උතුරු කොලොම්බියාවේ මගී ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි 15 දෙනාම මිය ගොස් ඇති බව එරට රාජ්‍ය ගුවන් සේවය වන සැටෙනා තහවුරු කර තිබේ.

NSE 8849 ගුවන් යානය ඔකානා සිට කිලෝමීටර් 100ක් (සැතපුම් 62ක්) ඊසාන දෙසින් පිහිටි කුකුටා නගරයෙන් ගුවන් ගත වී ඇති බවත් එහි මගීන් 13 දෙනකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනකු සිට ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොලොම්බියානු කොන්ග්‍රස් සභික ඩියෝජිනස් ක්වින්ටෙරෝ අමායා සහ එරට ඉදිරි මැතිවරණයේ අපේක්ෂකයකු වන කාලෝස් සැල්සෙඩෝ ද මියගිය පිරිසට ඇතුළත් වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

වෙනිසියුලානු දේශසීමාව අසල ඔකානා නගරයට ගොඩබෑමට නියමිතව තිබූ යානය සමඟ සම්බන්ධතාව ඊයේ (28) දින දේශීය වේලාවෙන් 12:05 ට (GMT 17:05) පමණ බිඳ වැටී ඇති බව වාර්තා වේ.

ගුවන් යානා කිහිපයක් සම්බන්ධ කර ගනිමින් සිදු කරන ලද සෝදිසි කිරීමකින් පසුව, ලා ප්ලායා ඩි බෙලන් හි ග්‍රාමීය ප්‍රදේශයකින් කඩා වැටුණු ගුවන් යානය සොයා ගත් බව බලධාරීන් පැවසු බව විදෙස් වාර්තා සඳහන් කරයි.

(හසිනි නවෝද්‍යා)