සුජිත් හේවාජුලිගේ
 
ශ්‍රි ලංකාවේ සංවර්ධන කටයුතුවලට උදව්වීමට වසර දෙක තුනකට හෝ මෙරටට පැමිණෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදේශ ගතව සිටින ශ්‍රි ලාංකික ඉංජිනේරුවන්ට අද (6) විවෘත ආරාධනාවක් කළේය.

 
ජනාධිපතිවරයා එම ආරාධනාව කළේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී  අද (6) පැවැති තිරසර සංවර්ධන දැක්ම ජනගත කිරීමේ උත්සවයේදීය.
 
ජනාධිපතිවරයා එහිදී මෙසේද කීවේය.
 
‘‘අපි මේ දවස් වල සංවර්ධන වැඩ කටයුතු  රාශියකට උරදීලා ඉන්නවා.  නමුත් අපට මේ වැඩේ කරන්න ඉංජිනේරුවරුන්ගේ , කාර්මික ශිල්පීන් ලොකු හිඟයක් තියෙනවා.අපේ ඉංජිනේරුවරුන් 10,000ක් පමණ මේ වන විට ඉන්නේ රටින් පිටයි. අවුරුදු දෙක තුනක් හරි මේ රටට ඇවිල්ලා වැඩකර යන්න මම ඒ ඉංජිනේරුවන්ට ආරාධනා කරනවා.
 
ඒ වගේම රටින් යන්න ඉන්න ඉංජිනේරුවන්ටත් මා කියනවා රට ගැන හිතලා ඒ ගමන ටිකක් ප්‍රමාද කරන්න.‘‘ ජනාධිපතිවරයා කීය.

ඡායාරූප - චතුර එස් .කොඩිකාර