මෙරට රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමභාවය, අවිධිමත් බව හා වගකීම් විරහිත බව අනාවරණය කෙරෙන පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. රෝගීව සිට මියගිය තම සැමියාගේ විශ්‍රාම වැටුප පුරා වසර හයක් තිස්සේ ලබා ගැනීමට දුෂ්කර ව්‍යායාමයක යෙදෙන තිදරු මව තමන්ගේ අවනඩුව රටට කියා හෝ සාධාරණය ඉටු කර ගැනීමට ප්‍රයත්නයක් දරන්නීය.
ගලේවෙල, බෙලිගමුව ඔය දෙකකැලේ 60 බී නිවෙසේ පදිංචි තේජාවතී ආරියදාස මහත්මිය තම අවනඩුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, සමෘද්ධි සංවර්ධන අධිකාරිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙන්ම වර්තමාන ජනාධිපතිවරයාටද ලිඛිතව දැනුම් දී ඇතැයි පවසන්නීය. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එම ලිපියට ප්‍රතිචාර දක්වමින් අදාළ අංශ වෙත දැනුම් දී ඇත්තේ ඇයට සාධාරණය ඉටු කරන ලෙසය. එහෙත් සමෘද්ධි සංවර්ධන අධිකාරිය හෝ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හෝ ජනාධිපති ලේකම්වරයාගේ ලිපිය තුට්ටුකට මායිම් කර නොමැති බව ඇය පවසන්නීය.
දියණියන් තිදෙනකුගේ මවක වන තේජාවතී ආරියදාස මහත්මිය මේ වන විට ලී මෝල්වලට ගස් කොටන් ලොරිවලට පැටවීමේ කුලී වැඩ කරමින් යම්තම් දිවි ගැටගසා ගන්නීය. ලොරි රථයකට ‘කොට ලෝඩ්’ එකක් පැටවූ විට ඇයට ලැබෙන රුපියල් 500ක මුදල උසස් පෙළ හදාරණ දියණිය ජීවත් කරවීම සඳහා යොදන්නීය. අගහිඟතා නිසාම තම වැඩිමල් දියණියන් දෙදෙනාම විවාහ කර දුන් බවත් එසේ කළේ පවුල නඩත්තු කිරීමට ආදායමක් නොමැති නිසා බවත් ඇය කියන්නීය.
මේ වූ කලී තේජාවතී ආරියදාස මහත්මියගේ කතාව පමණක් නොවේ. මෙබඳු ඉරණම්වලට ගොදුරු වූ හඬක් නැති මිනිසුන් කෙතරම් සංඛ්‍යාවක් මෙරට සිටින්නේද? තේජාවතී ආරියදාස මහත්මිය ඉල්ලා සිටින්නේ සහනාධාරයක් නොවේ. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගලේවෙල ප්‍රදේශයේ සේවය කරමින් සිටියදී හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගිය ඩබ්ලිව්.ඩී. ලයනල් සෝමතිලක යන සැමියාට අයිති විශ්‍රාම වැටුප වේ.
විශ්‍රාම වැටුප රජයේ සේවකයාගේ අයිතියකි. ඔහුගෙන් පසුව බිරියට, ස්වාමියාට එම විශ්‍රාම වැටුප් හිමිවේ. එය ලබා ගැනීමට රජයේ සේවකයන්, නිලධාරීන් ඉදිරිපිට දණින්වැටිය යුතු නැත. යාදිනි, අඳෝනා, කන්නලව් කළ යුතු නැත. දොළ පිදේනි, සංතෝෂම් ලබා දිය යුතු නැත. ඇඟ මස දන් දිය යුතු නැත. එහෙත් ඒවා බලාපොරොත්තු වන මජරයෝ මේ රාජ්‍ය සේවයේ සිටිති. ඒවා ලැබෙනතුරු ඔවුහු රාජකාරිය නොකරති.
රජයේ සේවකයන්ට, නිලධාරීන්ට වැටුප් ගෙවනු ලබන්නේ රටේ මහ ජනතාවය. ඒ ජනතාව වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කිරීමේ පරම වගවීමක් ඔවුන් සතුව පවතී. එහෙත් මාසේ අන්තිමට ලැබෙන පඩිපත දෙස බලාගෙන වගකීම කර අරින රාජ්‍ය නිලධාරීහු සේවකයෝ සිටිති. මුළු රාජ්‍ය සේවයම ගඳගස්සනු ලබන්නෝ ඔවුහු වෙති.
සැමියාගේ විශ්‍රාම වැටුප ගැනීමට හය වසක් පුරා දුක් විඳින තේජාවතී ආරියදාස මහත්මියගේ කඳුළු කතාවෙන් මෙරට රාජ්‍ය සේවයේ ඇත්ත ඇතුළාන්තය නිරූපණය වන්නේ යයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. වර්තමාන සමෘද්ධි සංවර්ධන අධිකාරියේ, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ලිපි හුවමාරුවලින් දන්වා ඇත්තේ මෙම ආයතන දෙක අතර මනා සබඳතාවක් නොමැතිකම හා ලිපිගොනු නඩත්තුවේදී සිදු වූ අඩුපාඩුවක් නිසා මෙම ප්‍රමාදය සිදු වී ඇති බව අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.
රාජ්‍ය ආයතන අන්තර් සබඳතාව ඉතා ඉහළින් තිබිය යුතුය. එහෙත් නැත්තේද එයමය. මහා මාර්ග දෙපාර්තමේන්තුව මහ මාර්ගය කාපට් කර ගිය පසු ජල සම්පාදන මණ්ඩලයේ සේවකයෝ එම මාර්ගය හාරා ජල නළ එළති. යළිත් මාර්ගය අලුත්වැඩියා කළ පසු විදුලි බල මණ්ඩලයේ සේවකයෝ එම මාර්ගයේ වළවල් කපා කණු සිටුවති. මේ නාස්තිකර දමන්නේ මහජන මුදල්ය. ආයතන අතර මනා සම්බන්ධතාවක් තිබේ නම් මහජන මුදල් මෙසේ කාබාසිනියා වන්නේ නැත. නිදහස ලබා වසර හැත්තෑ දෙකක් ගෙවෙමින් තිබුණ ද පරිපාලන තන්ත්‍රයේ මෙම අඩුපාඩුව සම්පූර්ණ කර ගැනීමට අපට නොහැකි වී තිබේ. රටක් වශයෙන් අප රට තිබෙන්නේ කොතැනදැයි යන්න එමගින් පැහැදිලිය.
රජයේ සේවකයකු විශ්‍රාම ගිය පසු හෝ මියගිය පසු විශ්‍රාම වැටුප යැපෙන්නන්ට ලැබීමේ නිශ්චිත විධිමත් ක්‍රමයක් තිබිය යුතුය. එබඳු නිශ්චිත ක්‍රමයක් තිබුණද උදාසීන නිලධාරීන්ගේ වරදින් එය ක්‍රියාත්මක වන්නේ නැත. තේජාවතී ආරියදාස වැනි අම්මලාගේ ඉරණම මෙසේ කඳුළෙන් ලියැවෙන්නේ නැත මෙරට රාජ්‍ය සේවයට හොඳ මොළයක් තිබේ. ඒ සම්බන්ධයෙන් ‘විවාදයක් නැත. එහෙත් මොළය පමණක් ප්‍රමාණවත් නැත. හොඳ හදවතක් ද තිබිය යුතුය. එළැඹ ඇත්තේ මෙරට රාජ්‍ය සේවයට හොඳ හදවතක් බද්ද කළ යුතුම පැය වේ.
(***)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්‍රාම වැටුප නොමිලයේ ලැබෙන්නක් ලෙස බොහෝ දෙනා සිතුවත් වැටුපින් 1/3 පමණ කැපකොට (රාජ්‍ය අධිකාරියක වැටුප 33 1/3% වැඩියි) හා තවත් 7.5%ක මුදලක් අනත්දරු අරමුදලට දී ලබාගන්නා වූ වසර 10..15 . පමණ භුක්ති විඳිය හැකි (සාමාන්‍යයෙන් පුද්ගලයකු වසර 70 -75ක් පමණ ජීවත්වන නිසා) රාජ්‍ය සේවකයකුට ලැබෙන සොච්චමක් ලෙස නිර්වචනය කිරීම නිවැරදියි. මෙය මූලික අයිතියක් ලෙස ව්‍යවස්ථාපිත විය යුතුයි. අවසන් මොහොතේ තරහ කාරයින් දමන ලෙඩ හෝ අතපසු වීමක් නිසා පරීක්ෂණ අරඹා මියෙන තෙක්ම එය නොලැබෙන්නෝද බොහෝය. මේ නිසා විශ්‍රාම වැටුප කුමන තත්වයක් යටතේවත් අවලංගු කළ නොහැකි ලෙස හා කුමන හේතුවක් නිසා හෝ එහි ප්‍රතිලාභ මාස 06කට වඩා ප්‍රමාද වේ නම් අවසාන වැටුප මත පදනම්ව 75% ක මුදලක් සේවකයාට හෝ කලත්‍රයාට ලැබෙන පරිදි නීති වහාම සංශෝධනය කළ යුතුයි...
මහජන බදු මුදලින් නඩත්තු වන රජයේ ආයතනවලින් මහජනයාට නිසි සේවය නොලැබෙන්නේ ඒ ආයතනවලට තම රාජකාරිය පිළිබඳව වගකීමක් හෝ විනයක් නොමැති වීමෙනි... මේ ආයතනවල නිසිසේවය ස්ථාපනය කිරීමට කළ යුත්තේ, මුලින්ම මේ රාජකාරියට වගකිව යුතු නිලධාරීන් සේවයෙන් පහ කිරීමෙනි...
මම දන්නා කෙනෙකුත් අවුරුදු 6ක් තිස්සේ මේක ගන්න උත්සාහ කරනවා. ජනාධිපති පත් උන ගැනම හදාපු "ජනාධිපතිට කියන්න" කියල තියෙන තැන ඉඳල රාජ්‍ය සේවා කොමිසමේ ඉඳල ඔම්බඩ්ස්මන් දක්වා හැම තැනටම කියලත් වෙච්ච කිසි දෙයක් නැහැ. ඉතාම කනගාටුදායක දෙයක්.
මේ ලිපිය මම දෙපාරක් කියෙව්වා. මටත් මේ දේම වෙලා තියෙනවා. මම විශේෂ කාර්ය්‍ය බලකායේ සේවය කරමින් සිටියදී සිදුවූ අනතුරකින් 100% ක් දුබලවූ කෙනෙක්. විශේෂ කාර්ය්‍ය බලකායෙන් මට දිය හැකි හැම සහනයක්ම දුන්නා. ඒත් විශ්‍රාම වැටුප් දෙපාර්ථමේන්තුව මට හිමි විශ්‍රාම වැටුප ගෙව්වේ අවුරුදු 03 ක් පහුවෙලා. මගේ වැටුප ගෙව්වේ ( 22/93/4 අනුව) අවුරුදු 05 ක් ගතවෙලා. දුබලතා වැටුප ගෙව්වේ අවුරුදු 06 ක් පහුවෙලා. මේවත් නිකම්ම ලැබුනේ නැහැ. ලියුම් 50 ක් විතර ඇරිය. මානව හිමිකම් ගියා. ඔම්බුෂ්මන් වරයා ලගට ගියා. ඒවගේ ප්‍රථිඵලයක් ලෙස තමයි මේවා ලැුබුනේ . නැත්නම් සමහරවිට අදටත් නැහැ. ලිපියට බොහෝම ස්තුතියි. මෙයාලා විශ්‍රාමිකයෝ ගැන හිතන්නේ එයාලා විශ්‍රාම ගියාට පස්සේ . අපේ බොහෝ රාජ්‍ය සේවකයෝ එගෙම තමයි. මෙයාලා හැමෝම එකතුවෙලා රට පස්සට ගෙනයන එක තමයි කරන්නේ.
සෑම දෙපාර්තමේන්තු ප්‍රධානියා ඉල්ලා අස්විය යුතුයි. ඔවුන් එම තනතුරට සුදුසු නැති නිසා. ඔවුන් කාර්ය මණ්ඩලයේ ඵලදායීතාවය නිරීක්ෂණය කළ නොහැකි නම්. කළුතර කලාප අධ්‍යාපන කාර්‍යාලයෙන් ඇගේ පෞද්ගලික ලිපි ගොනුව සොයා ගැනීමට වසර 18 ක් බලා සිටින එක් ගුරුවරියක් මම දනිමි. අධ්‍යක්ෂවරයා හෝ කාර්යාල ප්‍රධානියා කොහේද?
සමෘධි සංවර්ධන නිලධාරින්ට මෑතක් වනතුරු විශ්‍රාම වැටුප් හිමිකම් තිබුනේ නැහැ. ඉතා මෑතකදී එම හිමිකම් දුන්නත් මියගිය පුද්ගලයා වැන්දඹු අනත්දරු අරමුදලට දායකත්වය ගන්නේ නැහැ. මම සත්‍යම සිද්ධියක් කියන්නම්කෝ... ළමයින් සම්බන්ධ දෙපාර්තමේන්තුවක අයෙකුට දායකත්වය සඳහා අයදුම්පත් ඉදිරිපත් කරන ලෙසට දැන්වූවිට, මට ඕවාට සල්ලි නැහැ ඕකෙන් මට ප්‍රයෝජනයක් නැහැ කියලා මග හැරියා. නිලධාරින්ට අනිවාර්ය එම අයදුම්පත් ගත්තේ වැටුප් නතර කරලා මේ අයත් එහෙම කළාද බලන්නකෝ..?
වැන්දඹු අනත් දරු අරමුදලට දායක වෙලාද හොයල බලන්න. සමෟද්ධි අය සමහරු මේවා ගනන් ගත්තෙ නෑ. හැම තිස්සෙම රාජ්‍ය සේවයෙ දොස් දකින්නෙ කරුණු හරියට නොදැනයි.
මගේ විශ්‍රාම වැටුප් ලබාගන්න වසර 14 කට වැඩි කාලයක් ගතවුණා. ඒ විශ්‍රාම දෙපාර්තමේන්තුවේ වරදින් නොවේ. මා සේවය කල දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ නොසලකිල්ලෙනි.
බිරිඳ ට ලැබෙන්නේ වැන්දඹු සහ අනත්දරු අරමුදලෙන් ලැබෙන මාසික දීමනාවක් වන අතර එය විශ්‍රාම වැටුප ක් නොවෙයි. ස්වාමිපුරුෂයාගේ සේවයේ ස්ථිර කොට නැත්නම් සහ අවුරුදු 10 වඩා සේවය කොට නැත්නම් සහ විනය පරීක්ෂණයකව භාජනය වී එය විසඳා නැත්නම් සහ ස්වාමිපුරුෂයා වැන්දඹු සහ අනත්දරු අරමුදලට දායකවී නැත්නම් ඇයට වැටුපක් හිමි නොවේ.