(සුජිත් හේවාජුලිගේ)

මේ සතියේ දිගු නිවාඩුවක් ලැබීමෙන් විශාල පිරිසක් එකවර ගම්බිම් වෙත සහ විනෝද සවාරිවල යෑම හේතුවෙන් මෙරට අධිවේගී මාර්ග පද්ධතියෙන් පසුගිය දින දෙකේදී පමණක් රුපියල් දොළොස් කෝටි හතළිස් පන් ලක්ෂ හැත්තෑ හතර දහසක පමණ ආදායමක් උපයා ගෙන අැතැයි ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශය පවසයි.

එම දින දෙකේදී සමස්ත අධිවේගී මාර්ග පද්ධතිය භාවිතා කර ඇති මුළු වාහන සංඛ්‍යාව 3,25,310 කි.

ඒ අනුව අධිවේගී මාර්ගවල පසුගිය 26 වැනිදා රථ වාහන 1,63,763 ක් ගමන් කර ඇති අතර, එදින උපයා ඇති ආදායම රුපියල් හය කෝටි හතළිස් ලක්ෂ නව දහසකට අධිකය.

එමෙන්ම (27) දිනයේදී අධිවේගී මාර්ග පද්ධතිය හරහා රථ වාහන 1,61,553 ක් ගමන් කර ඇති අතර, එදින ලැබී ඇති ආදායම රුපියල් හය කෝටි හතළිස් එක් ලක්ෂ හැට හතර දහසක් බව වාර්තා වේ.

එම දින දෙකේදී දක්ෂිණ අධිවේගි මාර්ගයේ පමණක් ආදායම රුපියල් හත් කෝටි හැට හත් ලක්ෂයකි.

මේ අතර කොළඹ කටුනායක අධිවේගී මාර්ගයෙන් පසුගිය දින දෙකේදී රුපියල් තුන් කෝටී හතළිස් අට ලක්ෂයක අාදායමක් ලැබී ඇතැයි ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශය සඳහන් කළේ ය.

පසුගිය දින දෙක තුළ මධ්‍යම අධිවේගී මාර්ගයෙන් ලැබී ඇති ආදායම රුපියල් එක් කෝටි විසි නව ලක්ෂයකි.