(චමිල් රූපසිංහ )
ජනතාව මුඛ ආවරණ පැළඳීමට පටන් ගැනීමත් සමඟ මෙරට ශ්වසන රෝගීන්ගේ විශාල අඩුවක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා ස්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ අධ්‍යාපන ප්‍රධානී,මහනුවර වෛද්‍ය සංගමයේ සභාපති දුෂ්‍යන්ත මැදගෙදර මහතා පවසයි.
එය කොවිඩ්-19 වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමේ එක් පියවරක් ලෙස ඇතිවු වැදගත් සිද්ධියක් බව දකීවේය.
ලෝක පරිසර දිනයට සමගාමීව මහනුවර වෛද්‍ය සංගමය,ශ්‍රී ලංකා ස්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, රතුකුරුස සංවිධානය සිප්ලා(Sipla)ආයතනය, එක්ව අද (08) මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානයේදී සංවිධානයකර තිබූ වැඩසටහනකදී මැදගෙදර මහතා මේබව සදහන් කළේය..
ස්වසන රෝග වලට ගොදුරුව සිටින පුද්ගලයින්ට රෝග උත්සන්න වීමත් සංකූලතා ඇති වීම ඉතා අඩු මට්ටමක පවතින බවත් මේ නිසා රෝගීන්ට ප්‍රතිජීවක ඖෂධ ලබාදීමද සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙන බවත් මුඛ ආවරණ පැළඳීම පුරුද්දක ලෙස අඛන්ඩව සිදුකිරීම සෞඛ්යාරක්ෂිත පියවරක් ලෙස තමා දකින බවත් මෙමඟින් රෝගකාරක විෂබීජ තමන්ගේ ශරීරයට ඇතුළු වීමත් තමන්ගේ ශරීරයේ ඇති විෂබීජ භාහිර පරිසරයට එක්වීමත් වැළකෙන බවද ඒ මහතා සදහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා
කර්මාන්ත ශාලා,පාසැල්,පෙර පාසැල්,රාජ්‍යය ආයතන වසා දැමීමත් වාහන ධාවනය අවම වීමත් නිසා පරිසරට දූෂණය සැලකිය යුතු ලෙස පහත වැටී තිබෙන බවත් රට සාමාන්‍ය අතට පත්ව තිබෙන මෙම අවස්ථාවේ පරිසරය ආරක්ෂාකර ගැනීම පිළිබඳව ජනතාව වැඩි අවධානයක් යොමුකළ යුතුව තිබෙන බවද ප්‍රකාශ කළේය.
මෙවර පරිසර දින තේමාව ජෛව විවිධත්වය රැක ගනිමු යන්න බවත් සතුන්,ගහකොළ,පස,වායුව ආරක්ෂා කිරීම මිනිසාගේ පරම යුතුකම බවත් කී විශේෂඥ වෛද්‍යවරයා පරිසර තත්ත්වයන් වෙනස්වන විට ඊට අනුගත වීමට අසීරුම සත්ත්වයා මිනිසා බවද එහිදි පැවැසිය.
ස්වසන රෝගීන් බහුලව භාවිත කරන ඉන්හේලර් යන්ත්‍ර භාවතයෙන් පසු සාමාන්‍ය පරිසරයට මුදා හැරීම ඉතා අවධානම් බවත් මේ නිසා ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැඩසටහනක් ආරම්භකර තිබෙන මෙම ඉන්හේලර් යන්ත්‍ර බැහැර කිරීම සඳහා ස්වසන රෝගීන්ට ප්‍රතිකාර කෙරෙන රෝහල් වල සහ ඖෂධ අළෙවි සැල් අසළ ප්‍රතිචක්‍රීකරණ බඳුන් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙන බවද සිප්ලා ආයතනයේ ස්වසන රෝග අංශ ප්‍රධානී කළණ ඇරෑගොඩ මහතා කතා කරමින් සදහන් කළේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ස්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති නන්දික හරිශ්චන්ද්‍ර,සිප්ලා ආයතනයේ විධායක අධ්යක්ෂ අසාම් ජවාඩ් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි නිගමනයකට එන්නේ කෙසේද? මුඛආවරණ දාන්න පටන්ගත්තේ මාස තුනක වගේ කාලයක සිට. ඒ මේ දක්වා රටේ ඇඳිරිනීතිය. මිනිස්සු දෛනික කටයුතු සහ ගමනාගමනය සීමාවෙලා තිබුනේ..., ශ්වසන ආබාධයකට වගේ රෝහල් යෑමත් ඇතුළුව... අඩුවෙන් මිනිසුන් පැමිණීම පමණක් දත්තයක් කොට රටේ ශ්වසන ආබාධ අඩුයි යනුවෙන් නිගමනය කරන්නේ කෙසේද?
ටික කාලෙකට කලින් කොළඹ නිල්අහස දකින්න ලැබුනේ නැහැ. පුදුම විදියට වායු දූෂණය වෙලා තිබුනේ. මාස්ක් දැම්මට විතරක් ශ්වසන රෝග අඩුවෙයි කියලා හිතන්න අමාරුයි. ලංකාවේ වායු දූෂණය අඩු කරන්න රජය විසින් වැඩ පිළිවෙලක් තිබුණොත් හොඳයි.
ටික කාලෙකට උඩදී ලංකාවේ දියර කිරි ප්‍රවර්ධන වැඩසටහනක ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වලා තිබ්බේ ෆොන්ටේරා සමාගමෙන්... නිකමට මතක් කෙරුවේ.
ශ්වසන රෝග අඩුවීමට මූලික හේතුවක් වී ඇත්තේ කොරෝනා නිසා සමස්තයක් ලෙස ලොව ගමනාගමනයන් අඩුවී පරිසර දූෂණය අඩුවීම බව ලෝකයේ අනිකුත් පරිසර ආයතනයන්ගේ නිගමනයයි. අනේමන්දා මෙහෙ වෙනසක් තියනවද කියලා...
අපේ රජය කරන්නේ වායු දූෂණය සහ ඉන්ධන දහනය අඩු අඩු දෙමුහුන් මෝටර් රථ සඳහා අමතර බද්දක් ගැසීමයි. පාර්ලිමේන්තුවේ ඉන්නේ වැඩි හරියක් අපොස සාමාන්‍ය පෙළ අසමත් පුද්ගලයන්.., ඉතින් නීති හදන පුද්ගලයින්ට මේවා ගැන තේරුමක් නැහැ.
වර්ෂා කාලය පටන් අරන් සති දෙකක් විතර ඇති. ඊට කලින් පැවතුණේ මාස ගණනාවක්ම පැවතුණේ තද පෑවිල්ලක්. පායන කාලවල සාමාන්‍යයෙන් ශ්වසන රෝග වැළඳෙනවා අඩුයි. ඒ ගැනත් සලකා බැලීම වටිනවා...
මේ කතාව ඇත්ත නම්, එ්කෙන් කියැවෙන්නේ අපේ ප්‍රධාන නගරවල වාතය කොච්චර දුෂිත ද කියලා, අපේ රටේ ප්ලාස්ටික් පොලිතීන් භාවිතය වගේ කිසිම පාලනයක්, පිළියමක් නැතිව දිගටම ගියොත්, ලෝකේ වායු දූෂනය වැඩිම නගරවල උඩින්ම කොළඹ තියෙයි ළඟදීම..
ශ්වසනාබාධ සහිත ලෙඩුන් අඩුවීමට තවත් හේතුවක් වන්නේ කොරෝනා නිසා බයෙන් ඉස්පිරිතාලයක් පළාතේ මිනිස්සු යන්නේ නැති එකයි.
බොරු කියන්න එපා මනුස්සයෝ.. මිනිස්සු දැන් කැස්සක් හැදුණත් බෙහෙත් ගන්න යන්න බයයි. අල්ලලා අයිඩීඑච් දායි කියලා. මෝඩ කතා කියන්න එපා.
සෞඛ්‍ය සම්පන්න ආහාර භාවිතය තමයි මේ ලෙඩ රෝග අඩුවීමට ප්‍රධානම හේතුව. පිරිසුදු වාතයත් උදව්වක් උනා. වෙනදා වස විස දාපු ක්ෂණික ආහාර පාන නොගත්ත කෙනෙක් නැති තරම්. මේ අතර දේශීය වෛද්‍ය පිළිවෙත් අනුගමනය කරමින් වක්රාකාර ලෙස අහිතකර දේවල් වලින් මිනිසුන් ඈත් උනා. පසුගිය කාලේ හැමෝම ගෙදර හදපු ඉතාමත් ගුණදායක කෑම පාවිච්චි කල නිසා ස්වසන රෝග විතරක් නොවේ, රටේ සියලුම රෝග අඩු උනා. එතකොට මේ ලක්ෂ ගණනින් වෛද්‍ය විශේෂඥයන්ට දිනපතාම පොරකකා සල්ලි පූජා කරපු අපේ මිනිසුන් දැන් නිරෝගී වී ඇති බව පෙනේ. පාඩුව සිදුවී ඇත්තේ විශේෂඥයන්ට ලැබුන කෝටි ගානක ආදායම මිස ජනතාවට නොවේ. වසංගතයක් සේ පැතිර ගිය වෛද්‍ය විශේෂඥයන් හඹා යාම රජය මගින්වත් පාලනය කරනවා නම් අගනේය.
මුව ආවරණ වැඩිපුර කාලයක් භාවිතා කිරීම හොඳ නැති බව වෙනත් විද්වත් සාකච්ඡාවකදී එළිවුණා. ඒ විතරක් නොවෙයි, කුඩා ළමයින්ට මුව ආවරණ නිසා අධික කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් (ප්රාශ්වාස වාතයේ ඇති) පෙනහළු වලට ඇතුළු වෙන බවයි එහිදී පැවසුනේ. මේ නිසා එම ළමුන්ට ක්ලාන්තය සෑදෙන බවකුත් එහිදී කියවුණා. අනේ මන්දා කොයිඑක පිළිගන්නේද කියලා ..
වෛද්‍ය වරයෙක් කිව්වා උනත් මේ කතාවට නම් ගොන් කතාවක් කියන්නම වෙනවා. පැය දෙකක් ඔය මාස්ක් එකක් දාගෙන ඉන්නකොට හුස්ම ගන්නත් අමාරුයි. එතකොට අපිරිසිදු වාතය හුස්ම අරන්ද නිරෝගී කම ලැබෙන්නේ? ඉස්සර කාලයේ මෙන් නොව දැන් කාලයේ හැම කෙනෙකුම අන්තර්ජාලය මගින් අනිකුත් රටවල් වල සිටින විවිධ විශේෂඥයන්ගේ අදහස් උදහස් කියවනවා. එබැවින් යමක් කීමට පෙර අවශ්‍ය පමණට කරුණු තිබේදැයි සොයාබලා තමන්ගේ මතය ඉදිරිපත් කරන්න. බටහිර රටවල් වල නම් මෙවැනි මත පල කිරීමේදී ඉතාමත් ප්‍රවේශම් වෙනවා.