(මනෝප්‍රිය ගුණසේකර)

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීම ඇතුළු කරුණු ඇතුලත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශව තුනක් ශ්‍රේෂ්ඨාධිකරණයට අද පෙත්සම් ගොනු කළහ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට හානිවන බව සඳහන් කරමින් මෙම පනත් කෙටුම්පත මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවභාවිතා වන බව ප්‍රකාශ කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කාර පාර්ශවකරුවෝ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරගැනීමට නම් එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකට යොමු කරන නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටිති.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් එහි සහකාර ලේකම් ලකිත වාකිස්ඨආරච්චි සහ භාණ්ඩාගාරික පසිඳු සිල්වා යන මහත්වරුන්ද නිදහස් නීතීඥ සංවිධානයේ සභාපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා සහ ජනතාවාදී ඒකාබද්ධ විපජෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරීස් මහතා ගොනුකර ඇති පෙත්සම් වල වගඋත්තරකරු වශයෙන් නීතිපතිවරයා නම් කර ඇත.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නමින් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇතැයි සඳහන් කරමින් පෙත්සම් ගොනුකරන පෙත්සම්කරුවෝ එම පනත් කෙටුම්පතේ දෙවැනි ඡේදයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකුගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වාද අභියාචනාධිකරණ විනිසුරුවරයකුගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 දක්වාද දීර්ඝ කරන බව සඳහන් කර ඇතැයි පවසති.