(නිමල කොඩිතුවක්කු)

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් හානියට පත්ව ඇති පාලම් 14 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

' දිට්වා ' සුළි කුණාටුව හේතුවෙන් හානියට පත්ව ඇති බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත් වල පිහිටි පාලම් 14 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා මහජන චීන සමූහාණ්ඩුව විසින් මුල්‍ය ප්‍රදානයක් ලබා දීමට එකඟතාව පළ කර ඇත.

එම ව්‍යාපෘතිය අදියර 02 ක් යටතේ ක්‍රියාත්මක කිරීමටත්, මාස 18 ක කාල සීමාවක් තුළ පළමු අදියර යටතේ පාලම් 09 ක් ප්‍රතිසංස්කරණය කිරීමටත් සැලසුම් කර තිබේ.

ඒ අනුව, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන ගිවිසුම ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ මහජන චීන සමූහාණ්ඩුව අතර අත්සන් තැබීමටත්, ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජයේ නිශ්චිත ව්‍යාපෘතියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටත් ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.