(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුව පෙබරවාරි 3,5 සහ 6 රැස්වෙයි.

පෙබරවාරි මාසයේ පළමු පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

පාර්ලිමේන්තුව රැස්වන මෙම දින තුනේ පෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. 

පෙබරවාරි 3 වැනි අඟහරුවාදා පෙ. ව 11.30 සිට ප.ව 5.00 දක්වා ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත යටතේ අංක 2396/32 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි විවාදයට ගැනීමට නියමිතව ඇත.

ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පක්ෂය) විවාදයට ගැනේ.

 5 වැනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා තත්‍ය දේපළ වෘත්තීකයන්ගේ ආයතනය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමටත් තීරණය වී ඇත. එසේම පාර්ලිමේන්තුවේ දැනට පළමුවර කියවා ඇති  කන්ටේනර් ඩිපෝ මෙහෙයුම්කරුවන්‍ට බලපත්‍ර ලබාදීමේ පනත් කෙටුම්පත සහ නැව් නියෝජිතයන්ට, නැව් බඩු ගෙනයන්නන්ට, යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබාදීමේ (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් නොවුණහොත් එම පනත් කෙටුම්පත් දෙකට අදාළ   දෙවැනිවර කියවීමේ විවාදය පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා පැවැත්වීමටත්  මෙහිදී තීරණය වී ඇත.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේදී අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබේ. 

6 වැනි සිකුරාදා පෙ. ව 11.30 සිට ප.ව 5.00 දක්වා පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයට ගැනීමට කාලය වෙන්කිරීමට මෙහිදී තීරණය වී තිබේ.