මේ රටේ ආර්ථික අර්බුදය අදක ඊයේක ඇතිවූවක් නොවේ. මේ නිසා ආර්ථිකය යළි ගොඩ ගැනීම සඳහා රැඩිකල් තීන්දු ගැනීමේ අවශ්‍යතාව ඉහළ මට්ටමක පැවැතියේය. එහෙත් ගෝලීය වසංගත තත්ත්වයක් නිර්මාණය වූයේ නව ආණ්ඩුව බලයට පැමිණ කිසියම් තීන්දු සංඛ්‍යාවක් ගනිමින් සිටින විටය. ආර්ථිකය පැවැතියේ කවර පක්ෂයක් බලයට පැමිණියත් කිසියම් මාර්ගයක් පෙන්වා දියුණු කළ හැකි සරල තත්ත්වයක ද නොවේ. ඉතාම ව්‍යාකූල තත්ත්වයකය.

කොරෝනා පළමු රැල්ල පැමිණ කිසියම් පාලනයක් වනවිට බලාපොරොත්තු පැවැතියේ නම් දෙවැනි රැල්ල සමග ඒවා ද කඩා වැටුණි. තුන් වැනි රැල්ලෙන් පසුව තත්ත්වය අතිශය නරක අතට හැරුණේය. අද වනවිට මෙය ගෝලීය පරිමාණයෙන් ආර්ථික තලයෙහි පීඩාකාරීත්වයක් ගොඩනගා ඇත. විශේෂයෙන්ම කොරෝනා ප්‍රශස්ත ලෙස පාලනය කළ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවලට පවා කොරෝනා සමග ආර්ථිකය පවත්වාගෙන යෑමේ මාර්ගය දෙස අවධානය යොමුකරන්නට සිදුව තිබේ. ශ්‍රී ලංකාවට අදාළව විමසූ විට අපට මූලිකවම ජාත්‍යන්තරය නොමැතිව හුදෙකලා ගමනක් යා නොහැකි බව පැහැදිලිව ඇත.
ආර්ථිකමය වශයෙන් විදේශීය ආධාර ලබාගැනීමේ දී ආධාර දෙන රටවල් අපෙන් අපේක්ෂා කරන ප්‍රධාන ක්‍රියාවක් වන්නේ දේශීය වෙළෙඳපොළ පෙරලා ඔවුන්ට විවෘත වීමය. ඉතින් අප ආරම්භ කරන විටම බාධක දමා ගත්තොත් විදේශීය වශයෙන් උපකාර ලබාගත හැකි නොවේ. අද වනවිට විදේශගත ශ්‍රී ලාංකිකයන් සැලකිය යුතු පිරිසකට රැකියා නැත. මේ නිසා පිරිසක් නැවත ලංකාවට පැමිණ ඇත. තවත් පිරිසක් රැකියාව තිබුණත් වසංගත බිය නිසා නැවත නොයති. මේ අතර එකී රටවල නව රැකියා උත්පාදනය වන්නේ ද නැත. එහි ප්‍රතිඵලය වන්නේ ලංකාවට විශාලතම විදේශ විනිමය මූලාශ්‍රයක් අහිමි වීමය. ඇඟලුම් කර්මාන්තය සම්බන්ධයෙන් ගත්විට කිසියම් සමහන් බවක් පෙනුණ ද නැවතත් ඊට වසංගත තත්ත්වය හා දේශපාලන කණ්ඩායම්වලින් එල්ල වන පීඩනය සමග එය මුළුමනින් සාර්ථක කරගැනීමට බාධා පැමිණ තිබේ.
සංචාරක කර්මාන්තය සියයට 95 ක පමණ දරුණුම කඩා වැටීමකට භාජන වී ඇත්තේ යළි කවදා ගොඩගැනීමට හැකිවේදැයි අනුමානයක්වත් කළ නොහැකි පරිද්දෙනි.
ඒ අනුව ලංකාවට විදේශීය විනිමය ලැබෙන ප්‍රධානතම මාර්ග තුන දරුණු ලෙස ඇහිරී ඇති බව පැහැදිලිය. මෙම තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ රුපියල සාධාරණ මට්ටමක තබා ගැනීමට නම් අනිවාර්යෙන්ම අපට නැවතත් විදේශ ආයෝජන අවශ්‍ය වේ.
එහිදී ආයෝජන පරිසරය මිත්‍රශීලී කළ ද ආයෝජන කෙරෙන ප්‍රමාණය ද පහළ මට්ටමකට වැටී තිබේ. එවැනි පසුබිමක සිට තරඟ කිරීමේ දී සිදුවන්නේ ආයෝජකයන්ගේ ඉල්ලීම්වලට බොහෝදුරට එකඟ වීමටය. එහිදී වෙනදා තරම් ආයෝජනවලින් ප්‍රතිලාභ අපේක්ෂා කරන්නට ද බැරිය.
එසේ බැලූවිට අවසානයේ රටක් හැටියට අප සිටින්නේ හතරවටින්ම සිර වූ තැනකය.
මේ නිසා ආණ්ඩුකාරක සාධක එසේ තිබියදීම වුව රටේ ආර්ථිකය මේ වළෙන් ගොඩ නැගීමට උරදෙන අයුරින් පෞද්ගලිකව තීන්දු ගැනීමට පුරවැසි දෙවුර මත විශාල වගකීමක් පැට වී තිබේ. එය ‘අපි මේ ආණ්ඩුව බලයට ගෙනාවේ අසවල් අපේක්ෂා පෙරදැරිව නොවේදැ’යි අසන සාම්ප්‍රදායික ප්‍රශ්නයෙන් ඔබ්බට යන භූමිකාවකි. ඊට හේතුව නම් පවතින තත්ත්වයෙහි ආණ්ඩුවේ භූමිකාව සීමාසහිත එකක් වීමය. එහිදී ශ්‍රී ලාංකික පාරිභෝගිකයාට පක්ෂ පාට භේදයකින් තොරව කළ හැකි කාරිය විසල්ය.

ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ලබා දුන් බදු සහන සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්වවලින් විවේචන එල්ල වනු දැකිය හැකිය. එහෙත් ඒ විවේචනවල දී බොහෝ දුරට බැලෙන්නේ කොරෝනා වසංගත තත්ත්වයෙන් පසුව හටගත් ආර්ථික පරිසරයයි. එම ප්‍රවේශයෙහි කිසියම් සාධාරණත්වයක් නැතැයි මට සිතේ. මන්දයත් එකී තීන්දුව කොරෝනා නැති ලෝකයක දී කවර ප්‍රතිඵලයක් ඇති කිරීමට ඉඩතිබුණේ ද යන්න එහිදී සාකච්ඡාවට නොගැනෙන බැවිනි. මේ අතර රාජ්‍ය සේවක වැටුප් ගෙවමින් අධ්‍යාපනය සෞඛ්‍ය ඇතුළු සුබසාධන කටයුතු සඳහා විශාල පිරිවැයක් දරන මොහොතක එය නැවත තුලනය කරන්නේ කෙසේ ද? යන්න ද ගැටලුවක් වී තිබේ.
ජනාධිපතිවරයාගේ කතාවේ අන්තර්ගත වූ පරිදි දේශපාලනයෙන් තොරව මේ දෙස බැලුවොත් සත්‍ය වශයෙන්ම ප්‍රතිඵලයේ වේදනාව සියලු දෙනාටම බෙදාගත යුතු මට්ටමකට රට ළඟා වී තිබේ.
ඊට අප අකැමැති වුවහොත් පැහැදිලිවම රට ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ලොකු ගැටලු පැන නගින්නට ඉඩ ඇත. කොරෝනා සමග ජීවත්වෙමින් වුව රටේ ආර්ථික වටිනාකම් දියුණු වන අයුරින් ගත කරන ජීවිතයක් ගැන සිතීමට පුරවැසියන්ට සිදුවන බව කීවේ එහෙයිනි.
ලංකාවේ කුණු වූ දේශපාලන සංස්කෘතිය තුළ රාජ්‍ය සේවය ශක්තිමත් කර රැක බලා ගැනීම වනාහි පක්ෂ භේදයකින් තොරව බලයට පැමිණි සියලුම ආණ්ඩු ගෙනගිය ප්‍රතිපත්තියයි. එහෙත් මේ දේශපාලනික චින්තනය නිසා රටකට ගෙවන්නට සිදුවන මිල කොතරම් ද යන්න දැන් කාටත් වැටහේ. ඒ අතරේම ඇතැම් රාජ්‍ය ආයතන මේ අයුරින් නොතිබුණේ නම් ජීවන බර, උද්ධමනය අතිශය දරුණු තත්ත්වයකට ගමන් කිරීමට ද හැකියාව තිබිණි. නිදසුනක් හැටියට ඛනිජ තෙල් සංස්ථාව පෞද්ගලීකරණය වී තිබිණි නම් තත්ත්වය කෙසේ වේවිද?
මහ බැංකුව ඩොලරයක් අගය රුපියල් 203ක් යැයි කීවත් ඇතැම් සමාගම් ඩොලරයක මිලදී ගන්නේ රුපියල් 220 හා 224 මිලකටය. කළු වෙළෙඳපොළේ එහි අගය රුපියල් 240ක් පමණ ඉහළය.
මෙවැනි පරිසරයක දුම්රිය හෝ බස් රථ ධාවනය මුළුමනින් පෞද්ගලික අංශයට පැවැරී තිබුණේ නම් ඇතැම්විට පොදු ප්‍රවාහනය සම්පූර්ණයෙන් ඇනහිටින්නට පවා හැකියාවක් ඇත. මූලිකව නිරීක්ෂණයේ දී රාජ්‍ය සේවයේ හොඳ සහ නරක වශයෙන් මෙසේ විග්‍රහ කළත් ඒ ගැන අපට ඊට වඩා ගැඹුරින් සිතීමට සිදුවේ. ඇතැම් රාජ්‍ය ආයතන ගොඩ ගැනීමට ආණ්ඩු මාරු වෙමින් දැරූ උත්සාහයත් ගත් කාලයත් සැලකිල්ලට ලක් කළ විට ඒ ඇතැම් ඒවා කළ හැක්කක් නොවන බව දැන් හොඳටම පැහැදිලිය.
එවිට රාජ්‍ය සේවය ප්‍රවර්ධනය කර ඒවා පවත්වාගෙන යාමට වැඩිපුර බදු ගෙවනවා ද නොඑසේව පෞද්ගලික අංශයේ පරිපාලනයක් යටතේ ඵලදායි සේවයක් සමග ගෙවන බදු ප්‍රමාණය අඩු කරගන්නවා ද කියා මහජනයාට සිතන්නට සිදුවේ.
ඇතැම්විට අදාළ සේවයට වැඩිපුර මුදලක් ගෙවීමට පුරවැසියන්ට සිදුවිය හැකි වුවත් දෛනික ජීවිතයේ දී ගෙවීමට සිදුවන වක්‍ර බදු ප්‍රමාණය අඩුවීමෙන් එහි ප්‍රතිලාභය වෙනත් මාර්ගයකින් ලැබෙනු ඇත. මේ බොහෝ දේවල් ගැන සිතන තැනකට මහජනයා තල්ලු කිරීම අපහසු වී ඇත්තේ රටක ආණ්ඩුවක් සම්බන්ධයෙන් ඇති වැරැදි අවබෝධ නිසාය. සැබැවින්ම ආණ්ඩුවක් යනු කුමක් ද? ආණ්ඩුවක් යනු ලාබ උත්පාදනය කරන ආයතනයක් නොවේ. දේශපාලන පක්ෂ ද ඒ යථාර්ථය නොකියයි.
මේ නිසා සිදුවන්නේ විසඳුම් දිය යුතු තීරණාත්මක ප්‍රශ්නවලට විසඳුම් නොසොයා දේශපාලන වාසි තකා මහජනයාට සීනි බෝල ප්‍රදානයයි.
බලය ලබාගැනීමත් ගත් බලය රඳවා ගැනීමත් ව්‍යාප්ත කිරීමත් දේශපාලනයේ එකම අරමුණ වූ කල රටක අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු නොවේ. මගේ අත්දැකීම් අනුව මේ රටේ ඡන්දදායකයන්ගෙන් සියයට 60 ක් පමණ ඡන්දය භාවිත කරන්නේ තමන් ගෙවන බදු මුදල් සහ ඒවා ආණ්ඩුව භාවිත කළ යුතු ආකාරය ගැන අවබෝධයකින් නොවේ. රාජ්‍ය සේවයේ රැකියා දීම හා බැඳී පවතින මේ රටේ උසස් අධ්‍යාපනය දෙස බැලුවත් මේ දුප්පත් චින්තනය පැහැදිලිය.
වසර ගණනක් රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරියකුට වුවත් අද වනවිට වැටුප තිබෙන්නේ රුපියල් පනස් දහසක වැනි සීමාවේය. ණය ආදී වෙනත් දෑවලට කප්පාදු වී අතට ලැබෙන විට ඇතැම්විට එය රුපියල් තිස් දහසක් වැනි අඩු අගයක් ගනී.
මේ නිසා රාජ්‍ය සේවයට වැටුප් මදි යැයි ද දෝස්මුරයක් තිබේ. අනෙක් අතට ඒ රාජ්‍ය සේවයම රටට බරක් බව කවුරුත් දනිති. මේවා හැමදා සාකච්ඡා කරන්නට ඉඩ තැබීම පසෙකලා අප විමසිය යුත්තේ මේ අවුල ලිහාගන්නේ කෙසේ ද කියාය.
එහිදී මා නොබියව කියන්නේ ඊට අවශ්‍ය දේශපාලනික අධිෂ්ඨානය බවයි. එය කළ හැක්කේ කෙසේද? එවැන්නක් අපට අපේක්ෂා කළ හැක්කේ ඊළඟ මැතිවරණය ජයගැනීම අපේක්ෂා නොකරන පාලන තන්ත්‍රයකිනි.
දිගින් දිගටම බලයේ සිටීම මූලික අරමුණ කරගත් දේශපාලන කණ්ඩායම්වලින් ජනතාව රවටනු මිස රට අගාධයෙන් ගොඩගත හැකි තීන්දු ගනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. ඔවුහු ඊළඟ ඡන්දයත් ඉලක්කය කරගනු ඇති මිසක මහජනයා ගැන නොසිතනු ඇත.
‘බලයේ සිටින විට මොළය නැතැයි ද මොළය තිබෙන විට බලයේ නැතැයි’ ද කතාවක් අප අසා තිබේ. මම කිසිදු දේශපාලන පක්ෂයක් නියෝජනය නොකරන අතර ඒවාට කඬේ ගොසින් ද නැත. රාජ්‍ය හා පෞද්ගලික අංශ දෙකේම ලද අත්දැකීම් සමග මා සිටගන්නේ රටේ හෙට දවස උදෙසා ආර්ථික තීන්දු ගැනීම් සමගය. මගේ ජීවන පැවැත්ම සමග මට රටේ හෙට ගැන සිතා ඡන්දය පාවිච්චි කළ හැකිය.
එහෙත් අවාසනාවට නැවතත් මේ රටේ අතිබහුතර ජන පිරිසකට ඡන්දය දීමට සිදුව තිබෙන්නේ හෙට කන්න දෙන්නේ මොන ආණ්ඩුවදැයි සිතා අද දවස මත යැපෙමිනි. ඊට හේතුව ඔවුන් මත ඇතිකර ඇති ආර්ථික අසරණභාවයයි.
එහෙත් ඔවුන් ඇද දමා ඇති විෂම චක්‍රය බිඳ දැමීකින් තොරව ඔවුන්ගේ දුවා දරුවන්ට හෝ මේ රටට හෙටක් නැති බව දැන්වත් අප තේරුම් ගත යුතුය. මේ කුණු වී ඇති දේශපාලන සංස්කෘතිය ස්ථාපිත වී ඇත්තේ මේ විෂම චක්‍රය නිසා බව අප තේරුම් ගත යුතුය. තරමක් වේදනා විඳ හෝ මේ විෂම චක්‍රය බිඳ දමන්නට රටේ බහුතර සාමාන්‍ය ජනයා කැප විය යුතුය. එසේ නොකොට දේශපාලකයන්ට බැණ වදිමින් සිටීමෙහි ඵලක් නැත. තමන් කැමැති දේශපාලන පක්ෂයට ඡන්දය දීම ප්‍රජාතන්ත්‍රවා දී අයිතියකි. අඩුම තරමින් එසේ ඡන්දය දුන් පසු ජයගත්තේ තමන් අකමැති පක්ෂය නම් ඒ පක්ෂය පරාජය කිරීම එකම අපේක්ෂාව කරගෙන එතැන් සිට කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට යහපත් නැති බව තේරුම් ගත යුතුය.
කවර පක්ෂයකින් වුවත් ප්‍රතිපත්තිමය වශයෙන් රටට හිතැති තීන්දු ගතහොත් ඊට සහාය දෙන්න. දේශපාලන පක්ෂ විසින් ජන සමාජය බෙදා වෙන්කරනු ලබන්නේ යැයි කියයි. එහිම අනෙක් පාර්ශ්වය වන්නේ දේශපාලකයන් විසින් මහජනයා නියෝජනය කරනු ලබන්නේ යැයි කියමින් කරන්නට උත්සාහ කරන්නේ ද පොදුජනයා ඉල්ලන මනස්ගාත බවය.
ආර්ථික විද්‍යාව පැත්තකින් තැබුවත් ජාත්‍යන්තර සහායක් නොමැතිව රටක් පවත්වාගෙන යා නොහැකිය. කොරෝනා වසංගතය පමණක් වුව ඊට නිදසුනකි. විදේශ සහායකින් තොරව අපට එන්නත්කරණය හෝ ඔක්සිජන් සම්පාදනය කරගත හැකිද? ගෑස් හා ඉන්ධන නිසි කලට නොලැබුණහොත් එය කවර ආකාරයකින් අපේ ජන ජීවිතවලට හා පොදු ප්‍රවාහනයට බලපානු ඇතිදැයි අපි හොඳින්ම දනිමු.
එසේ බලද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය ලබාගැනීම යනු යථාර්ථයක් මිස අභිමානය සම්බන්ධ ප්‍රශ්නයක් නොවේ. බහුජාතික සමාගම් වපසරිය නියෝජනය කරද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව යන ආයතන දෙක සමගම මම දශක දෙකක් පමණ ගනුදෙනු කළෙමි. එනිසා දේශීය ආර්ථිකයක් සඳහා වූ යොමුව සමග ජාත්‍යන්තර සහාය ලබා ගැනීමේ අවශ්‍යතාව අනිවාර්ය මම හොඳින්ම දනිමි. එහි දී දැනට අප ව්‍යවසායකත්වය යැයි හඳුනාගෙන ඇති දේ සහ සැබැවින්ම කළ යුතු දේ අතර පරතරය ද තේරුම් ගත යුතුම වේ. නිදසුනකින් පැහැදිලි කළහොත් ගමක යම් පුද්ගලයකු පවුල් විසිපහක් තිහක් ඉලක්ක කරගෙන කුඩා වෙළෙඳසැලක් ආරම්භ කළ විට තවත් එවැනිම වෙළෙඳසැල් කීපයක් ආරම්භ කිරීමට දිරි දීම ව්‍යවසායකත්වයට දිරි දීමක් නොවේ.
වැරැදි ක්‍රමයක් ප්‍රවර්ධනයෙන් සිදුවන්නේ හිස ඔසවන ව්‍යවසායකයන් ගණනට වැඩි පිරිසක් කඩා වැටීම නොවැළැක්විය හැකි වීමය. ජනමාධ්‍යයෙන් වුවද සාකච්ඡාවලට ගන්නේ හිස එසැ වූ ව්‍යාපාරිකයන් කීප දෙනකුය. එහෙත් ඔවුන් අවධානය නොකරන වැදගත්ම දෙය වන්නේ මේ වැරැදි ක්‍රමය නිසා ඒ අතලොස්ස හිස ඔසවද්දී ලක්ෂ ගණනක් ඇද වැටී ඇති බවය. හරි නම් සොයා යා යුත්තේ වැටුණු මිනිසුන්ය. සාකච්ඡාවට භාජන කළ යුත්තේ ඔවුන් වැටුණු හේතුය. සැබැවින්ම උපායමාර්ගික වශයෙන් අප උත්සාහ කළ යුත්තේ රටේ දැනට ඉහළම තැනක පවතින ව්‍යාපාරික සමාගම් ගෝලීය වෙළෙඳපොළේ තරග කරන තැනට තල්ලු කරගන්නේ කෙසේද කියාය. ගෝලීය වශයෙන් ඇති ප්‍රාග්ධනය ලංකාවට ඇදගත හැක්කේ එවිටය. මේ වූ කලී ආදායම හා වියදම අතර පරතරය පවත්වා ගැනීම සම්බන්ධයෙන් වූ නොනිමි අර්බුදය සමග ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට ඊළඟ අයවැය සකසද්දී සිතිය යුතුම අංශයකි.
(*** සටහන - බිඟුන් මේනක ගමගේ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් හොද විග්‍රහයක්. මෙම ලිපියෙහි වඩාත් සිත් ගත් වාක්‍ය වන්නේ මෙය නොවේද "එහිදී ශ්‍රී ලාංකික පාරිභෝගිකයාට පක්ෂ පාට භේදයකින් තොරව කළ හැකි කාරිය විසල්ය". අවාසනාවකට රටේ පුරවැසියන් බහුතරයක් තමන්ගේ ඔලුගේඩිය මත තාබගෙන තිබෙන ඒ ඒ මුසල පක්ෂවල අදහස් අනුව තමන් උපන් රටේ අනාගතය දෙස සාධනීයව බලා "බලයේ සිටින කිනම් හෝ රජයක්" ගන්නා තීන්දු තීරණ වලට විරුද්ධවීම අබාග්‍යකි. අපේ එකා ගන්න ඕනෑම තීරණයක් අපට හොදය... අපට විරුද්ධ එකා ගන්නා ඕනෑම තීරණයකට අප විරුද්ධය. අප රටේ "තිබුන මෙන්ම මේ අවස්තාවෙත් තිබෙන" විපක්ෂය බලයේ සිටින රජයක් ගෙනෙන සෑම යෝජනාවකටම තිරනයකටම විරුද්දවන් රට විනාශ කරන ලේ මාපිලන් කොටසකි. මෙය නොවේද මේ මොහොතේත් අප රටේ තිබෙන අසුචි දේශපාලනය.???
ජනාධිපතිවරයාගේ කතාවේ අන්තර්ගත වූ පරිදි දේශපාලනයෙන් තොරව මේ දෙස බැලුවොත් සත්‍ය වශයෙන්ම ප්‍රතිඵලයේ වේදනාව සියලු දෙනාටම බෙදාගත යුතු මට්ටමකට රට ළඟා වී තිබේ. සියලු දෙනා ??
ඔබ වැනි උගතුන් කියන පැහැදිලි කිරීම් මේ නුගත් දේශපාලුවන්ට හරියට බීරි අලින්ට වීණා ගහනවා වගේ.
එතුමා කියන සුගර් පෙන්වා පොලිටික්ස් බෙදන අයගෙන් තමා පරිස්සම් වෙන්න ඕන.
ලංකාවේ ඡන්ද දායකයන්ගෙන් අතිබහුතරයෙන් ආව අය තමයි මේ.
එය ඉතාමත් සත්‍යයකි. දශක 7 කටත් වැඩි දේශපාලන පක්ෂ රටට කළ දේ ඉතා පැහැදිලිය. ඔවුන් සිය පැවැත්ම කරගෙන ඊළඟ මැතිවරණය ජයග්‍රහණය කරන්නේ කෙසේදැයි සැලසුම් කළහ. අපට ශක්තිමත් ආර්ථික ප්‍රතිපත්ති තිබිය යුතු අතර වෙනස් කළ නොහැකි ජාතික ප්‍රතිපත්ති සම්පාදන ආයතනයක් අවශ්‍යය, රජය වෙනස් වුව ද විවේචනාත්මකව අවශ්‍ය වුවහොත් මිස බාධාවකින් තොරව ජාතික ප්‍රතිපත්ති අඛණ්ඩව කරගෙන යා හැකිය. නමුත් අවාසනාවන්ත ලෙස එවැනි ඒකකයක් තිබීම ගැන කිසිවෙකු කරදර වන්නේ නැත. මේ දිනවල විවිධ උපදේශකයින් විවිධ වෙබ්නාර් ඉලක්ක කර ගනිමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය මෙහෙයවනු දැක ඇත ...
වත්මන් ආණ්ඩුවේ ලොකුම අසාර්ථකත්වය නම් ඔවුන් පැරණි මිලිටරි පුද්ගලයින් සහ සමහර නොමේරූ වෘත්තිකයින් විවේචනාත්මක ආර්ථික ඒකක සඳහා පත් කිරීම ය. ඔවුන්ගේ තීරණ දැඩි ලෙස බලපෑ අතර රජයේ සමහර ඉහළ නිලධාරීන් ද ඔවුන්ගේ ඇතැම් හැසිරීම් හේතුවෙන් අධෛර්යමත් වූහ. බොහෝ දෙනෙකුට මූලික ආර්ථික න්‍යායන් හෝ උපායමාර්ගික දැක්ම නොතේරේ. එසේ නම් වර්තමාන රජයේ ප්‍රතිපත්ති සඳහා ඒ අයට කෙසේ සහයෝගය දැක්විය යුතුද?
විදේශීය ආයෝඡනය සඳහා හිඟාකෑම වෙනුවට ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ පුළුල් වීමට සහ තරග කිරීමට අපේ දේශීය ඉහළ පෙළේ මට්ටම් සවිබල ගැන්වීම සහ දිරිමත් කිරීම විශිෂ්ට දෙයකි.
වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැහැ.
ඉදිරියේ බිහිවන රජයක් යනු ජනතව සමග ඇති කරගන්නනා සාමුහික දේශපාලනික නොවන ප්‍රතිපත්තීන් මත ඇතිවන අවබෝදයක් මගින් ගොඩනගන රජයකි. ලංකා දේශපාලනයට එය අලුත්ම දේශපාලන ක්‍රමවේදයක් හෝ මොඩලයක් වනු ඇතිබවත් ජනතව 100% ඒ සදහා දායකත්වය ලබාදෙනු ඇති බවත් තරයේ විස්වාස කරමු. එම ප්‍රතිපත්තිමය එකග තාවයන් මත වෙනස් කළහැකි දේ බොහෝය. ඇතිකළ හැකිදේ දේ බොහෝය. චන්දය ප්‍රකාශ කොට රට ගොඩනැගීමට වගකීම දේශපාලකයාට බාරදී බලාසිටින යුගයේ අවසනයට අප පැමිණ තිබේ. රට ගොඩ නැගීම වෙනුවෙන් ජනතා කැපකිරීම මත ගොඩනගන රජයක් සදහා ජාත්‍යන්තර සහ යෝගය ලබා ගැනීම ඉතාම පහසුය. වසර 15ක සිටම තරුණයන් ඉල්ලා සිටි වෛරී ජාතිවාදී පටු දේශපාලනයෙන් ඉවත්ව අපි ශ්‍රී ලාංකිකයන් වසයෙන් හදුන්වා දුන් දිනයේසිට ලංකාවට අනාගතයක් බිහිවනු ඇත. එය නුදුරේදීම බිහි කිරීමට මනුෂයන් වසයෙන් විස්වාසයෙන් අවන්කවම කැපවෙමු. මෙයට සහයෝගය දීමට සහ නායකත්වය ලබාදීමට පරිනත බුද්දිමත් නායකයන් අප අතර සිටි.
රවින්ද්‍ර විකල්ප යෝජනා නොමැතිව 225ට වැදී බන බෙදීමෙන් පලක් නොමැත. ඔබගේ අදහස් පලකරනු ලබන්නේ වෛරී දේශපාලනයක පදනම්ව වේ. මෙතෙක් පවතින වෛරී දුෂිත දේශපාලනයට අකමැතිනම් විකල්ප යෝජනා ඉදිරිපත් කරන්න. වෛරී දුෂිත දේශපාලනයට වෛරී දේශපාලන අදහස් පළකිරීමෙන් විසදුම් නොලැබේ. ගින්නට පිදුරු නොදමා ජලය දමන්න. එවිට ඔබටම වෙනස පෙනේවි.
ඔබ වැනි බුද්දිමත් ලෝකය පිළිගත් ව්‍යවසායකයෙක්, ආදර්ශමත් පුද්ගලයෙකු මේ රටේ නායකත්වය බාරගැනීමට ඉදිරිපත්විය යුතුයි. මා පෞද්ගලිකව සිතන්නේ ඔබ මේ රටේ නායකත්වයට සුදුසුම කෙනා බවයි 2024 මගේ බලාපොරොත්තුව එයයි
කිෂූ.ඔබ හොඳ දක්‍ෂයෙක්.විටෙක ටිකක් ආත්මාර්ථකාමී නයෙක්. ඒත් ඔබට හොඳට වැඩ කිරීමේ හැකියාවක් සහ නිර්මාණශීලී මනසක් තියෙනවා.ඔබ සංචාරක අධිකාරියට පත් කරද්දී මාත් මතවාදීව සුළු හෝ සහායක් ඒ සඳහා දුන්නා.ඒ මා ඔබ ගැන කාලයක් තිස්සේ බලා සිට තේර්ම් ගත් දේ නිසයි. මම නායකයෙක් නම් ඔබව දේශපාලනයට ගෙනවිත් ලංකාවේඑ හදවත වන් වෙළඳ හා නාවික අමාත්‍යාංශය ඔබට බාර දෙනවා. බැණුම් අහන්න වෙනවා වුනත් ඔබට රට වෙන්වෙන් කල හැකි දක්‍ෂකම් වලින් ප්‍රයෝජනය ගත යුතුයි. මට මංගල මතක් වෙනවා. හැබැයි පීරුණු මිනීස්සු හරි නිහතමානියි. ජාතීන් හැමෝටම ආදරෙයි.
මේ රටේ දුප්පත් සහ මධ්‍යම පාන්තික ජනතාව මෙතරම් දුක් විදින්නේ මාසිකව ලක්ෂ එක හමාරට වඩා වැඩි වැටුප් ලබන උදවියගෙන් අය කරගනු ලබන අදායම් බදු මුදල ප්‍රමාණවත් නොවීම නිසයි.මෙම ඉහල වැටුප් ලබන සේවකයින්ගේ අත ඇති මුදල් අතිරික්තය නිසාම ඔවුන් තමන්ගේ පන්තිය නඩත්තු කිරීම සදහා මිල අධික සුකෝප භෝගී වාහන ,මිල අධික ජංගම දුරකථන මිල අධික අත් ඔරලෝසු මිලට ගැනීම නිසා මෙරට මුදල් පිටරටට ගලා යෑම සිදු වෙනවා.එවිට ඩොලරය ඉහල යනවා. එවිට බඩු මිල ඉහල යනවා. එතකොට අසරණ මිනුසුන් කබලෙන් ලිපට වැටෙනවා.අන්තිමට බැලුවම පෝසතාගේ මිලදී ගැනීම් වලට දුප්පතා බදු ගෙවනවා වගේ පෙනෙන්නේ.මොකද මිල අධික බාන්ඩ පෝසතා මිලට ගැනීම නිසා දුප්පතාට අත්‍යාවශ්‍ය බාන්ඩ වල මිල ඉහල යෑමයි .මේ නිසා ලක්ෂ එක හමාරට වඩා වැඩි අදායම් උපයන සියලු දෙනාට අධික බදු පනවන මෙන් ඉල්ලා සිටිනවා.
කිෂු ගෝමස් මහතාණෙනි, ඔබතුමාගේ අදහස් ඉතාමත් අගනේය. ඔබතුමාගේ පරිපාලන හැකියාව හා දැනුම් සම්භාරය අපට මහත් ආඩම්බරයකි. පාරදිගේ ටෙලිනාට්‍යයේද, ඔබ විසින් රඟ දක්වනු ලබන විධායක නිලධාරියාගේ චරිතයද අපි ඉතා කැමැත්තෙන් බලමින් රසවින්දනය ලබන්නෙමු. රංගනයේදීද, ඔබට ඇත්තේ සුවිශේෂී ප්‍රතිභාපූර්ණ හැකියාවකි. ඔබතුල ජීවත්වෙන ඒ සුන්දර නිහතමානී මිනිසාට අපි හදවතින්ම ආදරය කරමු.
කිෂූ ගෝමස් මහතා සමඟ සම්පුර්ණයෙන්ම එකඟයි. විදේශීය වෙළෙඳපොළෙන් ව්‍යාපාර ලබා ගැනීමට අපි අපේ ව්‍යාපාර දිරිමත් කළ යුතුයි. තවමත් අපි මෙම සංකල්පය ස්පර්ශ නොකරන අතර රට තුළ ව්‍යාපාරයක් කිරීමට උත්සාහ කරමු. වර්තමාන ආර්ථික පසුබෑමට එය විසඳුමක් නොවේ.
ඔබ ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නුවා හොඳ මහත්මයෙක් වගේම හොඳ මාකටින් ගුරු කෙනෙකි.