ආචාර්ය පණ්ඩිත් අමරදේව අප රටේ සිටින ශ්‍රේෂ්ඨතම ගායකයා වන්නේ යම් සේද, නන්දා මාලිනී අපේ රටේ සිටින ශ්‍රේෂ්ඨතම ගායිකාව වන්නීය. අද වනවිට එසේවුවද අතීතය අමරදේවයන් සහ නන්දා මාලිනිය ගුරුතුමකු සහ සිසුවියක බව අපට මතක් කොට දෙයි. ශ්‍රේෂ්ඨයින්ගේ ඇසුරේ එවන් ශ්‍රේෂ්ඨයින් බිහිවන බවට මේ අපේ කාලයේ කදිම සාක්ෂියයි. ඇය සුභාවිත ගීතය පෝෂණය කිරීම උදෙසා මෙතෙක් දක්වා ඇති යුගකාරක මෙහෙවර අග්‍රගණ්‍ය වන්නේ යම් සේද, එයට ගුරුහරුකම් දුන්නෝ අමරදේවයන් බව ඈ නොවක් තුති සිතින් සිහිපත් කරති. මේ ඇගේ වචන වලින් දිගහැරෙන අමරදෙව් ගුරු සඳ පූජා පදයයි.
අමරදේවයන් ඔබට මුලින්ම හමුවුණේ කොහොමද?
මම ඉපදුණේ කොළඹ කොටහේන කාෙසට්ටි වත්තේ ඉතා පොඩි පැල්පතක. මම පාසැල් ගියේ කොළඹ කොටහේන ගුණානන්ද විද්‍යාලයට. මම ඉතින් පන්තියේදී කවි එහෙම ගායනා කරනවා. ඔය කාලේ මගේ පන්ති භාර ගුරැතුමිය වන එන්. මාග්‍රට් පෙරේරා ගුරැතුමිය මගේ මේ හැකියාව දැකලා මාව ළමා මණ්ඩපයට එක්කගෙන ගියා. එතැනදී කරැණාරත්න අබේසේකර මහතාට මාව හඳුන්වා දුන්නා, මේ දරැවා ඉතාම දුප්පත් පවුලක දරැවෙක්, හැබැයි කවි ගායනයට දක්ෂයි. මෙයාට අපි උදව් කරන්න ඕනේ කියලා. ඔහොම තමා මම ගුවන් විදුලියේ ළමා පිටියට සම්බන්ධ වුණේ. මට මුලින්ම අමරදේව මහතාව මුණගැහුණෙත් ගුවන් විදුලියේදී.
අමරදේව මාස්ටර්ගේ මුල්ම චිත්‍රපටයට සම්බන්ධ වෙන්න ඔබට අවස්ථාව ලැබුණා?
ඔව්. මම ගුවන් විදුලියේදී ගායනා කරපු කවි ගීත අමරදේව සර් අහගෙන ඉඳලා තියෙනවා. ඒ කාලේ මම බුදු සාදු, සුරතල් පොඩි හාවා කියන සින්දු ගායනා කරලා තිබ්බේ. ඉතින් දවසක් සර් ළමා මණ්ඩපය ඉවරවුණාට පස්සේ මා එක්ක බස් එකේ අපේ ගෙදර ආවා. මගේ තාත්තාට කියනවා මට ඇහුණා, වින්සන් මහත්තයා ඔයාට ඉන්නේ අනාගතයට වටිනා යහපත් දරැවෙක් කියලා. ඊට පස්සේ තමා සර් කිව්වේ සර්ට සංගීත අධ්‍යක්ෂණය කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා චිත්‍රපටයකට. ඒ චිත්‍රපටයේ සින්දු කියන්න දුවවත් ගන්නවා කියලා. මම හිතන්නේ නෑ, එදා මගේ අම්මටවත් තාත්තටවත් මේ ගැන අවබෝධයක් තිබ්බා කියලා. මමත් ඉතා පුංචි නිසා ඒ කාලේ ලොකු වැටහීමක් නැහැ. මමත් පසු කලෙක තමා මේ දේවල් විශ්ලේෂණය කරලා බැලුවේ.
කොහොමද ඔබ එදා ලබපු අත්දැකීම?
මුලින්ම මාව අමරදේව සර් එක්කගෙන ගියේ රාජගිරියේ මාදින්නාගොඩ පාරේ තිබුණ ශේෂා පලිහක්කාරගේ ගෙදරට. මොකද, ඒ චිත්‍රපටය නිෂ්පාදනය කළේ සෙරන්ඩිබ් ආයතනය. එතැන හිටියා මයික් විල්සන් මහතා. ශේෂා පලිහක්කාර සහ තිස්ස ලියනසූරිය මට ගීත දෙකක් කියන්න තියෙනවා කියලා පුහුණුවීම් කළා. ගලන ගඟකි සහ බුද්ධ දිවාකරයාණෝ කියන ගීත දෙක. ඊට පස්සේ සතියකට විතර පස්සේ කොල්ලුපිටියේ සරසවි චිත්‍රාගාරයට ගිහින් තමා ගීත පටිගත කළේ. මට තාම මතකයි මගේ අතින් අල්ලගෙන එක්කගෙන ගියේ හරියට තාත්තා කෙනෙක් වගේ. මට මතකයි මට තිබ්බ මයික්‍රෆෝනයට මම උස මදි. ඒක දැකපු අමරදේව සර් කිව්වා, මේ ළමයට උස මදිනේ, ඔය පොඩි පෙට්ටියක් තියෙනවා නේද? ඒක මෙතනින් තියන්න කියලා. ඊට පස්සේ මට කිව්වා ඒක උඩ නැගලා කියන්න කියලා. ඔන්න ඔහොම තමා මුල්ම පටිගත කිරීම කළේ. එතුමා නැත්නම් අද නන්දා මාලිනී කියලා කෙනෙක් නැහැ.
එතැනින් එහාටත් එතුමාගේ ගුරැහරැකම් ලැබුණා නේද?
අනේ ඔව්. මේ මගේ සංගීත ගමනට දැන් අවුරැදු 50කටත් වැඩියි. මේ සියලු දුර ආවේ එතුමාගේ ශක්තියෙන්. ඉතාම දුප්පත් පවුලක ඉපදුණු මාව පැය 24ක් ඇතුළත ලංකාවේ හැමෝම දන්නා චරිතයක් කළේ අමරදේව සර්. ඒ වගේම මුල්ම සරසවි සම්මාන උළෙලේ දී රන්මුතු දූව චිත්‍රපටය සංගීතය වෙනුවෙන් තිබුණ සියලුම සම්මාන දිනා ගත්තා. ඒ ඉතිහාසය හරි පුදුමයි. එතනින් එහාටත් සියලුම සරල ගීත, එතුමාගේ ගීතවලට අත්වැල් ගායනයෙන් වගේම යුග ගායනයෙන් සම්බන්ධ වෙන්නත් මට වාසනාව ලැබුණා. මට මේ වෙලාවේ මතක් වෙනවා මහගම සේකර මහතා කරපු මධුවන්ති. ඩෝල්ටන් අල්විස් මහතා කරපු විජය ගීත සහ මඩවල රත්නායක මහතාගේ ජන ගායනා. මේ සියලු වැඩසටහන්වලට මාවත් සම්බන්ධ කරගත්තා. අද තමා මේ දැවැන්ත චරිත එක්ක එකට වැඩ කරන්න ලැබුණු එකේ වටිනාකම තේරෙන්නේ. එදා එහෙම අපිට දැනුණේ නැහැ.
වැඩසටහන් නැති නිදහස් වෙලාවට මොකද කළේ?
හ්ම්ම්.. මට හොඳට මතකයි විවේකයක් ලැබුණාම ගුවන් විදුලිය ආසන්නයේ තියෙන තුරග තරග පිටියේ තියෙන රේස් තරගයක් බලන්න එක්කගෙන යනවා. අපිත් හරි ආසයි. ඒ වගේම තමා මතක් කරන්න ඕනේ ගුවන් විදුලි වැඩසටහනකින් සුළු මුදලක් සර්ට ලැබෙනවා. සර් ඒ මුදලින් අපිටත් ගුවන් විදුලි කැන්ටිමෙන් කන්න අරන් දෙනවා. තමන්ගේම දරැවෝ ටිකක් රුකබලා ගන්නවා වගේ තමා අපිට සැලකුවේ. ඒ වගේම ඉඳලා හිටලා කොල්ලුපිටියේ තිබ්බ ග්‍රීන් කැබින් එකට පවා එක්කගෙන ගිහින් කන්න අරන් දුන්නා.
එතුමා උගන්වන වෙලාවට කොහොමද?
මම කවදාවත් දැකලා නැහැ, එතුමාට කේන්ති යනවා. ඒ වගේම තමා එතුමා අපිට උගන්වනවා කියන්නේ අපි ඉස්සරහා ගයලා පෙන්නනවා. ඒ ගැයුම අපේ හදවතේ ගිලා බැස්සා. එහෙම තමා එතුමා අපිට ඉගැන්නුවේ. සර් ගායනා කරපු ඒ ගීතය තුළ ඒ ගීතයට අවශ්‍ය ශක්තිය, භාවමය ලක්ෂණ, මියුරැ බව, සංවේදී බව කියන සියලු දේ ඇතුළත්වෙලා තිබ්බා. කවදාවත් බොරැ පුරාජේරැ තිබ්බේ නැහැ. මට නම් තාම හිතාගන්න බැහැ එතුමාගේ මේ වියෝව.
එතුමාගේ ඇසුරෙන් ලබාගත්ත දේ මෙතකැයි කියන්න බැහැ. අපි ලොකු ලොකු විශ්වවිද්‍යාලවලට ගිහින් නැහැ. නමුත් සර්ගේ ඇසුර නිසා සර් සතුව තිබුණ නිවුන ගතිය, භාෂා භාවිතය, හොඳ ගීතයක් තෝරාගෙන ගායනා කිරීමේ හැකියාව ලැබුණා. සමහරවිට විශ්වවිද්‍යාලයකින්වත් මේ තරම් දැනුමක් ලබාගන්න බැහැ. ඒ වගේම අමරදේව සර් නිසා දැන හඳුනාගන්න ලැබුණු පිරිස මහගම සේකර මහතා, ඩෝල්ටන් අල්විස් මහතා, මඩවල රත්නායක මහතා, විමල් අබේසුන්දර මහතා, ජයකොඩි පියතුමා, චිත්‍රසේන මහතා, ලෙස්ටර් මහතා සහ පතිරාජ වැනි දැවැන්ත පතාක යෝධයින්.
මෑතකදීත් එතුමාව මුණගැහුණා නේද?
ඔව්. රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරැවන්ගේ සාහිත්‍ය සේවයට වසර 40ක් පිරීම නිමිත්තෙන් තිබුණු උත්සවයේදී හමුවුණා අපි. එදත් කතා කළා. හැබැයි දැනගෙන හිටියේ නැහැ, ඒ අපි හමුවන අන්තිම දවස කියලා. ඒ හමුවෙලා දවස් කීයද ගතවුණේ.
අවසාන වශයෙන් කියන්න යමක් ඇති?
ඔව්. අමරදේව සර් ආරක්ෂා කරගෙන ආව මේ අපේ සංස්කෘතිය, කලාව අපිත් ඉදිරි පරම්පරාවට රුකගන්න ඕනේ. ඒක තමා දැන් කළයුතුව තියෙන්නේ. මම වාසනාවන්ත වුණා මෙතුමාගේ ඇසුර ලබන්න. ඒ වගේම මගේ දරැවන්ට වාසනාව තිබ්බා. මගේ ලොකු දුවගේ විවාහයට පවා අත්සන් කළේ අමරදේව සර් සහ සරච්චන්ද්‍ර මහතා. නමුත් මගේ දරැවන්ගේ දරැවන්ගෙන්වත් මෙතුමා වගේ කෙනෙක් බිහිවෙයි කියලා විශ්වාස කරන්න බැහැ. ඒ වගේම මට නම් මගේ ජීවිතේට කරලා තියෙන දේවල් ගැන හිතද්දී මේ ණය නම් මට ගෙවලා ඉවර කරන්න බැරි තරම්. අපි සදාකල් ණයගැතියි අමරදේව සර්ට. අමරදේව සර්ගේ ආදාහනය දවසේ 85%ක්ම හිටියේ තරැණ පිරිස. ඒ අය ලෝකෙට පේන්න එතැනට ආවා නෙවෙයි. හිත රිදිලා හදවත කඩා වැටිලා ආපු අය. ඒ වගේම පවතින විද්‍යුත් මාධ්‍ය සියල්ලම මේ කාලෙම ප්‍රචාරය කළේ මෙතුමාගේ ගීත. අපි ඔක්කොම මැරෙනවා. ඒ දහම අපි හැමෝම දන්නවා. ඒත් ඒක එහෙමයි කියලා මේක දරාගන්නෙ කොහොමද? අද නන්දා මාලිනී කියන මම මේ තැන ඉන්නේ අමරදේව සර්ට පින් සිද්ධ වෙන්න.
අනූෂා රණසිංහ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
නන්දා මාලිනීගේ සංවේදී මතක පූජාව