ශ්‍රී ලංකාවට යටින්, කිලෝ මීටර් ගණනාවක් ගැඹුරට යද්දී, ඉපැරණි භූ ස්ථරයක් සැඟවී ඇතැයි විද්‍යාඥයෝ පවසති.
මෙම සැඟවුණු ඉපැරණි භූ ස්ථරය සොයා ගත්තේ, පැරිසියේ පෘථිවි භෞතික විද්‍යා ආයතනයේ ගාඕෂන් ගෝ, චීන විද්‍යා ඇකඩමියේ ලිතෝස්ෆියර් පරිණාමය පිළිබඳ රාජ්‍ය ප්‍රධාන විද්‍යාගාරයේ හයිචියැං ලෑන්, භූ විද්‍යා ආයතනයේ ලෙයි ෂාඕ සහ පේරාදෙණියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සංජීව පී. කේ. මලවිආරච්චි යන විද්‍යාඥයන් එක් වෙමිනි.
මේ සඳහා ශ්‍රී ලංකාව පුරා ස්ථාපිත කර ඇති භූ කම්පන මධ්‍යස්ථාන 33 ක දත්ත ඉතා සූක්ෂ්ම ලෙස විශ්ලේෂණය කළ බව ද පැවැසෙයි. ශ්‍රී ලංකාවට පහළින්, කිලෝමීටර් 100 ත් 200 ත් දුරක් ගැඹුරට යද්දී, මෙම ඉපැරණි භූ ස්ථරය හමුවෙයි.
මෙම භූ ස්ථරය, අපේ රටේ පමණක් නොව, මුළු ලෝකයේම භූ විද්‍යාත්මක ඉතිහාසය පිළිබඳ අපූරු තොරතුරු රැසක් අනාවරණය කරමින් පවතී. විද්‍යාඥයන් විශ්වාස කරන ආකාරයට, මෙම ස්ථරය මීට වසර මිලියන ගණනකට පෙර පැවති පුරාණ භූ තැටියකින් ඉතිරි වූ කොටසකි.
අතීතයේ අති දැවැන්ත භූ තැටියක් පෘථිවිය අභ්‍යන්තරයට තල්ලු වී අප වෙන් වෙන්ව දකින අප්‍රිකාව, දකුණු ඇමෙරිකාව, ඉන්දියාව, ඇන්ටාක්ටිකාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රදේශ එකට එක් කළ ‘ගොන්ඩ්වානා’ නමැති පුරාණ මහා මහාද්වීපය නිර්මාණය විය.
පසුව හටගත් අති ප්‍රබල භූ කම්පන ඇතුළු හැල හැප්පීම් හේතුවෙන් මෙම පුරාණ තහඩුවෙන් කොටසක් බිඳී වෙන් වී ගිය ද, එහි කොටසක් අදටත් ශ්‍රී ලංකාව යට ආරක්ෂිතව ඉතිරි වී ඇත. විද්‍යාඥයන්ට සොයා ගැනීමට හැකි වූයේ මෙම කොටසය.
පෘථිවියේ භූතැටිවල අතීයේ සිදුවුණු භූමිකම්පා සම්බන්ධයෙන් අවබෝධයක් ඇති කර ගැනීමටත්, ශ්‍රී ලංකා භූමිය පුරාණ ‘ගොන්ඩ්වානා ’මහාද්වීපයේ කොටසක් බවට පත් වූ ආකාරය පිළිබඳවත් අවබෝධයක් ඇති කර ගැනීමට ද මෙම නව සොයා ගැනීම උදවු වේවි යැයි විද්‍යාඥ කණ්ඩායම පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd