
සතියක් ගෙවී යද්දී වෙනිසියුලාව කෙරෙහි යොමුවී තිබූ ලෝක අවධානය ඉරානය දෙසට යොමුවී තිබේ. එය ගෝලීය අර්බුදවල සාමාන්‍ය තත්ත්වයක් බව අන්තර්ජාතික සබඳතා ගැන යම් උනන්දුවක් දක්වන සියලු දෙනා අවබෝධ කරගත් කරුණකි. ඉරානයෙහි ගිනි ඇවිළෙන විට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හිම වලසුන් ගහණ හිම ශිඛරවලින් වැසුණු ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීම සඳහා තිරෙන් ඉදිරිපිට සහ පිටුපස සිට විශාල රංගනයක නිරත වෙයි. ඒ අතරම ඉරානයට තර්ජන කරයි. ඉරානයේ විරෝධතාකරුවන්ට ඔහු කියා සිටියේ ආධාර මග එන බවයි. එසේ කියා පැය 24ක් ගතවීමට මත්තෙන් ඔහු ප්‍රකාශය වෙනස් කළේ ඉරානය දැන් විරෝධතාකරුවන්ට මරණීය දණ්ඩනය ලබා නොදෙන නිසා ඉරානයට හදිසියේ පහර දීමේ අවශ්‍යතාවක් නැති බවයි.
ඉරානයට ගහන බවට තර්ජනය කළ විට එකවර ඉහළ ගිය ලෝක තෙල් මිලද නොගහන ලකුණු පෙන්නුම් කළ විට එකවර පහත වැටිණ. මේ සටහන අවසන් කරන සිකුරාදා උදෑසන වන විටත් ට්‍රම්ප් ඉරානයට පහර නොදෙන ස්ථාවරයක සිටි අතර ඉදිරි පැය 24 හෝ 48 තුළ කුමක් කරනු ඇද්ද යන්න අපට පමණක් නොව අමෙරිකානුවන්ට පවා ප්‍රහේළිකාවකි. ඒ අතර වෙනිසියුලා ප්‍රහාරය මුල්කරගනිමින් ට්‍රම්ප් යුද බලය යෙදවූ ආකාරය ව්‍යවස්ථා විරෝධී බව සඳහන් කරමින් ඩිමොක්‍රටික් පක්ෂය ගෙනා යෝජනාවක් යන්තමින් සෙනෙට් මණ්ඩලයේදී 51-50 වශයෙන් පරාජය කිරීමට හැකි වූයේ ඡන්ද සමවීම නිසා උපජනාධිපති ජේඩී වෑන්ස්ගේ ඡන්දය යොදා ගනිමිනි. ඉන් පෙනී යන්නේ අමෙරිකාවෙහි පක්ෂ වශයෙන් ට්‍රම්ප් ක්‍රියාමාර්ග ගැන පවතින දැඩි බෙදීමයි. මේ තත්ත්වය වඩාත් කැපීපෙනුණේ ට්‍රම්ප්ගේ සංක්‍රමණික නීති ක්‍රියාත්මක කරන අයිස් යන කෙටි නමින් හඳුන්වනු ලබන සන්නද්ධ සංක්‍රමණික නිලධාරියෙකුගේ වෙඩි පහරින් කාන්තාවක් මියයාමේ සිද්ධිය පදනම් කරගනිමින් ඇතිවූ විරෝධතා රැල්ල හා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක දෙපසට බෙදී ගිය ආකාරය එනම් ට්‍රම්ප් පාර්ශ්වය කිසිදු පරීක්ෂණයකින් තොරව පවා නිලධාරියා වෙනුවෙන් පෙනී සිට මියගිය කාන්තාව ත්‍රස්තවාදියෙකු ලෙස හඳුන්වනු ලැබූ අතර ඩිමොක්‍රටික් පාක්ෂිකයන් ඇගේ ඝාතනයට එරෙහි උද්ඝෝෂණ ව්‍යාපාරවල මූලිකත්වය ගත් ආකාරය දෙස බැලීමේදී හොඳින් අවබෝධ කරගත හැක. ඒ ගෙවීගිය දින හත තුළ ප්‍රධාන පෙළේ ගෝලීය අර්බුදවල චර්යා රටාවයි. එහෙත් ලොව පුරා බොහෝ දෙනා මතුකරන ප්‍රශ්නය වූයේ ඉරානයට කුමක් වේද? යන්නයි.
බොහෝ පාර්ශ්ව විශ්වාස කළේ උද්ඝෝෂණ ව්‍යාපාරය සාර්ථක වී ලංකාව ඇතුළු රටවල සිදුවූ ආකාරයෙන් අරගල ව්‍යාපාරය මගින් පවත්නා පාලනය පෙරළා දමනු ඇතැයි යන්නයි. එහෙත් අවසානයේදී අයතොල්ලා අලි කමෙයිනිගේ ඉස්ලාමීය පාලනය ජනතා අභියෝගය යටපත් කර මර්දනය භාවිත කර සුරැකීමට සමත් වූ බවක් දක්නට ලැබේ. උද්ඝෝෂණ දරුණු වූ විට එය මර්දනය පිණිස අවසානයේ කැඳවනු ලැබුවේ ඉරානයේ සිටින වඩාත්ම ඉහළ යුද පුහුණුවක් සහිත, කලාපීය යුද්ධවලදී හා ඉරානය වෙනුවෙන් රහසිගත ප්‍රහාර දියත් කිරීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන ජනරජ හෙවත් විප්ලවීය ආරක්ෂක බළකායයි. ඊට පෙරාතුව එම බළකාය අන්තර්ජාතික කුමන්ත්‍රණ පරාජය කර ඉස්ලාමීය ජනරජය සුරකීමට යළි සපථ කර සටනට අවතීර්ණ වූයේ උද්ඝෝෂණ මර්දනය කිරීමට ඇතැම් සාමාන්‍ය නිලධාරීන් හා පොලිස් භටයන් මැළිකමක් දක්වනු ලැබූ අවස්ථාවකය. විප්ලවීය ආරක්ෂකයන්ගේ මෙහෙයුම සාර්ථක වූ බවක් පෙනෙන්නේ ඉරානයේ මෙතෙක් අත්හිටුවා තිබූ අන්තර්ජාල පහසුකම් යළි ස්ථාපනය කළ විට එරටින් ලැබුණ සමාජ මාධ්‍ය දර්ශන (සත්‍ය බව තහවුරු කරනු ලැබූ) ඔස්සේ දක්නට ලැබුණු රෝහල් මෘත ශරීරාගාර ගොඩගැසී තිබූ මිනීකඳු දෙස බැලීමෙනි. ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය පවසන පරිදි මරණ සංඛ්‍යාව 3000 ඉක්මවා ඇත. රෝහල් තුවාලකරුවන්ගෙන් පිරී ගොසිනි. තුවාල ලැබූවන්ට උදවු කළ රතු අඩසඳ සංවිධානයේ සහන සේවකයන්ට පවා වෙඩි වැදී මියයාමට සිදුව ඇත. මරණ සංඛ්‍යාව අධික වීමත් සමග ක්‍රමයෙන් උද්ඝෝෂණ මැකී ගිය බවක් පෙනේ . දැන් ඉරානයෙන් ලැබුණු වාර්තාවල දැක්වෙන්නේ අවිනිශ්චිත බව මුසු නිහැඬියාවක් රට තුළ පවතින බවකි. ඉස්ලාමීය පාලනයට පක්ෂ ජනයා ලක්ෂ ගණනින් පාරට කැඳවා විදේශීය කුමන්ත්‍රණවලට එරෙහිව උද්ඝෝෂණ පවත්වනු ලැබීය. ඉරානයට සහාය දක්වන රටවල්, විශේෂයෙන්ම චීනය හා රුසියාව මෙන්ම ඇතැම් මැදපෙරදිග රාජ්‍යයන්ද ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදා මැදිහත්වීමකට විරෝධය දැක්වීය.

බටහිර කුමන්ත්‍රණයක්ද?
ඉරාන රජය මෙන්ම එරටට පක්ෂපාත කණ්ඩායම් පවසන්නේ ඉරානයෙහි සිදුවූ බටහිර අධිරාජ්‍යවාදී හා ඊශ්‍රායල් සියොන්වාදී කුමන්ත්‍රණය පරාජය කළ බවයි. සැබැවින්ම එය බටහිර කුමන්ත්‍රණයක්ද? එසේත් නැත්නම් බටහිර මාධ්‍ය පවසන පරිදි පීඩනයට පත්වූ ජනතාව මහපාරට බැසීමෙන් සිදුවූ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක්ද? මේ කරුණු දෙකටම සහාය දැක්විය හැකි සාධක ඉරාන භූමියෙන් ලබාගත හැක. ඉරානයෙහි වත්මන් උද්ඝෝෂණ රැල්ල ආරම්භ වූ ආකාරය සොයා බැලූ විට යම් අවබෝධයක් මේ සම්බන්ධයෙන් ලබාගත හැක. මෙහිදී ඔව් හෝ නැහැ උත්තර දෙකම අදාළ වන්නේ කෙසේද යන්න පැහැදිළි කරගත හැක්කේ ඉරානයේ වර්තමාන තත්ත්වය හා අතීතය සම්බන්ධ කරන විශ්ලේෂණයකිනි. වත්මන් උද්ඝෝෂණ රැල්ලේ ආරම්භයට හේතු වූ කාරණා මොනවාද? බටහිර ඒජන්තයන් මහ මගට බැස ජනතාව පාරට කැඳවූවාද? එවැන්නක් දැනගැනීමට නැත. ජනතාව පාරට බැස්සේ ජීවන බර උසුලාගත නොහැකි තත්ත්වයක් උදාවීම නිසා බව නම් පැහැදිළිය.
ඉරානයේ විදේශ විනිමය අනුපාත සලකා බැලීමේදී එය හොඳින් අවබෝධ කරගත හැක. උද්ඝෝෂණ රැල්ල ආරම්භ වූ ජනවාරි මුල සතිය වන විට ඉරානයේ රියාල් මුදල් ඒකකය ඉතිහාසයේ ඉහළම පිරිහීමකට ගොදුරු වූ ආකාරයක් දැකගත හැකිය. ඒ අනුව එක් අමෙරිකානු ඩොලරයක් වෙනුවෙන් රියාල් මිලියන1.5ක් පමණ ගෙවිය යුතු විය. මේ නිසා ජනතාවට තම එදිනෙදා අවශ්‍යතා සම්පූර්ණ කරගැනීම සඳහා අවශ්‍ය මුදල් නොමැති විය. වේලක් පිරිමසාගැනීමට පාන් ගෙඩියක් ගැනීමට රියාල් ලක්ෂ ගණනක් වැය කළ යුතු විය.
ඉරානයට ගහන බවට තර්ජනය කළ විට එකවර ඉහළ ගිය ලෝක තෙල් මිලද නොගහන ලකුණු පෙන්නුම් කළ විට එකවර පහත වැටිණ. මේ සටහන අවසන් කරන සිකුරාදා උදෑසන වන විටත් ට්‍රම්ප් ඉරානයට පහර නොදෙන ස්ථාවරයක සිටි අතර ඉදිරි පැය 24 හෝ 48 තුළ කුමක් කරනු ඇද්ද යන්න අපට පමණක් නොව අමෙරිකානුවන්ට පවා ප්‍රහේළිකාවකි.
ලැබෙන වාර්තා අනුව උද්ඝෝෂණය මුලින් ආරම්භ කළේ සාමාන්‍ය ජනතාව නොව ටෙහෙරාන් බසාර් එකේ තොග හා සිල්ලර වෙළෙන්දන්ය. ඒ ඔවුන් සතු භාණ්ඩවලට මිලක් නියම කළ නොහැකි තත්ත්වයක් උදාවීම හා ජනතාවට එම ද්‍රව්‍ය මිලදී ගැනීමට මුදල් නොමැති වීමෙනි. ඒ නිසා බසාර් වෙළෙන්දන්ගේ හර්තාලය පදනම් කරගනිමින් ලබාගත හැකි ද්‍රව්‍ය සොච්චමක් හෝ ලබාගත නොහැකි වූ කල ජනතාව කුසගින්නෙන් පාරට පැමිණි බව නොරහසකි. මෙය ඉතිහාසය ප්‍රතිනිර්මාණය වූ අවස්ථාවකි. ජනතා උද්ඝෝෂණවලට ඉලක්ක වී ඇති අයතොල්ලා පාලනය 1979 වසරේ මෙවැනිම ජන අරගලයක් මගින් බලයට ගෙන ඒමට එදා හැකි වූ අතර එම උද්ඝෝෂණ ඉරානය පාලනය කළ ෂා රජුට එරෙහිව ආරම්භ කළේද ටෙහෙරාන් බසාර් වෙළෙන්දන්ය. එසේ නම් ඉරාන ජනතාවට පාන් මිලදී ගැනීමට නොව පාන් කියාගැනීමට බැරි තත්ත්වයක් උදා වන තෙක් ආර්ථිකය බිඳ වැට්ටුවේ කවුද? අමෙරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් බව ඉතා ප්‍රකට කරුණකි. ඒ රටකට එරෙහිව භාවිත කළ හැකි දරුණුතම අවිය භාවිත කරමිනි. එය යුද අවියක් නොවේ. ආර්ථික අවියකි. අන් කිසිවක් නොව අප කවුරුත් දන්නා ආර්ථික සම්බාධකයි. ඉරානයට සම්බාධක යනු අලුත් දෙයක් නොවේ. මුලින්ම සම්බාධක පනවනු ලැබුවේ අමෙරිකාව 1979 ඉස්ලාමීය විප්ලවය හා ඒ ආශ්‍රිතව ඇතිවූ අමෙරිකානු ප්‍රාණ ඇපකරු ප්‍රශ්නය පදනම් කරගනිමිනි.
මුලින්ම අමෙරිකාවෙ ජිමී කාටර් පාලනය එරට තිබූ ඩොලර් බිලියන 12 ඉරාන වත්කම් තහනම් කළේය. ඉන්පසුව ඉරාකයේ පාලක සදාම් හුසේන් යොදාගෙන ඇතිකළ ඉරාන ඉරාක යුද්ධයෙන්ද ඉරානයට දැඩි අලාභ සිදුවිය. ඉන්පසුව 1984, 1987, 1996 අමෙරිකානු සම්බාධක, 2010 එක්සත් ජාතීන්ගේ සම්බාධක, 2012 යුරෝපා සම්බාධක ආදියෙන් ඉරානයේ ආර්ථිකයට එල්ල වූයේ සුවකළ නොහැකි තුවාලයකි. එහෙත් ඉරානය ඉහ ගසා සිටියේය. ශ්‍රී ලංකාව වැනි මිත්‍ර රටවලට උමාඔය වැනි ව්‍යාපෘති සඳහා මුදල් වැය කළේත්, අත දිගහැර වියදම් කරමින් අපේ තේ මිලදී ගත්තේත්, සහන මිලට තෙල් ලබා දුන්නේත් තමන් සම්බාධකවලින් මිරිකෙමින් සිටි තත්ත්වයක් යටතේය. එසේ කිරීමට ඉරානයට හැකියාවක් තිබුණේ අඛණ්ඩව තෙල් වෙළෙඳාමට ඉරානයට ඉඩ ලැබී තිබීම නිසාය. වෙනිසියුලාවට හා සවුදි අරාබියට පසු ලොව තුන්වැනි විශාලතම තෙල් නිධි සහිත රට වන්නේ ඉරානයයි. එය ලෝක තෙල් නිධි ප්‍රමාණයෙන් සීයට12කි. අර්බුද මැද පවා ඉරානය නොසැලී සිටියේ ඒ නිසාය. මෙය අවබෝධ කරගත් වත්මන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මිනී පෙට්ටියට අවසන් ඇණය ගැසීමට උත්සුක වූයේ 2018 වසරේ ඉරානයේ තෙල් වෙළෙඳාම තහනම් කරමින් නව සම්බාධක මාලාවක් පැනවීමත් සමගය. දිනකට තෙල් බැරල් මිලියන 2.2ක් වෙළෙඳපොළට එවූ ඉරානයට දැන් තෙල් බැරල් භාගයක්වත් එවා ගත නොහැක.
2010 දී ඉරාන ආර්ථිකයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම ඩොලර් බිලියන 600ක් පමණ වූ අතර එය 2025 වනවිට බිලියන 356 දක්වා පහත වැටී තිබිණ. වර්තමානය වනවිට ඉරානයේ උද්ධමනය සීයට72ක් තරම් ඉහළ නැඟ තිබිණ. ආර්ථිකය දුර්වල වූ විට දුෂ්කරතාවට පත්වන ජනතාව පවත්නා පාලනයෙන් ඈත්වීම සාමාන්‍ය තත්ත්වයකි. සම්බාධකවල අරමුණ වන්නේද එයය. ඉරාකයේදී වෙනිසියුලාවේද සාර්ථක වූ බටහිර දඬුවම ඉරානයේද යම් තාක් දුරකට සාර්ථකය. එහෙත් ඉරාන පාලනය ඇද වැටුණේ නැත. එසේ වුවද ජනතා සහාය ඔවුන්ට දිගින් දිගටම අහිමි වන අතර ජනතා අභියෝග හමුවේ මර්දනය ක්‍රියාත්මක කිරීම බලධාරීන්ගේ පිළිවෙත වී තිබේ. 2022 උද්ඝෝෂණ හා ඉන් පෙර උද්ඝෝෂණ මර්දනය උදාහරණ වශයෙන් දැක්විය හැක. කෙතරම් කලක් මේ පිළිවෙතේ ගමන් කිරීමට එරටට හැකිවේද යන්න ගැන ප්‍රශ්නයක් පවතී.
ඉරානයේ බටහිර ඉලක්කය තෙල්ද?

තෙල් මූලික අවශ්‍යතාවකි. එහෙත් එය එක් හේතුවක් පමණි. ප්‍රධානතම අරමුණ වන්නේ බටහිරට එරෙහි මැදපෙරදිග විකල්ප බල කේන්ද්‍රය වන ඉරානය නිෂ්ක්‍රීය කිරීමය. ඉරානය විසින් ගොඩනඟා තිබූ විකල්ප බල කේන්ද්‍රය විනාශ කිරීම ඇරඹුණේ 2020 වසරේදී ට්‍රම්ප් ජනාධිපතිවරයා සිය පළමු ධුර කාලය අවසානයේදී ඉරානයේ ප්‍රධාන හමුදා මෙහෙයුම්කරු වන ජෙනරල් හෂේම් සුලෙමානි ඉරාකයේදී ඝාතනය කිරීමට විශේෂ හමුදා මෙහෙයුමකින් සමත් වීමත් සමගයි. ඉන්පසුව ගාසා අර්බුදය හමුවේ ඉරානයේ හිතවත් පාර්ශ්ව වන හමාස් කල්ලිය, හිස්බුල්ලා කල්ලිය හා හුති කල්ලිය ඊශ්‍රායලය යොදා ගනිමින් විනාශ කිරීමේ මෙහෙයුම් කඩිනම් කිරීමෙනි. අද වනවිට හමාස් හා හිස්බුල්ලා මුළුමනින්ම පාහේ විනාශ කිරීමට ඊශ්‍රායලය සමත්ව තිබේ. අනතුරුව සිරියාවේ අසාද් පාලනය බිඳ හෙළීමෙන් ඉරාන අක්ෂය දුර්වල කිරීම හා බටහිරට ලැදි අල් ෂාරා පාලනය ස්ථාපනය කිරීම තවත් තත්ත්වයකි. මේ සියල්ලෙන් පෙනී යන්නේ ඉරානය බිඳ හෙළීම හරහා මැදපෙරදිග කලාපයෙන් රුසියාව හා චීනය ඉවත් කිරීමට ඉඩකඩ හිමිවේ. රුසියාවට ඉරානය කොතරම් වැදගත් වන්නේද යත් ඉතා දුෂ්කර තත්ත්වයන් යටතේ පවා ඉරානය යුක්රේන යුද්ධයේදී රුසියාවට ආධාර කළේ තම අතිශයින් දියුණු ඩ්‍රෝන ප්‍රහාරක පද්ධතිය යුක්‍රේන යුද්ධය සඳහා රුසියාවට ලබාදීමෙනි.
මේ අනුව ඉරානයේ පාලනය වෙනස් කිරීම අපේක්ෂිත අන්දමින් සිදුකිරීමට බටහිර බුද්ධි අංශවලට අවශ්‍යව ඇත්තේ තම භූ දේශපාලනික අරමුණු සාක්ෂාත් කරගැනීම වෙනුවෙනි. අරගලයකින් බලය අත්පත් කරගැනීමේදී ඉරානයෙහි තවමත් එවැනි තත්ත්වයක් නොමැති බව මෙහෙයුම්කරුවන් සියල්ලටම අවබෝධ වී තිබේ. එසේ නම් ඔවුන්ගේ ඊළඟ අරමුණ කුමක්ද? දැනට පැහැදිලි නැතත් ඉදිරියේදී ඉරානයට ජනතාව නොමැතිව මර්දනයෙන් පමණක් ඉදිරියට යා නොහැකි බව ලොව පිළිගත් සත්‍යයයි. එතෙක් බටහිර සීරුවෙන් හා බහුවිධ උපක්‍රම ඔස්සේ නව මෙහෙයුම් සඳහා කල් බලනු ඇත.
ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd