
පාන්දර ඉඳන්ම ඇදහැලුණු වරුසාවත් එක්ක තරංග නැගිට්ටේ වස කම්මැලිකමකින්. ඒ තුන්වෙනි පාරටත් ෆෝන් එකේ එලාම් එක වැදුනට පස්සේ.එලාම් එක වැදි වැදිත් නෑහුණා වගේ නිදාගන්න තරංග දක්ෂයි. තවදුරටත් නිදාගෙන ඉඳලා හරියන්නේ නැති නිසා තරංග කකුල් දෙක බිමට දාලා ඇඳේ ඉඳගත්තා. ෆේස් බුක් එකේ තිබුණු පෝස්ට් එකකින් තමයි එක පාරටම ඇඳෙන් නැගිටින්න හොඳ නැහැ කියන එක ඉගෙනගත්තේ. එදා ඉඳන් මොන තරම් පරක්කු වෙලා තිබුණත් කකුල් දෙක පහළට දාලා ටික වෙලාවක් ඇඳ උඩ ඉඳගෙන ඉඳලා තමයි තරංග නැගිට්ටේ.
සමහර දවසට අචිනි තේක දෙන්න එනකොටත් තරංග නිදි. ඒ වගේ දවසට අචිනි කාමරයට එන්නේ දොරත් හයියෙන් හප්පගෙන. ඒ සද්දෙට උඩ ගිහිල්ලා ඇහැරුණත් ළඟකදි ඉඳන් තරංග ඇඳෙන් බහින්නේ අනුමත ක්‍රමයටමයි.
" මළ විකාර
මට අරෙහෙ කුස්සියේ යුද්දේ. තව තේකත් කාමරයටම ගෙනත් දෙන්න වෙලා.
තව ටික දවසක් යනකොට දත් ටිකත් මද්දන්න කියයිද දන්නේ නැහැ. "
කලින් දවසේ ටිකක් සැරෙන් අචිනි කියපු කතාව මතක් වෙලා තරංග ඉක්මනටම බාත්රූම් එකට ගියා. රෑ මැදත් නැගිටලා එක පාරක් ගියත් තද මුත්‍රා බරකුත් තරංගට තිබුණා.
බාත්රූම් එකට ගිහින් කමෝඩ් එකේ පියන උස්සලා බලනකොට කළු කූඹි එකයි. උදේ පාන්දරම පවක් කරගන්නත් බැහැ. ෆ්ලෂ් කළොත් කූඹි ටික එක ගුලියට හේදිලා යාවි. ඒත් ඒ වෙනකොට මුත්‍රා පිටවෙන තත්වයටම ඇවිත්. මොනවා කරන්නද කියලා හිතාගන්න බැරිව මොහොතක් හිටපු තරංග සිස්ටන් එකේ බොත්තම එබුවේ අහක බලාගෙන. කළු වලාකුළක් වගේ කැරකි කැරකී ගොස් අතුරුදන් වුණු කූඹි ගැන තරංගට දැනුණේ කනගාටුවක්.
දත් මැදලා මූණත් හෝදගෙන කුස්සියට යනකොට අචිනි තේ හදනවා. අම්මා හොදි හැඳිගානවා. බත් හැලිය විතරක් දර ළිපේ ඉදෙන සුවඳ දැනුණා. බඳින්න ඉස්සර නම් තරංග අචිනිට කිව්වේ
" අපි දෙන්නම උදේට නැගිටලා උයාගමු." කියලයි.
ඒත් උයන එකේ රඟේ කවදාවත්ම අත් විඳලා නොතිබුණු තරංගට හරියට පොල් ටිකක්වත් ගාගන්න පුළුවන් වුණේ නැහැ.
" එහෙනම් මම උයන්නම්.
ඔයා තේ හදන්න "
අචිනි දෙවෙනි දවසෙම කිව්වා.
තේ හැදිල්ලත් හිතන තරම්ම ලේසි නැති බව තේරුණේ තමන් හදපු පල් වතුර තමන්ටම බී ගන්න බැරි වුණාට පස්සෙයි.
" උඹලා අහකට වෙයල්ලා. මෙච්චර කලක් පාන්දරින් නැගිටලා උයපු විදියටම ඉස්සරහටත් මමම උයන්නම්."
අම්මා කිව්වේ සතියක්ම ඉවසගෙන ඉඳලා. ඒ මාසෙම උයන කලමනා අචිනි සතියෙන් ඉවර කළාට පස්සේ. ඒත් අචිනි පාන්දරම නැගිටලා අම්මට උදව් වෙන එක නම් නැවැත්තුවේ නැහැ. මූලික තැන අම්මට දීලා අත්උදව් දෙන එක විතරක් කළා. ඒකෙන් නැන්දම්මා ලේලි සමගියත් රැකුණා.
" ඔයා දැක්කද අද කමෝඩ් එකේ හිටපු කළු කූඹි රොත්ත."
කුස්සියේ තියෙන පුටුවක වාඩි වෙලා තේක බොන ගමන් තරංග අචිනිගෙන් ඇහුවා.
" නෑ
මම ගියේ එළියේ තියන ටොයිලට් එකට. "
අචිනි කිව්වා.
කොහොමත්ම අචිනී , අම්මයි පාවිච්චි කළේ කුස්සියට අල්ලලා හදලා තියෙන ටොයිලට් එක. නෑවෙත් එතනම ෂවර් එකක් අල්ලලා තියෙන කෑල්ලේ. ඒ විදියට පුරුදු වුණේ වැඩට යනකොට ඉක්මන් නිසා. නැත්නම් එක්කෙනෙක් එළියට එනකම් ඉන්න ඕනෑ අනිත් එක්කෙනාට යන්න.
" අපේ ක්ලිනික් එකේ නම් කියන්නේ වැසිකිළි පෝච්චියේ කළු කූඹි ඉන්නවනම් ඒක පාවිච්චි කරන එක්කෙනාට දියවැඩියාව තියෙන බව හඳුනගන්න ලක්ෂණයක් කියලයි."
අවුරුදු ගණනාවක ක්ලිනික් ඉතිහාසයක් තියෙන තරංගගේ අම්මා කිව්වා. ඒත් අම්මට තිබුණේ ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් දෙක විතරයි. ඊට අමතරව හන්දි අමාරුව.
" දෙයියන්ගේ පිහිටෙන් මට දියවැඩියාව නැහැ "
අම්මා හැමෝම එක්ක කිව්වේ තමාට තියෙන උපාධියක් පිළිබඳව කියන්නාක් මෙන් සතුටින්.
" අම්මට පිස්සු. මෙහෙ කොහෙද දියවැඩියා කාරයෝ. මේ වැස්ස කාලේ කූඹි කමෝඩ් එක අස්සට රිංගනවා බිත්තර දාන්න."
එහෙම කියන ගමන් තරංග කුස්සියෙන් පිට වුණේ තේ බීපු කෝප්පය එහෙමම මේසය උඩ තියෙන්න ඇරලා. ඒක දැකපු අචිනිගේ මූණට නොරිස්සුම් සහගත පෙනුමක් එක් වුණත් මොකවත් කියන්න ගියේ නැහැ.
කඩිමුඩියේ උයපු බත් පෙට්ටි දෙකකට බෙදුවෙත් අම්මා. උදේට කාලා යන්න ගෙවල් දෙක තුනකට එහා තියෙන කඩයෙන් ඉඳිආප්ප ගෙනාවේ තරංග. මොනවා තිබුණත් උදේට ඉඳිආප්ප කන්න තරංගට පොල් සම්බෝල ඕනමයි. ඉක්මනට ඉක්මනට පොල් සම්බෝලය තලපු අචිනි ඇඟ හෝදගන්න කුස්සිය ළඟ තියෙන බාත්රූම් එකට වැදුණා.
ඒ ඩිංගට නාගත්ත තරංග අචිනි මැදලා තිබුණු කලිසමයි, කමිසෙයි ඇඳගෙන සපත්තුත් දාන්න අරගෙන. එතකොටත් අචිනි යට සායයි හැට්ටෙයි පිටින්. හැමදාමත් ඔහොමයි. ඉක්මනට ඇඳගන්න තරංග ඊළඟට හදිසි කරනවා යන්න. අචිනිට තව ටිකක් ප්‍රමාද වෙලා ගෙදරින් පිටවුණත් බස් එකෙන් යන්න වෙලාව ඇති. තරංග මෝටර් සයිකලය ටවුමේ දාලා කෝච්චියෙන් කොළඹ යන්නත් ඕනෑ. ඒත් අචිනි කැමති තරංග එක්කම බයිසිකලයෙන් ඉස්කෝලේ
ළඟට යන්නයි. බස් එකේ ගියොත් ඉස්කෝලේ ළඟින් බහින්න වෙන්නේ සාරිය බාගෙට ගලවගෙන. ඒ වෙලාවට බස්වල ඒ තරම් සෙනග.
" අපි යනවා අම්මේ "
කියාගෙන අචිනි එළියට බහිනකොටත් තරංග බයිසිකලයේ වාඩි වෙලා. බෑග් තුන හතරකුත් එල්ලගෙන අචිනි බයිසිකලයට නගිනකොට තරංගට " උහ් " ගෑවුණා.
" ඇයි තවම කකුල රිදෙනවද " අචිනි ඇහුවා .
" ඔව් .
කකුලට බර එනකොට රිදෙනවා. "
" දැන් සතියක් විතර වුණා.
ඔය පුංචි තුවාලය තවම හොඳ නැද්ද ?
ඒකනේ කෝටුව ඇනුණු දවසෙම මම කිව්වේ දොස්තර ළඟට ගිහින් බෙහෙත් දාගන්න කියලා. "
" මං හිතන්නේ දවසෙම සපත්තු දාගෙන ඉන්න නිසා වෙන්න ඇති.සපත්තුවලට තුවාලෙ තැම්බෙනවා.ඒකයි තුවාලය හොඳ වෙන්න පරක්කු.
අදත් බලලා දොස්තර ළඟට යනවා."
" මොනවා වුණත් එදාමයි බෙහෙත් දාගන්න තිබුණේ. ඔය වගේ තුවාලවලින් තමයි විශබීජ යන්නේ. කෝ ඔයා ඇහුවේ නැහැනේ"
අචිනි නෝක්කාඩු කිව්වා.
" ඔය පුංචි තුවාලවලට කවුද අනේ බෙහෙත් දාන්නේ "
කියන ගමන් තරංග බයිසිකලය පාරට ගත්තා.
අචිනිව ඉස්කෝලේ ළඟින් බස්සවගෙන මෝටර් සයිකලය වෙනදා නවත්තන්න නැවතුම්පොළට දාලා වෙලාවට ස්ටේෂන් එකට ආවත් කෝච්චිය ප්‍රමාද වුණා. තරංග ඔෆීස් එකට එනකොට අටයි පනහට කිට්ටුයි. ඔෆීස් එකේ පේන්න තිබුණේ වෙනදා නැති කලබලකාරී ස්වභාවයක්. තැන තැන රැස්වී කතාකරන්නන් මිසක රාජකාරියේ යෙදෙන කවුරුවත් නම් දකින්න ලැබුණේ නැහැ. යමක් සිදුවී ඇති බව තරංගට ඉවෙන් මෙන් දැනුණා.
" මොකක්ද වෙලා තියෙන්නේ "
තරංග ඇහුවේ කාර්යාල කාර්ය සහයක අජන්තගෙන්. අජන්ත නොදන්නා කිසිවක් කාර්යාල තුළ සිදුවීමට හැකියාවක් තිබුණේ නැහැ.
" සමරදිවාකර මහත්තයා ආන්තරා වෙලා. "
" මොනවා "
ඇරගත් කට වහගන්න අමතකව තරංග වටපිට බැලුවේ පුදුමයෙන්. "
සමරදිවාකර මහත්තයා තරංග වැඩකරන විගණන අංශයේ ප්‍රධානියා. වයස පනස් පහක් විතර ඇති. සති දෙකක විතර වෙලේ ඉඳන් වැඩට ආවේ නැත්තේ අසනීප බව දන්වමිනුයි. ඔෆීස් එකේ කීප දෙනෙක් රෝහලට ගිහින් බලලා ආවත් තරංගට නම් යන්න බැරි වුණා.
කට්ටිය කතා වුණේ වැඩ ඇරිලා කෙළින්ම මළ ගෙදරට යන්නයි. ලයිස්තුවට තමන්ගේ නමත් ඇතුළු කළ තරංග අචිනිට කතාකරලා තමන් අද ගෙදර එන්න ප්‍රමාද වෙන බව කිව්වා. දවල් දොළහා පහුවුණත් කවුරුවත් රාජකාරිය කරන වගක් නම් පේන්න තිබුණේ නැහැ. තැන තැන පැවැත්වෙන සාකච්ඡා, රෝග විනිශ්චය, මරණ පරීක්ෂණ ඇරෙන්න විවිධ රාජකාරී සඳහා පැමිණෙන්නන් ගැන ඒතරම් තැකීමක් තිබුණේ නැහැ. තරංග නම් තමන්ගේ පාඩුවේ ලිපි ගොනු අතර සැරිසැරුවා.
සුබ සාධක සංගමය මාර්ගයෙන් ගෙන්වාගත් බස් රථයෙන් මළ ගෙදරට යනකොට අඳුරු වැටෙන්නත් කිට්ටුයි. ඉඩ කඩ ඇති වත්තක් මැද ඉදිවූ දෙමහල් නිවසේ සාලයේ මල් ගොමුවක් මැද සමරදිවාකර මහත්තයා නිදා සිටියේ කවදාවත්ම කාර්යාලයේදී නොදැකපු තරම් සාමකාමී මුහුණකින්. දේහයට ආචාර කළ පැමිණි පිරිස එළියේ තනා ඇති කැනපියේ තිබුණු පුටුවල වාඩි වුණා. ටික වේලාවකින් පැමිණි පිරිස හා කතාබහ කිරීමට පැමිණියේ සමරදිවාකර මහත්මියයි.
පිරිසට ඇයගෙන් දැනගන්න බොහොම කරුණු කාරණා තිබුණා. වැඩිපුරම ප්‍රශ්න තිබුණේ කාන්තා පාර්ශ්වයටයි. සියල්ලන්ගෙම ප්‍රශ්නවලට සමරදිවාකර මහත්මිය පොදුවේ පිළිතුරු දුන්නේ හැඬූ කඳුළෙන්. තරංග නිහඬව අසා සිටියා මිසක තමන්ගේ ප්‍රශ්නයත් ඇයට ඉදිරිපත් කර ඇය වෙහෙසන්න හිතුවේ නැහැ.
" මහත්තයට කාලෙක ඉඳලම සීනි තිබිලා තියෙනවා. කිව්වට ඇහුවේ නැහැ. පනහා පනිනකොටම ෆුල් බොඩි චෙකප් එකක් කරගන්න කියලා මම කට කැඩෙනකම් කිව්වා. ඇහුවේ නැහැ. සද්දන්ත මනුස්සයා වුණාට පොඩි ළමයෙක් වගෙයි. ලේ ගන්නවට එහෙම හරිම බයයි. ඒ නිසාම දවසින් දවස කල් දැම්මා.
සති දෙක තුනකට ඉස්සරවෙලා කකුලේ වලලු කරට ඉහළින් පොඩි තුවාලයක් හැදුණා. මහත්තයා නම් කිව්වේ මදුරුවෙක් කාලා කැසුවා කියලයි. ඇත්තටම ඇහැට පේන තරමේ තුවාලයක් තිබුණෙත් නැහැ. දවස් දෙක තුනක් යනකොට එතන රතු වෙලා, කකුල ඉදිමිලා, ඉවසන්න බැරි වේදනාවකුත් එක්කම උණ ගත්තා. රතු ගතිය එන්න එන්නම වැඩි වුණා. ෆැමිලි ඩොක්ටර්ට පෙන්නුවහම කිව්වේ විෂබීජයක් ගිහින් වගේ කියලයි. පස්සේ වදෙන් පොරෙන් කැමති කරවගෙන බ්ලඩ් චෙක් කරලා බලනකොට සීනි හාරසිය ගණනට නැගලා. ඒ පාර ප්‍රයිවට් හොස්පිටල් එකකට ඇඩ්මිට් කළා. ඒ වෙනකොටත් තුවාලය ඔඩු දුවලා. දියපට්ටත් මතුවෙලා. කකුල දණහිස ළඟින් අයින් කරන්න වෙයි කියලා ඩොක්ටර්ස්ලා කිව්වා.
ඒකට මෙයා හුඟක් බය වුණා. මානසිකවත් වැටුණා. කකුල අයින් කරන්න තිබුණේ අද. ඊයේ දවල් හාර්ට් ඇටෑක් එකක් ආවා. එතනින්ම ICU එකට ඇඩ්මිට් කළා. රෑ අටට විතර තවත් ඇටෑක් එකක් ඇවිත් ඒකෙන්ම නැති වුණා.
ඔක්කොටම හේතුව සීනි තමයි."
මිසිස් සමරදිවාකර සුදු පාට ලේන්සුවකින් කඳුළු පිහදාගත්තා.
"එතකොට රෝග ලක්ෂණ එහෙම මොකුත්ම පේන්න තිබුණේ නැද්ද මිසිස් සමරදිවාකර." පිරිසේ කෙනෙක් ඇහුවා.
"දැන් තමයි ඒවා මතක් වෙන්නේ.
මෙයාට හරියට තිබහා හැදුණා. ඒ වගේම පැණිරස කන්න පෙරේතයි. පොඩි ළමයෙක් වගේ කේක්, අයිස්ක්‍රීම් එහෙම ගෙනත් තියාගෙන කනවා. ඒත් මට නිකමටවත් මෙහෙම දෙයක් හිතුණේ නැහැ.
රෑට සැරයක්, දෙසරයක් නැගිටලා යූරින් පාස් කරනවා.
මම මේ ඔයාලටත් දැනගන්නයි කියන්නේ .
බාත්රූම් එකේ කමෝඩ් එකේ නිතර කළු කූඹි හිටියා. ඒකත් ඩයබිටිස්වල ලක්ෂණයක්ලු. "
මිසිස් සමරදිවාකර බර කරලා කිව්වා.
තරංගගේ ඇඟ හිරි වැටිලා ගියා. ඒ අද උදේ පාන්දර කමෝඩ් එකේ කූඹි හිටි හැටි මතක් වෙලා. තමන්ගේ ඇඟට ඇනලා ප්‍රියංග
" අපි දැන් යමුද ? "කියලා අහනවාවත් තරංගට දැනුණේ නැහැ.
ආපහු එන අතරේ බස් රියේ කතාවුණු එකම මාතෘකාව දියවැඩියාව. හැමෝම කතා කළේ තමන් වෛද්‍ය විද්‍යාවෙන් කෙළ පැමිණිලා වගෙයි. දියවැඩියාවේ රෝග ලක්ෂණ, රෝගයට හේතු, සුදුසු කෑම බීම වගේම අත් බෙහෙතුත් දන්න දන්න විදියට ඉදිරිපත් වුණා. තරංග සුපුරුදු නිශ්ශබ්ද තාවයෙන්ම සියල්ල අහගෙන හිටියා.
වෙනදා ගෙදර එන දුම්රිය මගහැරුණු නිසා එදා තරංග ආවේ ගාලු යන බස් එකක. ඇඟේ තෙහෙට්ටුවටත් එක්ක නින්ද ගිහින් ඇහැරෙනකොට වාද්දුවත් පහුවෙලා. කළුතර ටවුමෙන් බැහැල මෝටර් සයිකලයත් අරගෙන ගෙදර එනකොට වෙලාව නවයයි. අචිනි වැරන්ඩා එකට වෙලා බලාගෙන ඉන්නවා.
ගෙට ගොඩවුණු හැටියෙම
" වොෂ් එකක් දාගෙන එන්නම් " කියාගෙන බාත්රූම් එකට රිංග ගත්ත තරංග බැලුවේ කමෝඩ් එකේ කූඹි ඉන්නවද කියන එකයි. හිතුවා වගේම කමෝඩ් එකේ සීට් එක යට කූඹි දහයක් පහළොවක් විතර හිටියා. තරංගගේ හිත හොඳටම නරක් වුණා.
" මටත් සීනි වෙන්න ඇති.
කකුලේ පුංචි තුවාලයත් මේතරම් කලක් අල්ලගෙන ඉන්නේ ඒ නිසා වෙන්න ඇති."තරංග හිතුවා.
" ඔයා අද අපේ කාමරේ බාත්රූම් එක පාවිච්චි කළාද ? "
එළියට ආපු තරංග අචිනිගෙන් ඇහුවා.
" නෑ අනේ අම්මයි, මායි වැඩිපුර පාවිච්චි කරන්නේ කුස්සිය ළඟ තියෙන එකනේ. නිතරම හෝදන්න පිරිසුදු කරන්න ඕන නිසා බාත්රූම් දෙකම පාවිච්චි කරන එක කරදරයි.
ඇයි ඔයා එහෙම ඇහුවේ ?"
" නෑ, කෝමඩ් එකේ කළු කූඹි හිටියා. ඒකයි."
තරංග නිහඬව කෑම කන්න පටන්ගත්තා. රෑ කෑමට අචිනි හදලා තිබුණේ නූඩ්ල්ස් එක්ක චිකන් කරි. වෙනදා ආසාවෙන් නූඩ්ල්ස් කන තරංග එදා බෙදාගත්තේ හැන්දයි.
" මොකද අනේ මේ චුට්ටක් බෙදාගෙන ?
තව ටිකක් බෙදාගන්නකෝ. "
අචිනි තව හැන්දක් බෙදන්න හැදුවත් තරංග ඉඩ දුන්නේ නැහැ.
" එපා, එපා
රෑට වැඩිය පිටි කෑම කන්න හොඳ නැහැ.
පිටි කියන්නෙත් සීනිමනේ.
දැන් මට තිහ පැනලනේ.
ටිකක් පරිස්සම් වෙන්න ඕනෑ. නැත්නම් සමරදිවාකර මහත්තයට වුණු දේ තමයි වෙන්නේ.
" ඇයි, මොකද වුණේ "
තරංග, සමරදිවාකර මහත්තයාගේ විස්තරය අචිනි එක්ක කිව්වා.ඔක්කොම අහගෙන හිටපු අචිනි
" අපිට ඔය ලක්ෂණ එකක්වත් නැහැ නේ."
කියමින් සැහැල්ලුවෙන් ඉඳුල් පිඟන් දෙකත් අරගෙන නැගිට්ටා.
වෙනදා හැමදාම සිකුරාදා හවසට අරගෙන එන අයිස්ක්‍රීම්, යෝගට් වගේ අතුරුපසක් එදා අරගෙන එන්න තරංගට අමතක වෙන්න ඇති කියලා අචිනිට හිතුණේ රෑ කෑම කෑවට පස්සෙයි. දවස් දෙකකට ඉස්සර අල්ලපු ගෙදර රුවිනිලා කතරගම ගිහින් එනකොට ගෙනත් දීපු කළු දොදොල් කෑල්ලක් කපලා තරංගට දීපු අචිනි කෑල්ලක් කෑවා.
" අනේ එපා.
මටනම් එපා." වෙනදා කළු දොදොල්වලට පෙරේත තරංග කිව්වේ වස කෝප්පයක් අතේ තිබ්බා වගේ බයකින්.
අචිනි පුදුමයෙන් වගේ තරංගගේ මූණ දිහා බලාගෙන ඉඳලා ඒ කෑල්ලත් කටේ දාගන්න හදනකොටම ,
" එපා ,එපා
ඔයා කන්නත් එපා "
තරංග සැරෙන් කිව්වා.
" ඇයි අනේ, මේකට මොකුත් වෙලා නැහැනේ. මේ හොඳට තියෙන්නේ.
අපි ඊයේ රෑත් කෑවේ."
අචිනි කිව්වා.
" ඕවයේ හරියට සීනි. මීට පස්සේ අපි සීනි වලින් පරිස්සම් වෙන්න ඕනෑ. හොඳටම වැඩී අපේ ගෙදර සීනි පාවිච්චිය.
හෙට ඉඳලා මගේ තේ එකට සීනි දාන්න එපා."
" ඒ පාර තව කරදරයක්.
දැන් ඉතින් මෙයාට වෙනමම තේ හදන්න එපැයි.
මට නම් සීනි නැතිව බොන්න බැහැ."
අචිනි හිතින් හිතුවත් කියන්න ගියේ නැහැ.
වාර විභාගය අවසන්වීමත් සමගම උත්තර පත්තර මිටි ගොඩගැහිලා.පහුවදා උදේ පාන්දර නැගිටින්න ඕනෑ නැති නිසා අචිනි උත්තර පත්තර මිටියක් බලලා කාමරයට යනකොටත් තරංග අවදියෙන්. අචිනි කාමරයට එනවා වත් තරංගට දැනුණේ නැහැ. ඒ තරමටම යූ ටියූබ් එකේ තියෙන දියවැඩියාව ගැන වැඩසටහනක ඇලිලා. අචිනි ලයිට් එක නිවාගෙන ඇඳට ගියත් තරංග නිදාගන්නා බවක් පේන්න තිබුණේ නැහැ. එතකොට දොළහත් පහුවෙලා.
" කෙහෙම්මල් දියවැඩියාවක් ගැන හොය හොය ඉන්නවා. බැඳලා අවුරුදු තුනක් වෙන්න ඇවිල්ලා. දරුවෙක් නැත්තේ මොකද කියලා හොයලා බලන්න කිසිම උනන්දුවක් නැහැ."
නොරිස්සුමකින් හිත පුරවගත්ත අචිනි වචනයක්වත් පිට නොකර රෙද්දත් පොරවගෙන අනිත් පැත්තට හැරුණා. ෆෝන් එකේ තිරය නිවා දමපු තරංගත් අචිනිගේ පැත්තට හැරුණා.
" අපේ තාත්තට දියවැඩියාව තිබුණද ? "
සෙනසුරාදා උදේ තරංග අම්මගෙන් ඇහුවා.
" තිබුණද, නැද්ද නම් දන්නේ නෑ.
තාත්තා නැතිවෙනකොට හතළිහක්වත් නැහැනේ. ඒ කාලේ ඕවා චෙක් කරලා බලන සිරිතක් තිබුණෙත් නැහැනේ. " අම්මා කිව්වා.
තරංගගේ තාත්තා මැරුණේ ඇක්සිඩන්ට් එකකින්.
" ඇත්තටම තාත්තට දියවැඩියාව තිබුණද දන්නෙත් නැහැ. අම්මට නොතිබුණත් තාත්තගේ පරම්පරාවෙන් එන්න ඉඩ තියෙනවා. ඒ පරම්පරාව එක්ක අපි සම්බන්ධයකුත් නැහැනේ. " තරංගගේ හිතට ආවේ චකිතයක්.
ඒ එක්කම පෙරදා රාත්‍රියේ දෙපාරක්ම නැගිටලා මුත්‍රා කරන්න ගිය බවකුත් මතක් වුණා.
" ඔය වැස්ස නිසා හීතලට. " අචිනි කිව්වේ එහෙම.
එදා ගෙදරට ඕනෑ බඩු ගන්න තරංග ටවුමට ගියේ තනියම. ඒ අචිනි ප්‍රශ්න පත්තර ගොඩකට යටවෙලා හිටපු හින්දා. අචිනි ලියලා දීපු ලැයිස්තුවෙන් බාගයක් විතරම සෞඛ්‍ය හේතු මත කපා හරින්න තරංගට සිද්ධ වුණා. ඒ වෙනුවට කඩල, මුං ඇට, කොල්ලු එහෙම එකතු වුණා. මුනිරත්න බෙහෙත් බඩු කඩය ළඟින් යනකොටයි තරංගට කොතල හිඹුටු මතක් වුණේ.
" දියවැඩියාවට කියාපු බෙහෙත. "
බලපු වීඩියෝ එකක තිබුණා.කඩේට ගොඩවැදුණු තරංග කොතල හිඹුටු කැල්ලකුත් අරගෙන බෑග් එකේ දාගත්තා. පල්ලිය ඉස්සරහා පලා විකුණන ආච්චිලා තරංගව හොඳට අඳුනනවා.
" දියවැඩියාවට ගුණයි "
එහෙම හිතපු තරංග එතනින් තෙබු කොළ මිටි දෙකක්ම ගත්තා. ගෙදර එනකොට මල්ල වෙනදාට වඩා බරයි.
බඩු අස්කරනකොට අචිනිගේ මූණ මැලවුණා.
" මොනවද අනේ මේ. ලියලා දීපු එවයින් බාගයක්වත් ගෙනත් නෑ. වෙන මොනවද වල් පල් ටිකක් උස්සගෙන ඇවිත්. හැමදාම ඇට කන්න පුළුවන්ද ? "
අචිනි පිප්පුවා. තරංග සුපුරුදු විදියටම නිහඬව හිටියා.
පහුවදා ඉඳලම උදේට කෑමට තිබුණේ කවුපි, කඩල, මං ඇට. ඒවා තැම්බීම අමතර කරදරයක් වුණත් සතියක් දෙකක් යනකොට අචිනිගේ ඇඟ හැඩ වුණා. බරත් අඩු වුණා. මොන හේතුවකින් හරි තරංගගේ කකුලේ තුවාලයත් සුව වුණා. වැස්සත් නැවතුණා. කළු කූඹින්ගේ ඒමත් නැවතුණා. ඒත් රෑට පාරක්, දෙපාරක් නැගිටලා වතුර බොන එකයි, මුත්‍රා පිටකරන එකයි නම් දිගටම තිබුණා.
" තව ටිකක් පරෙස්සම් වුණොත් ඒකත් හරියයි ."තරංග අචිනිට කිව්වා.
" ඔයාට පිස්සු. නැති ලෙඩකට බය වෙවී ඉන්නේ, ගිහින් ලේ එකක් බලාගන්නකෝ.
මට නම් දැන් පැණිරසක් නොකා ඉඳලා ඇඟටත් පණ නෑ වගේ." අචිනි කිව්වා.
" නෑ
තව ටිකක් පරෙස්සම් වෙලාම ගිහින් බලනවා. එහෙම හොඳයි
රිපෝට් නරක් වුණොත් දොස්තර ළඟටත් යන්න වෙනවා. බෙහෙත් බොන්නත් වෙනවා. ඒවා කරදර වැඩ. මමම කොහොම හරි මේ ලෙඩේ හොඳ කරගන්නවා."
තරංග කිව්වේ තමන්ට දියවැඩියාව තියනවැයි කියන අදහසේම ඉඳගෙනයි.
තරංගගේ ඇඟත් බලා ඉද්දිම කෙට්ටු වුණා. පොඩියට නෙරලා තිබුණු බඩත් බැහැලා ගියා.
" ඇයි සීනිද ? "
දකින දකින අය ඇහුවා. ඒ වෙලාවට නම් තරංග ටිකක් ගැස්සිලා ගියා.
" ඇත්තටම මට සීනිද ?"
තරංගට හිතුණා.
මිදුලේ කොනක තියෙන කාගෙවත් ඇල්ම බැල්ම නොලබපු කාමරංකා ගහටත් වටිනාකමක් ලැබිලා. කාමරංකා ගැන යූ ටියුබ් වැඩසටහනක් බැලුවට පස්සේ තරංග කාමරංකා ගහ තමන්ගේ තනි අයිතියට පවරා ගත්තා.
" කාමරංකා නිතරම කන්න එපා කියලා කිලිනික් එකේ කතා වුණා. සීනි අඩු වෙලාම යනවලු."
අම්මා කිව්වත් තරංග ඉන් පසුබට වුණේ නැහැ. දවසට ගෙඩි දෙකක්වත් කෑවා. හවස ගෙදර ආපු ගමන් බොන තේක නතරකරලා අම්මා තම්බලා තියන කොතල හිඹුටු කෝප්පයක් බිව්වා.
නිවී හැනහිල්ලේ දවස් ගතවුණා. එදත් සිකුරාදා දවසක්. උදේ නැගිටිනකොටම තරංගට ඇඟට හරි නැති ගතියක් දැනුණා. අචිනි නම් කිව්වේ නිවාඩුත් තියෙන නිසා ගෙදර ඉන්න කියලයි. ඒත් අත්‍යාවශ්‍ය විගණන වාර්තාවක වැඩ අවසන් කරලා බාරදෙන්න තිබුණු නිසා තරංග වැඩට ගියා. අදේ දහයට විතර ඔළුව කැරකෙන ගතියක් දැනුනත් වතුර ටිකක් බීලා මේසෙට ඔළුව ගහගෙන හිටියා මිසක් කාටවත් කියන්න ගියේ නැහැ. වාර්තාව හදලා බාරදීලා පුටුවට ඇවිත් වාඩිවෙනවා විතරයි තරංගට මතක. මුළු ඔෆීස් එකම කරකැවෙන්න පටන්ගත්තා. තද සීතලක් ඇඟට දැනුණා. විදුලි පංකාව තම වේගය වැඩි කරගෙන තිබුණා. තරංග තම පුටුවේ පැත්තකට ඇලවෙලා ගියා.
තරංගගේ අමුත්ත මුලින්ම දැක්කේ අජන්ත. ඔෆීස් එකේ වාහනයකින්ම තරංගව ජාතික රෝහලට අරගෙන ගියා. එතකොට තරංග මළකඳක් වගේ සීතල වෙලා. කෙලින්ම ගත්තේ දැඩි සත්කාර ඒකකයට.
අචිනිට පණිවිඩය එනකොට ඉස්කෝලේ ඇරුණා විතරයි. ඉස්කෝලෙම උගන්වන පිරිමි ගුරුවරයෙකුගේ වාහනයක තවත් ගුරුවරියන් දෙන්නෙක් එක්ක අචිනි ඉස්පිරිතාලෙට ආවා. අචිනිලා එනකොට තරංගට සිහිය ඇවිල්ලා. ඒත් හොඳටම දුර්වලයි. කතාකරගන්නවත් පණ නැහැ.
වෛද්‍යවරු අචිනිගෙන් තරංගගේ රෝග ඉතිහාසය ගැන ඇහුවා. අචිනි කිව්වේ තමන් දන්නා කාලෙදි නම් තරංගට හෙම්බිරිස්සාවකට එහා උණක්වත් හැදී නැති බවයි. පරීක්ෂණ වාර්තා ලැබුණෙත් ඒ වෙලාවෙමයි. ඒ පරීක්ෂණ වාර්තාවලට අනුව තරංගගේ රෝගයට හේතුව ලෙස දක්වලා තිබුණේ
" රධිරයේ සීනි මට්ටම තිබිය යුතු සීමාවට වඩා බෙහෙවින් අඩුවීම" ලෙසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd