(විමුක්ති එස් රුද්‍රිගු)

වාහන ආනයනය කිරීමේදී නව බදු පැනවීමට රජය කටයුතු කිරීමත් සමග වාහන මිල කෘතීම ඉහළ යා හැකි බවත් ඉහළ යන මිලට වාහන මිලදී ගැනීම සඳහා මෙරට වාණිජ බැංකුවලින් හා මූල්‍ය ආයතනවලින් ජනතාව ණය ලබා ගැනීමට යාමේදී වැඩි මුදලක් ගැනීමට සිදුවීම හේතුවෙන් ඔවුන් අමාරුවේ වැටිය හැකි බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

වැඩිපුර ණය ගැනීම හේතුවෙන් ණය ලබාගත් පුද්ගලයා අනවශ්‍ය ණය බරකට පත්විය හැකි බවත් එය ණය ලබාගත් පුද්ගලයාට ප්‍රශ්නයක් විය හැකි බවත් ඔහු පැවැසුවේය.

එලෙස වැඩි ණය මුදලක් ලබා ගන්නා පුද්ගලයන් ණය නොගෙවා සිටියහොත් ඉන් ණය නොගෙවා සිටීමේ හැකියාව ඉහළ ගොස් මෙරට බැංකු පද්ධතියට අවදානමක් ඇති කළ හැකි බවද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.

එම අවදානම නැති කිරීමට සඳහා වාහන මිලට ගැනීමට ලබාදෙන උපරිම ණය සීමාව අඩු කිරීමටත්, රන් භාණ්ඩ උකසට තබා ලබාගන්නා ණය සඳහා භාණ්ඩයේ වටිනාකමින් සියයට 70 ක උපරිමයක් නියම කිරීමටත් මහ බැංකුව කටයුතු කළ බවද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසුවේය. අරමුණ වූයේ මහජනතාව ආරක්ෂා කිරීමත්, බැංකුවලට ඇතිවිය අවදානම අඩු කිරීමත්, බව ඔහු ප්‍රකාශ කළේය.

පසුගිය වසර දෙකේදී මෙන් මෙම වසරේ පළමු කාර්තු දෙකේදී සියයට 5 කට ආසන්න ආර්ථික වර්ධන වේගයක් ශ්‍රී ලංකාව ළඟා කරගත් බවත් මැද පෙරෙදිග අර්බුදය හේතුවෙන් මෙරට ආර්ථික වර්ධන වේගයට ඇතිවන බලපෑම ඇස්තමේන්තු කර නැතත් සියයට 4ත් 5ත් අතර ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙනු ඇති බවට තමන් විශ්වාස කරන බවත් ඔහු පැවැසුවේය.