ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ පිහිටි වඩාත් ප්‍රසිද්ධම වෙරළ තීරය බොන්ඩායි ය. සිඩ්නි නගරයට කිලෝමීටර් 8.2ක් දුරින් පිහිටි බොන්ඩායි වෙරළ තීරය සාමාන්‍යයෙන් ජනාකීර්ණව පවතින්නකි. එය සෑම වසරකම ලක්ෂ සංඛ්‍යාත විදෙස් සංචාරකයන්ගේ එක් ගමනාන්තයකි. පසුගිය 14 වැනිදා ඉරිදා සවස බොන්ඩායි වෙරළේ බොන්ඩායි මණ්ඩපයට නැගෙනහිරින් පිහිටි ආචර් උද්‍යානයේ විශේෂ උත්සවයක් සූදානම්ව පැවතිණ.

යුදෙව්වෝ හනුක්කා උත්සවයට සූදානම් වීම

ඒ, ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ජීවත්වන යුදෙව් ජාතිකයන් වාර්ෂිකව සමරන ‘හනුක්කා’ (Hanukkah)  ‘චනුකා’ නමැති විශේෂ සැමරුම් උත්සවය වෙනුවෙනි. හනුක්කා යන්නෙහි තේරුම කැපවීම යන්නය. එය අන්ධකාරයට එරෙහි ආලෝකයේ කතාව ලෙසද හැඳින්වෙයි. ක්‍රි.පූ දෙවැනි සියවසේ දී ජෙරුසෙලමේ ශුද්ධ මාලිගාව සහිත භූමිය අයත්ව තිබුණේ සෙලියුසිඩ්වරුන් ලෙස හැඳින්වූ සිරියානු හා ග්‍රීකයන්ටය. යුදෙව් නිදහස් සටන්කරුවෙකු වූ යූදා මැකබීස් නමැත්තාගේ නායකත්වයෙන් යුත් කුඩා සන්නද්ධ කණ්ඩායමක් දියත් කළ මෙහෙයුමකින් ශුද්ධ භූමියෙන් සෙලියුසිඩ්වරුන් පලවා හැර දේව මාලිගාවේ සේවය යථාතත්ත්වයට පත්කරගත්හ.

ඉන්පසු ඔවුහු දේව මාලිගාවේ මෙනෝරා ( අතු 7කින් යුත් ඉටිපන්දම්) දැල්වීමට උත්සාහ කළහ. එහෙත් එහි තිබුණේ එක් පිරිසුදු ඔලිව් තෙල් බඳුනක් පමණකි. ආශ්චර්යවත් ලෙස එම තෙල් බඳුනින් මෙනෝරා දල්වා චාරිත්‍රානුකූලව පාරිශුද්ධ නව තෙල් සකස් කිරීම ආරම්භ කෙරිණ. ඔවුනට නව තෙල් සැකසීමට දින 8ක් ගතවූ අතර ආශ්චර්යවත් ලෙස එක් දිනකට පමණක් පැවතුණ තෙල් සැපයුම එම දින 8ක කාලය තුළම දැල්වීමට සමත්වී තිබිණ. ලබාගත් ජයග්‍රහණය සහ මෙම අසිරිමත් සිදුවීම සිහිකිරීම වෙනුවෙන් ‘චනුකා’ සැමරීම බිහිවිණ. මෙම සැමරුම රාත්‍රී 8ක් එනම් දින 8ක් පුරා ආලෝක උත්සවයක් ලෙස පැවැත්වෙයි. 

2025 වසරේ සාමාන්‍ය දින දර්ශනයට අනුව හනුක්කා සැමරීමට දින නියමව තිබුණේ දෙසැම්බර් 14 වැනිදා ඉරිදා හිරු බැසයෑමෙන් ආරම්භවන 22 වැනිදා සඳුදා රාත්‍රියෙන් නිමාවීමටය.

බොන්ඩායි වෙරළේ ආචර් උද්‍යානයට සිඩ්නි යුදෙව්වන් පවුල් පිටින් රැස්ව සිටියේ එදින හනුක්කා සැමරුමේ පළමු දින විශේෂ ඉටිපන්දම් දල්වා ආගමානුකූලව සතුටු වී එදින රාත්‍රියට සාම්ප්‍රදායිකව ආහාරයට ගන්නා තෙලින් බදින ලද ආහාර ගැනීමටය. එදින සිට ඉදිරි දින 7 තුළත් මෙම සැමරීම සිදුකිරීමට යුදෙව්වෝ බලාපොරොත්තුවෙන් සිටියහ. 

සිඩ්නි නුවර ඕස්ට්‍රේලියාවේ ජීවත්වන යුදෙව් ප්‍රජාවගේ ප්‍රධාන මධ්‍යස්ථාන දෙකෙන් එකකි. අනෙක් මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ මෙල්බර්න් නගරයේය. 1000කට ආසන්න යුදෙව්වෝ පිරිසක් මෙම උත්සවයට සූදානම් වෙමින් සිටියහ.

යක්ෂයාගේ හෝරාව ආරම්භ වීම

මේ අතර කිසිවෙකුත් නොසිතූ ලෙස යක්ෂයාගේ හෝරාව ආරම්භ වෙමින් තිබිණ. බොන්ඩායි වෙරළට ආසන්නයේ පදිංචිව සිටි පිය - පුතු දෙදෙනෙක් නිවසේ තිබූ ගිනි අවි කීපය ද රැගෙන බොන්ඩායි වෙරළේ යුදෙව්වන් රැස්ව සිටින ආචර් උද්‍යානයට කඩා වැදී දිගට හරහට වෙඩි තැබීම ආරම්භ කළහ. යුදෙව්වෝ මරණ බියෙන් හිස් ලූ ලූ අත දිව ගියහ. අවුරුදු 10 සිට 87 දක්වා වයස් කාණ්ඩවල සිටි 60 දෙනෙකු පමණ තුවක්කුකරුවන්ගේ උණ්ඩවල ඉලක්ක බවට පත්විණ.  ආචර් උද්‍යානයට ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් ද වහා ක්‍රියාත්මක වී ඝාතකයන් වෙත පෙරළා වෙඩි තැබීම ආරම්භ කළහ. එහිදී එක් වෙඩික්කරුවෙකුට වෙඩි තැබීමට පොලිසියට හැකිවිය.

ඔස්ට්‍රේලියාවට නව ජාතික වීරයෙක් බිහිවීම

මේ අතර, එම ස්ථානයේ සිටි සිවිල් පුද්ගලයෙක් උපායශීලී ලෙස ක්‍රියාත්මක වෙමින් රයිෆලයක් අතැතිව සිටි එක් ඝාතකයකුගේ ඇඟට පැන ඔහුගෙන් තුවක්කුව උදුරාගනිමින් ඔහු මෙල්ල කළේය. එම ක්‍රියාව නිසා ජීවිත රැසක් රැකිණ. ඝාතකයාගෙන් රයිෆලය උදුරාගත් පුද්ගලයා වූයේ ඔස්ට්‍රේලියාවේ පලතුරු වෙ​ෙළඳසලක් හිමි 43 හැවිරිදි දෙදරු පියෙකු වන මුස්ලිම් ජාතිකයෙකු වන අහමඩ් අල් අහමඩ් නමැත්තාය. මෙම සිදුවීමේදී ඔහුගේ උරහිසටත් වෙඩි ප්‍රහාරයක් එල්ලව තිබිණ. 

ඔහු මේ වන විට ඇමෙරිකානු ජනාධිපති ප්‍රමුඛ ලෝක නායකයන්ගේ මෙන්ම ඔස්ට්‍රේලියානු පුරවැසියන්ගේ ජාතික වීරයෙකු බවට පත්ව සිටී. ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බේනිස් සිඩ්නි හි ශාන්ත ජෝර්ජ් රෝහලේ ප්‍රතිකාර ලබන අල් අහමඩ් හමුවී ඔහු සිදුකළ ක්‍රියාව පැසසුමට ලක්කළේය.

“අහමඩ් අල් අහමඩ් හමුවීම ගෞරවයක්. ඔහු සැබෑ ඔස්ට්‍රේලියානු වීරයෙක්. අපි නිර්භීත රටක්. අහමඩ් අපේ රටේ හොඳම දේ නියෝජනය කරයි. අපි මේ රට බෙදීමට ඉඩ නොදෙමු. ත්‍රස්තවාදීන්ට අවශ්‍යව ඇත්තේ එයයි. අපි එක්සත් වෙමු. අපි එකිනෙකා වැලඳ ගනිමු. අපි මෙයින් ගොඩ එන්නෙමු” ඔස්ට්‍රේලියානු අගමැති සඳහන් කරයි.

චෝදනා 59ක් එල්ලව ඇති නවීඩ් අක්‍රම්

මේ වන විට අහමඩ් වෙනුවෙන් පිහිටුවන ලද GoFundMe  අරමුදලට ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 2ක් ඉක්මවන මුදලක්ද එක් රැස්වී තිබේ.

ඝාතකයන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයන් අතරින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ජීවිතක්ෂයට පත්වූවන් අතර වයස අවුරුදු 10ක දැරියක ද සිටී. තවත් 35 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කෙරිණ. ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් බලධාරීහු සඳහන් කරති. ඝාතකයන් දෙදෙනාගෙන් එක් අයෙක් පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්විය. අනෙක් පුද්ගලයා තුවාල සහිතව අත්අඩංගුවට ගැනිණ. මෙම සිදුවීමෙන් පසු සිදුකළ සෝදිසි මෙහෙයුමේදී ඝාතකයන් පැමිණි වාහනයේ තිබී ඝාතකයන් විසින් ගෙදර සැකසූ බවට සැක බෝම්බයක් හා අයි.එස්.අයි.එස්. සංවිධානයට අයත් කුඩා කොඩි දෙකක් ද සොයා ගැනිණ.
මෙම සිදුවීම මෑත ඉතිහාසයේ ඔස්ට්‍රේලියාවේ සිදුවූ දෙවැනි දරුණුම සමූල ඝාතන සිදුවීමය. මීට පෙර 1996 දී දකුණු තස්මේනියා ප්‍රදේශයේ ගම්මානයකට පුද්ගලයෙකු එල්ල කළ වෙඩි තැබීමකදී 35 දෙනෙක් ඝාතනය වී 18 දෙනෙක් තුවාල ලැබූහ. 

යුදෙව්වන් ඉලක්ක වූ අයි.එස්.අයි.එස් ප්‍රහාරයක්

මෙම බොන්ඩායි ඝාතන සිදුවීම යුදෙව්වන් ඉලක්ක කර සිදුවූවක් නිසාම ඔස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානය (ASIO)  පුළුල් විමර්ශන ආරම්භ කර ඝාතකයන්ගේ තොරතුරු හෙළිකර ගැනීමට කටයුතු කළේය. විශේෂයෙන් මෙම සිදුවීමට පෙර 2023 ඔක්තෝබර් මාසයේ දී ගාසා යුද්ධය ආරම්භ වූ දා සිට ඔස්ට්‍රේලියාවේ යුදෙව් ප්‍රජාවට එරෙහි ක්‍රියාකාරකම්වල වැඩිවීමක් බුද්ධි අංශ විසින් නිරීක්ෂණය කර තිබිණ. එමෙන්ම 2024 අගෝස්තු මාසයේදී ඔස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානය එරටට එල්ලවිය හැකි ත්‍රස්තවාදී තර්ජන මට්ටම “හැකි” සිට “සිදුවිය හැකි” මට්ටම දක්වා ඉහළ දැමීමට ද ක්‍රියාකර තිබිණ.

ඔස්ට්‍රෙලියානු ආරක්ෂක අංශ විසින් ඝාතකයන් පිළිබඳ හෙළිකරගත් තොරතුරුවලට අනුව ඝාතකයන් දෙදෙනා පිය පුතු දෙපළකි. පියා සජීඩ් අක්‍රම්ය. 50 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකි. හයිද්‍රාබාද්හි වාණිජ උපාධියක් ලබා 1998 නොවැම්බර් මාසයේදී රැකියාවක් සොයා ඔස්ට්‍රේලියාවට පැමිණ යුරෝපීය සම්භවයක් සහිත කාන්තාවක සමග විවාහ වී කල්ගත කළේය. පුතා 24 හැවිරිදි නවීඩ් අක්‍රම් ය. ඔහු ඔස්ට්‍රේලියාවේ උපන් පුරවැසියෙකි. ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ අත්අඩංගුවේ සිටින්නේ ඔහුය. මේ වන විට ඔහුට එරෙහිව චෝදනා 59ක් එල්ලවී තිබේ. මිනී මැරීම් චෝදනා 15ක්, ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදුකිරීම සහ මිනීමැරීමේ අරමුණින් පුද්ගලයෙකුට තුවාල කිරීම/ බරපතළ ශාරීරික හානියක් සිදුකිරීම යන චෝදනා 44ක් ඒ අතර පවතී. පසුගිය අඟහරුවාදා දිනයේදී නවීඩ්ට එරෙහි පළමු අධිකරණ නඩු විභාගය ද පැවැත්විණ.

ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ හෙළිකරගෙන තිබෙන තොරතුරුවලට අනුව මෙම බොන්ඩායි ප්‍රහාරය අයි.එස්.අයි.එස්. ත්‍රස්ත මතවාදය අනුව සිදුකළ එකකි. ඝාතකයන් විසින් භාවිත කරන ලද තුවක්කු ඔවුන් සතුව තිබූ බලපත්‍ර සහිත තුවක්කුය. 50 හැවිරිදි සජීඩ් අක්‍රම් එරට තුවක්කු සමාජයක සාමාජිකයෙකි. ඔහු සතුව තුවක්කු 6ක් පමණ පැවතිණ. ඒවා සඳහා 2023 වසරේ දී නීත්‍යනුකූලව බලපත්‍රද ලබාගෙන තිබිණ.

පිය පුතු දෙපළගේ අබිරහස්  පිලිපීන සංචාරය

මෙම පිය පුතු දෙපළ පසුගිය නොවැම්බර් 01දා සිඩ්නි සිට පිලිපීනයට ගමන් කර ඇති බව ආරක්ෂක අංශ විසින් තහවුරු කර ගැනිණ. ඔවුහු නොවැම්බර් 28දා දක්වා පිලිපීනයේ රැඳී සිට තිබේ. පියා ඉන්දීය ගුවන්ගමන් බලපත්‍රයක් හා පුතා ඔස්ට්‍රේලියානු ගුවන් ගමන් බලපත්‍රයක් භාවිත කර තිබිණ.

පිලිපීනයේ රැඳී සිටි කාලයෙහි පිලිපීනයේ දකුණු දිග මින්ඩනාඕ දූපතේ ඩාවෝ නගරය ඔවුන්ගේ අවසන් ගමනාන්තය ලෙස වාර්තා වී තිබිණ. මෙම නගරය කාලයක් තිස්සේ ස්ලාමීය සටන්කාමීන්ගේ තෝතැන්නක් බවට පත්ව තිබූ නගරයකි. 

මේ වන විට පිලිපීන ආරක්ෂක අංශ විසින් මොවුන් දෙදෙනා ඩාවෝ නගරයේ රැඳී සිටිමින් සිදුකළ ක්‍රියාකාරකම් කවරේද යන්න පිළිබඳව පුළුල් විමර්ශනයන් සිදුකරමින් පවතී. විශේෂයෙන් මොවුන් දෙදෙනාට “ත්‍රස්තවාදය කරා දිවෙන” අයි.එස්.අයි.එස්. මූලධර්ම අවසන් මතවාද මෙහිදී ලැබීමට ඉඩ ඇතැයි ද ඇතැම් විට ඔවුනට ඔවුන් නිවසේ සිට සකසා තිබූ බෝම්බය සැකසීමට පුහුණුවක් ලැබෙන්නට ඇති බවද ආරක්ෂක අංශ විශ්වාස කරයි. මොවුන් දෙදෙනා තුවක්කු භාවිත කරන වෘත්තීය තුවක්කුකරුවන් නිසා ඔවුන්ට ආයුධ පුහුණුවක් ඩාවෝහිදී ලැබීමට එතරම් අවශ්‍යතාවක් නොවන බවත් ආරක්ෂක අංශ සඳහන් කරයි.

ඝාතක පුත්‍රයා දැඩි ස්ලාමීය මතවාදය දරන්නෙක්

විශේෂයෙන් 24 හැවිරිදි නවීඩ් අක්‍රම් ඔස්ට්‍රේලියානු ත්‍රස්තවාදී නිරීක්ෂණ ලැයිස්තුවේ නොසිටි නමුත් ඔහු අයි.එස්.අයි.එස්. හා සම්බන්ධ මූලයකට සම්බන්ධවීම නිසා 2019 වසරේදී ඔස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානය විසින් ඔහු පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබිණ.

ඔහු සිඩ්නි පදිංචිකරුවෙකු වන විස්සම් හඩාඩ් හෙවත් අබු ඔසෙයිඩ් අල් මෂාක්ලි නමැති මූලධර්මවාදී ස්ලාම්වාදියාගේ දේශන සමාජ මාධ්‍ය මෙවලම් ඔස්සේ ඇසීමට ප්‍රිය අයකු බව හෙළිදරව් වී තිබිණි. අබු ඔසෙයිඩ් විසින් දරන්නා වූ කේන්ද්‍රීය මතය වන්නේ “සියලු‍ මනුෂ්‍ය වර්ගයා ස්ලාමයට යටත්කර ගැනීමට ස්ලාමීය අධිරාජ්‍ය (Califat  - කලිෆාට්) නැවත ස්ථාපිත කළ යුතුය” යන්නයි. මේ නිසා බොහෝ දුරට ඉස්ලාම් අන්තවාදී මතවාදයට ප්‍රිය කළ පුත්‍රයා නිසා පියා ද මෙම අන්තවාදයට ග්‍රහණය වී මෙම සමූහ ඝාතන ත්‍රස්ත ප්‍රහාරය සිදුකිරීමට පෙලඹී ඇතැයි ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ විශ්වාස කරයි.

විශේෂයෙන් ගෝලීය වශයෙන් පැතිරී තිබෙන ඉස්ලාම් මූලධර්ම වාදීන්ගේ වත්මන් ප්‍රධාන පොදු ඉලක්ක බවට පත්ව ඇත්තේ ඊශ්‍රායලය, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සහ කතෝලික භක්තිකයන්ය. බොන්ඩායි ප්‍රහාරයෙන් ඒ බව යළිත් ලෝකයට තහවුරු විය.

උත්සව සමයේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව

විශේෂයෙන් මෙම ප්‍රහාරය සැලකීමේදී ශ්‍රී ලංකාව ද සැලකිල්ලට ගත යුතු කරුණු කීපයක් පවතී. ආර්ථික ප්‍රපාතයකට ලක්ව යන්තම් හුස්මක් ගන්නා අවස්ථාවේදී යළිත් කිසිදු අයුරකින් ත්‍රස්ත ප්‍රහාරයකට ඉඩකඩක් නොතැබීමටයි. ඉදිරි ආසන්න කාලය ශ්‍රී ලංකාවේ නත්තල ඇතුළු උත්සව පැවැත්වෙන සමයකි. එමෙන්ම බටහිර රටවල් ඇතුළු විදෙස් සංචාරකයන් සුලබව පැමිණෙන කාලයකි. මේ නිසා ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව විධිමත් හා කාර්යක්ෂම වැඩපිළිවෙළක් අත්‍යවශ්‍යව පවතී. විශේෂයෙන් රාජ්‍ය බුද්ධි සේවය සහ යුදහමුදා බුද්ධි සේවය ප්‍රධානව සමස්ත බුද්ධි සේවාවන්හි සේවය වඩාත් ප්‍රමුඛ ලෙස ක්‍රියාත්මක විය යුතු කාලයකි.

ශ්‍රී ලංකාව කොටි ත්‍රස්තවාදීන් සමග යුද වැද ජයග්‍රහණය කළද, අදාළ යුදමය අත්දැකීම් යම් ප්‍රමාණයක් පැවතියද ඉස්ලාමීය අන්තවාදීන්ගේ ත්‍රස්ත ප්‍රහාර වැළැක්වීමට එය ප්‍රමාණවත් නොවන්නකි. ඒ ඕනෑම මොහොතක ඕනෑම ස්ථානයක අන්තවාදී මත දරන්නෙකු හෝ දෙදෙනෙකු එසේත් නැතිනම් කීපදෙනෙකු ත්‍රස්ත ප්‍රහාරයක් සඳහා ක්‍රියාත්මක වීමේ හැකියාව පවතින නිසාය.

පිය පුතු දෙපළ වෙඩි ප්‍රහාර එල්ල කරමින්...

ලෝකයේ විවිධ ස්ථානවල සිදුව ඇති දැඩි අන්තවාදී ස්ලාම් ත්‍රස්ත ප්‍රහාර නිරීක්ෂණයේදී එම ප්‍රහාරවලට ස්වයංක්‍රීය තුවක්කු, බෝම්බ වැනි බරපතළ අවි ආයුධ අත්‍යව්‍ය නොවන බවක් පෙන්වා දී තිබේ. පිහියක්, වාහනයක් ඇතැම් විට ඔවුන්ගේ මාරාන්තික අවි බවට පත්ව තිබේ.  

2024 අප්‍රේල් 13දා ඔස්ට්‍රේලියාවේ බොන්ඩායි මංසන්ධියේ සාප්පු සංකීර්ණයකට කඩා වැදුණු 40 හැවිරිදි ජොයෙල් කෞචි නමැත්තා 6 දෙනෙකු ඝාතනය කර 12 දෙනෙකුට මාරාන්තික තුවාල සිදු කළේය. ඔහු අත තිබුණු මාරාන්තික ආයුධය වූයේ හොඳින් කැපෙන පිහියකි.

ත්‍රස්තවාදයෙන් අවසන්වන ඉස්ලාම් මූලධර්මවාදී චක්‍රය

මේ නිසා, මෙවැනි ප්‍රහාර වළක්වා ගැනීමට කෙටිකාලීන, මධ්‍යකාලීන මෙන්ම දිගු කාලීන විධිමත් සැලසුම් අවශ්‍යව තිබේ. සහරාන් හෂීම් ගේ නායකත්වයෙන් යුත් ඉස්ලාම් අන්තවාදී කුඩා කල්ලිය පාස්කු ප්‍රහාරය සිදුකරමින් සිදුකළ විනාශය සුළු පටු නොවේ. 

පාස්කු ප්‍රහාරය දෙස බැලීමේ දී එය එකවර සිදුවූ හුදකලා ප්‍රහාරයක් නොවන්නකි. ඉස්ලාමීය ත්‍රස්තවාදීන් නිර්මාණය වීමේ චක්‍රයේ අවසන් ප්‍රතිඵලය ලෙස සිදුවූවකි.  පළමුව මූලධර්මවාදය, දෙවැනුව අන්තවාදය තෙවැනුව අන්තවාදී ප්‍රචණ්ඩත්වය හා සිව්වැන්න ලෙස ත්‍රස්තවාදය ලෙස එම චක්‍රය ක්‍රියාත්මක වෙයි. මේ නිසා අන්තවාදයට ගොදුරුවූවන් ත්‍රස්තවාදය කරා යොමු නොවන සේ සැලසුම් සහගත ලෙස ඔවුන්ව ඉන් මුදා ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. ඔවුන් යම් හෙයකින් ත්‍රස්තවාදය කරා යොමුව සිටී නම් මෙවැනි ප්‍රහාර වළක්වා ගැනීම අසීරු කරුණකි.

බුද්ධි තොරතුරුවලට නිසි බර නොතැබීම විනාශයක්

පාස්කු ප්‍රහාරයට පෙර සහරාන් හෂීම්, නව්ෆර් මවුලවි, ඊබ්‍රහීම් පුත්තු ඇතුළු අන්තවාදීන් මුලින්ම යොමුවූයේ ඉස්ලාමීය මූලධර්ම වාදයටය. ඔවුහු 2015ට පෙර මැදපෙරදිග සිදුවූ ඉස්ලාම් මූලධර්මවාදී නැගිටීමත් සමග මතවාදීව එක්වෙමින් 2016 වන විට අන්තවාදය දක්වා පැමිණ එය අන්තවාදී ප්‍රචණ්ඩත්වය දක්වා උත්සන්න කළහ. 2017.03.10 වැනිදා කාත්තන්කුඩි අලියාර් හන්දියේ මුස්ලිම් පිරිස් අතර සිදුවූ ගැටුමෙන් පටන් ගත් අන්තවාදී ප්‍රචණ්ඩත්වය 2019.04.16 වැනිදා කාලංකුඩා හිදී යතුරුපැදියක් පිපිරීම දක්වා කාලයෙහි ප්‍රචණ්ඩ ක්‍රියා 11ක් පමණ සිදුව තිබිණි. එම අන්තවාදී ප්‍රචණ්ඩ ක්‍රියා අතරට බුදුපිළිම කැඩීම, වෙඩි තැබීම් මෙන්ම ඝාතන සිදුවීම්ද තිබිණ. 

එමෙන්ම දැඩි ලෙස අන්තවාදයට නැඹුරු වූ ත්‍රස්තවාදය කරා යොමුවිය හැකි යැයි සැලකෙන සහරාන් හෂීම් ඇතුළු පුද්ගලයන් රැසක් පිළිබඳව වූ බුද්ධි නිරීක්ෂණ වාර්තා රාජ්‍ය බුද්ධි සේවය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යෙමුකර තිබිණ. දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම් හලේදී මරාගෙන මැරුණු අබ්දුල් ලතීෆ් ජමීල් නමැත්තා හා ඔහුගේ ක්‍රියාකාරකම් පිළිබඳව 2015.08.27 වැනිදා සිට 2019.01.31 දක්වා විශේෂ බුද්ධි සේවා ලිපි 5ක් රාජ්‍ය බුද්ධි සේවය විසින් පොලිස්පතිවරයා වෙත යොමුකර තිබිණ. මෙහි තවත් කරුණක් වන්නේ අදාළ වාර්තා මත 2018.04.12 වැනිදා එනම් පාස්කු ප්‍රහාරයට වසරකට පෙර ත්‍රස්ත මර්දන කොට්ඨාසය විසින් ජමීල් නමැත්තාව එම කොට්ඨාසයට කැඳවා ඔහුගෙන් ප්‍රකාශයක් පමණක් ලබාගෙන මුදාහැරීමය. මේ අනුව පාස්කු ප්‍රහාරයට පෙර මෙම අන්තවාදීන් හා ඔවුන්ගේ ක්‍රියාකාරකම්  පිළිබඳව වගකිව යුතු ආයතන දැක්වූ අඩු උනන්දුව අවසානයේ මූලධර්මවාදීන්ගේ අවසන් අන්තය වන පාස්කු ත්‍රස්ත ප්‍රහාරය දක්වා දුර දිග ගියේය.

බොන්ඩායි සිදුවීම මෙන්ම ලෝකයේ වෙනත් අයි.එස්.අයි.එස් ප්‍රහාර මාලා දෙස බැලීමේදීද ඉහත චක්‍රය ක්‍රියාත්මක වී ඇති බව තහවුරු වෙයි. එනම් මූලධර්මවාදයෙන් ආරම්භව අවසානයේ ත්‍රස්තවාදී ක්‍රියාවකින් අවසන් කිරීමය.

ශ්‍රී ලංකාවේ යුදෙව් ප්‍රජාවේ ආරක්ෂාව

ශ්‍රී ලංකාවේ අරුගම්බේ ප්‍රදේශයේ සිටින යුදෙව් ප්‍රජාව ඉලක්ක කරමින් ප්‍රහාරයක් එල්ලවන බවට 2024 ඔක්තෝබර් මාසයේදී ලැබුණු බුද්ධි තොරතුරුවලට අනුව ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් විසින් ත්‍රස්ත ප්‍රහාරක අනතුරක් නිසා තම පුරවැසියන්ට අදාළ ප්‍රදේශය වෙත සංචාරය නොකරන ලෙසට දැඩි සේ අනතුරු අඟවා සිටියේය. ඒ අවස්ථාවේදී ආරක්ෂක අංශ ක්‍රියාත්මක වී අදාළ ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් සැපයීම නිසා අදාළ ප්‍රහාරයකට සැලසුමක් තිබුණේ නම් එය අඩාළ කිරීමට සමත්වීය. එමෙන්ම වර්තමානයේ ද යුදෙව් ප්‍රජාව සුලබව වෙසෙන වැලිගම, මිරිස්ස වැනි ප්‍රදේශ සඳහාද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් දියත් කළ යුතුව තිබේ.

පාස්කු වාර්තාවල නිර්දේශ තවමත් හමස් පෙට්ටියේ

විශේෂයෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ලද විමර්ශන වාර්තා කීපයක්ම ඇතත් අදාළ ප්‍රහාරය සිදුවී අවුරුදු 6ක් ගතවුවත් අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම දිගින් දිගටම ප්‍රමාද වීම භයානක ප්‍රතිඵල අත්කරවන්නක් විය හැකිය.  ශ්‍රී ලංකාව තුළ යළිත් ඉස්ලාමීය අන්තවාදී ප්‍රහාරයන් සිදුවීම වළක්වාගැනීමට රටට ගැළපෙන නිර්දේශ ක්‍රියාත්මක වීම කඩිනමින් කළ යුතුය. 

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ දැනට වාර්තාවන පාස්කු චූදිතයන්, දැනට බුද්ධි අංශවලට නිරීක්ෂණය වී සිටින ඉස්ලාම් අන්තවාදී මත දරන්නන් හා මත පතුරුවන්නන් පිළිබඳව දැඩි සැලකිල්ලක් දැක්විය යුතු වේ. ජනාධිපති කොමිෂන් වාර්තාවල දැක්වෙන පරිදි අන්තවාදයට ලක්වූවන් යළි පුනරුත්ථාපනය කිරීම, අන්තවාදී මත ප්‍රචාරය කිරීම් වැළැක්වීම ආදියද වැදගත් වේ. විශේෂයෙන් වර්තමානයේ දී සමාජ මාධ්‍ය මෙවලම් හරහා මෙම අන්තවාදී මතවාද පැතිරීම සිදුවන නිසා ඒවා හසුකරගැනීමට බුද්ධි අංශ පැත්තෙන්ද දියුණු තාක්ෂණික ක්‍රියාවලීන්ද ක්‍රියාත්මක කළ යුතුව පවතී. විශේෂයෙන් ඒ සඳහා ප්‍රාමාණික (බරක් තබා) ක්‍රියාත්මක කළ යුතුව පවතී. 

ජාතික ආරක්ෂාව යනු සුළුවෙන් සිතා විහිළුවට ලක් නොකළ යුත්තකි. ලැබෙන සෑම බුද්ධි තොරතුරකටම වගකිය යුතු ආයතන හා පුද්ගලයන් නිසි බරක් තබා නිසි ලෙස ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍යය. එය ත්‍රස්ත ප්‍රහාරයන් වළක්වා ගැනීම මෙන්ම ස්වාභාවික ආපදා තත්ත්වයන් සමනය කර ගැනීම, ආහාර සුරක්ෂිතතාව, සෞඛ්‍ය සුරක්ෂිතතාව වැනි විවිධ අංශයන් නිසි ලෙස පවත්වා ගැනීම සඳහාද පොදු සනාතන කරුණකි. රටේ ජාතික ආරක්ෂාව සැබෑ ලෙස රැකෙන්නේ එවිටය.

දුමින්ද සංජීව බාලසූරිය