(සුජිත් හේවාජුලිගේ )

අනුරාධපුර අටමස්ථානාධිපති ධූරයේ කටයුතු ආවරණය කිරීම සඳහා ඉරුවන්වැලි සෑ වෛත්‍යාරාමාධිකාරී  ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියෝ  පත් කරනු ලැබ සිටිති

අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව පැවැත්වෙන නඩු කටයුත්ත අවසන් වනතුරු  මෙසේ තනතුරින් තාවකාලිකව   ඉවත්  කර   ඇතැයි එම සංඝ සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

අඟසභාව නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන්වේ.

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය හා අටමස්ථානාධිපති ධුරය පිළිබඳවයි

වර්තමානයේ දී උක්ත ඨානාන්තර ද්විත්වය දරන පල්ලේගම හේමරතන ස්ථවිරයන් වහන්සේ සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාව පිළිබඳව අවධානය යොමුකොට මල්වතු මහා විහාරීය ගරුතර කාරක මහාසංඝ සභාව විසින් අදාළ පාර්ශ්වයන් ද ගෙන්වා මේ සම්බන්ධයෙන් කරුණු විභාග කරන ලදී.

ඒ අනුව 2026.05.30 දිනතිව රැස් වූ මල්වතු මහා විහාරීය ගරුතර කාරක මහා සංඝ සභාවේ දී පල්ලේගම හේමරතන ස්ථවිරයන් වහන්සේ සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාව පිළිබඳව පවතින අධිකරණ කටයුතු අවසන් වී ඒ පිළිබඳව අවසන් තීරණයක් ලැබෙන තෙක්, මල්වතු මහා විහාරීය ගරුතර කාරක මහා සංඝ සභාව වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ඒ ස්ථවිරයන් වහන්සේ වෙත පත් කර ඇති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය අත්හිටුවීමට තීරණය කරන ලදී.

එසේම, ගරුතර කාරක මහා සංඝ සභාවේ නියමය පරිදි අටමස්ථාන කමිටුව විසින් තත් කමිටු සාමාජික උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී ඊතලවැටුණුවැවේ ඥාණතිලක නායක ස්ථවිර තාවකාලිකව අටමස්ථානාධිපති ධුරයේ කටයුතු ආවරණය කිරීම සඳහා පත් කිරීමට අටමස්ථාන කමිටුව තීරණය කර ඇති බවද මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිගෞරවාර්හ ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේගේ නියමය පරිදි මෙයින් නිවේදනය කර සිටිමි.