සමාජ මාධ්‍ය පිළිබඳ විවේචනාත්මක මතවාද රැසක් නිරන්තරයෙන් පළවන තීරණාත්මක යුගයකට අපි එළැඹ සිටිමු. විශේෂයෙන්ම පාසල් දරුවන්ගේ සමාජ මාධ්‍යය “ඇබ්බැහිය” ප්‍රබල සමාජ ගැටලුවක් බවට පත්ව ඇතැයි යන පිළිගැනීම නූතනයේ ප්‍රචලිතව පවතින්නකි.

ඒ නිසාම වයස අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍යය තහනම් කිරීම කඩිනම් නීතිමය පියවරක් ගැනීම පිළිබඳව බලධාරීන්ගේ අවධානය දැනටමත් යොමු වී ඇත. මේ තත්වය මේ වනවිට ලෝකයේ බොහෝ රටවලින් ද අසන්නට දකින්නට ලැබෙන තත්වයක්වීම ද ඒ සමගම සඳහන් කළ යුතුය.

වයස අවුරුදු 16ට අඩු ළමයින් සඳහා සමාජ මාධ්‍යය තහනම් කිරීමට ඕස්ට්‍රේලියානු රජය ගත් ප්‍රතිපත්තිමය තීරණය එහි එක් පියවරකි. එමෙන්ම එංගලන්තයේ බලධාරීන් ද, එබඳුම වයස් මට්ටමක දරුවන් සමාජ මාධ්‍යයට ඇබ්බැහිවීමේ අනිෂ්ට ප්‍රතිවිපාක තදින්ම අවධාරණය කරමින් මෙවැනිම තහනම් නියෝගයක් නොබෝදා පනවනු ලැබූ බව නොරහසකි. මෙසේ ලෝකය හරහා වේගයෙන් පෙරට ඇදෙන ඩිජිටල් ප්‍රවාහය ආපස්සට හැරවීමට යුරෝපයේ විශිෂ්ට අධ්‍යාපන ක්‍රමයක් දක්නට ලැබෙන ෆින්ලන්තය ද කටයුතු කළ බව අප දතයුතු වැදගත් කරුණකි. තවදුරටත් පොතපතින් ඈත්ව, පුස්තකාල පරිහරණයෙන් තොරව, පරිගණකයෙන් පමණක් අධ්‍යාපනයේ නිම් වළලු පුළුල් කර ගැනීමට ඉඩ ලබා දිය යුතු නැතැයි ෆින්ලන්තයේ බලධාරීන් තීරණය කර ඇත්තේ පැහැදිලි හේතු කිහිපයක් මුල් කරගනිමිනි. නිමක් නොපෙනෙන තිරය දෙස පැය ගණන්, වරු ගණන්, බලා සිටින දරුවා තුළ වැඩෙන සයිබර් හිංසනය අතිශයින්ම සෞඛ්‍ය සම්පන්න නොවූ දැනුමකින් යුතු අසමතුලිත පෞරුෂයකින් යුතු පුද්ගලයකු බිහිවීමට හේතුවේය යන විශ්වාසය එහිලා මූලික වී ඇත.

මෙසේ අද සමාජ මාධ්‍යය දරුවාට තහනම් කළ යුත්තේ ඇයි? එය කළ පමණින් ළමා පෞරුෂය පිළිබඳ අපේක්ෂිත අරමුණු ඉටුවේද යන කරුණ විග්‍රහාත්මකව විමසා බැලීම මේ නිසාම කාලානුරූපයයි සිතමි. පළමු කොට සමාජ මාධ්‍යය විශ්ව මට්ටමින් හා ජාතික මට්ටමින් මෙරට ජන මනසට කවර ප්‍රමාණයකින් බලපෑම් ඇති කර ඇත්ද යන්න සැකවින්ම විමසා බැලීම වැදගත්ය. ලෝක ජනගහනයෙන් බිලියන 5ක් පමණ සමාජ මාධ්‍යය භාවිතයට යොමු වී ඇති අතර ජනගහනය මිලියන 21ක් පමණ වූ මෙරටේ මිලියන 12ක් තරම් විශාල සංඛ්‍යාවක් සමාජ මාධ්‍යය ඇසුරු කරන බව සොයාගෙන ඇත. මෙම සමාජ මාධ්‍යවල වර්ගීකරණ ඔස්සේ සලකා බලතොත් ජනකාන්ත සමාජ මාධ්‍යවලට බැඳී සිටින ජනතාව කොතරම්දැයි තේරුම් ගැනීම අපහසු නොවේ. ලෝක මට්ටමින් බිලියන 1.7ක් ෆේස්බුක් ද, බිලියන 2.78 වට්ස්ඇප් ද, බිලියන 3.7 තවත් එබඳුම සමාජ මාධ්‍ය කිහිපයකම යොමු වී ඇති බව පැහැදිලිය. එමෙන්ම බිලියන 2ක් ඉන්ස්ටර්ග්‍රෑම් ද, බිලියන 1.6 ටික්ටොක් ද, බිලියන 1.5 වී චැට් ද, බිලියන 1ක් ටෙලිග්‍රෑම් ද, තවත් බිලියන 1ක් මැසේන්ජර් යන සුප්‍රකට සමාජ ජාලාවලට ආසක්ත වී ඇති බව නවතම සංඛ්‍යා ලේඛන පෙන්වා දී ඇත. මෙරට තාක්ෂණික භාවිතය පිළිබඳව බලන විට ලැප්ටොප් පරිගණක භාවිතය 2012 වසරට සාපේක්ෂව සියයට 5.6 සිට සියයට 19.7 දක්වා ඉහළ ගොස් ඇත. ගුවන් විදුලි සහ ස්ථාවර දුරකතන භාවිතය වේගයෙන් පහත වැටී ඇත. සාම්ප්‍රදායික තාක්ෂණය පහළ යෑමේ පැහැදිලි ප්‍රවණතාවක් දක්නට ලැබෙන අතර මෙය ශ්‍රී ලංකාව, Digital Ready Society හෙවත් නව්‍ය තාක්ෂණය සඳහා සූදානම් වූ සමාජයක් වෙත ගමන් කරමින් පවතින බවට සාක්ෂියකි.

වයස අවුරුදු 16ට අඩු දරුවන් සමාජ මාධ්‍යයෙන් ඉවත් කළ යුතු යැයි තීරණය කරන්නේ මෙබඳු අතිවිශාල පිරිසක් දශක ගණනාවක් මෙම සමාජ ප්‍රවාහය තුළ ගිලෙමින් සිටින තත්වයක් යටතේ බව පළමු කොට තේරුම් ගත යුතුය. දරුවන් යනුවෙන් අප වෙන් කර හඳුනාගනු ලබන පිරිස් ද මේ දැවැන්ත සමාජ ජාලාවල ගිලිහී සිටින අයගේ පවුල්වල එක්තරා කොටසකි. දරුවන්ට සමාජ මාධ්‍යය තහනම් කළ යුත්තේ ඇයි ද යන්න පිළිබඳව ඉහත දැක්වූ ලෙස බොහෝ තර්ක විතර්ක දිගු කාලයක් තිස්සේ විවිධ අංශවලින් ඉදිරිපත් වී ඇති බැව් අපි දනිමු. ඒ නිසා අද අප සලකා බැලිය යුත්තේ තවදුරටත් එම තත්වයම නොවේ. ඒ අනුසාරයෙන් ගොඩනැගෙන නවතම ගැටලු දෙකක් පිළිබඳවය. ඉන් පළමුවැන්න නම් සමාජ මාධ්‍යවලට ළමයින් මෙතරම් ඇදී යන්නේ ඇයිද යන්නය. දෙවැන්න මෙම ඇබ්බැහිය දුරලීමේ අරමුණින් ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කළ පමණින් ඒ හා බැඳුණු දුරු විපාක අපට සමනය කර හැකිද යන්නය.

සැබැවින්ම ළමයින් සමාජ මාධ්‍ය වෙත ඇඳී යාමට තුඩුදුන් සමාජ පසුබිම නූතන නවීකරණය වන සමාජය තුළින්ම පැන නැගුණු එකක් යන අදහස අපට පහසුවෙන් බැහැර කළ නොහැකිය. විභාග තරගය, අතිරේක පන්ති, ළමයින් පිළිබඳ මවුපියන්ගේ අධිකතර අධ්‍යාපනික අපේක්ෂා ආදී කාරණා නිසාම ළමා මනස අපේක්ෂා කරන නිදහස සහ විවේකය ඔවුන් වෙතින් කිසියම් පිරිසක් වෙතින් නිර්දය ලෙස පැහැරගත්තා සේ හැඟේ. ඒ නිසාම අද ජීවත්වන දරු පරපුර නිදහසේ ක්‍රීඩා කිරීම, ගස් කොළන්, සතා සිවුපාවන් හඳුනාගැනීමට ඈත පළාත්වල ගොස් ස්වාභාවික පරිසරය දැක බලා ගැනීම, අලුත් අලුත් ක්‍රීඩා විනෝදාංශ කරා යොමු වීම ආදී අවශේෂ ක්‍රියාකාරකම්වලින් මුදා තියුණු විභාග තරගයක කොටස්කරුවන් බවට පත් කර ඇති බැව් සත්‍යයකි.

මෙබඳු මනෝ මූලික තත්වයක් යටතේ පුළුල් අවකාශයක් සහිත සයිබර් ලෝකයට නිරන්තරයෙන් ඇදී ගොස් එහි අත්දැකීම තමන්ගේ ප්‍රකෘති ජීවිතයට එක් කර ගැනීමට නොතිත් ආශාවක් ඇති වීම ස්වාභාවිකව වූවකි. දෙවැනුව ළමා පරපුර සමාජ මාධ්‍යයට යොමුවීම පිටුපස ඇති තවත් වැදගත් කරුණක් නම් ඔවුන්ගේ සමාජානුයෝජනය තුළ මිතුරු ඇසුරේ බලපෑමයි. සමාජ මාධ්‍ය පරිහරණයට හුරු නොවූ දරුවන් සිය මිතුරන් අතරේ කොන් වී යාම සහ තවදුරටත් නිවෙසේ තනි වී සිටීම අන්‍යයන්ගේ උපහාසයට ලක්වීම එහිලා හඳුනාගත හැකිය. මෙයින් අප වටහා ගත යුත්තේ කුඩා දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීම පිටුපස අප හඳුනාගත යුතු වැදගත් කරුණු රැසක් පවතින බවය. දිගු කාලයක් පරිගණකයට හෝ ජංගම දුරකතනයට දැඩිව හුරු වී සිටි දරුවන් එම මාධ්‍යයෙන් එක්වරම ඈත් කිරීමෙන් ඔවුන්ගේ කාලය තුළ දැඩි හිස් බවක් නිර්මාණය වීම පළමුව හඳුනාගත යුතුය.

මෙම හිස් බව තුළ පාළුව, තනිකම, කනස්සල්ල නිසැක වශයෙන් මතුවීම ස්වාභාවිකය. එසේ නම් මේ සඳහා බුද්ධිමත් විකල්ප පැවැතීම අනිවාර්ය ය. ඩිජිටල් ව්‍යාප්තිය තහනම් කළ යුත්තේ ඔවුන්ගේ මානසික තත්වය බිඳ නොවැටෙන ක්‍රමවත් කාලානුරූප විකල්ප මාර්ග හඳුන්වා දීමෙන් පසුවය. දරුවන්ගෙන් යමක් ඉවත් කරන විට ඔවුනට යමක් ලබා නොදේ නම් එතැන ඇතිවන්නේ මානසික ව්‍යාකූලත්වයකි. ඒ නිසා අප කල්පනා කළ යුත්තේ කුඩා දරුවන් සමාජ මාධ්‍යයෙන් ඉවත් කළ පසු ඔවුන්ට ලබා දිය හැකි විකල්ප මාධ්‍ය පිළිබඳවය.

මෙහිදී පාසල පිළිබඳව අපගේ අවධානය යොමු විය යුතුය. එය අද පවත්නා තත්වයෙන් මුදා ශිෂ්‍ය ජීවිතයේ යාවජීව සහන සේවා මධ්‍යස්ථානයක් ලෙස හැඩගැස්විය යුතුය. අද බොහොමක් පාසල් කාලසටහනකට සිසුන් හිර කර ගෙන සිටින ආයතනයක ස්වරූපයක් ගෙන ඇත. මෙම තත්වය වෙනස් කළ හැක්කේ පාසල් කාල සීමාවෙන් පසුව ද ළමයින්ට පාසල හැර නොයන උනන්දු ජනක වැඩසටහන් රැසක් පාසල තුළ ඇති කිරීමෙනි. යම් යම් භාෂා ඉගැන්වීම්, සෞන්දර්යය කලා කටයුතුවල නියැලීම ඒ ආශ්‍රිත පුහුණුවීම, වාර්තා චිත්‍රපට පෙන්වීම සාමූහික ක්‍රියාකාරකම් දිරිගැන්වීම් ආදිය මෙහිදී වැදගත්ය. මෙය පැය ගණනාවක් තිරයක් ලෙස බලා සිටිමින් කෘත්‍රිම ලෝකයකට කොටු වූ දරුවන්ට අලුත් අත්දැකීම් රැසක් ලබාදෙන වැඩසටහන් රැසක් විය හැකිය. අනෙක් අතට මෙම තත්වය නොනවතින අධ්‍යාපනයක් පවතින ක්‍රියාකාරී පාසලක් නිර්මාණය කිරීමකි. මෙම පාසල විශිෂ්ට නායකත්ව ලක්ෂණ සහිත තරුණ දරුවන් විවිධ කෞෂල්‍යයන්ගෙන් යුතු නිර්මාණ ශිල්පීන් රැසක් සමාජයට හඳුන්වා දීමට පුරෝගාමී මෙහෙවරක් සිදු කර ඇතැයි අපේක්ෂා කළ හැකිය. දෙවැනුව විකල්ප පිළිබඳව කතා කිරීමේ දී මාධ්‍ය සහ තොරතුරු සාක්ෂරතාව ඉතා වැදගත්ය. ඒ සඳහා අවශ්‍ය ඉගෙනුම් මූලාශ්‍ර සහ සම්පත් අපේ රටේ තවමත් සමාන මට්ටමින් ව්‍යාප්තව නැත.

නූතනයෙහි මේ ආශ්‍රිතව පැන නැගී ඇති ප්‍රබල සංස්කෘතික ගැටලුවක් වනුයේ තාක්ෂණය පිළිබඳ බොහෝ දැනුම් සම්භාරයක් ලබාගත් ඩිජිටල් දරුවන් මත රැඳී සිටීමට මවුපියන්ට සිදුවීමයි. එහෙත් මවුපියෝ ආකල්පමය වශයෙන් පරිණත වූවෝ පිරිසකි. ජීවිත අත්දැකීම් අඩු තාක්ෂණික හැකියාවෙන් යුත් තම දරුවන් මත බොහෝ කාරණාවල දී මවුපියන්ට රඳා පැවැතීමට සිදුවීම සැබවින්ම කනගාටුදායකය.

අද අප සාකච්ඡා කරන දරුවන් සමාජ මාධ්‍යයෙන් ඉවත් කිරීමේ කාර්යයේ දී මෙම තත්වය ද සැලකිල්ලට ලක් කළ යුතුය. එහිදී මවුපියන් සඳහා ද මාධ්‍ය සහ තොරතුරු සාක්ෂරතාව (MIL)ලබාදෙන වැඩසටහන් හඳුන්වා දීම වැදගත් වේ.

මෙයින් අවධාරණය කළ යුතු වැදගත්ම කරුණ වන්නේ බාල වයස් දරුවන්ට සමාජ මාධ්‍යය අහිමි කිරීම කළ යුත්තේ ඒ සඳහා උචිත විකල්ප ක්‍රමෝපාය රැසක් හඳුන්වාදීමෙන් පසුව බවය. ඉහත දැක්වූ පරිදි පාසල් අවකාශය පුළුල් කිරීම කණ්ඩායම් සාමූහිකත්ව ක්‍රියාවට අධ්‍යාපන පරිසරයෙන් ප්‍රමුඛතාවක් ලබාදීම, අන්තර්ජාලය තුළ පවතින ඩිජිටල් කාමුක සංස්කෘතිය (Digital Erotic Culture) පිළිබඳ නිවැරැදි අවබෝධයක් සහිත ඉගෙනුමක් මවුපිය දූදරු සැමට ලබාදීම ඒ ආදිය ඉන් කිහිපයකි.

අප ජීවත් වන මෙම සමාජයේ අප හඳුනාගනු ලබන්නේ 4 වැනි කාර්මික විප්ලවයේ බලපෑමට ලක් වූ යුගය ලෙසින් බව අපි දනිමු. එසේ නම් ලබා පරපුරේ මනස වඩාත් විද්‍යාත්මක හා පුළුල් දෘෂ්ටියකින් තේරුම් ගැනීමට උනන්දුවීම වැදගත්ය. ඇබ්බැහිය යන මානසික ලක්ෂණය තුරන් කිරීම ඉතා පරිශ්‍රමයෙන් සිදු කළ යුත්තක් බව මෙහිලා මූලිකවම දැක්විය යුතුය. දරුවාට සමාජ මාධ්‍ය අහිමි කළ යුතු යැයි කීම පහසුය. එහෙත් අප දරුවාට ඒ වෙනුවට ලබා දෙන්නේ කුමක්ද? එබඳු විකල්පවලින් තොර ක්‍රියාමාර්ග නිසා අනපේක්ෂිත සමාජ ව්‍යසන රැසක් ඇතිවීමට ඉඩකඩ වැඩිය. දරුවන්ගේ සමාජ මාධ්‍ය ඇබ්බැහියට ඇති සාධාරණ විකල්ප මොනවාද යන්න පිළිබඳ පුළුල් සංවාදයක් ඇති විය යුතුය.

(***)