කවදත් උණූසුම් දකුණු ආසියාවේ යළිත් වරක් අළු යට ගිනි බඳු ද්විපාර්ශ්වික අර්බුදයක් තිරෙන් පිටුපස වර්ධනය වෙමින් පවතින්නේ සමස්ත කලාපයේම ස්ථාවරභාවයට අභියෝගයක් එල්ල කරමිනි. ඉන්දියාව තම රාජ්‍යතාන්ත්‍රිකයන් සදහා බංග්ලාදේශය අනතුරුදායක කලාපයක් ලෙස නම් කළේ එරට සිටින ඉන්දීය තානාපති කාර්ය මණ්ඩලයට තම පවුල්වල සාමාජිකයන් බැහැර කිරිමට අදාළ නියෝගය ලබාදෙමිනි. මෙවැනි පිළිවෙතක් ඉන්දියාව මින් පෙර අනුගමනය කළේ ඉරාකය වැනි යුද හා අනතුරුදායක තත්ත්වයන් පවතින කලාපයන් සදහා පමණි. ඉන්දියාවට අනුව බංග්ලාදේශය තම රටවැසියන් සදහා අනතුරුදායක කලාපයකි.  

දැන් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට ද ඉන්දියාව අනතුරුදායක කලාපයකි. අප කවුරුත් දන්නා පරිදි බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ දී ලෝක කුසලාන තරගවලට සහභාගි විම ප්‍රතික්ෂේප කළේ තම ආරක්ෂාව ගැන බරපතළ ප්‍රශ්නයක් ඇති බවට තර්ක කරමිනි. එම තර්කය තඹේකට ගණන් නොගත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තරගාවලියට සහභාගි විම ගැන තීරණය කිරීම සඳහා බංග්ලාදේශයට අවසන් කාලසීමාවක් ලබා දුන්නේය. බංග්ලාදේශය එම අවසන් කාලසීමාව ප්‍රතික්ෂේප කළ අතර, දැන් බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තය ලෝක කුසලාන තරගාවලියට එක්වෙයි. ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව තිබු තරග ශ්‍රී ලංකාවේ පවත්වන ලෙසට බංග්ලාදේශය ඉල්ලීමක් කළ ද, එය ද ප්‍රතික්ෂේප විය. ක්‍රිකට් වලටත් වඩා බරපතළ ප්‍රශ්නයක් දැන් දෙරටේ ජනතාවට විශේෂයෙන්ම බංග්ලාදේශ ජනතාව හමුවේ ඉස්මතුවී තිබේ. ඒ දෙරට අතර වීසා තහනමයි. ඉන්දියාව බංග්ලාදේශ වැසියන්ටත්, බංග්ලාදේශය ඉන්දියානුවන්ටත් වීසා නිකුත් කිරීම අතිශයින් සීමාකර තිබේ. මේ වනවිට දෙරටේ මහකොමසාරිස් කාර්යාලවල ගොඩගැසුණු වීසා අයැදුම්පත් ප්‍රමාණය ලක්ෂ ගණනකි. ඉන් වැඩිපුරම බැටකන්නේ බංග්ලාදේශ ජනතාවගෙන් පිරිසකි. ඒ වෛද්‍ය ප්‍රතිකාර සදහා ඉන්දියාවට පැමිණෙන්නන්ය. වසරකට එම සංඛ්‍යාව ලක්ෂ 5 කි. එනම් මිලියන භාගයකට ආසන්නය. 

ඉන්දියාවේ වෛද්‍ය ආධාර පතන දෙවැනි වැඩිම විදේශිකයන් ගණන වන්නේ බංග්ලාදේශ ජාතිකයන්ය. ඉන් වැඩිපුර දෙනා පිළිකා හා වකුගඩු රෝගීන් වැනි ඉතා බරපතළ තත්ත්වයන්ට මූහුණ දී සිටින අයයි. කලාපීය දේශපාලනික ගැටුම නිසා අසරණ රෝගින්ට තම ජිවිත පවා අවදානමකට ලක්කරගැනීමට සිදුව තිබේ. අභ්‍යන්තරික, කලාපීය හෝ අන්තර්ජාතික දේශපාලනික අර්බුද වලදී වැඩිපුර බැටකන්නේ අර්බුදයට තුඩු දෙන ක්‍රියාකාරකම්වල යෙදෙන පාර්ශ්ව නොව ඊට කිසි අතකින් සම්බන්ධයක් නැති සාමාන්‍ය ජනතාවයි. කුමක්ද මේ ඉන්දු බංග්ලා ප්‍රශ්නය.? ඊට ඇති කාල වපසරිය කෙසේද? ඉන්දියාවේ බටහිර මෙන්ම (පකිස්ථානය) නැගෙනහිර(බංග්ලාදේශය) යන දෙදිසාවේම  ප්‍රතිවාදී අක්ෂයන් නිර්මාණය වන්නේ කෙසේද? 1971 වසරේදී එවකට නැගෙනහිර පකිස්ථානය වශයෙන් පැවති බංග්ලාදේශය පකිස්ථානයෙන් කැඩී නිදහස් රටක් ලෙස බිහිවීමට අවශ්‍ය වාතාවරණය නිර්මාණය කළේ හා ඊට පහසුකම් සැපයූවේ ඉන්දියාවයි. ඉතිහාසයේ විවිධ අවස්ථා වලදී මෙන් දැන් යළිත් වතාවක් බංග්ලාදේශය තුළ ඉතා බරපතළ ඉන්දීය විරෝධයක් නිර්මාණය වී තිබේ. ඉතිහාසයේ විවිධ වකවානු වල පැවතුණු මීට සමාන තත්ත්වයන්ට වඩා මෙවර තත්ත්වය වඩාත් බරපතළ වී තිබේ . ඒ වෙනත් අවස්ථාවලට වඩා බංග්ලාදේශය තුළ ඉන්දීය විරෝධය ඉස්මතු වී තිබීමයි. ඇතැම් දේශපාලනික හා අන්තවාදී කණ්ඩායම් මතුව ඇති ඉන්දීය විරෝධී රැල්ල මතින් පාලනය වෙත ලිස්සායාම උත්සාහකිරීම තවත් සාධකයකි. එමෙන්ම ඉන්දියාව තුළ ද බංග්ලාදේශයේ නව පාලනය හා එරට ක්‍රියාත්මක දැඩි මතධාරී පාර්ශ්වවල ක්‍රියාකාරීත්වය ගැන ප්‍රශ්නයක් පවතී. මේ තත්ත්වය යටතේ දෙරට අතර සබඳතා ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා පිරිහී ඇති බව ඉහතින් සඳහන් කළ තත්ත්වයන් තුළින් නිරීක්ෂණය වේ. 

බංග්ලාදේශ අරගලය හා හසීනා සාධකය

2024 වසරේ එවකට බංග්ලාදේශ අගමැතිනිය වූ ෂෙයික් හසීනා බලයෙන් පහ කෙරුණු ජෙන් සී අරගලය හෙවත් ජුලි විප්ලවය මෑත ඉතිහාසයේ බංග්ලාදේශය තුල ඉන්දීය විරෝධය ඉහළතම තලයකට තල්ලු‍ වීමට මුලික වූ තත්ත්වයක් ලෙස පෙන්වා දිය හැකිය. කලාපීය හා ගෝලීය බලවතුන් නිරතුරුව සිදුකරන දේශපාලනික ප්‍රයෝගයක් වන්නේ අසල්වැසි රටවල කිසියම් වූ දේශපාලනික බලවේගයක් තෝරා ගෙන එම බලවේගයට රටේ පාලන තන්ත්‍රයට අත්කර දීමට හා එලෙස අත් කරගන්නා තමන්ට හිතකර වූ පාලන තන්ත්‍රය කුමන හෝ උප්පරවැට්ටියක් යොදා ආරක්ෂා කරදීමට පියවර ගැනීමයි. රුසියාව යුක්රේනයේ හා නැගෙනහිර යුරෝපයේ ඇතැම් රටවලත්, ඇමෙරිකාව ලෝකයේ බොහෝ රටවලත්, චීනය ආසියාවේ හා අප්‍රිකාවේ රටවලත් මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරයි. ඉන්දියාව අපේක්ෂා කරන්නේ දකුණු ආසියාව තුළ තමන්ට එදිරිවාදී තත්ත්වයක් පැවතීම වළක්වා ගැනීම හා තමන්ට ප්‍රතිවාදී කලාපීය බලවේග දකුණු ආසියාවේ අසල්වැසි රටවල් තුළ පැලපදියම් වීම අවම කරගැනීම බව පෙනී යයි. ඉන්දියාව බංග්ලාදේශයේ පැවති ෂෙයික් හසීනා පාලනය සමග අසල්වැසි රටක් ලෙස වඩාත් සමීප ස්ථාවරයක් පවත්වාගෙන යාම බංග්ලාදේශය තුළ විවිධ පාර්ශ්වයන්හි විරෝධයට ලක්ව තිබිණ. 2024දී හසීනා විරෝධයත් සමග ඉන්දීය විරෝධයක්ද අරගල බිමේ කරට කර පැවතිණි. සිසු විරෝධය ආරම්භ වූයේ රැකියා කෝටා පදනම් කරගත් දේශීය ප්‍රශ්නයක් මත වුවද, ඉන්දීය විරෝධී ප්‍රකාශ සමාජගත කිරිම නිසා අරගල කණ්ඩායම් තුළ ඉන්දීය විරෝධයක්ද පැවතිණ. 

එහෙත් තත්ත්වය වඩාත් බරපතළ වුයේ විරෝධතා කරුවන් මර්දනය කොට අරගලය මැඩලීම සඳහා බංග්ලාදේශයේ එවකට සිටි අගමැතිනිය ෂෙයික් හසීනා අතිශය දරුණු ලෙස රාජ්‍ය නායිකාව සතු බලය නිරායුධ තරුණ කොටස්වලට එරෙහිව යෙදවීම නිසා සිදුවූ ජීවිත විනාශය ඉතා බරපතළ වීමයි. ෂෙයික් හසීනාගේ අණදීම යටතේ වට කිහිපයකදී එල්ල කළ ප්‍රහාරවලින් මියගිය අරගලකරුවන්ගේ සංඛ්‍යාව 1400ක් බව රජයේ හා ඒක්සත් ජාතින්ගේ වාර්තා පෙන්වා දෙයි. තම රටවැසියන් 1400ක් විශේෂයෙන් තරුණ දූ දරුවන් බහුතරයකගේ ජීවිත ඉහත සදහන් කළ සංඛ්‍යාව තුළ පැවතීම ෂෙයික් හසීනා අන්තර්ජාතික අපරාධකාරියක බවට පත්කිරිමට හේතු සාධක වි තිබේ. මේ වනවිට ඉන්දියාව හසීනාට රැකවරණ දෙමින් සිටි. වෙනත් කිසිදු රටක් ඇය භාරගැනීමට සූදානම් නැත. මේ සිද්ධියද ඉන්දීය විරෝධය ඉහළ යාමට හේතුවකි. පෙබරවාරි මාසයේ බංග්ලාදේශයේ නව මහමැතිවරණයක් පැවැත්වේ. එහිදි බොහෝ විට ප්‍රධාන විපක්ෂය වන කලිඩා ෂියා  නායකත්වය දැරූ බංග්ලාදේශ ජාතික පක්ෂය බලයට පත්වීමේ හෝ එම පක්ෂයේ ප්‍රධානත්වයෙන් යුත් සන්ධාන රජයක් බලයට පත්වීමේ ප්‍රවණතාවක් පවතී. නව රජය ඉන්දියාව සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය අනුව ඉදිරි තත්ත්වය ගැන පුරෝකථනය කිරිම රඳා පවතී. 

ඝාතන හා අන්තවාදීන්

මෑතදී බංග්ලාදේශයේ සිසු නායක ෂරිෆ් ඔස්මාන් හාදි ඝාතනයට ලක්වීම ඉන්දු බංග්ලා නොහොඳ නෝක්කඩු උග්‍ර කිරීමට හේතුවු සාධකයකි. ඔස්මාන් හාදි යනු අරගල නායකයෙකි . වර්තමාන අන්තර්වාර පාලනයට සමීප චරිතයක් බව සැලකේ. ඒ සියල්ලටම වඩා ඔහු දැඩි ඉන්දීය විරෝධියෙකු ලෙසට ප්‍රසිද්ධියක් උසුලයි. ඔහුගේ ඝාතනය අබිරහසකි. එහෙත් ඒ පිටුපස ඉන්දියාව සිටින බවට බංග්ලාදේශයේ ඇතැම් පාර්ශ්ව අතර මතයක් පවතී. මේ මතයද ඉන්දු බංග්ලා උණුසුම වඩාත් ඉහළ නංවන්නට හේතු සාධක වූ කරුණකි.

ඉන්දු-බංග්ලා මතබේද ඉහළ යද්දී බංග්ලාදේශ ක්‍රිකට් පිල ටී20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට

චීන සාධකය

2025-2026 වර්ෂයන් බංග්ලාදේශය අන් කවරදාකටත් වඩා චීනයට සමීප වූ කාලසිමාවක් ලෙස සැළකිය හැක. අන්තර්ජාතික විශ්ලේෂණ අනුව පෙනී යන්නේ බංග්ලාදේශයේ වත්මන් අන්තර්වාර පාලනය ක්‍රමයෙන් ඉන්දියාවෙන් චීනය දෙසට රට යොමුකර ඇති බවකි. අදාළ කාලසීමාව තුළ බංග්ලාදේශයේ චීන ආයෝජන හා ණය ආධාරවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.1 දක්වා ඉහළ ගොස් ඇති බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. මොහොමඩ් යුනුස් ගේ අන්තර්වාර රජය චීනය සමග සාර්ථක ලෙස ණය ප්‍රතිව්‍යුහගතකරණයකට යොමුවී ඇති අතර එහිදී බංග්ලාදේශයට විශේෂ වාසි සැලසීමට චීනය ඉදිරිපත්ව ඇත. ඒ අතරම බංග්ලාදේශය චීනයේ “එක මාවතක් එක තීරයක්” වැඩසටහන සමග පුළුල් ලෙස අනුගත වීමට පියවර ගෙන ඇත. චීන කාර්මික කලාපවල ක්‍රියාකාරීත්වය වේගවත් කර ඇති අතර, අලු‍තෙන් වඩාත් පුළුල් කාර්මික කලාප දෙකක් ස්ථාපනය සදහා දෙරටේ අවධානය යොමු ව ඇත. චීනය හා බංග්ලාදේශය අතර වෙළෙඳාම 2025 වසර තුළදී සියයට44 කින් ඉහළ ගොස් ඇති අතර, ද්වීපාර්ශ්වික වෙළෙඳාමේ දී බදු සහන ප්‍රතිශතය සියයට 99ක් තරම් ඉහළ අගයක් ගනී. එමෙන්ම චීනය බංග්ලාදේශයේ ප්‍රධාන අවි සැපයුම්කරු බවට චීනය පත්ව ඇත. අලු‍තෙන් ගුවන්යානා නාශක මිසයිල  චීනයෙන් ලබාගැනීමේ ගනුදෙනුවට රජයේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. ඉහතින් සදහන් කළ කරුණු හා බංග්ලාදේශයේ ඉන්දීය විරෝධය අතර ඍජු බැඳියාවක් නැතත් ආසියානු බලවතා වන චීනය ඉන්දියාවේ දෙපස වන පකිස්ථානය හා බංග්ලාදේශය තුළ මුල්බැස ගැනීම ඉන්දියාව මුහුණ දෙන අන්තර්ජාතික අභියෝගයකි. ඉන්දියාව මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් සිය සැලකිල්ල යොමු කරනු ඇත. 

නැතුව බැරි ඉන්දියාව

දැනට භූමියේ සිදුවන ක්‍රියාකාරකම් ගැන ඉහතින් සඳහන් කළ ද බංග්ලාදේශයට සදහටම ඉන්දියාව අමතක කර ඉන්දියාවට තර්ජනය කරමින් ඉදිරියට යා හැකිද යන ප්‍රශ්නය මතුවේ. ඒ මන්ද කලාපීය බලවතා වන ඉන්දියාව සමග එක දේශසීමාව බෙදා හදාගැනීමට බංග්ලාදේශයට සිදුවිමයි. ගංගානම් ගගේ ජලය බෙදා ගැනීමේ ගිවිසුම් ෂෙයික් හසීනා පාලන සමයේ පහසුවෙන් ඇතිකරගනු ලැබුව ද ඉදිරි පෙබරවාරි මාසයේ එය යථාවත් කළ යුතුය. ඒය පැවරෙන්නේ නව රජයටයි. බෙගම් කලීඩා ෂියා හිටපු අගමැතිනිය ඉකුත්දා දිවියෙන් සමු ගත්තේ තම පක්ෂය තම පුත්‍රයා වන තාරික් රෙහ්මාන් ගේ නායකත්වය යටතේ බලයට පත්විමේ අවස්ථාව දැක බලාගැනීමට ඉඩක් නොලබමිනි. ඉන්දියාව තම අසල්වැසි සබදතා තුළ බංග්ලාදේශයේ නව පාලන ප්‍රවණතා සදහා විශේෂ තැනක් ලබාදී ඇති බවක් පෙනී යන්නේ බංග්ලාදේශයේ ඉන්දිය මහකොමසාරිස් ප්‍රාණේ වර්මා බංග්ලාදේශ ජාතික පක්ෂයේ නායක තාරික් රෙහ්මාන් සමග මැතිවරණයට පෙරාතුව සාකච්ඡා කිරිම උදාහරණයට ගනිමිනි. කළින් සදහන් කළ පරිදි ඉන්දියාව සමග පූර්ණ එදිරිවාදී තත්ත්වයකට යාමට බංග්ලාදේශයට නොහැකි වන්නේ එහි යථාර්ථවාදි ස්වරූපය සැලකිල්ලට ගනිමිනි. අන්තර්ජාතික සබඳතා විෂයේ කලාපීය බලවතුන් ගැන සදහන් වන බලයට අදාළ න්‍යායයන් සැලකූ කළ බලවත් රටක් සමග ගැටීමට වඩා සහජිවන තත්ත්වයක් පවත්වා ගැනීමට එහි අසල්වැසි කුඩා රටවලට සිදුවන බව පෙන්නුම් කළ හැක. වඩාත් යථාර්ථවාදී තත්ත්වය එයයි. ඊට පටහැණිව උඩුගං බලා ගිය යුක්රේනය අද විඳවන ආකාරය ඉහත සදහන් න්‍යායයන්වල සත්‍ය යළි තහවුරු කරන ප්‍රායෝගික උදාහරණයකි. එමෙන්ම ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ එළිපත්තේ තිබෙන ‌ඓතිහාසික ප්‍රතිවාදී රාජ්‍යය වන කියුබාව සම්බන්ධයෙන් කුමන පියවරක් ගනු ඇද්ද යන සැක සංකා මේ වනවිට ගෝලීය වශයෙන් පළවෙමින් තිබේ. ඉන්දු බංග්ලා ප්‍රශ්නය අර්බුදයකට නොයා සමතයකට පත්වීම අපගේ දකුණු ආසියානු කලාපයේ ස්ථාවරත්වයට හේතුවන කරුණකි.

ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ