IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


ගෝලීය නව බල අරගලයේ යුක්‍රේන සාධකය හා නව අයි.එස්. භූමිකාව

“අවශ්‍ය වුවහොත් අපි න්‍යෂ්ටික අවි පාවිච්චි කරනවා” 

- රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් -


‘‘රුසියානු ජනාධිපතිගේ තර්ජනය සුළුකොට තකන්නට බැහැ’’

- අමෙරිකාව -


ලෝකය, පහත රට ශාන්තිකර්මවල යොදාගන්නා දෙකොන විලක්කුවක් සේ ගිනි ඇවිළෙමින් පවතින අවස්ථාවකි මේ. නැගෙනහිර යුරෝපයේ දෙවසරක් පුරා ඇවිළෙන, විසඳුමක සේයාවක්වත් නැති යු‍ක්‍රේන - රුසියානු යුද්ධයයි. අනෙක් පසින් මැදපෙරදිග අලුතෙන් ඇවිළෙන ඓතිහාසික යුදෙව් - පලස්තීන යුද්ධයයි. මේ යුද්ධවලට, ඒවායේ පාර්ශ්වකරුවන්ට අමතරව, අන්තර්ජාතික ප්‍රජාවේ සාමාජිකයන්ද දෙපසට වෙන් වී කඳවුරු බැඳගැනීම ගෝලීය ස්ථාවරයත්වය දැඩි අභියෝගයකට ලක්කරන්නකි. මේ අතරින්, බල කඳවුරුවාදී අරගලයක් බවට ශීඝ්‍රයෙන් උග්‍රවෙමින් පවතින්නේ රුසියානු - යුක්‍රේන යුද්ධයයි.


මෙය තුන්වැනි ලෝක යුද්ධයක් දක්වා වර්ධනය වෙයි ද? මැදපෙරදිග යුද්ධය හා රුසියානු - යුක්‍රේන ගැටුම එකිනෙක හා බැඳී දැවැන්ත අවි ගැටුමක් බවට පත්වීමේ ප්‍රවණතා පවතී ද? යන සංවාද ලෝකයේ ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍යයයන්හි මෙන්ම සමාජ මාධ්‍යයන්හිද ඉතා බහුලව දක්නට ලැබේ. ඒ මන්ද, බලවත් රාජ්‍යයන් හා මේ යුද්ධ දෙක අතර පවතින බැඳීමයි. රුසියානු - යුක්‍රේන යුද්ධයේ මෙන්ම ‍මැදපෙරදිග යුද්ධයේද ප්‍රධාන අනුග්‍රාහකයා වෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. ඒ යුක්‍රේනය හා ඊශ්‍රායලය පිටුපස ඇති දැවැන්ත ගෝලීය සෙවණැල්ලයි. අනෙක් අතට රුසියාව, මැදපෙරදිග යුද්ධයේද තිරයෙන් පිටුපස ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරයි. 

 

මොස්කව් රඟහල ප්‍රහාරය 

රුසියාවේ නවතම අභියෝගය

ඒ අතරවාරයේ සිරියානු යුද්ධයෙන් පසු අකර්මණ්‍ය ස්වරූපයක් පෙන්වූ අයි.එස්. හෙවත් ඉස්ලාමීය රාජ්‍ය අන්තවාදී බලවේගය යළි හිස ඔසවන්නේ ද යන සැකය ඉස්මතු වෙන්නේ මාර්තු 22වැනි සිකුරාදා රාත්‍රියේ රුසියාවේ මොස්කව් අගනුවර ආශ්‍රිත ක්‍රෝකස් නාගරික රංග ශාලාවට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය නිසාවෙනි. 136 දෙනෙකුට මරු කැඳවමින් හා රුසියාවේ ‍එ‍ෆ්.එස්.බී. අභ්‍යන්තර ආරක්ෂක ඒජන්සිය අභියෝගයට ලක්කරමින් එල්ල කෙරුණු මේ ප්‍රහාරය දශක දෙකකින් පසු රුසියාවෙන් වාර්තා වූ දරුණුතම ත්‍රස්තවාදී ප්‍රහාරය මෙන්ම අභ්‍යන්තර ආරක්ෂක අර්බුදයයි. එය එල්ල කෙරෙන කාල වකවානුව ද තීරණාත්මකය. 

ජනාධිපති ව්ලැදීමීර් පුටින්, ජනාධිපතිවරණය 87% බහුතරයකින් ජයගෙන වසර 2030 දක්වා දිවෙන නව ධුර කාලය ඇරඹුවා පමණි. ඍජුවම එය ජනාධිපති පුටින්ට කෙරුණු විවෘත අභියෝගයකි. අනෙක් අතට යුක්‍රේනය සමග යුද වදින රුසියාවට සිය අභ්‍යන්තර ආරක්ෂාව තහවුරු කරගැනීම සඳහා සටන් වැදීමට සිදුවන තත්ත්වයක් මෙතුළින් නිර්මාණය කෙරිණ. තවත් පැහැදිළිව සඳහන් කර්න්නේ නම්, එය රුසියාවට යුක්‍රේනයේ යුද පෙරමුණට අමතරව රට අභ්‍යන්තරයේද යුද පෙරමුණක් නිර්මාණය කර දීමකි. එමෙන්ම 1995 වසරේ සිට පැවති චෙච්නියා ප්‍රාන්තයේ මුස්ලිම් සටන්කාමීන්ගේ තර්ජන, පුටින්ගේ නායකත්වය යටතේ අයෝමය හස්තයකින් අවසන් කරනු ලැබීමෙන් පසු, රුසියාව තුළ අන්තවාදය තදින් ක්‍රියාත්මක බවට කෙරුණු අනතුරු ඇඟවීමකි. අයි.එස්. ත්‍රස්තවාදය උත්සන්න වූ 2012 කාලවකවානුවේ සිට මේ දක්වා සෑම ප්‍රධාන බටහිර නගරයකටම විවිධ මට්ටම්වලින් අයි.එස්. ප්‍රහාර එල්ල වුවද රුසියාව තුළ එවැනි ප්‍රහාර සිදුවීමක් දක්නට නොවීය. අයි.එස්. සංවිධානය පෙර මෙන් ගෝලීය තර්ජනයක්ව නොපවතින මේ කාලය තුළදී, රුසියාව ප්‍රහාරයට ලක්වීමද විශේෂත්වයකි. ප්‍රශ්නය වන්නේ මෙය රුසියාවට පමණක් සීමා වූ තර්ජනයක්ද, එසේත් නැත්නම් පෙර අප අත්දුටු ඉස්ලාමීය නාමයන් සහිත අන්තවාදී ව්‍යාපාර ස්වරූපයේ නව ගෝලීය ප්‍රචණ්ඩත්වයක ආරම්භයද යන්නයි.

 

අයි එස් ද ? යුක්‍රේනය ද?

සිද්ධිය සම්බන්ධ ආරක්ෂක විශ්ලේෂණාත්මක විග්‍රහයන් කිහිපයක් පවතී. ප්‍රධානම විවාදය පවතින්නේ මෙය අයි.එස්. කල්ලිය ද? එසේත් නැත්නම් යුක්‍රේනය හෝ බටහිර බුද්ධි ඒජන්සියක මෙහෙයවීමෙන් සිදුකෙරුණක් ද? යන මාතෘකා පිළිබඳවයි. මෙහිදී, බටහිර නිගමනය හා රුසියානු නිගමනය යන අන්ත දෙකකි. ඇමෙරිකා එක්සත් ජනපදය මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක බුද්ධි අංශ සටහනක් මගින් පෙන්වා දෙන්නේ මෙය ඉස්ලාමීය යැයි හඳුන්වා ගන්නා අන්තවාදීන්ගේ ක්‍රියාවක් බවයි. දෙසතියකට පමණ පෙර මේ පිළිබඳව රුසියානු බලධාරීන්ට අනතුරු ඇඟවූ බවට, ප්‍රහාරයෙන් පසුව ඇමෙරිකාව කළ නිවේදනය ගැන අප දැනුවත්ය. ඇමෙරිකාව පවසන්නේ, අන්තවාදීන් රුසියාව පමණක් නොව යුරෝපා කලාපීය රටවල් කිහිපයක්ම ඉලක්ක කරගනිමින් ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කිරීමට සූදානමින් පසුවෙන බවයි. මෙහිදී අයි.එස්. කල්ලිය රුසියානු ප්‍රහාරය පිළිගනිමින් කළ ප්‍රකාශය ගැනද සැකයක් නැතැයි ඇමෙරිකාව, බුද්ධි වාර්තා උපුටා දක්වමින් නිවේදනය කළේය.     

රුසියාවේ ප්‍රතිචාරය මේ සම්බන්ධයෙන් යහපත් එකක් නොවීය. ජනාධිපති පුටින්ගේ අදහස වූයේ ඇමෙරිකාව රුසියාවේ ජන ප්‍රජාව තුළ බියක් ජනිත කිරීමේ අපේක්ෂාවෙන් කළ අනතුරු ඇඟවීමක් ලෙසයි. ඒ සම්බන්ධයෙන් ඔහු ඇමෙරිකාවට දොස් පැවරීය. ප්‍රහාරයෙන් පසුව වුවද රුසියානු රජය හා ආරක්ෂක අංශ නැඹුරු වූයේ ප්‍රහාරය යුක්‍රේනය විසින් සැලසුම් කරන ලද්දක් බව තහවුරු කිරීමටයි. ඔවුන්ගේ ප්‍රධාන තර්කය වූයේ ප්‍රහාරකයන් අත්අඩංගුවට ගත්තේ යුක්‍රේනය දෙසට පලායමින් සිටියදීය යන්නයි. එමෙන්ම ප්‍රහාරකයන් පිළිගැනීමට හා ඔවුනට රැකවරණ සලසා කඩිනමින් ඉවත් කරගැනීමට යුක්‍රේන දේශසී‍මාවෙන් ඔබ්බෙහි කණ්ඩායමක් සූදානම්ව සිටි බවද රුසියාවේ එෆ්.බී.එස්. ආරක්ෂක ඒජන්සිය ප්‍රකාශ කළේය. ජනාධිපති ව්ලැදීමීර් පුටින් ජාතිය අමතා කළ කතාවකදී සඳහන් කළේ, ප්‍රහාරකයන් මුස්ලිම් අන්තවාදීන් වුවත් ඔවුන් මෙහෙය වූයේ කවුද යන්න ගැන සැලකිලිමත් විය යුතු බවයි. ඔහු යුක්‍රේනයටත් බටහිරටත් යළි ඇඟිල්ල දිගු කළේය. 

යුක්‍රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ, රුසියාව යුක්‍රේනයේ යුද්ධයක් ආරම්භ නොකළේ නම් ක්‍රෝකස් රඟහල වැනි සිද්ධීන් රට තුළ ඇතිවීම වළක්වාගැනීමට පුටින්ට ඉඩ තිබූ බවයි. මේ වාග් යුද්ධයට ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු විවිධ නායකයන් අඩු වැඩි වශයෙන් සම්බන්ධ වෙන ආකාරයක්ද දක්නට ලැබිණ. ප්‍රහාරකයන් රුසියාවේ අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු කර ඇති අතර ජනාධිපති පුටින් ප්‍රකාශ කරන්නේ ඔවුන්ට මරණයටත් වඩා අන්ත දඬුවම් ලැබෙන බවයි. අධිකරණයට ඉදිරිපත් කරන විට ඔවුන් සිටි ආකාරය අනුව දඬුවමේ ස්වභාවය ගැන උපකල්පනය කළ හැකිය.

 

සමානකම් හා වෙනස්කම්

ප්‍රහාරය ඍජුවම යුක්‍රේනයට සම්බන්ධ කිරීමට රුසියානුවන්ට මේ  දක්වා හැකි වී නැත. අනෙක් අතට, අයි.එස්. කල්ලිය දිගට හරහට නිවේදන නිකුත් කරමින් ප්‍රහාරයේ වගකීම තමන් වෙත පවරා ගනිමින් උදම් අනයි. ප්‍රහාරකයන් සියලු දෙනා තජිකිස්තාන ජාතිකයෝ වෙති. පැරණි සෝවියට් සමූහාණ්ඩු රාජ්‍යයක්ව පැවති, මුස්ලිම් බහුතරයක් සහිත මේ මධ්‍යම ආසියානු රාජ්‍යයේ නව අයි.එස්.කේ. හෙවත් කොරාසාන්හි ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය නමැති සන්නද්ධ කල්ලිය මුල් බැසගෙන ඇති බව ලොව මුල් පෙළේ බුද්ධි අංශ වාර්තා පෙන්වා දෙයි. කෙසේ වෙතත්, ප්‍රධාන ප්‍රවාහයේ අයි.එස්. ප්‍රහාරක ශෛලිය හා මොස්කව්හි රඟහලේ සිදුවූ අයි.එස්.කේ. ප්‍රහාරය අතර පැහැදිලි වෙනස්කම් පවතී. 

සාමාන්‍යයෙන් අයි.එස්. ඝාතකයන් ප්‍රහාරයකට ‍එළඹෙන්නේ මරණය දක්වා සටන් කොට, හැකි තාක් හානි සිදු කිරීමටයි. අයි.එස්. සටන්කරුවන්ගේ මොළ සෝදා (Brain Wash) ඒ තුළට කාවද්දා ඇති මූලධර්මය, අනුව දිවි පුදන සටන්කරුවන්ට දෙව්ලොව සැප අත්වේ. ඔවුන්ට පෙනෙන්නේ මූලධර්මවාදීන් තමන්ට කියා දුන් දෙව්ලොවේ දොරටුව හා ඒ අසල තමන්ට සැප දීමට බලා සිටින කන්‍යාවියන් 72දෙනාය. එම මානසික උත්තේජනය තුළ අයි.එස්. සටන්කරුවන් ජීවිතය ගැන බියක් පෙන්වනු දැකීම විරල කරුණකි. එහෙත් මොස්කව් ප්‍රහාරයේ තජික් සටන්කරුවන් මූලිකත්වය දෙන්නේ ප්‍රහාරයෙන් පසු මඳකුදු පමා නොවී පලායාමටයි. ඒ සඳහා ඔවුන් සුදු පැහැති රෙනෝ වර්ගයේ වාහනයක් යොදාගත් අයුරු නිරීක්ෂණය විය. ඔවුන් තුළින් විද්‍යමාන වූයේ අන්තවාදීන්ට වඩා සාමාන්‍ය කුලී හේවායන්ගේ ස්වරූපයකි. රුසියානුවන්ට හසුවූ පසු ඔවුහු ජීවිතය යදිමින් තම දුක කීහ. සල්ලිවලට ප්‍රහාරයට සම්බන්ධ වූ බවත්, පොරොන්දු වූ මුදල තමන්ට නොලැබුණු බවටත් ඔවුහු දුක කීහ. මෙවැන්නක් අයි.එස්. සටන්කරුවන් වෙතින් දක්නට ලැබීම විරලය. 

කෙසේ වෙතත් රුසියානු ආරක්ෂක අංශ ප්‍රකාශ කරන පරිදිම, රුසියාව තුළ ඉස්ලාමීය අන්තවාදී බලවේග ක්‍රියාත්මකව පවතී. වසරේ මුල් මාස තුන තුළ රුසියානු ආරක්ෂක අංශ, අන්තවාදීන් පිටුදැකීම සඳහා ප්‍රධාන නගරවල මුල් පෙළේ මෙහෙයුම් 5ක් සිදුකර තිබේ. ආසන්නතම මෙහෙයුම වන්නේ මාර්තු මුල් සතියේ මොස්කව්හි යුදෙව් ආගමික ස්ථානයක් විනාශ කිරීමට අන්තවාදීන් සැලසුම් කර තිබූ ප්‍රහාරය වැළැක්වීම හා අන්තවාදීන් 9 දෙනෙකු නිෂ්ක්‍රීය කිරීමයි. එහෙත් දෛවෝපගත ලෙස ක්‍රෝකස් රඟහල ප්‍රහාරය වැළැක්වීමට රුසියානු ආරක්ෂක අංශ අසමත් විය. මේ සම්බන්ධයෙන් බටහිර ආරක්ෂක විශේෂඥයන් පවසන්නේ රුසියාව යුක්‍රේන යුද්ධය සඳහා සිය පූර්ණ අවධානය හා සම්පත් යොදවා ඇති බැවින් අභ්‍යන්තර ආරක්ෂක ක්‍රියාවලියේ දුර්වලතා හටගෙන ඇති බවයි. එහෙත් බටහිර රටවල ප්‍රධාන නගරවල සිදුවූ අයි.එස්. ඝාතන සංඛ්‍යාව සැලකීමේදී රුසියාව තවමත් හොඳ තැනක ඇති බවක් පෙනීයයි.

 

රුසියාව අයි එස් ඉලක්කයක් වීමට හේතු සාධක පවතී ද?

“ත්‍රස්තවාදීන්ට සමාව දීම දෙවියන්වහන්සේගේ කාර්යයක්- ඔවුන් දෙවියන්වහන්සේ වෙත යැවීම මගේ කාර්යයක්” ඒ අන්තවාදීන්ට එරෙහි මෙහෙයුම් අරඹමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කළ ප්‍රකාශයයි. කී ආකාරයෙන්ම රුසියානු හමුදාව සිරියානු රජයට පක්ෂව සිදුකළ යුද්ධයේදී අයි.එස්. ඇතුළු‍ සන්නද්ධ කල්ලි රැසක් මර්දනය කළේ ඒවායේ සාමාජිකයන් දහස් ගණනකට පරලොව වෙත පාර පෙන්වා දෙමිනි.    

සිරියාවේ රාජ්‍යයක් හෙවත් කැලි‍ෆෙටයක් ප්‍රකාශ කර තිබූ අයි.එස්. කල්ලිය අද වනවිට ඉඩ්ලිබ් කාන්තාර ප්‍රදේශයට පමණක් සීමා වූ තුවක්කුකරුවන් පිරිසක් දක්වා පහත වැටුණේ මූලික වශයෙන්ම රුසියාවේ බිහිසුණු යුද මෙහෙයුම් හේතුවෙනි. වරෙක ලංකාව වැනි රටවලින් පවා ගොස් අන්තවාදීන් පෝෂණය කළ අයි.එස්. තෝතැන්නක් වූ සිරියාවේ අද වනවිට වඩාත්ම අසරණ වී ඇත්තේ අයි.එස්. සටන්කාමීන් මියගිය පසුව ඔවුන් සංතර්පණය කිරීම සඳහා බටහිර රටවලින් පැමිණි තරුණියන්ය. පියවරු නැති දරුවන් තුන් හතර දෙනා සමග තනි වූ ඔවුන්, තමන්ගේ මවු රාජ්‍යයන් වූ බටහිර රටවලින් පවා බාර නොගන්නා තැනට පත්ව, සිරියානු කාන්තාරයේ කූඩාරම් තුළ දුක් විඳිමින් ජීවත් වන තැනට පත්ව ඇත. මේ නිසා අයි.එස්. කල්ලියට රුසියාව සමග පැහැදිලි ගනුදෙනුවක් හෙවත් ඇරියස් කවර් කිරීමක් පවතී. එම පළිගැනීමේ ක්‍රියාවලිය භාර ගෙන ඇත්තේ අයි.එස්.කේ. ද?

 

කවුද මේ අයි.එස්.කේ.?

අරාබිකරයේ අයි.එස්. බලවේග දුර්වල වෙද්දී ඇෆ්ගනිස්ථානයේ කොරාසාන් ප්‍රාන්තය මූලික කරගනිමින් නව අයි.එස්. කල්ලියක් මධ්‍යම ආසියාව කේන්ද්‍ර කරගනිමින් 2015 වසරේ බිහිවෙන්නේ හෆීස් සයිද් ඛාන් නමැති සටන්කාමී නායකයාගේ මූලිකත්වයෙනි. ඊට අල්කයිඩා හා තලෙබාන් වැනි සන්නද්ධ කල්ලිවලින් කැඩී ගිය පිරිස් එක්වූහ. දැනට ලොව අයි.එස්. නාමධාරී කල්ලි අතරින් බලවත්ම සංවිධානය වන්නේ අයි.එස්.කේ. යි. ඒ ඔවුන් සතු සූක්ෂම ප්‍රහාරක හැකියාව පදනම්  කරගෙනයි. කාබුල් හා ඉරානය කේන්ද්‍ර කරගත් ප්‍රහාර මාලාවකින් පසු ඔවුන් යුරෝපාකරයේ සිදුකළ ප්‍රධානතම ප්‍රහාරය මොස්කව් රඟහල සමූහ මිනිස් ඝාතනයයි. තම ත්‍රස්තවාදී ප්‍රතිරූපය නංවා ගැනීම සඳහා එම කල්ලිය මේ උණුසුමෙන්ම ‍තවත් ප්‍රහාර කිහිපයක් එල්ල කිරීමට සූදානම් වන බව බුද්ධි අංශවල තක්සේරුවයි. මේ නිසා තුර්කිය දැනටමත් අභ්‍යන්තර ආරක්ෂක මෙහෙයුම් අරඹා ඇති අතර ගෙවී ගිය සතිය තුළ පමණක් 180 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

 

දිග්ගැහෙන යුක්‍රේන යුද්ධයේ අනාගතය කොයිබටද ?

රුසියානු යුක්‍රේන යුද්ධය කලින් සඳහන් කළ පරිදි දෙවසරක් ඉක්මවා තිබේ. මෙය කෘත්‍රිම බුද්ධි යුගයේ යුද්ධයකි. අනාගත යුද්ධ පිළිබඳව යම් අවබෝධයක් ලබාගත හැකි ක්‍රියාවලියකි. ඒ මන්ද, යුක්‍රේන යුද්ධය තුළ අද දක්නට ඇත්තේ අධි තාක්ෂණික සටනකි. දෙපාර්ශ්වයම අති නවීන ඩ්‍රෝන යානා භාවිත කරති. අහස මෙන්ම මුහුදද ඩ්‍රෝන ආක්‍රමණයට ලක්ව ඇත. ඩොලර් මිලියන ගණනක් වටිනා රුසියානු යුදනැව් ගිල්වා දැමුනේ යුක්‍රේනය සතු, ලාබ ‍මුහුදු ඩ්‍රෝන යොදාගනිමිනි. ජර්මනිය, යුක්‍රේන හමුදාවේ පරිහරණය සඳහා ලබාදුන් ‘ලෙපර්ඩ්’ යුද ටැංකි, රුසියානු ඩ්‍රෝන හා මිසයිල පද්ධති මගින් අක්‍රිය කෙරිණ. එය දෙවැනි ලෝක යුද සමයේ රුසියානු යුද බිමේ දිග් විජය කළ අති ප්‍රබල ටයිගර් යුද ටැංකි ඇතුළු‍ පැන්සර් බළකායේ අතීත යුද කීර්තියටද නිගා දෙමිනි. පරිගණකගත ක්‍රමවේද අනුව මෙහෙයවනු ලබන මිසයිල, යුද බිමේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. 

හැකර්වරු සයිබර් ලෝකය තුළ වෙනම යුද්ධයක යෙදෙති. රුසියාවට එරෙහි මෙහෙයුම්, සැලසුම් කරන්නේ ඒකාබද්ධ බටහිර යුද විශේෂඥ කණ්ඩායම් බව නොරහසකි. ඒ අතර යුද තාක්ෂණඥයෝද වෙති. හිටපු විශේෂ බළකා සෙබළුන් සහ නිලධාරීන්ගේ සේවය යුක්‍රේනයට ලැබේ. ඊට අමතරව යුක්‍රේනයට පිරිනැමෙන අතිමහත් වූ මුදල් සම්භාරය යොදවා, ශ්‍රී ලංකාවද ඇතුළු‍ ලොව විවිධ රටවල දක්ෂ විශ්‍රාමික සෙබළු කුලී හේවායන් ලෙස බඳවා ගනු ලබති. කොටින්ම කිවහොත් මෙය 21වැනි සියවසේ යුද්ධයකි. 

 

නව නිරවි යුද්ධය?

එමෙන්ම එය නව යුගයේ නිරවි යුද්ධය හෙවත් සිසිල් යුද්ධයේ පැතිකඩක් ලෙස හැඳින්වීම වරදක් යැයි නොසිතමි. ඒ මන්ද, යුක්‍රේන යුද්ධය පැහැදිලිවම වත්මන් ලෝක බළකඳවුරු දෙකේ යුද්ධයක් වීම නිසාය. 

පැහැදිලිවම යුක්‍රේන යුද්ධය තුන් වැනි පාර්ශ්‍වයක් යොදාගනිමින් සිදුකෙරෙන බල අරගලයක් හෙවත් ‘ප්‍රොක්සි වෝ’ එකකි. මෙවැනි යුද්ධ අප දැක්කේ 1960-70-80 දශකවලදීය. වියට්නාම් යුද්ධය හා කොරියානු යුද්ධයේදී සෝවියට් දේශය අමෙරිකාවට එරෙහිව ප්‍රතිවාදී පාර්ශ්වයට ආධාර කළේය. 1979 සෝවියට් දේශය ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළ අවස්ථාවේ ඇමෙරිකාව මුස්ලිම් මුජහිදීන් කල්ලි බිහිකොට ඔවුන් සන්නද්ධ කරවා සෝවියට් සෙබළුන්ට සුසානයක් නිර්මාණය කළේ පසුකාලීනව ලෝකය තුළ ඉස්ලාමීය සංකල්ප මත බිහිවූ අන්තවාදයකටද ඉඩ සලසා දෙමිනි. ඇමෙරිකාව විසින් පරලොව යවනු ලැබූ ඔසාමා බින් ලාඩන් ඇෆ්ගන් යුද සමයේ ‍ඇමෙරිකානු සී.අයි.ඒ. ඔත්තු සේවය සමග ඇයි හොඳයි කියූවෙකි.  

බටහිර බලවතුන්ගේ අපේක්ෂාව යුක්‍රේනය රුසියානුවන් සඳහා තවත් ඇෆ්ගනිස්තානයක් බවට පත් කිරීමටයි. අද වනවිට රුසියාව සටන් වදීන්නේ යුක්‍රේන හමුදාව සමග නොව, සමස්ත බටහිර යුද යාන්ත්‍රණය සමගයි. ඒ සඳහා විකල්ප බල කඳවුරේ චීනය, ඉරානය, උතුරු කොරියාව වැනි ඇමෙරිකානු හිතවාදී නොවන රාජ්‍යයන් රුසියාව පසුපස සිටී. යුක්‍රේන යුද්ධය තුළ ගැබ්ව ඇත්තේ ඇමෙරිකාව හා යුරෝපය ඇතුළු බටහිර බළ කඳවුර තම බලය රුසියානු දේශසීමාව දක්වා අතික්‍රමණය කිරීමට දරන උත්සාහයත් රුසියාව මුළු වෙර යොදා බටහිර බලය බටහිර දෙසට තල්ලු‍ කර දැමීමට දරන උත්සාහයත් යන සංදර්භයන් ද්විත්වයයි. එදා සෝවියට් දේශය සමග සිටි නැගෙනහිර යුරෝපා රාජ්‍යයන් සියල්ල අද සිටින්නේ ඇමෙරිකාව සමගයි. එදා සෝවියට් දේශයේ අභ්‍යන්තර සමූහාණ්ඩු ලෙස පැවති රාජ්‍යයන් අතරින් අද රුසියාව සමග සිටින්නේ බෙලරුස් රාජ්‍යය පමණි. ඊට හේතුව නම් “ලොකු අයියා සාධකය” හෙවත් බලවත් මහා රාජ්‍යයක වටද්දර රටවල පැවැත්ම පිළිබඳ අභියෝගාත්මක තත්ත්වය හා එම රටවල් තුළ ඇති සැක සංකා හා භීතිකාවයි. (මේ ගැන අපටද අමුතුවෙන් කිව යුතු නොවේ) 

තම බටහිර දේශසීමාවෙන් වැඩි කොටසකට හිමිකම් කියන සම්පත් බහුල, කෘෂිකාර්මික සරු බිමක් වූ යුක්‍රේනය බටහිර බළකඳවුරට එකතුවීම වැළැක්වීම රුසියාවේ ඒකායන අරමුණයි. යුක්‍රේනය රුසියාවෙන් වෙන්කර තමන් වෙත බා ගැනීම ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර බළකඳවුරේ අභිප්‍රායයි. මේ අරගලය දශක දෙකක පමණ ඈතක සිට සිදුවන්නකි. 2004 තැඹිලි පැහැ විප්ලවය තුළින් යුක්‍රේනය බටහිර කඳවුර වෙත දෝලනය විය. විප්ලවයේ නායකයන් දූෂිත හා අකර්මණ්‍ය වෙද්දී යුක්‍රේනය රුසියාව දෙසට දෝලනය විය. 2014 යුරෝපා සංගම් සාමාජිකත්වය පිළිබඳ අර්බුදයේදී යුක්‍රේනය යළි බටහිරට දෝලනය විය. රුසියාව එවිට සෝවියට් යුගයේ යුක්‍රේනයට ලබාදී තිබූ ක්‍රයිමියානු අර්ධද්වීපය යළි තමන් වෙත පවරාගත් අතර නැගෙනහිර යුක්‍රේනයේ රුසියානු සම්භවයක් සහිත ජනයා අතරින් යුක්‍රේන විරෝධී කැරැල්ලක් හටගත්විට ඊට රුසියානු සහාය හිමි විය. 2019 යුක්‍රේනයේ බලයට පත්වූ ව්ලැදීමිර් සෙලෙන්ස්කි, දැඩි රුසියානු විරෝධී පිළිවෙතක් අනුගමනය කළ අතර රුසියාවේ කනට ගසන්නා, නේටෝ හෙවත් බටහිර යුද හවුලේ සාමාජිකත්වය පැතීය. 2022 රුසියානු ආක්‍රමණයට මුල් වූයේ එම මතභේදකාරී වාතාවරණය දුරදිග යාමයි. ඒ තුළ යුරෝපය තුළ රුසියානු භිතිකාවක් නිර්මාණය වීම තුළ බටහිර බළකඳවුර තවත් ශක්තිමත් වූයේ එතෙක් යුරෝපයේ නිෂ්ක්‍රීය මධ්‍යස්ථ රාජ්‍යයන්ව පැවති ස්වීඩනය හා ෆින්ලන්තය නේටෝ යුද හවුලේ සාමාජිකයන් බවට පත්කරමිනි.

 

ඩොලර් කඳු මතින් දිවෙන යුද්ධය
යුක්‍රේන යුද්ධය පවත්වාගැනීම සඳහා බටහිර බලවත් රාජ්‍යයන් ඉමහත් පිරිවැයක් දරයි. ඇමෙරිකාව පමණක් මේ වනවිට යුක්‍රේනයට ලබාදී ඇති යුද හා මූල්‍ය ආධාරවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 74.6කි. ඒ අතරින් යුක්‍රේන ජනතාව සඳහා ලබාදී ඇති මානුෂීය සහන ඩොලර් බිලියන 1.6ක් පමණි. සෙසු සියල්ල යුද්ධය සඳහා යෙදවූ මුදල් වේ.
යුරෝපා සංගමය ඩොලර් බිලියන 90කට අධික ප්‍රතිපාදනද ජර්මනිය හා බ්‍රිතාන්‍යය ඩොලර් මිලියන 10 ඉක්ම වූ ප්‍රතිපාදනද ලබා දී ඇත. තවත් රටවල් 15ක් පමණ ඩොලර් බිලියනයේ සිට බිලියන 9 දක්වා මුදල් පිරිනමා යුක්‍රේන මල්වට්ටියට අතගසා තිබේ. ශ්‍රී ලංකාවට විවිධ කොන්දේසි යටතේ ඩොලර් බිලියන 3 ක විස්තීරණ මූල්‍ය පහසුකමක් අනුමත කළ අයි.එම්.එෆ්. හෙවත් අන්තර්ජාතික මූල්‍ය අරමුදල, යුද්ධයෙන් විනාශ වී ඇති යුක්‍රේනයට අනුමත කර ඇති මූල්‍ය පහසුකම ඩොලර් බිලියන 15.6කි. මේ වසර තුළ පමණක් අයි.එම්.එෆ්. මුදල් ඩොලර් බිලියන 5.4ක් යුක්‍රේනයට ලැබේ. බටහිර ප්‍රජාව වසර 2027 වනවිට යුක්‍රේනයට ලබාදීමට පොරොන්දු වී ඇති මුදල ඩොලර් බිලියන 122කි. මේ ගණන් හිලව් තුළින් දැක්වෙන මූල්‍යමය වටිනාකම අනුව යුක්‍රේන යුද්ධය‍ කොතරම් වැදගත්ද යන්න විද්‍යමාන වේ. 


උපකල්පන
මෙය න්‍යෂ්ටික යුද්ධයක් දක්වා වර්ධනය වෙයි ද? එවැන්නකට ඇති ඉඩකඩ අඩු බව විද්වත් මතයයි. ඊට ප්‍රධාන හේතුව, න්‍යෂ්ටික ප්‍රහාරයක අතුරු ඵලවිපාක, ජනාධිපති පුටින්ද හොඳින් දැන සිටීමයි. ලෝක යුද්ධයක් දක්වා වර්ධනය වන රුසියානු - බටහිර යුද්ධයක් නිර්මාණය වෙයි ද? ජනාධිපති පුටින් බ්‍රහස්පතින්දා ප්‍රකාශ කර ඇත්තේ පෝලන්තය හෝ වෙනත් කිසිදු නේටෝ රටකට පහර දීමට රුසියාව උත්සුක නොවන බවයි. එහෙත් ඇමෙරිකාව යුක්‍රේනයට සපයන ‍එෆ් 16 ප්‍රහාරක යානා වෙඩි තබා බිම හෙළන බවට පුටින් අනතුරු අඟවයි.
යම් හෙයකින් මේ දැවැන්ත මෙහෙයුම තුළින් රුසියාව නමැති බලවතා, සෝවියට් දේශය මෙන් බිමට සමතලා කොට, පුටින් බලයෙන් පහ කිරීමේ වරමක් අත්කරගැනීම හා බොරිස් යෙල්ත්සින් යුගයේ මෙන් පසුගාමී බටහිර ළැදි රුසියාවක් බිහිකොට එහි විකල්ප බලවතා යන තත්ත්වය අහෝසි කිරීම යුක්‍රේන යුද්ධය මෙහෙයවනන්ගේ ඒකායන පරමාර්ථය බව පසක් වේ. මෙය සාර්ථක වුවහොත්, තායිවාන කටුස්සා යොදාගෙන චීන හස්තියා දණගැස්සවීමේ ව්‍යාපෘතියට දින වකවානු නියම වනු ඇතැයි යන්න, අන්තර්ජාතික සබඳතා විශ්ලේෂකයන්ගේ තක්සේරුවයි.

 



අදහස් (0)

ගෝලීය නව බල අරගලයේ යුක්‍රේන සාධකය හා නව අයි.එස්. භූමිකාව

ඔබේ අදහස් එවන්න

Italy news

ගෝලීය නව බල අරගලයේ යුක්‍රේන සාධකය හා නව අයි.එස්. භූමිකාව
2024 අප්‍රේල් මස 02 143 0

ලෝකය, පහත රට ශාන්තිකර්මවල යොදාගන්නා දෙකොන විලක්කුවක් සේ ගිනි ඇවිළෙමින් පවතින අවස්ථාවකි මේ. නැගෙනහිර යුරෝපයේ දෙවසරක් පුරා ඇවිළෙන, විසඳුමක සේයාවක්වත්


නව කොරෝනා වෛරසය සයිප්‍රසයත් ආක්‍රමණය කරයි
2020 මාර්තු මස 28 3264 0

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වනවිට මිනිස් ජීවිත දහස් ගණනකට මරු කැඳවමින් තවත් ලක්ෂ ගණනක් අසාධ්‍ය තත්ත්වයට පත් කරමින් ලෝකයේ 150 කට අධික රටවලට ව්‍යාප්ත


කොරෝනා වෛරසය හේතුවෙන් මේ දිනවල ඉතාලියේ සිදුවෙන්නේ කුමක්ද?
2020 මාර්තු මස 28 2773 0

ඉතාලියේ කොරෝනා වෛරසය ඇති බව පසුගිය පෙබරවාරි මස විසි වැනිදා හෙළිවීමත් සමගම උතුරු ඉතාලියේ මිලානෝ නගරය මූලික කරගත් ලොම්බාර්දියා ප්‍රදේශය ඇතුළු උතුරේ ප්


විදේශිකයෝ දාහහතරදාහක් රෝමයට පොල්ල තියලා පැනලා
2020 මාර්තු මස 28 178 0

රෝම නගර සභා සීමාවට අයත් ප්‍රදේශය තුළ නේවාසික විදේශිකයන්ගේ සංඛ්‍යාව තුන්ලක්ෂ අසූදෙදහස් පන්සීයකි. මෙය රෝමයේ මුළු ජනගහණයෙන් 13.4% ක ප්‍රතිශතයකි. රෝම නගර සභ


නව කොරෝනා වෛරසය ප්‍රංශ පාර්ලිමේන්තුවත් ආක්‍රමණය කරයි
2020 මාර්තු මස 14 1349 0

මේ වනවිට ලෝකයේ විවිධ රටවල සමහර ප්‍රදේශවල පැතිර යන කොරෝනා නොහොත් කෝවිඩ් 19 ලෙස හඳුන්වන මාරාන්තික වෛරසය ප්‍රංශ පාර්ලිමේන්තුවද ආක්‍රමණය කොට ඇත්තේය.


කොරෝනා වයිරසය මැදපෙරදිගත් ගිලගනීද?
2020 මාර්තු මස 14 1579 0

මේ ​වෙනවිට ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන කොරෝනා වයිරසය මැදපෙරදිග රටවලටත් ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව විවිධ මාධ්‍ය සහ තොරතුරු සනාථ කරයි. චීනය මූලික


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 773 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2320 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1985 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site