දිනක් බුදුන්වහන්සේ දෙව්ලොව පියුම් විල් තෙර හුදෙකලාව සක්මන් කරමින් හුන් සේක. විල් දියේ වූ පුල් පියුම් මුතු සේ සුදූ පැහැයෙන් දිස්වුණි. පියුම් ගබ්හි රැඳි රන් වන් කෙසුරු කෙරෙන් නිරතුරු විහිද ගිය , කියා නිම කළ නොහැකි තරම් සුවඳින් මුළු වා තලයම පිරී ගති. 

   එය දෙව්ලොව උදෑසනයි. මඳ වේලාවකට පසු පියුම් විල් තෙර නිසලව සිට ගත් බුදුන්වහන්සේ විල් දිය වසා සිටි පියුම් පත් මැදවූ විවරයක් අතරින් පහළ ඇති දසුනක් සැණෙකින් දුටහ. නිරයේ බිම්තලය දෙව්ලොව පියුම් විලට යටින් කෙළින්ම පිහිටියෙන් සදාතන අඳුර වෙත යන තුන් මං නදියත් ඉඳිකටු කන්දේ උල් මුදුනුත් පළිඟු දිය අතරින් පැහැදිලිව පෙනුණි. 

ඉක්බිති නිරය පත්ලෙහි අන් පව්කරුවන් සමග නිරා දුක් විඳිමින් හුන් කන්දක නම් මිනිසෙකු කෙරෙහි බුදුන් වහන්සේගේ දෑස් යොමු විය.
   මේ කන්දක වනාහි මිනී මරමින් හා ගෙවල් ගිනි තබමින් නන් පව්කම්හි යෙදී හුන් සොර දෙටුවෙකි. එහෙත් ඔහු අතින් සිදුවුණු එක් පිනක් විය. වරක් මහ වනයක් මැදින් ගමන් ගන්නා ඔහුට මග පසෙක බඩ ගා යමින් හුන් මකුළුවෙකු දක්නට ලැබුණි. වහා සිය පය ඔසවා ඌ පාගා මරා දැමීමට සූදානම්වූ ඔහු තුළ සැණෙකින් මෙබඳු සිතක් උපන.

'නැත. නැත. මෙතරම් කුඩා ප්‍රාණියෙකු තුළ පවා ආත්මයක් පවතින්නේමය. ඒ ගැන නොසලකමින් ඌ මරා දැමීම ලජ්ජාවට කරුණකි.'

   ඉක්බිති ඔහු මකුළුවාගේ දිවි ගලවා ලීය. 
   නිරය දෙස බලන බුදුන් වහන්සේට කන්දක එදා මකුළුවාගේ දිවි ගැලවූ අයුරු සිහිපත් වුුණි. එම පිනෙහි පල පිණිස ඔහු නිරා දුකින් ගලවා ලිය හැකිවී නම් යෙහෙකැයි උන්වහන්සේ සිතූ සේක. එවේලේ පියුම් පත් මත මනරම් රිදී වන් හුයකින් දැලක් වියමින් සිටි දෙව්ලොව මකුළුවෙකු , වට පිට බලන බුදුන් වහන්සේගේ නෙත ගැටුණේ වාසනාවකට මෙනි.
   බුදුන් වහන්සේ සන්සුන් ලෙස මකුළු හුය අතින් ගත් සේක. ඉක්බිති උන් වහන්සේ එය මුතු සේ සුදු පැහැ පියුම් මැදවූ විවරය අතරින් පහළිනුත් පහළ පිහිටි නිරය පත්ලට කෙළින්ම හෙළා ලූහ.


   මෙවේලේ කන්දක , අන් පව්කරුවන්ද සමග නිරයේ බිම් තලය මතවූ ලේ විලෙහි (මෙයද අපේ අපාය විස්තරයේ ලෝදිය නදිය සිහි ගන්වයි.) වරක් උඩ මතුවෙමින්ද යළි යට ගිලෙමින්ද හුන්නේය.
   සැමතම පැතිර පැවතියේ තිත්ත කළුවරකි. ඇතැම් විටක එම කළුවර අතරින් මතුවූ යමක් හදිසියේ ඇස ගැසී ගියේ වී නම් එය අනෙකක් නොව බියකරු ඉඳිකටු කන්දේ උල් මුදුන්වලින් විහිදුණු දිස්නය පමණි. අවට සැම තැනම වූයේ මිනී වළක නිහඬ බවකි. ඉඳ හිට ඇසුණු එකම දෙය පව් කරුවන් නගන සිහින් සුසුම් හඬය. මෙහි වැටී හුන් පව්කරුවන් වෙනත් නොයෙක් නිරා දුක් විඳ අපමණ වෙහෙසට පත්ව සිටි හෙයින් හඬ නැගීමේ සවිය පවා ඔවුන්ගෙන් දුරුව ගොස් තිබීම ඊට හේතු විය 
   සොර දෙටුවෙකු වුවද ලෙයින් හුස්ම හිර වෙමින් මියෙන මැඩියෙකු මෙන් ලේ විලේ දඟලනු විනා කන්දකට අන් කළ හැකි දෙයක් නොවීය. එ⁣හෙත් ඔහුගේ කල එළැඹුණි. මෙදින අහම්බෙන් මෙන් සිය හිස ඔසවා ලේ විලට ඉහළින් ඇති අහස දෙස බැලූ කල්හි රිදී වන් මකුළු හුයක් මිනිස් ඇසට බියෙන් මෙන් නිහඬ අඳුරේ යම්තමින් දිළිසෙමින් ඉහළිනුත් ඉහළ අහසේ සිට තමා දෙසට සෙමින් සෙමින් පාත්වී එනු කන්දක දිටීය. 
   එය දැකීමෙන් හටගත් සතුට නිසා කන්දකට ඉබේම අත්පුඩි ගැසුණි. එම හුයෙහි එල්ලී එහි කෙළවර දක්වා නැග ගත්තේවී නම් මෙම නිරයෙන් මිදීමට තමාට හැකි වනු නිසැකය. නැත සියල්ල හොඳින් සිදුවී නම් තමාට දෙව්ලොවට පිවිසීමට වුව හැකි වන්නේමය. එවිට යළි කිසි දිනක මේ ඉඳිකටු කන්දට තමා ඇදගෙන නොයනු ඇත. මේ ලේ විලෙහි තමා නොගිල්වනු ඇත.
   තම සිතෙහි මෙම සිතිවිලි පහළව ගිය සැණින් දෑතින්ම මකුළු හුය තදින් අල්ලා ගත් ඔහු තම සියලු වැර යොදා ඉහළින් ඉහළටම නගින්නට පටන් ගති. සොර දෙටුවෙකුව සිටි බැවින් දිගු කලක් තිස්සේ ඔහු එබඳු දෙයට මැනවින් හුරු පුරුදුව සිටියේය. එහෙත් නිරය පිහිටා ඇත්තේ දෙව්ලොව සිට සැතපුම් කොපමණ ගණනක් ඈතින්දැයි කිසිවෙක් නොදනියි. එහෙයින් කොතරම් වීරිය කළද ඔහුට පහසුවෙන් නිරයෙන් ගොඩට ඒමට නොහැකි වුණි. මඳ වේලාවක් උඩට නැගි ඔහු අවසානයේ මහත් සේ වෙහෙසට පත්ව ගියේය. ඉක්බිති ඔහුට ඉන් ඉහළට අඟලක්වත් නැග ගත නොහැකි විය. 
   අන් කිසිවක් කර ගත නොහැකිවුණු ඔහු වෙහෙස දුරු කරගනු රිසියෙන් මඳක් නැවතී මකුළු හුයේ එල්ලීගෙනම පහළිනුත් පහළට නෙත් හෙළීය. සිය සියලු වැර යොදා නැගි හෙයින් මොහොතකට පෙර තමා හුන් ලේ විල දැන් පහළ ගැඹුරෙහි වූ අඳුරේ සැඟව ගොස් තිබුණේ ඔහු විස්මවමිනි. පහළින්වූ බියකරු ඉඳිකටු කන්ද දිස්න දුන්නේ මලානික ලෙසිනි. මේ වේගයෙන්ම ඉහළ නැගුණේ නම් තමා සිතුවාටත් වඩා පහසුවෙන් නිරයෙන් එගොඩවීමට ඔහුට හැකිවනු ඇත.
   තම අතින් මකුළු හුය වෙළා ගත් කන්දක සතුටින් කුල්මත්ව සිනාසුණේ නිරයට ආ තැන් පටන් ගෙවුණු මුළු කාලය තුළම නොනැගූ තරම් හඬක් නංවමිනි.

"දිනුවා! දිනුවා!"

   එහෙත් බලවත් ආසාවෙන් යුතුව කූඹි පෙරහරක් මෙන් මකුළු හුය දිගේ ඔහු පසුපස ඉහළින් ඉහළටම නගින ගිණිය නොහැකි තරම් පව්කරුවෝ පිරිසක් සැණෙකින් ඔහුගේ ඇසට හසුවූහ. මෙය දුටු කෙණෙහි විස්මය හා තැතිගැන්ම නිසා මෝඩ විලාසයක් පාමින් විවරව එල්ලි ගිය පුළුල් කටින් යුතු කන්දක මොහොතක් වේගයෙන් ඇසිපිය ගැසුවා පමණි. තනි ඔහු එල්ලී සිටියදී පවා සිඳී ගිය හැකි සේ පෙනුණු මේ සිහින් මකුළු හුයට මේ සියලු මිනිසුන්ගේ බර කෙසේ නම් දැරිය හැකි වේද? යම් හෙයකින් අහස මැදදී මෙය සිඳී ගියහොත් මෙතැනට ළංවීමට තමා ගත් සියලු තැත අපතේ ගොස් ඔහුටද පහතට හැරුණු හිසින් යුතුව යළි නිරයටම වැටීමට සිදුවනු ඇත.
   මේ අතර දහස් සුවහස් ගණන් පව්කරුවෝ දඟල දඟලා අඳුරු ලේ විලෙන් එළියට අවුත් දිළිසෙන සිහින් හුය දිගේ සිය සියලු වැර යොදා එක පෙළට ඉහළට නගිමින් සිටියහ. තමා වහා යමක් නොකෙළේවී නම් මකුළු හුය දෙකඩව ගොස් ඔහු වැටී යනු නියතය. එහෙයින් කන්දක මහා හඬින් කෑ ගැසීය.

"ඒයි පව්කාරයිනේ! මේ මකුළු හුය මගේ. ඒක දිගේ උඩට එන්න තොපට අවසර දුන්නේ කවුරුන්ද? බැහැපල්ලා! බැහැපල්ලා!" 

   ඒ වන තෙක් කැඩී යන ලකුණකුදු නොපෙන්වූ මකුළු හුය එකෙණෙහිම හඬක් නගමින් කන්දක එල්ලී සිටි තැනින්ම දෙකඩව ගියේය. හඬක් නැගුමට පවා කල් නොලද ඔහු විදි හීයක් ලෙසින් පහතට හැරුණු හිසින් යුතුව අඳුර තුළට ඇදී ආවේ බඹරයක් මෙන් වේගයෙන් වටේට බමමිනි.
   ඉක්බිති දෙව්ලොව මකුළු හුය පමණක් දිළිසෙමින් සිහින්ව සඳ තරු තොර අහසේ කෙටියට එල්බෙමින් තිබුණි. 

 

   දෙව්ලොව පියුම් විල් තෙර සිට ගත් බුදුන්වහන්සේ සිදුවූ සියල්ල ළංව බලාගත් සේක. ගලක් ගිලෙන්නාක් මෙන් කන්දක ලේ විලෙහි පත්ලට ගිලී ගිය කල්හි උන්වහන්සේ දුක් මුසු මුහුණින් යුතුව යළිත් සක්මණෙහි යෙදෙන්නට පටන් ගත්හ. 
   තමා පමණක් ගැලවීමට සිතූ කන්දකගේ හුණු නොවුණු හදත් යළිදු ඔහු නිරයට වැටීමත් මහත්වූ දයානුකම්පාවට ලක් විය යුතු දේ ලෙසින් බුදුන් වහන්සේගේ දෑසට පෙනී යන්නට ඇති බැව් නිසැකය. එහෙත් දෙව්ලොව පියුම් විලේ පියුම්හු එබඳු දේ අරබයා කිසිදු සැලකිල්ලක් නොදැක්වූහ. මුතු සේ සුදු පැහැ පියුමන් බුදුන්වහන්සේගේ සිරි පතුල් වටා සැලෙනු පෙනුණි. එපියුමන් එසේ සැලෙද්දී එහි ගබ්හිවූ රන්වන් කෙසුරු කෙරෙන් විහිද ආ  කියා නිම කළ නොහැකි තරම් සුවඳින් මුළු වා තලයම පිරී ගති. 
   එවේලේ දෙව්ලොව්හි මද්දහන ළංව තිබුණි.

රියුනෝසුකේ අකුතගාවා