හර්ෂණ තුෂාර සිල්වා
ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ පහළම අගය වාර්තා කරමින් ශ්‍රී ලංකා රුපියල අද (18) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 161 ක් පහළ ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (18) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 161.00 ක් වූ අතර ගැනුම් අගය 157.80ක් විය.
මේ අනුව රුපියල මෙතරම් අගයකට පහත වැටුණු පළමු අවස්ථාව මෙය විය. ඉකුත් පෙබරවාරි පැවැති පළාත් පාලන ඡන්දයෙන් පසු දේශපාලන ක්ෂේත්‍රයේ ඇති වූ අස්ථාවරත්වයත් සමඟ රුපියල අඛණ්ඩව අවප්‍රමාණය වෙමින් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකු දත්තවලට අනුව මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට ජූනි 14 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 4.2කින් අවප්‍රමාණය වී තිබේ.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පෙර දින එනම් පෙබරවාරි 9 වැනි දිනා ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 156.18ක් ලෙස දැක්විණි.
පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවල දැක්වේ.
දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබෙන රුපියල මේ වසර අවසන් වනවිට ඩොලරයට සාපේක්ෂව 163ත් 165ත් අතර අගයක් දක්වා පහත වැටෙනු ඇතැයි ගනුදෙනුකරුවන් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි.
“ගෝලීය ප්‍රවණතා හේතුවෙන් රුපියල පීඩනයකට ලක්ව තිබෙනවා. එය රුපියලට පමණක් විශේෂ තත්ත්වයක් නෙමෙයි. ගෝලීය ප්‍රවණතා හේතුවෙන් තමයි මේ තත්ත්වය ඇතිවෙලා තිබෙන්නේ. ඩොලරයට සාපේක්ෂව ගෝලීය මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබෙනවා” යැයි රොයිටර් පුවත් සේවයට අදහස් දැක්වූ ගනුදෙනුකරුවකු පවසා තිබිණි.
COMMENTS
මේ තියෙන්නේ විපාක, දැන් හැමෝම එකතු වෙලා විදිමු දුක් .... ආර්ථිකය ගොඩනගන්න සැලසුම් ඇති දක්ෂ ව්‍යාපාරිකයෝ, සත්‍යගරුක නීතිවේදීන් අනාගතයේවත් පත්කරගමු පාර්ලිමේන්තුවට .
මම දන්නේ නැහැ... මට මතක නැහැ. කියන ඒවගේ ප්‍රතිඵල..
කවුද කෙනෙක් පසුගිය දවසක කියලා තිබුණා නේද මෙසේ රුපියල පහළ බැසීම රටට හොඳ බව... අපි අාසයි ඒ කෙනාගෙන් වැඩිපුර විස්තර දැනගන්න... කොහොමද රට හොඳ වෙන්නේ කියලා...
තවත් අැමැතිවරුන් 30ක් පමණ පත්කරන්න... රට සරුසාර වෙයි.
හැමදාම රුපියලට ශත 100යි. ඒක කොහොමද අඩුවෙන්නේ කියලා 1970 දශකයේ ආර්ථික කතිකාචාර්යවරයෙක් කියා තිබුණා මතකයි.
මම ඉන්නේ දියුණු රටක. මේ රටවල මුදල් ඒකකය ඇමරිකානු ඩොලර් එකට වඩා මෙහෙම අඩු උනොත් එක මහා විශාල ගැටළුවක් විදියට තම සලකන්නේ. මුළු රටම ඒ ගැන හොයනවා. මාධ්‍යවේදීන් හැම විටම ඒගැන ප්‍රශ්න කරනවා. ආණ්ඩුවට විශාල පීඩනයක් එල්ල කරනවා නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති වලට යන්න. දේශපාලන වාසිය අමතක කරලා.. ආණ්ඩු වැටෙන්න මේකම ඇති.. එත් ලංකාවේ.. දැන් මොක උනත් මිනිස්සුන්ට කමක් නැ. ආණ්ඩුවට මහා ජනතාවගෙන් එල්ලවෙන පීඩනය ඉතාම අඩුයි සාපේක්ෂව.. මෙනිසා ආණ්ඩුව ඕනෑම දෙයක් කරනවා තමන්ගේ පැවැත්ම ගැන විතරක් හිතල.
ලංකාව නැමැති ගොඩනැගිල්ල නිර්මාණය කර අැත්තේ ශක්තිමත් අත්තිවාරමක් නැතිව, එ් අත්තිවාරම තමා රටේ බහුතරයක් වු ගම්බද ජනතාව, ඔවුන්ගේ යහපැවැත්ම මත තමා සියල්ල රඳා පවතින්නේ. අවුරුද්දක් වැස්සේ නැත්තම් කන්නත් නෑ බොන්න වතුරත් නෑ. සියල්ල රටින් ගෙන්වන්න වෙලා. හැබැයි රටේ පැත්තකට ගංවතුර, පැත්තකට නියඟය. මේ පුංචි රටේ වතුර ටික හරියට කලමනාකරණය කළානම්. එම ජනතාවට රජයේ සහනාධාර මත යැපෙන්න වුවමනාවක් නෑ. පහළ පන්තියේ අාර්ථිකය ශක්තිමත් කළානම්, ඔවුන් ඵලදායි නිෂ්පාදනයට යොමු කළානම් අද සියල්ල රටින් ගෙන්වන්න වෙන්නෑ. ඔවුන් එළිය වැටුණු වෙලාවේ සිට රෑ වෙනතුරු මහන්සි වෙනවා. නමුත්.... ඵලදායිතවය අවමයි. ගොඩනැගිල්ලේ මතුපිටට පෙනෙන කොටස ගොඩනගන්න කලින් අත්තිවාරම ශක්තිමත්කළ යුතුයි. නැත්නම් බර වැඩිවෙද්දි මේ වගේ පැතිවලින් ගිලා බහිනවා.
" ඩොලරය යන්නේ උඩ වේගෙන් එකසීයේ හැටේ " " රුපියල බහින්නේ පල්ලම් වලට රටේ " " පාලකයන්ට මේවා නොපෙනේද ? රටේ " " ඉක්මන් විසඳුමක් දෙනු අගමැතිඳු රටේ "
ඔව් එත් රුපියලේ අගය අඩු උනාම එක වාසියක් වෙනවා පිට රට ඉන්න අයට. ඩොලර් එකට වැඩිපුර ගෙනාවා. පිටරට අය වැඩි වැඩියෙන් ඩොලර් අරගෙන එනවා ලංකාවට මාරු කරන්න. ගොඩක් අය බලාගෙන ඉන්නේ ගෙවන ගාන වැඩි වෙකනකන් මාරු කරන්න ලංකාවෙන්. ඩොලර් යුරෝ එහෙම. රටට වැඩියෙන් විදේශ විනිමය එන එකත් හොදයි නේද .
ළඟදීම ඉතියෝපියාව වෙනවා.