(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අනිද්දා (24) සිකුරාදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (22) තීරණය කළේය.

මේ අනුව විවාදය එදින පෙරවරු 11.30 පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතය.

විවාදයෙන් අනතුරුව ඡන්ද විමසීම පැවැත්වේ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලයේදී ඊයේ (21) බාර දෙනු ලැබීය.

මෙම යෝජනාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරුන් තිස් හත් දෙනෙකු අත්සන් තබා ඇත.

මීගමුව බන්ධනාගාරයේ ගැටුමේදී අමාත්‍යවරයා සිය වගකීම් පැහැර හැර ඇතැයි මෙම විශ්වාසභංග යෝජනාවෙන් චෝදනා කර ඇත.

ගැටුම නිරාකරණය කිරීම සඳහා කඩිනමින් ප්‍රමාණවත් කාලෝචිත පියවර ගැනීමට අධිකරණ අමාත්‍යවරයා අපොහොසත් වීමෙන් ජුලි මස 6 වැනි දින ගැටුම් තීව්‍ර වූ බවත් පූර්ව සැලසුමකින් තොරව බන්ධනාගාර නිලධාරීන් ගැටුම සිදුවූ ස්ථානයට යොමු කිරීමෙන් එම නිලධාරීන්ගේ ජීවිතය අනතුරට දැමූ බවත් එහි සඳහන් වේ.

එසේම රාජ්‍ය බන්ධනාගාර පද්ධතිය තුළ රැඳවියන්ගේ හා නිලධාරීන්ගේ ජීවිත ආරක්ෂා කිරීමේ අවසාන වගකීම දරන්නේ අධිකරණ විෂය භාර අමාත්‍යවරයා බැවින් ඔහු එම වගකීම ඉටු කිරීමේදී අසමත්ව ඇති බවද යෝජනාවේ දැක්වේ.

බන්ධනාගාරයට අදාළ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීමෙන් ජනතාව ලබා දුන් ජන වරමට විරුද්ධ වී ඇති බවත් අධිකරණ විෂය භාර අමාත්‍යවරයා සිය කාර්යයන් වගකීමෙන් ඉටුකර නොමැති බැවින් වග විමක් රහිතව කටයුතු කර අැති බව බැලූ බැල්මට පෙනී යන බවත් එහි වැඩිදුරටත් සදහන් වේ