(නිමල කොඩිතුවක්කු)

රාජකාරී වේලාවන් තුළ සමාජ මාධ්‍ය භාවිතය සහ දුම්රිය මෙහෙයුම් කටයුතුවල සංවේදී තොරතුරු සමාජගත වීම වැළැක්වීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් සහ සේවකයින් විසින් රාජකාරී වේලාවන් තුළ සහ රාජකාරියට සම්බන්ධ අවස්ථාවන්හිදී සමාජ මාධ්‍ය හරහා සංවේදී තොරතුරු ප්‍රසිද්ධියට පත්කිරීමේ ප්‍රවණතාවයක් නිරීක්ෂණය වීම හේතුවෙන් මෙම චක්‍රලේඛය නිකුත් කළ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එලෙස සංවේදී තොරතුරු සමාජ මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කිරීම තුළින් දුම්රිය සේවයේ විශ්වසනීයත්වය, මගී ආරක්ෂාව සහ ආයතනික විනය බරපතළ ලෙස අනතුරේ වැටෙන හෙයින් එම චක්‍රලේඛය නිකුත් කර ඇති බවද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ අත්සනින් යුතු එම චක්‍රලේඛයේ සඳහන් වේ.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා, දුම්රිය නිල මාධ්‍ය ප්‍රකාශකවරයා සහ තොරතුරු නිලධාරියාට පමණක් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල තොරතුරු බාහිර පාර්ශ්වයන් වෙත හෝ මාධ්‍ය වෙත ලබාදීමේ අවසරය මෙම නව චක්‍රලේඛය යටතේ හිමිව ඇති බවද එහි සඳහන් වේ.