
(විමුක්ති එස් රුද්‍රිගු)
පසුගිය වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.057 සෘජු විදෙස් ආයෝජන මෙරටට ලැබී ඇති බවත් එය මෙරට ආයෝජන කේෂේත්රයේ හැරවුම් ලක්ෂයක් බවත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පසුගියදා නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ.
2024 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී මෙරට සෘජු විදෙස් ආයෝජන සියයට 72 කින් වර්ධනය වී ඇතැයිද එම වාර්තාවේ සඳහන් වේ. ආයෝජකයන් අතර නැවත ශ්‍රී ලංකාව පිළිබඳව විශ්වාසය ගොඩ නැගෙමින් පවතින බවට මෙය කදිම උදාහරණයක් යැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පැවැසුවේය.
වැඩිම ආයෝජන ප්‍රමාණයක් මෙරටට ලැබී ඇත්තේ නිෂ්පාදන අංශය සඳහා වන අතර එහිදී ඇමෙරිකානු ඩොලර් මිලියන 481 ක් ආයෝජන ලෙස මෙරටට ලැබී ඇත. එය ප්‍රතිශතයක් ලෙස සියයට 46 කි. දෙවැනි ස්ථානයට මෙරටට වැඩිම ආයෝජන ප්‍රමාණයක් ලැබී ඇත්තේ වරාය සංවර්ධන අංශය සඳහා වන අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 275ක් එම අංශයට ආයෝජන ලෙස ලැබී ඇත. එය ප්‍රතිශතයක් ලෙස සියයට 26ක් වේ.
එසේම සංචාරයක හා විනෝදාස්වාද අංශය ඇමෙරිකානු ඩොලර් මිලියන 117 ක්, සන්නිවේදන අංශයට ඇමෙරිකානු ඩොලර් මිලියන 66ක් සහ දේපළ සංවර්ධන අංශයට ඇමෙරිකානු ඩොලර් මිලියන 56ක් ආයෝජන ලෙස මෙරටට හිමිව ඇත.
එසේම පසුගිය වසරේදී මෙරටට වැඩිම ආයෝජන ප්‍රමාණයක් සිදුකර ඇත්තේ සිංගප්පූරුව වන අතර සිංගප්පූරුව ඇමෙරිකානු ඩොලර් මිලියන 319 ක මුදලක් මෙරට ආයෝජනය කර ඇත. එය ප්‍රතිශතයක් ලෙස සියයට 30 කි. දෙවැනි ස්ථානයට වැඩිම ආයෝජන ප්‍රමාණයක් කර ඇත්තේ ඉන්දියාව වන අතර ඉන්දියාව ඇමෙරිකානු ඩොලර් මිලියන 212 මෙරට ආයෝජනය කර ඇත. එය ප්‍රතිශතයක් ලෙස සියයට 20 ක් වේ.
වැඩිම ආයෝජන සිදුකළ අනෙකුත් රටවල් වන්නේ ප්‍රංශය, නෙදර්ලන්තය සහ ලක්සම්බර්ග් වන අතර එම රටවල් සිදුකළ ආයෝජන පිළිවෙළින් ඇමෙරිකානු ඩොලර් මිලියන 122ක්, 118ක් සහ 50ක් වේ.
පසුගිය වසරේ මෙරට සිදුකළ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.057 ක ආයෝජනයට සමාගම් 188 ක් දායකත්වය ලබාදී ඇත. ඉන් 24 ක් පසුගිය වසරේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම් අත්සන් කළ නව ව්‍යාපෘතීන් බවද එම මණ්ඩලය නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වේ. එම නව ව්‍යාපෘතිවල ආයෝජන වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 134 ක් වන අතර එය මුළු සෘජු විදෙස් ආයෝජනවල වටිනාකමින් සියයට 13 ක ප්රතිශතයකි.
ඉතිරි ඇමෙරිකානු ඩොලර් මිලියන 923 ක ආයෝජනය පවතින ව්‍යපෘති අඛණ්ඩව පවත්වාගෙන යාමෙන් සහ ඒවා පුළුල් කිරීමෙන් මෙරටට ලැබී ඇතැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ප්‍රකාශ කළේය.
පසුගිය වසරේදී වැඩි වශයෙන් නව ආයෝජකයන් මෙරටට පැමිණීම ආයෝජකයන් අතර ශ්‍රී ලංකාව පිළිබඳව තිබෙන විශ්වාසය නැවත ගොඩනැගී ඇති බව පෙන්නුම් කරන්නක් යැයි එම වාර්තාවේ දැක්වේ.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අනුමත සමාගම්වලින් ලබාගත් යාවත්කාලීන කරන දත්තවලට අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 167ක් කොටස් ප්රාග්ධනය ලෙසත්, ඇමෙරිකානු ඩොලර් මිලියන 213 ක් ප්‍රතිආයෝජන ලෙසත්, ඇමෙරිකානු ඩොලර් මිලියන 567 ක් අන්තර් සමාගම් ණය ලෙසත්, ඇමෙරිකානු ඩොලර් මිලියන 110 ක් ආයෝජන සඳහා ලබාගත් වාණිජමය ණය ලෙසත් ලැබී ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd