසින් බාර ගන්නා බවත් ප්‍රකාශ කළේය. එසේ වුව ද මේ වනවිට එම මාර්ගය හරහා නාවික ගමනාගමනය සිදු වන්නේ නැත. ඉරානය යටත් කර ගැනීම කෙසේ වෙතත් හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට හෝ ඇමෙරිකාවට නොහැකි වී ඇත. එය විවෘත කරන තුරු කෙටි කලක දී ඉන්ධන අර්බුදය විසදෙනු ඇතැයි කිසිසේත්ම අපේක්ෂා කළ නොහැකිය.

ශ්‍රී ලංකා ආණ්ඩුව පසුගිය කාලය තුළ දී ඉන්ධන මිල ඉහළ දැමුවේ මැදපෙරදිග යුද්ධය නිසාම නොවේ. යුද්ධය පටන්ගත් වහාම ඒ වනවිටත් රටට ගෙන්වා තිබූ ඉන්ධනවල මිල ගණන් ද ඉහළ දැමුවේය. යුද්ධය නැවතුණ පසුව ආණ්ඩුව ප්‍රකාශ කළේ වැඩි මිලට මිලදී ගත් ඉන්ධන ගබඩාවල පවතින නිසා ඉන්ධන මිල ගණන් වහාම අඩු කළ නොහැකි බවයි. අවසානයේ දී 92 පෙට්‍රල් මිලත්, ඩීසල් මිලත් රුපියල් 20 කින් සහ 25 කින් පහළ දැමීය. යුද්ධය නවතින බවක් පෙනෙන්නට නැත. යුද්ධය සම්පූර්ණයෙන් නැවතුණ ද ඉන්ධන මිල ගණන් යුද්ධයට පෙර පැවැති තත්වයට අඩු කිරීමට ආණ්ඩුවට කිසිදු හැකියාවක් නැත. ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ඉන්ධන සඳහා දරනු ලබන පිරිවැය ආවරණය වන අයුරින් ඒවායේ මිල නියම කළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසියක් පනවා තිබේ. ගල් අඟු‍රු වංචාව නිසා රුපියල් බිලියන ගණනක පාඩුවක් දැරීමට විදුලිබල මණ්ඩලයට සිදුව තිබේ. එබැවින් යුද්ධය නැවැතුණ ද, ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු වුව ද ආණ්ඩුවේ ගල්අඟු‍රු වංචාව හේතුවෙන් සිදු වූ පාඩුව පියවා ගන්නා තුරු ඉන්ධන සහ විදුලිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට ඉහළ මිලක් ගෙවීමට සිදු වනු ඇත.

සමස්තයක් වශයෙන් ගත්විට රටේ සාර්ව ආර්ථික ක්‍රියාවලියට යුද්ධයෙන් විශාල බලපෑමක් එල්ල වනු ඇත. ආනයන අපනයන කටයුතු සහ සංචාරක ව්‍යාපාරය වැනි අංශවලට දැනෙන බලපෑම ඉහළ මට්ටමක පවතිනු ඇත. 2024 සහ 2025 වසර දෙකේදීම සියයට 5ක ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට හැකි වුව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වසරේ දී සියයට 3.7 ක වර්ධනයක් පමණක් ඇතිවනු ඇතැයි පුරෝකථනය කර තිබේ. එවැනි තත්වයක් තුළ එල්ලවිය හැකි බාහිර කම්පනවලට ඔරොත්තු දිය හැකි සාර්ව ආර්ථික කළමනාකරණ ක්‍රියාවලියක් ඇති කර ගැනීම පිළිබඳව වහාම ආණ්ඩුව අවධානය යොමු කළ යුතුව ඇත.

 

(***)