
යල්පැන ගිය අධ්‍යාපනය වෙනුවට නව අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දීමේ අවශ්‍යතාව කලක පටන් පවතී.ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් පිළබඳ සංවාදයද දිගු කලක සිට පැවත එන්නකි.වත්මන් ආණ්ඩුව කඩිමුඩියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට අතගසා සිටී. හා හා පුරා කියා අත ගැසූ අධ්‍යාපන ප්‍රතිසංකරණ ක්‍රියාවලියේදී හත්පොළේ ගා ගත් හයේ මොඩියුලයේ සිදුවීමට මේ වන විට එල්ල වන විවේචන බොහෝය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව ජාතික අධ්‍යාපන ආයතනය මුද්‍රණය කළ 6 ශ්‍රේණිය ඉංග්‍රීසි විෂය මොඩියුල තුළ යම් නුසුදුසු වෙබ් අඩවියක නාමයක් ඇතුළත් වීම එම විවේචනයන්ට තුඩු දී ඇත. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආණ්ඩුවක හෝ දේශපාලන පක්ෂයක කටයුත්තක් නොවේ. මේ අවධියෙහි මොන ආණ්ඩුව බලයේ සිටියත් 2019 සිට අතරමග නැවතී තිබූ ප්‍රතිසංස්කරණ අනිවාර්‌යෙන් සිදු වන බව පිළිගත යුතු ය. 2023 සිදුකිරීමට නියමිතව තිබූ විෂයමාලා සංශෝධනය මග හැරයා නොහැකි ය. එ් අනුව එක වසරට සහ හයේ පන්තියට අදාළ මොඩියුල මේ වන විට සම්පාදනය කර අවසන් ය.
අධ්‍යාපන පෙළපොත් හා ප්‍රශ්න පත්‍ර සකස් කිරීමෙහිදී දෝෂ සිදුවූ අවස්ථා මීට පෙරද අප දැක ඇත. ඒවා නිවැරදි කිරීමට පියවර ගැනීම ඒ මොහොතෙහි පවත්නා රජයේ ස්වභාවයයි. මෙවර සිදුවී ඇති දෝෂය තාක්ෂණය හා ලිංගිකත්වයට අදාළ සංවේදී මාතෘකාවක් වීම නිසා දෝෂාරෝපණය වැඩිය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අවබෝධයක් නැති ඇතැම් යතිවරුන් සහ තවත් හිස්ගෙඩි ගණනාවක් මෙය රටේ දරු පරපුරට එල්ලවූ මාරක තර්ජනයක් ලෙස ඔසවා තබනු ද පෙනේ. කෙසේ නමුත් හයේ මොඩියුලයේ සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික අධ්‍යාපන ආයතනය වගකීම භාරගත යුතු බවට පාර්ශ්ව රැසක් චෝදනා එල්ල කරන අතර ඒ පිළිබඳව අපි පාර්ශ්ව කිහිපයකගෙන් විමිසීමක් කළෙමු.
පෙළ පොතක් සකස් කිරීම හිතන තරම් සරලද ? ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු මාධ්‍ය අධ්‍යාපන ව්‍යාපෘති ප්‍රධානී බන්දුල පී දයාරත්න
පෙළ පොත සකස් කරනුයේ ජාතික අධ්‍යාපන ආයතනය විසින් විෂය නිර්දේශය සහ ගුරු මාර්ගෝපදේශයන්ට යටත්වය. අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ඇති අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පෙළපොත සකස් කරන්නේ එම මාර්ගෝපදේශ පාදක කරගනිමින් ය. මෙහිදී ජාතික අධ්‍යාපන ආයතනයේ වෙන්වූ මඩුල්ලකින් විෂය නිර්දේශය සහ ගුරු මාර්ගෝපදේශ සකස් කරන අතර එය එම මඩුල්ල විසින් අනුමත විය යුතු ය. නමුත් පෙළපොත මුද්‍රණය වීමට යම් කාලයක් ගතවන බැවින් එම අනුමැතිය සිදුවෙමින් පවතින අතරතුරේ එම පිටපත අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට ලබා දීමට කටයුතු කරයි. අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙහි පෙළපොත සම්පාදනය කිරීම සඳහා යම් මඩුල්ලක් පත්වන අතර ජාතික අධ්‍යාපන ආයතනයේ එම විෂය සම්පාදනය කරනු ලැබූ නිලධාරියා හෝ නිලධාරිනියද මෙම මඩුල්ලේ සාමාජිකත්වය දරනු ඇත . මෙම නිලධාරි මණ්ඩලය පත්කරනු ලබන්නේ අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් විසිනි. ගුරුවරුන්,විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, මෙම උපදේශක මඩුල්ලට පත්වන අතර ලේඛන මඩුල්ලටද ගුරුවරුන්, ගුරු උපදේශකවරුන් නම් කර ගනිති.පෙළපොත භාරව උපදේශක මණ්ඩලයේ ප්‍රධානියකු පත් කෙරේ. ජාතික අධ්‍යාපන ආයතනය විෂය භාර නිලධාරියෙක්ද එහි සාමාජිකත්වය දරයි. ඔහුට හෝ ඇයට විෂය සම්බන්ධයෙන් මැදිහත් වීමක් සිදු කළ හැකිය. ඒ අනුව ඔවුන්ගේ අධීක්ෂණය යටතේ පෙළපොත සම්පාදනය වේ.
ඊට අමතරව පෙළ පොත සකස් කිරීමේදී අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ඇති මුද්‍රණ සැලසුම් අංශය මගින් මෙයට අවශ්‍ය චිත්‍ර රූප ආදී දෑ යොදා සකස් කෙරේ. එහි පිටපත රජයේ මුද්‍රණාලයට, හෝ මුද්‍රණ සංස්ථාවට, හෝ ලියාපදිංචි වූ වෙනත් මුද්‍රණාලයකට භාරදී පෙළපොත මුද්‍රණය වීම සිදුවේ.
වසරකට මුද්‍රණය කරනු ලබන පෙළපොත වෙනුවට පසු කාලයේදී මොඩියුල සකස් විය. එය කුඩා කොටස්වලින් අන්තර්ගත වූවකි. එක් විෂයකදී පළමු වාරයේදී එක් මොඩියුලයක්ද දෙවැනි වාරයේදී, තෙවන වාරයටත් මොඩියුලය දෙක බැගින් සකස් කරන ලදි. ඒවායේ පෙර පෙළ පොතේ සඳහන් පරිදි සවිස්තරාත්මක තොරතැරු ඇතුළත් වන්නේ නැත. එය සම්පාදනය කරන ලද්දේ ජාතික අධ්‍යාපන ආයතනයේම මඩුල්ලක් විසිනි. එයට අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් කිසිවකු සම්බන්ධ වන්නේ නැත. ඒ අනුව ජාතික අධ්‍යාපන ආයතනය මගින් ඒ සියල්ලම නිර්මාණය කොට මුද්‍රණය කිරීම සඳහා පමණක් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට ලබා දී ඇත.
හයේ මොඩියුලය කණ්ඩායම මේ කාර්යයට සුදුසු නැහැ කියලා අවස්ථා ගණනාවකදිම අපි අධ්‍යාපන අමාත්‍යවරියට කිව්වා. පිළිගත්තේ නෑ..ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින්
"අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදු කළ යුත්තේ ජාතික අධ්‍යාපන කොමිසම විසින්. මේ පෙළපොත් කලින් මුද්‍රණය කරලා තියෙන්නේ අධ්‍යාපන අමාත්‍යංශය හරහා. ඒක මේ වන විට ජාතික අධ්‍යාපන ආයතනය පවරගෙන තියෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදු කළයුත්තේ ජාතික අධ්‍යාපන කොමිසම. ඒ ක්‍රියාවලියත් අරන් තියෙන්නේ ජාතික අධ්‍යාපන ආයතනය. එතකොට ජාතික අධ්‍යාපන ආයතනයේ කාර්යභාරය වන්නේ විෂයමාලාව සකස් කිරීම. සාමාන්‍යයෙන් විෂය මාලාව ප්‍රතිසංස්කරණය කිරීම වසර අටකින් සිදු කළ යුතුයි. නමුත් 2016 වසරේදී විෂය මාලාව ප්‍රතිසංස්කරණයක් සිදුකිරීමෙන් පසුව තවමත් සිදු කරලා නැහැ. ජාතික අධ්‍යාපන ආයතනය ඒ වගකීම පැහැර හැරලා තියෙනවා. වගේම එහි සිටින නිලධාරින්ට ඒ සම්බන්ධව කිසිඳු සුදුසකමක් නැහැ. ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන්ගේ තනතුරු සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් විගෙණන විමසුම් පවා කර තියෙනවා. මේ කණ්ඩායම මේ කාර්යයට සුදුසු නැහැ කියලා අවස්ථා ගණනාවකදීම අප අධ්‍යාපන අමාත්‍යවරියට පෙන්වා දී තිබෙනවා.
මේ කණ්ඩායම මේ වනවිටත් ඔවුන්ගේ වගකීම ඉටුකරලා නැහැ. ඒ සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් අග්‍රමාත්‍යතුමිය දැක්වූවේ නැහැ. ඔවුන්ව විශ්වාස කොට වැඩ කළා. මේ අනුව අද වන විට එදා අපි පැවසූ දේ නිවැරදි බව ඔප්පු වෙලා තියෙනවා.
එම මොඩියුලයේ පාඩම්වල වැඩි විස්තර ලබා ගැනීම සඳහා youtube වල විවිධ වෙබ් සයිට්වලට දරුවන්ට සම්බන්ධ වෙන්නට පුළුවන් ආකාරයට උපදෙස් පවා දීලා තියෙනවා . වෙබ් සයිට් රජයේ පාලනයෙන් තොරයි. දරුවෙකුට ලබා දිය යුත්තේ පාලනය කළ හැකි, දරුවන්ට වැඩිදුර අධ්‍යාපනය ලබා ගත හැකි දේ පමණයි. මේ අනුව මෙයින් දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් ඇති වෙනවා. මේ සම්බන්ධව නිසි පරීක්ෂණ කළ යුත්තේ ජාතික අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල් අධ්‍යක්ෂවරියගේ පමණක් නෙමෙයි මෙහි සියලු නිලධාරීන්ගේ වැඩ තහනම් කරලා . අද වන විට සමස්ත අධ්‍යාපනයම අර්බුදකාරී තත්ත්වයට පත්වෙලා."
ජාතික වගකීම කියන්නේ කොන්ත්‍රාත් පදනම මත වැඩක් කරලා යන එක නෙමෙයි. දැන් අධ්‍යාපනයට වෙලා තියෙන්නේ එහෙම එකක්. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ හිටපු සභාපති පද්මිනි රණවීර
හයේ ශේණියේ ඉංග්‍රීසි භාෂා විෂය මොඩියුලයේ දරුවන්ට නුසුදුසු වෙබ් අඩවියක් පිළිබඳවක් පිළිබඳව තොරතුරු ඇතුළත් වීමේ සිද්ධියේදී ජාතික අධ්‍යාපන ආයතනය සහ අධ්‍යාපන අමාත්‍යංශය සිය ජාතික වගකීම පැහැර හැර ඇතැයි ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ හිටපු සභාපති පද්මිනි රණවීර මහත්මිය පවසන අතර එහි වගකීම අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා භාරගත යුතු බවද අධ්‍යක්ෂවරිය පවසා සිටියාය. ඒ පිළිබඳව ඇය තවදුරටත් අදහස් දක්වා සිටියේ මෙසේ ය, “මේ සිදුවීමේ සම්පූර්ණ ම වරද තියෙන්නේ ජාතික වගකීම ගිලිහීම. මුල්ම වරද තමයි මේ මොඩියුල සම්පාදන කිරීමේදී අනුගමනය කළ යුතු සැලසුම් සහ සංවර්ධනය හරියට නොවීම සහ සාකච්ජා නොකිරීම. මුල්ම වරද තියෙන්නේ එතන. සෝදුපත් කයවීමම නෙමෙයි යම් විෂය පද්දධතියක් හදනවා කියන්නේ. මුල සිටම ක්‍රමානුකූලව මේවා හැදෙන්න ඕන. සමහර අය කියනවා මේ මේ අයට පෙන්නුවා කියලා. නමුත් ඔය කියන අයට පෙන්නලා නිසි අධ්‍යනයක් වුණාද කියන සැකය තියෙනවා. මෙඩියුල අවුරුදු ගාණක් තිස්සේ හැදුවා කිව්වා. නමුත් ඒවා කිසිම කෙනෙක් සමග මේ දේවල් බෙදා ගත්තේ නැහැ. අනිත් පාර්ශ්ව වෙත යොමු කළේ නැහැ. මේ කියන මොඩියුලය කරළියට ආවේ බෙහොම සංවේදී මතෘකාවක් නිසා. නැත්නම් මේ මොඩියුලයේ කතාවත් එළියට එන්නේ නැහැ. ඒ වගේ අනිත් මොඩියුලවලත් වැරදි තියෙන්න පුළුවන්. වැරදි නැති වෙන්න දෙයක් කරන්න හරිම අමාරුයි. වැරදි අඩු වෙන්නේ අපි ඒවා එළියට දාලා අත්හදා බැලීම් කරනකොට . මේ ක්‍රියාවලිය තුළ එහෙම වැරදි හදාගෙන කරන්න ඒ කිසිම කෙනෙකුට ඕනකමක් තිබිලා නැහැ.
මගේ අදහස මේ අනෙක් මොඩියුලත් නිසි අධ්‍යනයන්ට යොමු විය යුතුයි. අධ්‍යාපනික දේවල් කියන්නේ හංගගෙන ඒ මම තනියෙන්මයි කරන්නේ කියන තැන ඉඳන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. තමන් හැමදේම දන්නවා කියලා හිතාගෙන වැඩ කරන එක ඉතාම අනුවණ ක්‍රියාවක්. මාන්නේ ඔළුවේ තියන් වැඩ කිරිමේ ප්‍රතිපල තමයි මේ ගෙවන්නේ. ඇත්තටම මේ ලියන දේවල තියෙන වගකීම ගන්න කවුරුත් නැහැ. ජාතික අධ්‍යාපන ආයතනයේ ඒ් අරමුණක් තමයි පාසලවල ක්‍රියාත්මක විෂය මාලාව පිළිබඳ වගකීම ගැනීම. මෙතනදි මම දකින ප්‍රධානම දේ තමයි කොහෙන් හරි සල්ල ටිකක් ලැබුණාම ඒක වියදම් කරන්න කාට හරි උපදේශකත්වයක් දෙනවා. මේ වෙනකොට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා පිළිඅරන් තියෙනවා නුසුදුසු වෙබ් අඩවියක නාමයක් මෙහි ඇතුළත් වෙනවා කියලා. එහෙම නම් මෙහි වගකීම අනිවාර්යෙන්ම ජාතික අධ්‍යාපන ආයතනය හා අධ්‍යාපන අමාත්‍යංශය භාරගත යුතුමයි. ජාතික වගකීම කියන්නේ කොන්ත්‍රාත් පදනම මත වැඩක් කරලා යන එක නෙමෙයි. දැන් අධ්‍යපනයට වෙලා තියෙන්නේ එහෙම එකක්. මෙතනදි කවුද වැරදි කියන එක හොයන්න බොරුවට සී අයි ඩී දුවන්න අවශ්‍ය නැහැ. වරද හොයන්න අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්ට පුළුවන්. මෙතනදි ජාතික අධ්‍යපන ආයතනයත් අමාත්‍යංශයත් වගකීම සම්පූර්ණයෙන් පැහැර හැරලා.
නුසුදුසු පිටුව ඉවත්කර පොත නිකුත් කිරීමට කටයුතු කරනවාඅධ්යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව
ඉදිරි දිනවලදී හයවෙනි ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂයට අදාළ මොඩියුලයේ පොත්වල මහත් ආන්දෝලනයට ලක්වූ නුසුදුසු කොටස් ඉවත් කර එම පොත බෙදා හැරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව සඳහන් කරයි. මෙම පොත මුද්‍රණය කිරීම සඳහා රුපියල් කෝටි 6 කට අධික මුදලක් වියදම් කර තිබෙන අතර පොත් ලක්ෂ තුනහමාරක් මුද්‍රණය කර තිබෙන බවද ඔහු ලංකාදීපයට සඳහන් කළේය. මුද්‍රිත පොත්වල නුසුදුසු කොටස ඉවත් කිරීමෙන් පසු අනෙක් කොටස සහිත පොත බෙදා හැරෙන බවත් ඒ සම්බන්ධව ගුරුවරුන්ට වෙනම උපදෙස් මාලාවක් නිකුත් කිරීමට නියමිත බවත් ලේකම්වරයා සඳහන් කළේය.
නදීශා අතුකෝරළ
COMMENTS