IMG-LOGO

ගර්භණී කාළය තුළ ඔබටත් මෙවැනි ගැටළු තිබෙනවාද?

(මූණමල්දෙණිය රජයේ රෝහලේ ආයතනභාර වෛද්‍ය රෝහණ කෑරගල)

 

මම විවාහකයි. මෙවර මගේ ඔසප් වීම ප‍්‍රමාදයි. මා ගැබ් ගෙනද? 


බොහෝ දුරට එසේ විය හැකියි. ඔබට වෛද්‍යවරයකු හමු වී හෝ රසායනාගාරයකට ගොස් ගැබ් ගෙන ඇත් දැයි බලන්න මුත්‍රා පරික්ෂණයක් කරගැනීම මගින් එය නිශ්චිතව දැනගත හැකියි.  


මගේ ගර්භයට සති 6 යි. වමනය සහ නිතර දැනෙන ඔක්කාරය තිබෙනවා. ඒ සඳහා ප‍්‍රතිකාර ගත යුතුද? 


මේ තත්ත්වය මව්වරු රැසකට පොදුයි. සාමාන්‍යයෙන් ගර්භයට සති 4 සිට සති 15 දක්වා පමණ මෙය පැවතිය හැකිය. ඔබ උදේ අවදි වූ වහාම අඳෙන් බසින්නට එපා. ටිකක් හාන්සි වී ඉන්න. දත් මැදීමත් ටිකක් ප‍්‍රමාද වුනාට කමක් නැහැ. එක් වරකට ගන්නා ආහාර ප‍්‍රමාණය අඩු කර ටික ටික ආහාර වේල් කිහිපයක් ගන්න. වමනය යාම අධික නම් වෛද්‍යවරයා ඔබට නික්ෂේපනයක් හෝ වෙනත් සුළු ප‍්‍රතිකාරයක් නියම කරනු ඇති.  එහෙත් අධික වමනය නිසා ඔබ විජලනයට පත්වීම වළක්වා ගැනීම සඳහා අන්තර්ශිරා ද්‍රාවණ ලබා දීමට සිදුවිය හැකියි. ඒ සඳහා ඔබට රෝහල් ගත වෙන්න සිදුවේවි. 


සති 20 ක් ගත වෙලත් මගේ බබා දඟලනවා තවම මට දැනුනේ නැහැ. මම කළ යුත්තේ කුමක්ද? 


සාමාන්‍යයෙන් සති 18- ත් 21 අතර කාළය තුළ බබාගේ චලනයන් මවට දැනීමට පටන්ගත යුතුයි. එහෙත් මෙය ඔබේ පළමු ගැබ් ගැනීම නම් ඔබට එම චලනයන්  දැනීම ටිකක් ප‍්‍රමාද විය හැකියි. ඒ වගේම ඔබගේ දින වැරදි වෙන්නත් පුළුවන්. එනම් ඔබගේ ගැබට තාම සති 20 ක් නැති වෙන්නත් පුළුවන්. ඔබට ඔබගේ දින පිළිබඳ සැකයක් තිබෙනවා නම් නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු හමු වී ස්කෑන් පරීක්‍ෂාවක් කරගැනීමට සිදුවිය හැකියි.


 
ගර්භනී කාළය තුළ යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වීම රෝහල් ගත වීම අවශ්‍ය තත්වයක්ද? 


ගැබ්ණි සමයේ මුල්ම අවධියේ උදරයේ අධික වේදනාවක් සමඟ සුළු රුධිර වහනයක් සිදුවීම සමහර විට ගර්භාෂයෙන් පිටත පිළිසිඳ ගැනීමක පෙර නිමිත්තක් වෙන්න පුළුවන්.  මෙය අතිශයින්ම භයානක අවස්ථාවක් නිසා ඔබ අනිවාර්යෙන්ම වෛද්‍යවරයකු හමුවිය යුතුයි. පූර්ණ හෝ අසම්පූර්ණ ගබ්සාවක් හෝ ගබ්සාවීමට තර්ජනයක් නිසාත් මුල් අවධියේ රුධිර වහනයක් විය හැකිය. 


ගැබට සති 28 පිරුණු පසු රුධිර වහනය වීම සඳහා වැදෑමහ ගර්භාෂ බිත්තියෙන් ගැලවීම වගේම ගැබ්ගෙල වසාගෙන පිහිටන වැදෑමහ බලපානවා. මෙම තත්වයන් දෙකම භයානකයි. 

මේ හැර යෝනී මාර්ගයේ පිහිටන අර්බුද, කුඩාගෙඩි සහ ඉන්නන්  කැඞීයාම නිසාද රුධිර වහනයක් සිදුවන්න පුළුවන්.  කෙසේ හෝ ගැබ්ණි සමයේදී යෝනී මාර්ගයෙන් රුධිරය වහනය වූවොත් ඔබ වෛද්‍ය වරයෙකු මුණගැසීම අත්‍යවශ්‍ය කරුණක්. 


    
මම ඇදුම රෝගයෙන් පෙළෙන නිසා ඉන්හේලරයක් භාවිතා කරනවා. දැන් මා ගැබ්ගෙන සිටින නිසා එය නවත්වන්නද? 


එපා. මුඛ මාර්ගයෙන් ගනු ලබන ඖෂධ වලට වඩා ඇදුම රෝගය සඳහා ඉන්හේලරයක් (උරන බෙහෙත්) භාවිතා කිරීම ආරක්ෂා සහිතයි. වෛද්‍ය උපදෙස් මත නියමිත මාත‍්‍රාව පිළිපදිනවානම් දරු ගැබට අනතුරක් විය නොහැකියි. 


 

මේ මගේ දෙවන දරු ගැබ. මේ සඳහාත් මට පිටගැස්ම වළක්වන එන්නත ලබා දෙනාවාද? 


ගර්භණී සමයේ පිටගැස්ම ධූලකාභාය  ලබා දෙන්නේ පහත ආකාරයටයි. එනම්, ඔබගේ පළමු ගර්භණී සමයේ සති 12 න් පළමු මාත‍්‍රාවත් එතැන් සිට සති 6-8 ඇතුළත දෙවන මාත‍්‍රාවත් ලබා දෙනවා. දෙවන ගර්භණීතාවයේ සිට සිව්වන ගර්භණීතාවය දක්වා ගර්භණී කාළයේ සති 12 දී පමණක් එක් එන්නතක් දෙනු ලබනු ඇති. ඉන්පසු ගර්භණීභාවයන් සඳහා එන්නත් අවශ්‍ය වන්නේ නැහැ. 
    
එහෙත් , ඔබ, කුඩා සහ පාසල් අවධියේ විධිමත්ව පිටගැස්ම ධූලකාභයන් 6 ක් (එනම් මාස 2, මාස 4, මාස 6, මාස 18, අවු. 5, අවු 12) ලබා ඇති අයෙක් නම් ඔබට අමතර පිටගැස්ම එන්නතක් අවශ්‍ය වන්නේ ඔබේ දරු ගැබත්, අවසාන පිටගැස්ම ධූලකාභයත් අතර පරතරය අවුරුදු 10 කට වඩා වැඩිනම් පමණයි. 



    
මගේ ලේ වර්ගය ඊ නෙගටිව්. ඒ නිසා මගේ බබාට අනතුරක් වෙන්න පුළුවන්ද?

 
ඒ,බී,එබි,ඔ වශයෙන් රුධිරය වර්ග 4 ක් තිබෙන බව අපි දන්න දෙයක්. රතු සෛල මත ඇති එක්තරා, ප්‍රෝටීනයක් පාදක කොට ගෙන මෙම වර්ග හතර නැවතත් වර්ග කරනු ලබනවා. 
    මෙම ප්‍රෝටීනය රීසස් සාධකය (රිසස් හෝ ආර්එච් ෆැක්ටර්) ලෙස හඳුන්වනු ලබන අතර එය තිබෙන අය ආර්.එච් පොසිටිව් හෝ ධන ලෙසත් නොමැති අය ආර්- නෙගටිව් (රීයස් ඝාණ) ලෙසත් හැඳින් වේ. මේ අනුව රුධිර ඝෘණ ඒ පොසිටිව් /  ඒ නෙගෙටිව් වශයෙන් නැවතත්  බෙදේ. ඔබ නෙගටිව් රුධිර ඝණයට අයත් වී ඔබේ සහකරුවා පොසිටිව් වුවහොත් ඔබේ දරුවා පොසිටිව් වීමේ වැඩි ඉඩක් ඇත. එසේ වූ විට එම ධන  කළලයට විරුද්ධව ඔබගේ රුධිරයේ ප‍්‍රතිදේහ සෑදීමට පටන්ගනී. මෙසේ ප‍්‍රතිදේහ සෑදීමට නම්, කළලයේ රුධිරය ඔබගේ රුධිරය හා මිශ‍්‍ර විය යුතුය. මෙසේ වන්නේ ප‍්‍රසූතියේදී, ගබ්සාවකදී හෝ ගර්භාෂයෙන් පිටත පිළිසිඳ ගැනීමකදී වැනි අවස්ථා වලදියි. 
    

මේ සෑදෙන ප‍්‍රතිදේහ ඔබගේ පළමු කළලය පොසිටිව් (ධන) වුවත් හානියක් කිරීමට ඇති හැකියාව ඉතා අවමය. එහෙත්, ඉන් පසුව ඇතිවන දරු ගැබ ධන පොසිටිව් වුවහොත් එම කළලයට ඔබගේ රුධිරයේ දැනටමත් ඇති ධන රුධිරයට විරුද්ධ ප‍්‍රතිදේහ මගින් හානි විය හැක.  මෙම තත්ත්වය ඉතා සාර්ථකව වළක්වා ගත හැකි ක‍්‍රම ඇතිවාක් මෙන්ම දරුවාට හානි වනවා දැයි පරීක්‍ෂා කළ හැකි අතර ඒ සඳහා සාර්ථක ප‍්‍රතිකාරද තිබේ.  ඔබ කළ යුතුව ඇති ප‍්‍රධාන කරුණු නම් ඔබගේ සහ සහකරුවාගේ රුධිර ඝණ පරීක්‍ෂාකර ගැනීමත්, ඔබට මීට පෙර ගර්භාෂයෙන් පිටත පිළිසිඳ ගැනීමක්, දරු ප‍්‍රසූතියක්, ගබ්සාවක් රුධිරය දීමක් (පාරවිලයනය කිරීමක්) කර ඇත්නම් එම තත්ත්වයන් නොවලහා ඔබේ පවුල් සෞඛ්‍ය නිලධාරිනියට හා වෛද්‍යවරයාට පැවසීමයි. 



  

මම විවාහ වුනේ ළඟදි. තාම ගැබ්ගෙන නැහැ. බබෙක් ලැබෙන්න සිටින විට දැනෙන, එහෙත් කළබල නොවිය යුතු සුළු සුළු අපහසුතා ගැන ටිකක් කියන්න පුළුවන්ද? 


ඔව්. ඉන් ප‍්‍රධාන තැනක් ගන්නේ මව්වරුන්ගෙන් 80% කටත් වඩා පෙළෙන  උදෑසනට දැනෙන අපහසුතාවයයි. වමනය, ඔක්කාරය සහ කරකැවිල්ල මීට අයත්. යම් ප‍්‍රමාණයක මහන්සි ස්වභාවයක් ගැනීමත්, නිදිබර ගතියක් තිබීමත්, සාමාන්‍ය දෙයක්. පියයුරුවල පිරුණු ගතියක් දැනීමත් ඒවායේ මද වේදනාවක් දැනීමත් ස්වභාවිකයි.  කොන්දේ වේදනාවක් දැනීම බොහෝ විට මව්වරුන්ට පොදුයි. ඔබගේ උදරය මාංශපේශිවල ඇදීමත්, ඔබගේ කොඳු ඇට පේළියේ ඇතිවන නව හැඩයත් මෙයට හේතුවනු ඇති.  බඩ පපුව දැවිල්ල, නින්ද නොයාම සහ මල බද්ධය ද සමහර මව්වරු කරන සුලභ පැමිණිලි අතර වේ.  ගර්භණී භාවයේ අවසාන භාගයේදී උදරයේ ඇතිවන සංකෝචන නිසා හටගන්නා වේදනා ඔබ ප‍්‍රසූත වේදනා ලෙස වරදවා වටහා ගැනීමට ඉඩ ඇතත්, ඒවා ඔබගේ ගර්භණී භාවය අවසන් වීමට එළැඹ ඇති බවත් ඔබගේ බිළිඳාගේ සුරතල් බැලීමට ආසන්න  බවත් ඔබට හඟවන සුළු වේදනාවන් වේ. 
 



අදහස් (2)

ගර්භණී කාළය තුළ ඔබටත් මෙවැනි ගැටළු තිබෙනවාද?

සාරා Friday, 17 July 2015 10:17 AM

ගොඩක් වැදගත් ලිපියක්. (ර)

:       0       0

මදුවන්ති Thursday, 23 May 2024 01:02 PM

මා හට දෙවරක් ගබ්සා වීම සිදු වුණා . එය ජානමය ගැටලුවක් හේතුවෙන් විය හැකි බව වෛද්‍යවරුන් විසින් පැවසුවේ . එසේ ගැටලුවක් තිබේද යන්න පරික්ෂා කල හැක්කේ කෙසේද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 40 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1589 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1711 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site