වත්මන් ආණ්ඩුවේ දෙවැනි අයවැය ලේඛනය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. තවමත් ඒ පිළිබදව සිදු කෙරෙන පාර්ලිමේන්තු විවාදය නිමා වී නැත. මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ ඒ පිළිබදවය.
රජයේ අයවැයක් යනු ඒ කාලයේ ඉතාමත් තීරණාත්මක ලියැවිල්ලක් වූ බව පැහැදිලිය. විශේෂයෙන් 1977 ට පෙර කාලයේ ආර්ථිකයට රාජ්‍ය සහභාගීත්වය ඉතාමත් විශාල වශයෙන් තිබූ කාලවල අයවැයක් යනු විශාල ප්‍රතිපත්ති වෙනස්වීමක් ය. එහෙත් 1977 න් පසු තත්වය එසේ නොවන්නේ ‘රටේ ආර්ථිකයේ බරපතළම කෑල්ල ආණ්ඩුවේ ආර්ථිකයයි’ යන තර්කය තවදුරටත් වලංගු නැති තත්වයක් ගොඩ නැගී ඇති නිසාය.
ශක්තිමත් පෞද්ගලික අංශයක් මේ වන විට රටේ තිබෙන අතර ආර්ථිකයේ ඔවුන්ගේ පංගුකාරීත්වය වැඩි වී ඇත. එවැනි තත්වයක රාජ්‍ය අයවැයක් යනු පැරණි කාලයේ තරම් විශාල දෙයක් නොවන බව පැහැදිලිය. එහෙත් රාජ්‍යයේ මූල්‍ය ක්‍රියාකාරීත්වය සම්බන්ධව ප්‍රධාන ලියැවිල්ලක් වශයෙන් සහ ආණ්ඩුවේ ආර්ථික ගමන් මාර්ගය සම්බන්ධ ප්‍රධාන ලියැවිල්ලක් ලෙසින් අයවැය ලේඛනයක වැදගත්කමක් තිබෙන බව පිළිගැනීම වැදගත් ය. (මෙතැන රාජ්‍ය සහ ආණ්ඩුව කියා වචන දෙකක් යෙදුවේ ආර්ථික ක්‍රියාවලිය සම්බන්ධයෙන් මේ ආයතනික ව්‍යූහ දෙක වෙන වෙනම තේරුම් ගැනීම වැදගත් නිසාය.)
අලුත් බෝතලයක් පරණ වයින්?
‘Old wine in new bottle’ කියා ඉංග්‍රීසි කියමනක් තිබේ. එහි අදහස වන්නේ ආකෘතිය අලුත් වුණාට අන්තර්ගතයේ තියෙන්නේ පරණ දේවලම බවය. මේ අයවැය සම්බන්ධයෙන් වුවත් මුලින්ම කිව හැකි කාරණයක් වන්නේ එවැන්නකි. අයවැය මේ ආණ්ඩුවේ වූවාට එහි අන්තර්ගතයෙන් විශාල කොටසක් අයිති වන්නේ පරණ ආණ්ඩුවේ ප්‍රතිපත්ති යළිත් ඉදිරිපත් කිරීමකටය. තවත් පැත්තකින් එහි අන්තර්ගත වන්නේ IMF ප්‍රතිපත්ති මාලාවම බවත් පැහැදිලිය. ඒ කෙසේ වෙතත් 2026 වසර සඳහා වු මේ අයවැය, අනුර කුමාර දිසානායක මහතාගේ රජය ඉදිරිපත් කළ දෙවැනි අයවැය ලෙස ඉතා වැදගත් බලපෑමක් ආර්ථික ක්ෂේත්‍රයට සහ මෙරට ජනතාවට සිදු කරන බව මගේ අදහසය. එය එසේ වුවත් අයවැයේ නව සංකල්පික භාෂාව “සංවර්ධනය, විධිමත් පාලනය සහ ණය කළමනාකරණය” යනුවෙන් ගැළපුණ ද, එය රටේ ජනතාවගේ ජීවිත සදහා වු අර්ථවත් වෙනසකට හේතු වන්නේ ද යන්න සැක සහිතය. අයවැය මුළු වියදම රු. ට්‍රිලියන 7.23, අයවැය හිඟය GDP හි සියයට 5.1, සහ ආදායම් අනුපාතය සියයට 16 ක් ලෙස දැක්වූයේ IMF හි මූල්‍ය විධිමත්කරණ අරමුණු සපුරා ගැනීම සඳහාය. එහෙත් මේ සංකල්පීය රාමුව පිට පොත්ත වශයෙන් තිබෙන අතර ජනතාවගේ ජීවිතය තවත් පීඩාකාරී තත්වයකට පත් කරනවා මිස එයින් ගැලවීමක් මේ මගින් යෝජනා කරන්නේ නැත. මේ අයවැයේ ඉදිරිපත් වන බොහෝ සංකල්ප විදේශ ණය ආයතන හා බදු සංශෝධන පත්‍රිකා මත පදනම්ව නිර්මාණය වී ඇති බව ද මෙහි දී කිව යුතුය. ඒ පැත්තෙන් බලන විට මේ අයවැයේ සංකල්පීය පදනම පැරණි ආර්ථිකයේ සංකලපීය පදනමම වෙන්නේ යැයි කීම අතිශයෙන් යුක්ති යුක්තය.
තවත් පැත්තකින් බලන විට අප තේරුම් ගත යුත්තේ අයවැයක් යනු රටක සම්පත් බෙදා හැරීමේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් බවයි. එහෙත් මෙම අයවැය අනුමත කර ඇත්තේ සම්පත් සංවර්ධනය කරන පදනමක් නොව එය අඩු කරන ආකෘතියක් බව ද පැවැසිය යුතුය.
ආර්ථිකය හරි පාරේද?
අයවැයේ තර්කය අනුව, රටේ ආර්ථිකය “නැවත හරි පාරට” ගෙන යාම IMF සැලැස්මකට ගැළපීමෙනි. එක පැත්තකින් මේ මතය ජවිපෙ පැරණි දේශපාලනයට සම්පූර්ණයෙන්ම වෙනස් එකක් ය. අනෙක් අතින් මේ ‘අයි එම් එෆ් අන් එඩිටට්’ (IMF Uneditted) ආකාරයේ අයවැයක් සේවය කරන්නේ ණය හිමියන් වෙනුවෙන් මිස රටේ ජනතාව වෙනුවෙන් නොවේ. IMF ගිවිසුමට රනිල් වික්‍රමසිංහ මහතා ගිය කාලයේ ජවිපෙ දැරූවේත් ඒ අදහසමය. ඒ කියන්නේ මේ IMF බෙහෙත ඒ ආකාරයෙන්ම ගිල්ලවීම වැරදි බවයි. එහෙත් අද සිදුවෙමින් පවතින්නේ එයට සපුරාම වෙනස් ප්‍රතිපත්ති ස්ථාවරයකි. සමහර විට මේ වන විට ආණ්ඩුව තමන් ගේ පැරැණි අදහසින් එළියට ඇවිත් සිටිනවා විය හැකිය. එසේ කිරීමේ ඉඩක් ද ඒ අයට ඇත. එහෙත් ඒ වෙනස සිදුවූයේ කවදා ද? කුමන කරුණු මත ද යන්න රටට කීම ඉතාමත් වැදගත් ය. පැහැදිලිවම තම පක්ෂය මුලින් දැරූ මතය වැරදි වී එකල රනිල් වික්‍රමසිංහ මහතා දැරූ මතය නිවැරැදි වන්නේ කුමන පදනමකින් දැයි ජවිපෙ විසින් ජනතාවට ප්‍රකාශ කිරීම ඉතාමත් වැදගත් ය.
මේ අයවැය සමග වර්තමාන තත්වය ගළපා බැලුවහොත් පෙනී යන්නේ ඒ තුළ ජනතාවට අවාසිදායක පියවරක් රාශියක් පවතින බවයි. නිදසුන් කීපයකින් මේ තත්වය තේරුම් ගත හැකිය. පළමුවෙන් කිව යුත්තේ බදු සංශෝධන ඔස්සේ ව්‍යාපාරික පන්තියට පීඩනය, කුඩා හා මධ්‍ය ව්‍යාපාර (SMEs) බෙහෙවින් ආපදාවට පත් කිරීම එයින් එක් කාරණයක් බවය. දෙවැනුව VAT ලියාපදිංචි වාරිකය රු. මිලියන 36 ට අඩු කිරීම හේතුවෙන් කුඩා ව්‍යාපාර තවත් බදු පීඩනයක් යටතට පත්වීම වැළක්විය නොහැකිය. තෙවැනුව බදු ආදායම් වැඩි වුව ද, වියදම් කැපීම් මගින් අධ්‍යාපන, සෞඛ්‍ය, සහ කෘෂිකර්ම අංශවල පීඩනය ඉහළ යාම පැහැදිලි කාරණයකි. එසේම අයවැයෙන් පෙන්වන GDP සියයට 7 වර්ධන ඉලක්කය කාගේ එකක් දැයි නිශ්චිත නැත. එය බලාපොරොත්තු වන්නේ දේශීය නිෂ්පාදනය තුළ ද, නැතිනම් විදේශ ආයෝජනය තුළ ද යන්න නොපැහැදිලිය.
භාණ්ඩාගාරයට බදු මුදල් ලැබීමේ ධනාත්මක තත්වයක් තිබෙන බව ප්‍රකාශ වී ඇත. එය යහපත් දෙයකි. විශේෂයෙන්ම වාහන ආනයන හරහා ආනයන බදු ආණ්ඩුවට ලැබීම නිසා මේ ධනාත්මක වර්ධනය ඇතිවූ බව පැහැදිලිය. මෙහි තිබෙන තර්කයේ පැති දෙකක් තිබෙන බව ද මෙහිදී අපේ අවධානයට ගැනීම වැදගත් ය. එයින් කියැවෙන්නේ ‘රටෙන් විදේශ සම්පත් විශාල ප්‍රමාණයක් (ඩොලර් විශාල ප්‍රමාණයක්) පිටතට ගමන් කරවමින් ආණ්ඩුව තුළට රටේ මුදල් (රුපියල් ට්‍රිලියනයක) ප්‍රමාණයක් පෞද්ගලික අංශය වෙතින් රජයට ලැබීමය. මෙහි ලාබ පාඩු දෙපැත්තම බැලීම ඉතාමත් වැදගත් ය.
අනෙක් අතට ශක්තිමත් භාණ්ඩාගාරයක් තිබීම වැදගත් වන්නේ ඒ මුදල්වල් ගණන පෙන්වමින් ඉන්නට නොව ඒ හරහා රට තුළ මුදල් සංසරණයක් ගොඩ නගා ආර්ථික ක්‍රියාකාරකම් වැඩි කිරීමටය. ආර්ථියේ ක්‍රියාකාරීත්වය වැඩි වන්නේ ආයෝජනය පැත්තෙන් රජයේත් මැදිහත්වීමක් ගොඩ නැගීම හරහා ය. එහෙත් මෙතැන සිදු වෙමින් තිබෙන්නේ වෙනත් දෙයකි. “තමගේ දරුවන්ට අවශ්‍ය පෝෂ්‍යදායි ආහාර හා අවශ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වැය කරන්නේ නැතිව හැම සතයක්ම බැංකුවේ පොතේ දමන ගමේ අම්මලාගේ පන්නයේ” ආර්ථික ක්‍රියාකාරිත්වයකින් රටට වැඩක් වෙන්නේ නැත. ඒ නිසා ආණ්ඩුව කළ යුත්තේ වැඩි වශයෙන් ගොඩ නැගෙන රුපියල් සංචිත හරහා රාජ්‍ය ආයෝජනය වැඩි කිරීමය. එයින් ජනතාවට ලබන ප්‍රතිඵල විශාලය. එක පැත්තකින් ඒ ආයෝජන හරහා රටට මුදල් ගලා යන්නේය. අනෙක් අතින් රාජ්‍ය ආයෝජන (සෞඛ්‍යය, අධ්‍යාපනය, මහා මාර්ග වැනි ආයෝජන) මගින් ලබෙන ප්‍රතිලාභ පෙරළා ජනතාව සවිමත් කෙරෙනු ඇත.
පළල් අර්ථයෙන් මෙවන් තත්වයක, “ආර්ථිකය යන්නේ හරි පාරේද?” යන ප්‍රශ්නය නැගිය යුතු අතර එය හරි පාරේ යැයි දැනිය යුත්තේ පාලක පන්තියට පමණක් නොවන බව පැවැසිය යුතුය. එය ජනතාවටත් දැනිය යුතුය. එවැන්නක් රටේ ජනතාව තුළින් පෙනෙන්නේ නැති බව මගේ අදහසය.
පිරුණු භාණ්ඩාගාරයක් සමග වැහැරුණු ජනතාවක්?
තවත් පැත්තකින් මේ තත්වය දැකිය හැකිය. රජය පෙන්වන “භාණ්ඩාගාරය පිරී ඇත” යන්නෙහි අර්ථය වන්නේ බදු එකතු කිරීම් ඉහළ යාමත්, ණය ගෙවීම කල් දමා තිබීමත්, වාහන ආනයනය විශාල වශයෙන් සිදුවීමත් ය. එහෙත් භාණ්ඩාගාරය පිරී ඇති බවක් පෙනුණත්, ජනතාවගේ ජීවිත පිරී ඇත්තේ පීඩනයෙන්ය. ජීවන වියදම් දර්ශකය (CCPI) සියයට 12 ඉහළ ගොස් ඇති අතර බඩු මිල හා සේවා ගාස්තු ඉහළ යාම නිසා විශාල පිරිසක් අපහසුවට පත් වී සිටිති. සමාජ සංරක්ෂණ වැඩ සටහන් සහ සමාජ ආධාර දළ දේශීය නිෂ්පාදනය ප්‍රතිශතයක් ලෙසින් ගත් විට එය ගන්නේ සියයට 1.8 පමණ අගයකි. ඒ කියන්නේ මේ තත්වය තුළ අඩු ආදායම් පන්තියට ලැබෙන ප්‍රතිලාභ ඉතා අල්ප බවයි. තවත් පැත්තකින් රාජ්‍ය සේවක වැටුප් සහන නොමැති අතර, විදුලි බිල, ගෑස් හා ඖෂධ මිල තවමත් අධිකය.
සුදු අලි රාජ්‍ය ව්‍යාපාර නඩත්තුව
සුදු අලියා යැයි කියන්නේ කිසිම වැඩකට ගන්න බැරි කිසිම ප්‍රයෝජනයක් නැති අලියෙක් පිළිබද කතාවක් ය. කතාවේ හැටියට අලියා සුදු වුණොත් කිසිම ප්‍රයෝජනයක් නැති වන අතර කෑම බීමේ සිට වියදම පමණක් දරන්නට සිදුවීම ස්වාභාවිකය. මෙරට තිබෙන සමහර රාජ්‍ය ව්‍යාපාරත් සුදු අලි වගේය. අයවැය 2026 කියන විට පෙනෙන්නේ, “රාජ්‍ය ආයතන සංස්කරණය” යන්න අත්‍යවශ්‍ය අංගයක් ලෙස ඒ අය පිළිගන්නා බවයි. එහෙත් SriLankan Airlines, වැනි ආයතන පිළිබදව රජයේ ස්ථාවරය අතිශයෙන් ම ප්‍රශ්නකාරී බව මගේ අදහසය.
කේන්සියානු තර්කය
කේන්සියානු ආර්ථික විද්‍යාව අනුව, ආර්ථික අර්බුද කාලවල රජය සෘජුවම වෙළෙඳපොළට ඇතුළත් වී ජනතාවගේ ඉල්ලුම සහ රැකියා ශක්තිමත් කළ යුතු බව කියැවේ. ජෝන් මෙනාඩ් කේන්ස් යනු ආර්ථික විද්‍යාවේ පදනම්වාදයක් ඉදිරිපත් කළ බ්‍රිතාන්‍ය විද්වතෙකි. ඔහුගේ න්‍යායයට අනුව ආර්ථික අර්බූදයක දී ඇතිවිය හැකි ප්‍රධාන ප්‍රශ්නයක් වන මූල්‍ය ශක්තිය හීනවූ සමාජයක් හා රැකිය අවස්ථා අවම වූ සමාජයක් වෙත රාජ්‍ය මූලනය ආයෝජනයක් ලෙසින් සිතා සිදු කළ යුතුය. ඔහු වරක් කීවේ රජයට කරන්නට වැඩක් නැතිනම් ‘පොළවේ වළක් කපා එය නැවත වසා දමන්නට හරි’ රාජ්‍ය මුදල් ආයෝජනය කිරීම එවැනි අවස්ථාවක වැදගත් බවයි. එයින් කියන්නේ නිකං වළවල් කපන්නට ඔහු ආණ්ඩුවලට උපදෙස් දුන්නා කියා නොවේ. රටේ රැකියා අවස්ථා වැඩි කිරීමට හා මූල්‍ය සංසරණය ශක්තිමත් කිරීමට ගත යුතු ඕනෑම පියවරක් ගත යුතු බව ඒ අදහසේ තේරුමය. එහෙත් මෙම අයවැයෙන් රජය යන්නේ ඒ අරමුණට නොව එහි විලෝමය පැත්තටය. රජය යෝජනා කරන්නේ වියදම් අඩු කිරීම, සමාජ ආධාර සීමා කිරීම, සහ බදු වැඩි කිරීම වැනි දේවල් ය. විශේෂයෙන් ම නිලධරීන් ගේ බිය හරහා ප්‍රාග්ධන වියදම එක පැත්තකින් සීමා වී ඇති අතර අනෙක් පැත්තෙන් ‘බැංකුවේ සල්ලි තියාගෙන නොකා නොබී සිටින අම්මාගේ’ භූමිකාව නිසා ආණ්ඩුවේ ආයෝජනය හොඳටම අඩු වී ඇත.
කේන්සියානු ආකෘතිය පෙන්වන්නේ “සමාජ ආදායම මගින් පරිභෝජන ශක්තිය වැඩි කිරීම” ය. එහෙත් රජය ඉන්නේ එයට විරුද්ධ පැත්තේ ය. ඇත්තටම නව ලිබරල් ආර්ථිකයේ මේ කෑල්ල (එනම් රාජ්‍ය ආයෝජන අඩු කරන කෑල්ල) ලංකාව වැනි රටවලට ගැළපෙන්නේ නැති බවට උදාහරණ රාශියක් ඇති බව මෙහිදී ප්‍රකාශ කිරීම වැදගත් ය.
එනිසා අවසාන වශයෙන් කිව යුත්තේ 2026 අයවැය පෙන්වන්නේ ආර්ථික පද්ධතිය මූලික වශයෙන් විදේශ ආයතන හා ණය දායකයන්ගේ අභිප්‍රායන්ට ගැළපෙන ලෙස සකසා ඇති බවය. එහි මූලික අරමුණ වන්නේ ජනතාවට සත්‍ය වාසි ලබා දීම නොව, අයවැය දත්ත සම්පූර්ණ කිරීම සහ මූල්‍ය පාලනය IMF සම්මත මට්ටමට ගැළපීම ය. සංක්ෂිප්තව කිවහොත් මෙවර මීළඟ වසරේ අයවැය යනු, “පිරුණු භාණ්ඩාගාරයක් සහ වැහැරුණු ජනතාවක්” නිර්මාණය කරන අයවැයක් යැයි කීමේ වැරැද්දක් නැත.
(***)

2025 නොවැම්බර් මස 04
745
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2400
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සල්ලි කැටේ පිරුණු රටේ අයවැය