මගේ සොහොයුරකු වූ සෝමපාලගේ අසනීපය ගැන දැනගන්නට ලැබුණු වේලෙහි මා තුළ මහත් ශෝකයක් ඇති විය. සෝමපාල මට වඩා අවුරුදු හත අටකින් බාල වුවද මා ඔහුට සැලකුවේ හිතවත් මිත්‍රයකු ලෙසිනි. සෝමපාලට මගේ ගෙදර නැවතී බෙහෙත් ගත හැකි බව දන්වා ඔහුට එහි පැමිණෙන ලෙස ආරාධනා කොට ලියුමක් ඇරියෙමි. සෝමපාලගේ නැදැයෝ මගේ අදහසට එකඟ වුහ. ඔවුන් හැමටම වඩා කැමති වූයේ සෝමපාලගේ මවය. මා විනීත ගුණධර්ම පුරුදු පුහුණු කළ තරුණයෙකැයි යන්න ඈ මා පිළිබඳව ඇතිකර ගත් අදහස බව මම දැන සිටියෙමි. ඒ සියල්ලටම වඩා මා අඳුනන, උමතු රෝග විශේෂඥයකුගෙන් බෙහෙත් ගැනීමට හැකිවීම සෝමපාලගේ පැමිණීමට විශේෂ සාධකයක් විය.

මා තනිකඩයකු වූ බැවින් සෝමපාල සමඟ හිතවත් තරුණ මෙහෙකරුවකුද ගෙන එන ලදී. සෝමපාලගේ ප්‍රයෝජනය පිණිස මම ගෙදර ඉතාමත් දැකුම්කලු කාමරයක් දුනිමි. මල් වත්තට මුහුණලා ඇති කවුළු පේළියකින් යුත් එය,ඔහුගේ අභාවයට ගිය කල්පනා ශක්තිය වර්ධනය කිරීමෙහි පොහොසත් වෙතියි යන කිසියම් අදහසක් මා තුළ විය.

සෝමපාල පැමිණ දවස් දෙක තුනක් යනතුරු ම මහත් නිශ්ශබ්දතාවක් ඉසුළුවේය. කීපදිනකින් එය මගහැරී යතියි මම සිතුවෙමි. ඔහු පැමිණි පසුදාම මම සෝමපාල මුලින් සඳහන් කළ දොස්තර මහතා කරා ගෙන ගියෙමි. දෙස්තර මහතා බොහෝ වෙලාවක් ඔහු පරීක්ෂා කිරීමෙන් පසු ඔහුගේ මොළයෙහි අවුරුදු තුන හතරක පමණ සිට අවුල් ගතියක් ඇති වී තිබෙන බවත් ක්‍රමයෙන් ඔහුගේ ශරීරය කෘශවීම භීතියට කරුණක් බවත් පැවසුවේය. ඉන් පසු දිනපතාම දෙස්තර මහතා ලවා සෝමපාලව පරීක්ෂා කරවන ලදී. දවසකට රාත්තල් තුන හතරක් බර අඩුවන බව දිනපතා පරීක්ෂා කිරීමෙන් අනතුරුව  වැටහිණ. එහෙත් ප්‍රතිකාර වශයෙන් දොස්තර විසින් නියම කරන ලද්දේ පෝෂ්‍ය ආහාර දීමත්, මොළයට සුළු ව්‍යායාම කරවීමත් පමණකි.

සෝමපාල බොහෝ විට කාලය ගත කළේ නිකට අත්ල මත රුවාගෙන, රැළි ගැසුණු නළලින් යුතුව කල්පනා කිරීමෙනි. ඔහුට එතරම් කල්පනා කිරීමට කුමක් හේතුවී දැයි මම නොදනිමි. දිනපතා කන්තෝරුවට ගොස් රෑවී ගෙදර එන මට ඔහුගේ හැසිරීම ගැන දැනගත හැකිවූයේ තරුණ මෙහෙකරුවාගෙනි. ඔහු අවංක කරුණා වන්ත තරුණයෙක් විය. මම සෑමදාම ඔහුගෙන් සෝමපාල කළ කී දෑ නොවරදවා ඇසුවෙමි. සෝමපාල පැමිණ සුමාන දෙකකට පමණ පසු මා නැති විටෙක ඔහුට හෘදයාබාධයක් ඇති වූ බව දිනක් මෙහෙකරුවා මා සමඟ කීවේය. එදින ඔහු වෙනදාට වඩා වෙනස්බවකින් හැසුරුණු බවද ඔහු විසින් මා සමඟ පවසන ලදී.

සෝමපාලගේ කාමරයේ සිට යාර විස්සක් පමණ ඈතින් රතු රෝස පඳුරක් වෙයි. පඳුරු ලා වැඩුණු එය වටා, ගසට කිසිවකුට ළං නොවන සේ සාදන ලද යකඩ වැටක් ඇත.මම රෝසමල්වලට මෙතරම් ප්‍රිය කළේ කුමක් නිසාදැයි මම නොදනිමි. කුඩාකල අපේ ගෙදර මිදුලෙහි වූ රෝස පඳුරක් ගැන මට මතක ඇත.එහි වූ රෝස මල් උදයෙහි පිනිදිය සලා පෙති විහිදන විට මම ඒ අවට  මහත් ප්‍රීතියකින් බොහෝ වේලාවක් ගෙව්වෙමි.

සෝමපාල  එදින කවුළු දොරින් රෝස පඳුර දෙස බලා සිට පසුව  එහි ගොස්  රෝස මල කැඩීමට තැත් කළේය. එහෙත් මෙහෙකරුවාගේ වැළැක්වීම නිසා ඔහුට එසේ කළ නොහැකි විය.අතින් අල්වා බලෙන් තමාගේ කාමරයට ගෙනෙන ලද ඔහු ස්වල්ප  වෙලාවකින් හෘදයාබාධයකින් පෙළෙන්නට විය.

ඔහු පසුදා දොස්තර බැලීමට යා නොහැකි දුර්වල තත්වයක සිටි බැවින් දොස්තර නිවෙසට කැඳවන ලදී. සෝමපාලට හදිසියේ ඇති වූ හෘදයාබාධය ගැනත් ඔහුගේ අස්වාභාවික මානසික තත්වය පිළිබඳවත් මම දොස්තර මහතාට කීවෙමි. දොස්තර ලෙඩා පරික්ෂා කර බලා, හෘදයාබාධය අන්කිසිවක් නිසා නොව දුර්වලකම නිසා ඇති වූ බව කීවේය. ඔහු රෝස මලේ පුවත ගැන කිසිත් නොකීවේය. ඔහුගෙන් ප්‍රශ්න කිරීම නුසුදුසු යයි සිතූ බැවින් මම නිශ්ශබ්ද වීමි. සෝමපාලට වෙනදාටත් වඩා පෝෂ්‍ය ආහාර දීමටත්, දුව පැන ඇවිදීමෙන් ඔහුට යළි හෘදයාබාධය ඇතිවිය හැකි නිසා කාමරයෙන් පිටතට නොයෑම ත් නියම කරන ලදී.

පසු දින කන්තෝරුවට යෑමට පෙර, මම තරුණ මෙහෙකරුවාට දස්තර නියම් කළ ආකාරයට සෝමපාලව බලාගන්නා ලෙස කීවෙමි. එදින සෝමපාල මා ගෙදර එනතුරු ජනේලය අසලින් නොසෙල්වී සිටි බවත්, දෙවරක්ම තමාට කාමරයෙන් පිටතට යෑමට ඉඩ දෙන ලෙස මෙහෙකරුවාගෙන් ඉල්ලා සිටි බවත් මා ගෙදර පැමිණි විගස ඔහු මා සමඟ කීවේය. ඔහු එදින දෙවරක් හෘදයාබාධයෙන් පෙළුණේය. මම ඇඳුම් මාරු කිරීමටත් පෙර සෝමපාල සිටි කාමරයට ගියෙමි. එහි යන විටද ඔහු ඇඳමත දිගාවී, ඇර තිබුණු කවුළු දොර වෙත රැදුණු දෙනෙතින් යුතුව සිටියේය. මා දුටු විගස ඔහු දෙනෙත් බිමට හරවා මහා වේදනාවකින් පෙළෙන්නකු මෙන් නළල රැලි ගස්සන්නට විය. මම ඔහුගේ උරහිස මත සුරත රඳවා ' සෝමපාල ' යි ඇමතුවෙමි. ඔහු කිසිත් නොකීවේය. ඔහුගේ දෙනෙත් ක්‍රමයෙන් විශාලවන අයුරු මට පෙනිණ. ඒවායේ කඳුළු පිරි තිබුණාදැයි මට හරි හැටි කිව නොහැක. බොහෝ වේලාවක් නිශ්ශබ්දව සිටි ඔහු මගේ මුහුණ දෙස ඕනෑකමින් බැලුවේය. ඔහුගේ දෙනෙතෙහි පුදුමාකාර බැල්මක් රැඳී තිබිණි.

'' මට කාමරයෙන් එළියට යන්න දෙන්න '' යි ඔහු කීවේය.

'' ඇයි සෝමපාල, සෝමපාලට තේරෙන්නේ නැද්ද වැඩිය වෙහෙස වෙන්න හොඳ නැති බව. ඊයේ අර පපුවේ අමාරුව හැදුනෙත් මම නැති වෙලාවෙ වෙහෙස වෙලා '' යි මම පිළිතුරු දුනිමි.

ඔහු ඊට කිසිත් නොකීවේය. ඇඳ මත දිගා වී දෙනෙත් වසා ගෙන බිත්තිය දෙසට මුහුණ ලා නිදන්නට විය. ඔහුගේ මුහුණෙහි ඊට පෙර නොවූ මලානික ගතියක් එදින පෙනිණ. ඔහුගේ තත්වය භයානක යයි හැඟී ගිය බැවින් දොස්තර ලවා යළිත් පරීක්ෂා කරවීමට සිතුවෙමි.

දොස්තර වෙනදා මෙන් ඔහු පරීක්ෂා කොට, හෘදයාබාධයට හේතුව වෙහෙසීම බවත් වෙන අලුතෙන් කිසියම් අසනීපයක් දැන ගැනීමට නැති බවත් කීවේය. රෝගියාට ඇඳෙන් බැසීමට ඉඩධ නොදෙන ලෙසද නියම කරන ලදී.

පසුදා කන්තෝරුවට යෑමට පෙර තරුණ මෙහෙකරුවාට, සෝමපාල බලාගත යුතු ආකාරය පැහැදිලි කොට, සෝමපාලට කොයි ක්‍රමයකින් නමුත් ඇඳෙන් බැසීමට ඉඩ නොදිය යුතු යයි කීවෙමි. එදින මම වෙනදාට වඩා කලින් කන්තෝරුවෙන් ආවෙමි.

මම ගෙට ගොඩනැගුණු විගසම සෝමපාලගේ කාමරයට ගියෙමි. සෝමපාලට එවිට නින්ද ගොස් තිබෙණු දුටු මා සිත තුළ ප්‍රීතියක් ඇති විය. ඔහුගේ තත්වය සුවදායක අතට හැරෙන්නට ඇතැයි මම සිතුවෙමි. ඔහුගේ මුහුණෙහි වෙනදා වූ දුක්මුසු සිත් වේදනා කරවන සුලු පෙනුම පහව ගොස් පියකරු භාවයක් එහි විය. ඔහු අවදි කිරීමට නුසුදුසු යයි සිතූ මම කාමරයෙන් එළියට පැමිණ මෙහෙ කරුවා සමඟ කථා කරන්නට වීමි.

" අද මොකද පොඩි මහත්තය නිදාගන්නේ '' යි මම ඔහුගෙන් ඇසුවෙමි.

නැහැ. දැන් පැය දෙකක් විතර ඉඳල නිදි. දවල්  බෙහෙත් බීවයින්  පස්සෙ නිදාගන්න පටන් ගත්තු ගමන තමයි තාම ඔය '

"කොහොමද ඇඳෙන් නැගිටින්න හැදුවද? " යි මම ප්‍රශ්න කළෙමි.

"නැහැ.උදේ වරුවෙ කල්පනා කර කර හිටිය. වැඩි හැල හොල්මනක් නැතුව. මම දවල් බෙහෙත් ගේන්න ගියා. ඒ අතර ඇදෙන් නැගිටින්න නැහැ. මං එනකොටත් නිදාගෙනයි හිටියෙ"


සෝමපාලට නින්ද ගිය බව ඇසීමෙන් මා තුළ සතුටක් ඇති විය. මම ඇඳුම් මාරු කොට ඉස්තෝප්පුවට වුත් පත්‍රය බලන්නට සිතුවෙමි. බොහෝ දවසකින් පත්‍රය බැලීමට කරම්වත් විවේකයක් දැනුනේ එවිටය. පත්‍රය රැගෙන පුටුව මත වාඩි වී මිදුල දෙස බැලූ මගේ දෙනෙත් පළමු වරට ඇදී ගියේ රෝස පඳුර වෙතය. එහි වූ රෝස මල් පොකුර දක්නට නොතිබිණ. මම වහා පඳුර ළහට ගියෙමි. එහි වූයේ රෝස මල් පොකුර පිටින්ම කැඩීමෙන් ඉතුරුවන ලද ඉති කැබෙල්ල පමණකි. රෝස පොකුරෙහි පිපී තිබුණේ එක මලක් බව මට මතක් විණ. මම තරුණ මෙහෙකරුවා කැඳවා ඔහුගෙන් රෝස මලට කුමක් වී දැයි ඇසුවෙමි. එහෙත් ඔහුට ඒ ගැන කිසිවක් කීමට නුපුළුවන් විය. රෝස පඳුරත් සෝමපාලත් අතර වූ සම්බන්ධය ගැන මට සිහිවිණ. රෝස මල සෝමපාල විසින් කිසිවෙකුට නොපෙණෙන ලෙස කඩන්ට ඇතැයි මම සිතුවෙමි. නින්දෙන් අවදි වූ විට ඔහුගෙන් ඒ ගැන ඇසිය යුතු යයි මම තීරණය කරගත්තෙමි.

සෝමපාල අවදි වූ විට, මම ඔහුගෙන් ඒ සම්බන්ධව ඇසිය යුතු යයි සිතාගෙන කාමරයට ගියෙමි. එහෙත් ඔහුගෙන් ඒ ගැන ප්‍රශ්න කිරීමෙන් ඔහුගේ සිතෙහි යළි කිසියම් කැලඹීමක් ඇති වෙතියි යන බියෙන් මම කිසිත් නොඇසුවෙමි.

සෝමපාල මා කාමරයට ඇතුළු  වූ විගසම මහත් දයාවකින් මෙන් මා දෙස බැලුවේය. ඔහුගේ මුහුණෙහි වූ වෙනදා නොමැති පැහැදිලි පෙනුම හා පියකරු බව ගැන මට වඩාත් පැහැදිලි වූයේ එවිටය. '' සෝමපාලට දැන් සනීප වගෙ " යි මම කීවෙමි. ඔහුගේ කට කොනකින් සිනහ රැල්ලක් මතු විය.

" ඔව් - ස - නිප - යි නින්ද - ගි - යා '' ඔහු පිළිතුරු දුන්නේ ගොතගසමින් වෑයමිනි.

මම ඔහුට ළංව ඔහුගේ මුහුණ දෙස ඕනෑකමින් බැලුවෙමි. ඔහු කිසිවක් කීමට දැඩි ආශාවකින් සිටින බව මට පෙනිණ.

දැඩි දුර්වලත්වය නිසා ඔහු කී දෙයින් මට ඇසුනේ ඇතැම් කොටස් පමණකි. එහෙත් ඔහු කිවේ මේයයි මට සිතුණි.

"අර රෝසමල කැඩුවෙි මමයි.මට එය විනාශ කිරීමට වුවමනා වී තිබුණා.මගේ අභාග්‍ය උදාකරේ මෙයයි.එහෙත් මට නම් මෙය විනාශ කරන්නට බැහැ.

මීට මොළව ගත් ඔහුගේ අතෙහි රෝස මල වූ බව මට පෙනිණ.මම එය ඔහුගෙන් ගැනීමට තැත් නොකළෙමි.

 ඔහුට කතා කිරීමට නොහැකි වී තිබෙණු දුටු මම බියෙන් ගැහෙන්නට වීමි. දොස්තරට වහාම පැමිණෙන ලෙස පණිවිඩයක් ඇරියෙමි. දොස්තර පැමිණෙන තෙක්ම මම කාමරයෙන් එළියට නොගොස් සෝමපාල අසලින්ම සිටියෙමි. මගේ පුදුමයට කරුණක් වූයේ ඔහුගේ මුහුණේ වූ ශාන්ත පියකරු පෙනුමය. එය භයානක අඩියක සිටින්නෙකු කෙරෙහි නොව ලෙඩකින් සුව වන්නෙකු කෙරෙහි ඇති වන පෙනුමක් ලෙස මට හැඟී ගියේය

දොස්තර සෝමපාල පරීක්ෂා කර බලා ඔහුගේ තත්වය ඉතා දුර්වල බවත් තත්වය කෙබඳු අතකට පෙරළේදැයි කිව නොහැකි බවත් ප්‍රකාශ කළේය හදිසියේ හෘදයේ දුර්වලත්වය වැඩිවී නම් තත්වය ඉතා භයානක වන්නට පුළුවන් බවද ඔහු විසින් කියන ලදි.

එදින රාත්‍රී සෝමපාලගේ තත්වය දරුණු අතට හැරිණ. දොස්තරවරුන් ගණනක්  කැඳවන ලදී. එයින් පලක් නොවීය. පසුදා එළිය වැටීමට දෙපැයකට පෙර හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් ඔහු මළේය.

සෝමපාලගේ මරණය මගේ දැඩි ශෝකයට හේතු විය. ඔහුගේ රෝගය සඳහා වියදම් කොට දුප්පත් වී සිටි ඔහුගේ මවුපියනට ද මට උපකාර කිරීමට සිදුවිය. එබැවින් මම ඒ ගෙය විකුණා චාන් ජීවිතයක් ගෙවීමට සිතුවෙමි.

සෝමපාලගේ මරණයෙන් අවුරුදු තුන හතරකට පසු මම මිත්‍රයෙකු සමග වාසයට ගියෙමි. අවුරුදු තුන හතරකට පෙර විවාහ වූ මගේ මිත්‍රයා ඒ ගෙයි වාසයට පැමිණ මසක්වත් ඉකුත් නොවීය.

විශාල සමව පිහිටි වක්තකින් යුත් ඒ ඉඩම ඉතා සිත් ගන්නාසුලු එකකි. ගෙයද දැකුම්කලු එකක් වුවද පරණ ගෙයක් අලුත් වැඩියා කිරීමෙන් සාදන ලද්දකි. මම එහි ඉස්තෝප්පුවට ඇරුණ කුඩා කාමරය නැවතීම පිණිස ගත්තෙමි. කුඩා වුවද, ගෙයි අන්‍ය කාමර හා සම්බන්ධයක් නොමැති ඒ කාමරය මගේ සිත තදින් ඇද ගත්තේය.

මගේ මිත්‍රයා විනෝදකාමි එකෙකි. ඔහු මා අඳුනා ගෙන ස්වල්ප කලක් වුවද ඒ කාලය තුළ අප අතර විශාල සම්බන්ධයක් ඇති විය. ඔහුගේ බිරිඳ ද ඔහු මෙන්ම අලංකාර ජීවිතයක් ගත කිරීමට ප්‍රිය කළ එකියකැයි මට සිතේ. උස් සිරුරකින් යුත් ඈ පෙනුමෙන්ද බොහෝ සේ සිත් අලවයි.

එහි පැමිණි කීප දිනකින් අපි ගෙයි ඉදිරිපස වූ වත්තෙහි මල් වැවීම ආරම්භ කෙළෙමු. අප තුළ වූ දැඩි ආශාව නිසා ස්වල්ප කල කින්ම ගෙමිදුල නොයෙක් මලින් සැදි දර්ශනිය මල් වත්තක් බවට පෙරළිණ.

අවුරුද්දෙහි මල් බෙහෙවින් පිපෙන කාලය පැමිණියේය. මල් වත්තෙහි හැම ගසක්ම පාහේ මලින් වැසෙන්නට විය. මගේ කාමරය ඉදිරියෙහි මා විසින් ආදරයෙන් වවන ලද විශාල රතු රෝස මල් ගසෙහි ද ටික දිනකින් මල් හට ගන්නට විය. මගේ කාමරය අසල මෙය වැවීමට ද හේතු වූයේ මල් වලට තිබූ ආශාවය.

පළමු ඇති වූ පොහොට්ටු එක දෙක පිපී මල් බවට වැඩෙන තුරු මම නො ඉවසිල්ලෙන් සිටියෙමි. ටික කලකින් පිපෙන පොහොට්ටුවලින් යුතු ඇතැම් මල් ඉති මගේ කාමරයේ කවුළුවේ තිරයට හේත්තු වී සිටින සැටි දකින මා තුළ වූ ප්‍රීතිය බොහෝ විය. ටික දිනකින් රතු රෝස මල් නොදැනුවත්වම මගේ කාමරයට ඇදෙ -තියිද මට සිතිණ. රෝස මල් දකින හැමවිටම මට සෝමපාල ගැනද සිහි විය.

මම දිනක් උදයෙහි කිසියම් වැඩක යෙදී සිටියෙමි. මිත්‍රයාගේ බිරිඳ කාමරයට පැමිණ කථා කරන්නට වූවාය.

මේ රෝස පඳුර උදුරල දමනවා. මේක නිසා මෙතන බිත්තියත්  ජනෙල් රෙද්දත් දෙකම කිලුටු වෙනවා '' යි ඈ කීවාය.

මම පුදුමයෙන් මෙන් ඈ දෙස බලා සිටියෙමි. ජනෙල් රෙද්ද රෝස පඳුර නිසා කිලුටු වන්නේ කෙසේ දැයි මීට නොවැටහිණ.

" මොන බොරුද, මොකක් කිලුටු වුණත් මේක නම් උදුරන්න දෙන්න බැහැයි '' මම ඇයට කීවෙමි.

'' බෑ බෑ මොන, ඕක උදුරලා දමනවා '' යි ඈ කමරයෙන් ඉවත් වෙමින් කීවාය.

මම ඈ කී දෙය නොපිළිගත්තෙමි. ඈ සරදමක් වශයෙන් මා කෝප කරවීමට කිසිවක් කියන්නට ඇතැයි මට සිතිණ. ඈ එවැනි සරදම් කිරීමෙහි ද බෙහෙවින් දක්ෂය.

එදින භවස කන්තෝරුවෙන් පැමිණි මා තුළ ඇති වූ කෝපය නිම් හිම් නැති විය. ජනේලය ඉදිරියෙහි වූ රෝස පඳුර මුලින්ම උදුරා දමා තිබෙණ බව මට පෙනිණ.

රෝස පඳුර කවුරුන් විසින් උදුරන්නට ඇද්ද යන බව මට වැටහිණි. මම ඇගෙන් කිසිවක් නෑසුවෙමි. ඈ හා කථා කරන්නට යෑමෙන් විශාල කලහයක් ඇතිවෙන බව මට සිතිණ.

ඉන් කීප දිනක් පසුවන තුරුද මම ඈ සමග කථා නොකෙළෙමි. ඈ නොයෙක් විට මා සමඟ කථා කිරීමට සූදානම් බවක් දැක් වූ මුත් මම කෝපයෙන් අහක බලා ගත්තෙමි. දින කීපයක් ගත වූ පසුද මගේ සිතෙහි වූ කෝපය අඩු නොවීය.

දිනක් හවස මම කාමරයෙහි මේසය අසලට වී කිසිවක් ලියමින් සිටියෙමි. මිත්‍රයාගේ බිරිඳ සෙමෙන් කාමරයට ඇතුළු  වී මේසය අසල වූ පුටුවක වාඩි වූවාය. එය ඈ සමඟ කෝප වූවාට පසු ඈ ඒ කාමරයට පැමිණි පළමු වතාවය.

" රෝස පඳුර උදුරා දම්මේ මමයි '' ඈ දිග කථාවක් කීමට සැරසෙන්නියක මෙන් කීවාය. මම කිසිත් නො කීවෙමි. එහෙත් එවිට මගේ කෝපය බෙහෙවින් අඩුවී තිබුණේය.

" මම එය උදුරා දැම්මේ බිත්තිය කිලුටු වන නිසා නොවෙයි. එය මගේ සිතට දුක් දෙන්නක් නිසා.''

ඈ කී අන්තිම වචන ඇසීමෙන් මා තුළ මවිතයක් ඇතිවිණ. සෝමපාල ගැන මට එවිට සිහිවිණ.

'' ඒ ඇයි දැ? '' යි මා නො දැනුවත්වම වාගේ මුවෙන් පිටවිණ.

එය මා විසින් නෑසිය යුත්තක් බව මට වැටහුනේ එය ඇසීමෙන් සුවය. '' නෑ ඒක මට වුවමනා නෑ '' යි මම කීවෙමි.

" නෑ ඒක හංගන්න දෙයක් නෑ '' යි ඈ පිළිතුරු දුන්නාය. මගේ නොඉවසිලිමත් ආශාව කෙතරම් දැඩි වුවද මම එය යටපත්කර ගැනීමට කළෙමි.

" නෑ මට එය ඕනැ නෑ.''

'' මම විවාහ වන්නට පෙර මට තරුණයෙක් ප්‍රේම කළා. ඔහු සිටියේ අපි ඒ දවස් වල සිටිය ගෙට යාබද වත්තේ. ඒ වත්තේ තිබුණා ලස්සන  රතු රෝස මල් පඳුරක්. මම ඒ දවස්වල රෝස මල්වලට විශෙෂයෙන් ප්‍රිය කළා. දිනක් මම අපේ වත්තේ ඇවිදින කොට රෝස මල් පඳුරෙ රෝස මල් කීහිපයක් පිපී තිබෙන බව දැක්කා. තරුණයා රෝස පඳුර ළඟ කිසිවක් කරමින් සිටියා. ඔහු අපේ ගෙදරට කීපවිටක් ඇවිත් තිබෙනවා. එහෙත් මා ඊට පෙර ඔහු සමග කථා කරලා නැහැ. අපේ ගෙදරත් ඒ ගෙදරත් වෙන් කර තිබුණේ මිටි තාප්පයකින්, මම තාප්පය ළඟට ගිහින් ඔහුගෙන් නැටි දිග රෝස මල් කීහිපයක් ඉල්ලුවා. අපේ ගෙදර මල් පෝච්චි කීපයක් තිබුණ නමුත් මල් දැමීමට නැති නිසා ඒවා පාවිච්චි නොකර තිබුණා. ඔහු මට මල් කීපයක් දුන්නා " යි කී ඈ මදක් සිනහ වෙමින් මාදෙස ඕනෑකමින් බැලුවාය.

ඊට පසුව ඔහු මට ප්‍රේම කරන්නට පටන් ගත්තා. මා ඔහුට කිසිවිටක ප්‍රේම කළේ නැහැ. මා ප්‍රේම නොකරන බව පෙනෙත්ම ඔහුගේ ප්‍රේමය දියුණු වුණා. ඔහු ස්නායු දුර්වලත්වයෙන් පෙළෙන
කෙනෙක්. කල්යත්ම ඔහුගේ ප්‍රේමය තව තව දියුණු වුණා. ඔහු කිසියම් අභාග්‍යයකට තමන්ගේ වුවමනාවෙන්ම පත්වන බව මව පෙණුනා. ඊට කලකට පසුව මම විවාහ වී ඒ ගේ අත්හැර වෙන පළාතකට ගියා.

" මගේ විවාහයෙන් පසුව ඔහු ඉතා අවාසනාවන්ත කාලයත් ගත කළ බව මට ආරංචි වුණා. ඔහු ගැන සිහිවන විට මා තුළ දන් ශොකයක් ඇතිවන මුත් කරන්නට දෙයක් නැහැ. එය ඔහුගේම වරදයි.

" මෙහි ඇති රෝස පඳුර දැකීමෙන් මට ඔහු ගැන සිහිවන්නට පටන් ගත්තා. එයින් ඇතිවන වේදනාව නැති කිරීමටයි මම එය උදුරා දැමේ '".

ඈ කී දෙය ඇසූ මා තුළ මවිතයක් ඇති විය. සෝමපාල පිළිබඳ කීවේ සම්පුර්ණ සත්‍යය දැයි මට සැක සිතිණ. ඇගේ දෙඇසෙහි හෝ කට හඬෙහි අවංක භාවයක් රැඳි නොතිබුණේය. ඈ සෝම -සැක සිතින. ඇගේ නොරැඳි තිබුනේය.

ඈ සමඟ සෝමපාලගේ ජීවිතයේ අන්තිම කොටස පිළිබඳව කීමට මා තුළ දැඩි ආශාවක් ඇති වුවද මම එය නොකීවෙමි. එය අසන්නාගේ සිත් කකියවන සුලු ශෝකි පුවතක් බැවිනි.