සුජිත් හේවාජුලිගේ

ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කර මුද්‍රණය කෙරුණු හය වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂයට අදාළ මොඩියුලයේ නුසුදුසු වෙබ් අඩවියක නමක් ඇතුළත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ බුද්ධි  අංශ ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. 

මෙම සිද්ධිය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවට තොරතුරු අනාවරණය වීමෙන් පසු රාජ්‍ය බුද්ධි සේවා මෙම විමර්ශනය ආරම්භ කළ බව රජයේ අමාත්‍යවරයෙක් සඳහන් කළේය.

ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කර මුද්‍රණය කෙරුණු හය වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂයට අදාළ මොඩියුලයේ පොත්වලට නුසුදුසු වෙබ් අඩවියක නමක් ඇතුළත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විදානපතිරණ මහත්මිය ඇතුළු ප්‍රධානීන් දස දෙනකුගෙන් අද හෙටම ප්‍රශ්න කිරීමට කටයුතු කරගෙන යන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මෙසේ ප්‍රශ්න කිරීමට කටයුතු කෙරෙන පිරිසට එම මොඩියුල ලියූ අය මෙන්ම ඒවා අධීක්ෂණය කළ නිලධාරීන් ද ඇතුළත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ ය.

මෙම පරීක්‍ෂණ කටයුතු සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීහු කණ්ඩායමක් අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණ සිටිති.

පරීක්ෂණ කණ්ඩායම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් සහ එහි උසස් නිලධාරීන්ගෙන් මෙම සිද්ධියේ මූලික තොරතුරු ලබා ගැනීමක් කළ බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ ය. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මේ සම්බන්ධයෙන් අප අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්නගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කර මුද්‍රණය කෙරුණු හය වැනි ශ්‍රේණිය ඉංග්‍රීසි විෂයට අදාළ මොඩියුලයේ පොත්වලට නුසුදුසු වෙබ් අඩවියක නමක් ඇතුළත්  කිරීම කිසියම් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවට ප්‍රබල සැකයක් මතුව ඇති බවයි.

මේ පිළිබඳව මූලික විමර්ශනයක් පැවැත්වෙන බවත් එම විමර්ශනයෙන් අනතුරුව මීට වගකිව යුතු නිලධාරීන් සියලු‍ දෙනාට  එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය.

විවිධ විෂයයන්ට අදාළ මොඩියුල 106ක් මුද්‍රණය කර ඇති බව කී ඔහු සෙසු මොඩියුලවල ද මෙවැනිම ආකාරයේ ගැටලු‍ ඇත්දැයි සොයා බලාගෙන යන බව ද කීවේ ය. කෙසේ වෙතත්  අනෙකුත් මොඩියුල සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පැමිණිල්ලක් ලැබී නැති බව ද ඔහු කීවේය.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් එම පරීක්ෂණයේදී ද මේ පිළිබඳව වැදගත් කරුණු අනාවරණය වනු ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

හය වැනි ශ්‍රේණිය ඉංග්‍රීසි විෂයට අදාළ මොඩියුලවල  නුසුදුසු කොටස් ඉවත් කර බෙදාහැරීමට පියවර ගෙන ඇති බවද නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.

එම පොත් මුද්‍රණය කිරීම සඳහා රුපියල් කෝටි හයකට අධික මුදලක් වියදම් කර ඇත. පොත් ලක්ෂ තුනහමාරක් මුද්‍රණය කර තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කළේ ය. මෙම සිද්ධිය පිළිබඳව කිහිප දෙනකු අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැවට පැමිණිලි කිරීමෙන් පසු කරුණු සොයා බැලීමේ දී එම සිද්ධිය සත්‍යයක් බව හෙළිවිය. ඒ අනුව අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළේය.