(අංජුල මහික වීරරත්න)

පුත්තලම දිස්ත්‍රික්කයේ මූලික සහ ප්‍රාදේශීය රෝහල් වල හදිසි ප්‍රතිකාර සේවා සම්බන්ධයෙන්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා නිරීක්ෂණයට ලක් කළේය.

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතියේ හදිසි ප්‍රතිකාර සේවා (ETU) සවිබල ගැන්වීමට  සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍යාංශය ගත් පියවර අනුව මෙම නිරීක්ෂණය සිදු කෙරිණි.

ඒ අනුව කල්පිටිය, මාරවිල, ආනමඩුව යන මුලික රෝහල් සහ පුත්තලම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි ප්‍රතිකාර සේවා කටයුතු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා නිරීක්ෂණය කළ අතර, හදිසි ප්‍රතිකාර  සේවාවන් හි මානව සහ භෞතික සම්පත් සංවර්ධනය  පිළිබඳව ද එහිදී අවධානය යොමු කරන ලදි.

හදිසි ජීවිතාරක්ෂක සත්කාරය (Emergency Life Support - ELS) මාර්ගෝපදේශයට අනුගතව ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ හදිසි ප්‍රතිකාර සේවා සවිබල ගැන්වීමෙි කටයුතු  සිදු වන අතර, හදිසි ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ පවුල් වෛද්‍යවරුන්ගේ සංගමය ඊට අදාළ කටයුතු සම්පාදනය කරනු ලබයි.

මෙරට සෞඛ්‍ය සේවාවේ සියලු සෞඛ්‍ය ආයතන තුළ ප්‍රමිතිගත හා එකම ක්‍රමවේදයකට අනුව හදිසි ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක කිරීම

සහ ප්‍රතිකාර සේවා ලබාගැනීමට පැමිණෙන සියලු ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම මෙම සියළු වැඩකටයුතු වල මුලික අරමුණයි.