(රෝෂන් තුෂාර)

කොළඹ 07, වියට්නාම් තානාපති කාර්යාල නිල නිවසට මහ රාත්‍රියේ ඇතුළු වී මුදල් සොරාගත් මරදානේ පුද්ගලයකුට විවෘත වරෙන්තු නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (26) නියෝග කළේය.

දිගින් දිගටම අධිකරණය මගහැර සිටි මොහොමඩ් න්‍යාස් මොහොමඩ් රිකාස් සැකකරුට මෙම වරෙන්තුව නිකුත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඔහු නොමැතිව නඩුව විභාග කිරීමටද නියෝග කළේය.

පසුගිය ජුනි මස 26 වැනි දින කොළඹ වෝඩ් ප්ලේස් හි පිහිටි වියට්නම් තානාපති කාර්යාලයේ නිල නිවසට මහ රාත්‍රියේ ඇතුළු වී ඇති සැකකරු තම නිදනකාමරයේ අල්මාරිය තුළ තිබූ මුදල් සොරා ගත් බව තානාපති කාර්යාල පරිපාලන නිලධාරී ඩුවන්ටී තුයාන් මහතා අධිකරණය ඉදිරියේ සාක්ෂි දෙමින් පැවසීය.

කුරුඳුවත්ත පොලිසියේ පොලිස් සැරයෙන් සමන් රාජපක්ෂ මහතා පැමිණිල්ල මෙහෙයවමින් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් තුයාන් මහතා කියා සිටියේ  තම බිරිඳ නිදාගෙන සිටියදී සැකකරු දැක කෑ ගැසීම හේතුවෙන් ඔහු හඹා ගොස් අල්ලා ගැනීමට හැකිවූ බවය.

ඇමෙරිකානු ඩොලර් 2300ක් මාලදිවයින් රුපියල් සීයක් සහ ශ්‍රී ලංකා රුපියල් දෙලක්ෂ හය දහසක් සමග සැකකරු අල්ලා කුරුඳුවත්ත පොලිසියට බාර දුන් බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

නීතිඥ කසුන් ලියනගේ මහතා අගතියට පත් තුයාන් මහතා වෙනුවෙන් පෙනී සිටියේය. පොලිසිය භාරයේ තිබූ සැකකරු සොරා ගන්නා ලද මුදල් සාක්ෂිකරු විසින් විවෘත අධිකරණයේදී හඳුනා ගැනීමෙන් පසුව සාක්ෂිකරුට යළි ලබා දෙන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සාක්ෂිකරු මුදාහැරීමට නියගකළ මහේස්ත්‍රාත්වරයා නඩුවේ වැඩි දුර විභාගය අප්‍රේල් 22වෙනි දිනට කල් තැබීය.