(රෝෂන් තුෂාර)

වැට් බදු රජයට නොගෙවිම, ව්‍යාපාරය ලියාපදිංචි නොකර ඉන්වොයිසි නිකුත් කිරීම හා ටින් අංකයක් භාවිතා නොකිරීම යන  චෝදනාවන්ට වරද පිළිගත් පල්ලෙවෙල, උඩු බද්දාව ව්‍යාපාරිකයෙකුට රුපියල් තිස් දහසක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා අද (27) නියම කළේය.

දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් වරයා විසින් චෝදනා තුනක් යටතේ පැවරු නඩුවේ වරද පිළිගැනීම හා හිඟ තබා තිබූ වැට් බදු මුදල් රුපියල් මිලියන 37ක් ගෙවා නිම කිරීම යන කරුණු සලකා බැලීමෙන් පසුව අදාළ චෝදනා තුනට  දසදහස බැගින් තිස් දහසක දඩය නියම කළේය.

ජනිදු කන්ට්‍රක්ෂන්ස් ආයතනයේ එන් මුතුකුඩ වග උත්තරකරුට මෙම දඩය නියම කළේය.

2024 සැප්තැම්බර් 20 සිට 2025 සැප්තැම්බර් 08 දින දක්වා  එකතු කළ අගය එකතු කළ අගය මත බදු පණතේ විධිවිධාන ප්‍රකාරව ලියාපදිංචිය ලබා නොගැනීම, එකී පනත ප්‍රකාරව  ලියාපදිංචි තැනැත්තෙකු විසින් පමණක් නිකුත් කළ යුතු බදු ඉන්වොයිස් නිකුත් කිරීම හා   ගැණුම්කරු වෙත ව්‍යාජ ටින් අංකයක් යොදා  ඉන්වොයිස් නිකුත් කිරීම යන චෝදනා යටතේ මෙම නඩුව ගොනුකොට තිබිණි.

දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් නීතිඥ දිනේෂ් පෙරේරා මහතා කරුණු දක්වමින් කියා සිටියේ වගඋත්තරකරු ට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින්  අදාල විමර්ශනය ආරම්භ කිරීමෙන් පසුව චෝදනාවන්ට වරද පිළිගෙන රුපියල් මිලියන 37ක බදු ගෙවීමට මේ වනවිට කටයුතු කොට ඇති බවය.

වගඋත්තරකරු වැට් බදු පිළිබඳව දැනීමකින් තොරව අදාල ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇති බවට කරුණු ඉදිරිපත් කර ඇති බවද පැවසීය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා චෝදනාවන් තුනට රුපියල් දස දහස බැගින් දඩ නියම කර දඩය ගෙවූ පසුව වග උත්තරකරු  මුදා හරින ලෙසට නියෝග කළේය.