(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
බලපත්‍ර නොමැතිව පිටුපස ආවරණය කරන ලද කුඩා ට්‍රක් රථ හා ලියාපදිංචි නොකල එන්ජින් ධාරිතාවය 49 සී සී වර්ගයේ මදුරුවා යතුරු පැදි අත් අඩංගුවට ගෙන නඩු පැවරීම තාවකාලිකව නතර කරන ලෙසට දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇතැයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (22) පැවසීය.
මාතර පඹුරණ ඒ මහතාගේ කාර්යාලයේ පැවැත්වු විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු ඒ බව කීය.
කුඩා ට්‍රක් රථ වල පිටුපස කොටස ආවරණය කරන්නේ නම් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අමතර රුපියල් 500 ක් ගෙවා බලපත්‍රයක් ලබා ගත යුතු බවද එන්ජින් ධාරිතාවය 49 සී සී වර්ගයේ මදුරුවා යතුරුපැදි නිසියාකාරව ලියාපදිංචි කර ආරක්ෂිත හිස් වැසුම් පැලද ධාවනය කල යුතු බවට පෙර සිටම නීතියක් පැවති බවද අබේවර්ධන මහතා කීවේය.
එහෙත් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ උපදෙස් මත පොලීසිය අද (22) උදෑසන සිට මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේ දී එම රථ වාහන හිමියන් විවිධ හිරිහැර වලට ලක්ව ඇති බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැන ගැනීමට ලැබීමෙන් පසු ජනාධිපතිවරයා විසින් එම නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නතර කිරීමට උපදෙස් ලබා දී තිබෙන බවද ඔහු සදහන් කළේය.
විශේෂයෙන්ම උත්සව සමයේ ජනතාව අපහසුතාවයට පත් කළ නොහැකි නිසාත් අදාල නීතිය පිළිබඳව බොහෝ දෙනෙකු නොදන්නා නිසාත් ඒ පිළිබදව දැනුවත් කිරීමෙන් පසු යළි නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද අබේවර්ධන මහතා කීය.
කුඩා ලොරි රථ වල පිටුපස කොටස ආවරණය කිරීම සදහා බලපත්‍රය ලබා ගැනීමට පෙර රජය රුපියල් 25000 ක් නියම කර තිබු බවද 2009 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එය රුපියල් 500 ක් දක්වා අඩු බව ද ඔහු කීවේය.
අදාල තීරණය පිළිබඳව වැඩබලන පොලිස්පතිවරයා මගින් දිවයිනේ සියලු පොලිස් ස්ථාන දැනුවත් කර තිබෙන බව කී රාජ්‍ය අමාත්‍යවරයා එම වැරදි සම්බන්ධයෙන් අදාල රථ වාහන රියදුරන් අපහසුතාවයට පත් නොකරන ලෙස සියලුම පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද වැඩි දුරටත් සදහන් කළේය.

COMMENTS
නීතිය නොදන්නාකම නිදහසට කාරණයක් වෙන්නේ කාලකන්නි කපටි සූට් කාරයින්ට විතරයි, ඒ ඇන්දිලිවලින් මිනිස්සු රවට්ටන්න ඕන නැහැ, 50cc වලට අඩු බයිසිකල් වලට ලියාපදිංචිය අහෝසි කරලා හෙල්මට් සහ රියදුරු බලපත්‍ර ගැනීම විතරක් අනිවාර්ය කළාම ඇති, ඔය පොඩි ට්‍රක්වලින් සෑහෙන පිරිසක් යැපෙනවා. එ්ත් ත්‍රීවීල් පදවන පිරිස වගේම අන්තරායදායක විදිහට පදවන්නෙත්, රේස් යන්නෙත් ඔය පිරිසම තමයි. යන්තම් අටවපු ආවරණවලින් අනතුරු වෙන්න පුළුවන්.. මොකක් හයිකළත් පදවන්නේ පොදු මාර්ගයක නිසා මහජන සුබ සිද්ධිය ගැනත් හිතන්න ඕනෑ. එ්ක නිසා ඔය ආවරණ සුදුසුකම්ලත් ගරාජයක්, ඉංජිනේරුවෙක් මගින් සහතික කරලා සුළු මුදලකට ලයිසන් දෙනවා නම් අවුලක් නැහැ.
කුඩා ලොරිරථවල පිටුපස කොටස ආවරණය කිරීම සඳහා බලපත්‍රය ලබා ගැනීමට පෙර රජය රුපියල් 25000ක් නියම කර තිබූබවද 2009දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එය රුපියල් 500ක් දක්වා අඩුබවද ඔහු කීවේය. එතකොට 2009ට පෙර තිබුණු රජය වෙන කාගෙවත් එකක්ද?