(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ  ඉඩම් අවභාවිතයන්, මූල්‍ය අක්‍රමිකතා සහ පරිපාලන දුර්වලතා සම්බන්ධයෙන් අනාවරණය වූ කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කර විධිමත් විමර්ශනයක් සිදු කිරීම කෙරෙහි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) අවධානය යොමු විය.

ඒ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 2022 සහ 2023 වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ විමර්ශනයේ ඉතිරි කරුණු සලකා බැලීම සඳහා කෝප් කමිටුව එහි සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍යනිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙහිදී මාලිගාවත්ත, ඇල්විටිගල මාවත සහ දඹුල්ල රංගිරිගම ප්‍රදේශවල පිහිටි අධිකාරිය සතු වටිනා ඉඩම්, අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව සහ ඉතා අඩු නාමික වටිනාකම් යටතේ බාහිර පාර්ශ්ව වෙත බදු දීම, ගිවිසුම්වල සඳහන් පරමාර්ථයන්ට පටහැනි ලෙස එම ඉඩම් භාවිත කිරීම සහ අධිකාරිය සතු දේපළ නිසි ලෙස ආරක්ෂා නොකිරීම සම්බන්ධයෙන් ද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මෙම ගනුදෙනු බොහොමයක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පරමාර්ථයන්ට සහ නීතිමය ප්‍රතිපාදනවලට පටහැනිව සිදුවී ඇති බව කාරක සභාව නිරීක්ෂණය කළ අතර, අදාළ අක්‍රමිකතා සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කර අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ කළේය.