(අංජුල මහික වීරරත්න)

ප්‍රජා සවිබල ගැන්වීම සහ සමාජ රැකවරණය ලබා දීම ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් වගකීම් දරන සියලු රාජ්‍ය ආයතන මනා සම්බන්ධීකරණයෙන් කටයුතු කළ යුතු බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පැවැසීය.

දිළිඳුකම තුරන් කර සමාජ සවිබල ගැන්වීම සහ ආර්ථික සාධාරණත්වය තහවුරු කිරීම අරමුණු කර ගනිමින් රජයේ ප්‍රධාන වැඩසටහන ලෙස ක්‍රියාත්මක “ප්‍රජාශක්ති” වැඩසටහනේ 2026 වසරේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සහ 2027  වසරේ සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේ අමාත්‍යවරයා  මේ බව කීය.

“ප්‍රජාශක්ති” වැඩසටහන සඳහා 2026 අයවැයෙන් වෙන් කළ රුපියල් බිලියන 25න් රුපියල් බිලියන 23ක ප්‍රතිපාදන යොදා ගනිමින් ව්‍යාපෘති 23,000ක් පමණ ක්‍රියාත්මක කර තිබෙන බවත්, එම සියලු ව්‍යාපෘති මෙම වසර තුළ අවසන් කිරීමේ හැකියාව පවතින බවත් මෙහිදි  අවධාරණය කෙරිණි.

එමෙන්ම, තවත් මිලියන 2,000 ක ප්‍රතිපාදන විශේෂ ආකෘතික ව්‍යාපෘති (Model Projects) සහ ව්‍යවසාය සංවර්ධන වැඩසටහන් සඳහා යොමු කර ඇති බවත්, එම වැඩසටහන් ඔස්සේ හඳුනා ගන්නා ව්‍යාපෘති ඉදිරියේදී ප්‍රජාශක්ති වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් අනාවරණය විය.