සිරියාව තවදුරටත්, ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රටක් නොවන බව ඇමෙරිකාව පවසයි. ඒ අනුව, ඇමෙරිකාව විසින් නම් කරනු ලැබූ ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍ය ලැයිස්තුවෙන් සිරියාව ඉවත් කරන බව ඇමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

බලය අතහැර රුසියාවට පලා ගිය බෂාර් අල් අසාද්, සිරියාවේ බලයේ සිටිද්දී ඇමෙරිකාව සිරියාව ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රටක් ලෙස නම් කළේය. සිරියානු සිවිල් යුද්ධයේදී, ඇමෙරිකාවේ සහ ප්‍රංශයේ සහාය හිමිවූයේ සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලටය.

අද සිරියාවේ බලයේ සිටින්නේ සහ නව රජයක් පිහිටුවා, මැතිවරණ පවා පවත්වා ඇත්තේ එම විපක්ෂ කණ්ඩායම් පිහිටුවූ රජයයි. හිටපු අල් කයිඩා සටන්කාමියකු වන අහ්මද් අල් ෂාරා සිරියාවේ ජනාධිපති ලෙස කටයුතු කරයි. 
අහ්මද් අල් ෂාරා ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිත දිනා ගැනීමට සමත් වී සිටී. සිරියාව තවදුරටත්, ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රටක් නොවන බව ඇමෙරිකාව තීරණය කළේ ඒ අනුවය.