මහරුෆ් මහතා බුදු මැදුර පිරිසුදු කිරීමේ කටයුතුවල නිරත වෙමින්.
ශ්‍රී ලංකාවේ පුංචි අරාබිය ලෙස ප්‍රචලිත වී ඇත්තේ, මූතූර්ය. ත්‍රිකුණාමලයේ දකුණු කොනට වන්නට පිහිටි මූතූර් “පුංචි අරාබිය” ලෙස හඳුන්වන්නේ ඇයිදැයි යමෙකු විමසුවහොත්, ඊට පිළිතුර ලෙස කීමට ඇත්තේ, අරාබිය සිහි ගන්වන්නට මූතූර්හි ඇත්තේ නොව නැත්තේ, ඔටුවන් සහ කාන්තාර පමණක් බවයි.
මූතූර් ජනයා ඒ සංස්කෘතිය හා කොතරම් බද්ධ වී සිටීදැයි කීමට එහි සිටුවා ඇති රටඉඳි ගස්ම ප්‍රමාණවත්ය. වෙනත් ස්ථානවලින් මහත් වියදමක් හා පරිශ්‍රමයක් දරා ගලවා ගෙනැවිත් මෙසේ රටඉඳි ගස් රෝපණය කරනුයේ, පරිභෝජනයට නොව අරාබි සිරි ගන්වන්නට බව අමුතුවෙන් කිව යුතු නැත. එබඳු සන්දර්බයක් තුළ මූතුර් හි බුදු රුවට පෙම් බඳින මුසල්මානු බෞද්ධ උපාසකයකු ගැන අපූරූ කථාවකි මේ,
ත්‍රිකුණාමලය මඩකළපුව ප්‍රධාන මාර්ගයේ පිහිටි මූතූර් 59 කණුව ජින්නා නගර් ගම්මානයේ එකදු සිංහල බෞද්ධයකු හෝ නොමැත. එම ගම්මානය මූළුමනින්ම මුස්ලිම් ජාතිකයන් වෙසෙන ප්‍රදේශයකි. එහෙත්, එම මාර්ගයේ ගමන් කරන ඔබට එම මාර්ගයට යාබදව දැකිය හැකි අපූරු දර්ශනයක් වන්නේ, විදුලි බුබුළුවලින් අලංකෘත වූ හා මනාව නඩත්තු කෙරෙන බුදු මැඳුරකි.

එකදු සිංහල බෞද්ධයකු හෝ නොවෙසෙන මුස්ලිම් ගමක එබඳු අලංකාර බුදු මැඳුරක් තිබිය නොහැකි බැවින්, මෙය මායාවක්දැයි සැක හැර ගැනීමට ඔබ අනිවාර්යෙන්ම මොහොතකට එහි නැවතී එය නැරඹීමට උත්සුක වන්නේය. ඒ සමගම එම බුදු මැඳුරේ වත්මන් රැකවලා ක්‍රියාත්මක වන්නේ, පුරාවස්තු සුරකින බහිරවයකු පරිද්දෙනි.
බුදු මැදුර ඉදිරිපිට නිවැසියා එම බුදු මැදුරේ ආරක්ෂකයා මෙන්ම භාරකරුවා ලෙස පෙනී සිටිමින් ආගන්තුකයා සමග මැදිහත් වී, ඔහු සෑහීමකට පත් වන්නේ නම් පමණක් ඊට ඇතුළුවීමට ඉඩ ප්‍රශ්ථා ලැබෙන්නේය. මේ රැකවලා මුස්ලිම් ජාතික මොහොමඞ් ස්මයිල් මහරූෆ්ය.
පනස්හය හැවිරිදි මොහොමඞ් ස්මයිල් මහරූෆ් ජින්නා නගර් 59 කණුවේ පදිංචි අයෙකි. ජින්නා නගර් ජුම්මා පල්ලියේ, උප සභාපතිවරයා ද වන මහරූෆ් මහතා කලක් මූතූර් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු ලෙස ද කටයුතු කළ අයෙකි.
දක්ෂ ගොවියකු ද වන ඔහු ප්‍රදේශයේ යමක් කමක් ඇති අයෙකු ලෙස ප්‍රකටය. සෑම මුස්ලිම් බැතිමතකුගේම ඒකායන හා අවසාන බලාපොරොත්තුව උතුම් වු මක්කම වන්දනාවයි. මහරූෆ් මහතාගේ බලාපොරොත්තුව වන්නේද, මෙම වසරේ දී උතුම් වු ‘මක්කා වන්දනාව’ සපල කර ගැනීමයි.
මහත් බැතිබර ඉස්ලාම් භක්තිකයෙකු වුවද, අනෙක් ආගම්වලට ගරු කිරීමේ අපරිමිත හැකියාව මහරූෆ් මහතා සතු සුවිශේෂි ගුණයකි. පසුගිය කාලයේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ස්ථාපනය කර තිබු බුදු පිළිම වහන්සේලා ඉලක්ක කර ගනිමින් ම්ලේච්ඡ ප්‍රහාර රැසක් එල්ල වීම හා ඊට අන්තවාදී ආගමික කණ්ඩායම් සම්බන්ධ බවට නැඟෙන චෝදනාව සිසිල් වෙමින් තිබු ත්‍රිකුණාමලය නැවත වරක් ගිනියම් කිරීමට සමත් වීය.
කෙසේ වෙතත්, පොලිසිය හා ආගමික නායකයන් මැදිහත් වී ඇතිවීමට ගිය තත්ත්වය පාලනය කිරීමට සමත් වුවද, ත්‍රිකුණාමලයේ ඉතිරි බුදු පිළිම සියල්ලටම පොලිස් ආරක්ෂාව යෙදවීමට ත්‍රිකුණාමලය ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා කටයුතු කර තිබුණි. එසේ ආරක්ෂාව නොයෙදු ස්ථාන අතරින් ජින්නා නගර් 59 කණුවේ බුදු මැඳුර කැපී පෙනේ.
මහරුෆ් මහතාගේ බිරිඳ බුදු මැදුරේ පිරිසිදු කිරීම්වලට සිය සැමියාට සහය වෙමින්.
1990 වසරේ දී මූතුර් ජින්නා නගර් ප්‍රදේශයේ බලය එල්ටීටීඊ සංවිධානය අතට පත්වීමත් සමග ප්‍රදේශයේ මුස්ලිම් ජනයා කන්තලේ ප්‍රදේශයට පලා යන්නේ, ජීවිතේ හරිහම්බ කර ගත් ගේ දොර හරකබාන සියල්ල අතහරිමිනි. කෙසේ නමුත් යුද හමුදාව මෙහෙයුමක් ආරම්භ කරමින් නැවත ජින්නා නගර් ප්‍රදේශය මුදා ගත්තද, ප්‍රදේශය අතහැර ගිය සාමාන්‍ය ජනයා නැවත ජින්නා නගර් වෙත පැමිණෙන්නේ, තවත් කාලයක් ගතවීමෙන් පසුවය. එසේ පැමිණෙන විට හමුදාව ප්‍රදේශයෙන් කොටි පලවා හැර බලය තහවුරු කර ගෙන තිබුණි.
“අපි ගම දාලා යද්දී කිසිම දෙයක් ගන්න ලැබුණෙ නැහැ. ඒ වෙලාවේ, අපිට තිබුණේ ජීවිතය බේරා ගැනීම විතරයි. අපි කන්තලේ අනාථ කඳවුරේ මාස දෙක තුනක් ඉන්න ඇති. ඊට පස්සේ හමුදාව අපිට ඇවිත් කිව්වා දැන් නැවත පදිංචියට එන්න කියලා. ඒ අනුව තමයි, අපි ආපහු ජින්නා නගර්වලට ආවේ. ඒ එනකොට අපේ තිබුණ ගොඩක් දේවල් කොටි මංකොල්ලා කාලා තිබුණේ. හැබැයි මගේ හැර අනිත් අයගේ ගෙවල් දොරවල් තිබුණා. මගේ ගෙදර තමයි, ඒ දවස්වල ඒ පැත්තෙන් තිබුණ ලොකුම ගේ. අනික තිබුණ තැනත් හරි වටිනවා. ගේ ඉස්සරහ ඇළ. මේ නිසා අපේ ගෙදර තමයි, හමුදා කඳවුර දාලා තිබුණේ. හමුදාව ඉන්න නිසා ගේ ඉල්ලන්නත් බැහැ. යුද්දේ දිගටම තිබුණ නිසා අවුරුදු 26 ක්ම මගේ ගේ හමුදාව පවරගෙන හිටියේ. අන්තිමේ යුද්දේ අවසන් වෙලත් කාලයක් යනකම් හමුදාව හිටපු නිසා අපිට ගෙදරට එන්න බැරි වුණා..”
හමුදා කඳවුර ඉදිරිපිට පිහිටි ඉඩම කුඩා කඳු ගැටයක් සහිත දර්ශනීය භූමි භාගයකි. ඈතින් කෙත් යාය මැදින් ඇස ගැටෙන්නේ_ _සේරුවිල පුදබිමයි. නටබුන් වු ඉපැරැණි දාගැබක ලකුණුද එහි ඉතිරිව තිබු බැවින් හමුදා සෙබළු සිය ශ්‍රම දායකත්වයෙන් කුඩා බුදු මැඳුරක් එහි ඉදි කරන්නේය. මෙසේ කුඩාවට ඉදි කෙරෙන බුදු මැඳුර විවිධ හමුදා රෙජිමේන්තු යටතේ, විවිධ වෙනස්කම්වලට ලක් වෙමින් වසර විසි හයක්ම එම ස්ථානයේ විරාජමාන වන්නේය.
මොහොමඞ් ස්මයිල් මහරූෆ් මහතා බුදු මැඳුර මාවත අමදිමින්.
යුද ගැටුම් මුළුමනින්ම අවසන්වීමෙන් පසු තවදුරටත් හමුදාව රැඳී සිටින තම නිවාස නිදහස් කර දෙන මෙන් ඇතැම් නිවෙසියන් විවිධ ස්වරූපයෙන් ඉල්ලීම් කළ ද, මහරූෆ් මහතා එසේ නොකළේය. අවසානයේ, යුද හමුදාව මහරූෆ් මහතාට ඔහුගේ නිවස භාරදීමේ කටයුත්තෙහි යෙදෙන්නේ, පසුගිය වසරේය.
“හමුදාවේ ලොකු මහත්තයා මට දිනයක් දන්නලා කිව්වා මේ දිනේට එන්න, අපි ඔයාගේ ගේ නැවත ඔයාටම භාර දෙනවා කියලා. මට හරිම සතුටුයි. මොකද? මම මගේ මහගෙදරට එන්නේ, අවුරුදු 26කට පස්සේ. මටයි මගේ නෝනටයි දරුවන්ටයි හරිම සතුටුයි. මගේ දරුවෝ ඒ ගෙදර ඉපදුණා විතරයි.
හැදුණේ වැඩුණේ, පිට ගෙවල්වල. කසාද බැන්දේ නෑදෑ ගෙවල්වල. මම හදපු පොල් ගස් ලොකු වෙලා ගෙඩි පිරිලා තියෙනවා දකිද්දී හරිම සතුටුයි. මම හමුදාවේ ලොකු මහත්තයා කියපු දවසේ මමයි, නෝනයි ගේ භාර ගන්න ගියා. ගෙදර ලියකියවිලි ඔක්කොම භාර දීලා හමුදාවේ ලොකු මහත්තයා කිව්වා, මහරූප් නානා. මේ ගමේ බෞද්ධ අය නැහැනේ. ඒ නිසා අපි මේ බුදු මැඳුර ගලවාගෙන යන්නම් කියලා. එහෙම කියපු ගමන් මට ඒ බුදු මැඳුර දිහා බැලු_ණා. ඒක අවුරුදු 25කට වැඩියේ මෙතැන තිබිලා ගලවා ගෙන ගියහම, මේ ගමට ඒක ලොකු අඩුවක් වගේ දැනෙයි නේද කියලා මට හිතුණා. ඒ නිසා මම සෑර්ට කිව්වා ඒක ගලවාගෙන යන්න එපා. මම ඒක රැක බලා ගන්නම් කියලා. මුලදී ලොකු සෑර් ඒකට එච්චර කැමැත්තක් දැක්කුවේ නැතත්, පස්සේ මගේ බල කිරීමට බුදු මැඳුර එතැනම තියන්න කැමති වුණා. ඒ විතරක් නෙවෙයි, ගමේ අයත් මගේ තීරණේට එක පයින් කැමති වුණා.”
මහරූෆ් මහතාගේ ඉල්ලීම මත යුද හමුදාව වසර විසිහයක් මුළුල්ලේ සෙවණ සැලසු එම නිවසින් පිටව යන්නේ, බුදු මැඳුර පමණක් එහි ඉතිරි කොටය. මහරූප් මහතා මුලින්ම කළේ, හමුදාව රැදී සිටි සිය නිවස අලුත්වැඩියා කිරීම පසෙකලා දුර්වර්ණව පැවැති බුදු මැදුරෙහි තීන්ත ආලේප කිරීමයි.
“ඒ වෙන කොට බුදු මැඳුරේ තීන්ත පිච්චිලා ගිහින් තිබුණේ. මම උදේ හවා දකින්නේ මේ බුදු මැඳුර. සමහර දවස්වලට ඈත වන්දනාවේ යන බස් මෙතනින් යද්දී, පන්සල දැකලා ඇවිත් මල් තියලා පහන් පත්තු කරලා යනවා. මට හිතුණා, පන්සලට තීන්ත ටිකක් ගාන්න ඕනැ කියලා. ඊට පස්සේ, මම ගමේ කොල්ලො දෙතුන් දෙනෙකුත් එකතු කර ගෙන තීන්ත ගෑවා. මම සල්ලි වියදම් කළා. තීන්ත ගෑවහම පන්සල හරිම ලස්සනයි. රෑට ලයිට් දාලා බැබළි බැබළි බුදු පිළිමේ පෙනෙද්දී මගේ හිතට හරි සතුටුයි. මේ පාරෙන් යන වාහන මෙතැන නතර කරලා විස්තර අහලා මට පිං දීලා යනවා. ඒ වගේ සතුටක් සල්ලිවලටවත් ගන්න පුළුවන්ද?” මහරුෆ් මහතාගේ හදවතේ උතුරා යන සතුට අපගේ හැඟීම්බර කරවන්නේය.
හැම දිනකම උදය වරුවේ බුදු මැදුර ඇමදීම මහරූෆ් මහතාගේ දින චර්යාවේ එක් කොටසකි. ඊට ඔහුගේ බිරියද විටක අනාරාධනයෙන්ම සහය වන්නීය. සෑම හවසකම බුදු මැඳුරේ විදුලි පහන් දල්වා සිය නිවසේ ඉස්තෝප්පුවේ වාඩී වී ඒ දෙස පැයක් දෙකක් බලා හිඳීම මහරුෆ් මහතාගේ පුරුද්දක් බවට පත්ව තිබේ. මේ වන විට ත්‍රිකුණාමලයේ බොහෝ බුදු පිළිමවලට පොලිස් ආරක්ෂාව යොදවා ඇතත්, පොලිස් ආරක්ෂාවක් නැති එකම බුදු පිළිමය මෙය බවට සැකයක් නැත.
අල්ලා දෙවියන්ගේ බැතිබර අනුගාමිකයකු ලෙස තමන් අයත් නැති ආගමක පිළිරුවකට එසේ ගෞරව කරන්නේ ඇයි දැයි ඔහුගෙන් විමසු විට මහරූෆ් මහතා දෙන්නේ, අතිශය සරල පිළිතුරකි.
ඒ “දෙවියෝ ඔක්කොම එකයි...” යන්නයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක ඇත්ත මහරුෆ් මහත්මය අපි කරන කියන දේවල් විතරයි අපි ගෙනියන්නේ ඒක සමහර අය දැනගෙන නොදන්නවා වගේ වැඩ කරනවා ඔබට බුදුසරණයි අල්ලාහ් දෙවි පිහිටයි. (ර)
මේ මිනිස්සු අවුරුදු ගානක් ගෙවල් දොරවල් නැතිව ඉදල තමයි ඔය දැන් ඉන්න ගෙදරට එන්නේ. මේකටත් අපේ සමහරු කියාවිද දන්නේ නැහැ බලෙන් පදිංචි කරනවා කියලා. (ර)
මෙන්න සහජීවනය පන්සල් කඩන්න හදන නඩය සහ පල්ලි කඩන්න හදන නාඩයට මේ මනුස්සය හොද උදාහරණයක්. (ර)
මොහොමඩ් මහරුෆ් උපාසක මහතාට කවදා හෝ නිර්වාණය අවබෝධ වේවා! (නි)
මුස්ලිම් මිනිස්සු ත්‍රස්තවාදින් කියලා, ISIS කාරයෙක් කියන අයට හොද ආදර්ශයක්. (ර)
කාට කටත් හොඳ ආදර්ශයක්. (ර)
ඔබ වැනි අය මෙවන් සමාජයකට හොද ආදර්ශයකි. (ර)
අපි දැක්ක සමහර බුදු පිළිම කඩන්න අපේ සමහර අය සම්බන්ධ වෙලා තිබුන කියලා මොකද ඒ ගොල්ලෝ යැපෙන්නේ මේ ජාතින් දෙක අතර විරසකය වැඩිවෙන තරමටයි . ඔබ වැනි අය කරන දේවල් නිසා මේ විරසකය නැති වේනවා කියලා හිතනවා. (ර)
බුදු මැදුර රකින මේ මිනිසා අපේ කාලයේ සහජීවනයට හොදම උදාහරණයයි. වසර දහස් ගණන් මුස්ලිම් මිනිසුන් විනාශ නොකර සිටි බාමියන් බුදු පිළිමය තලෙබාන්වරු විනශ කළේ මන්දැයි අපටද පුදුමයි. ඔබට බාරයි නිගමනය (නි)
මෙතුමාට හදවතින්ම ගරු කරනවා.නැගෙනහිර බුදුපිළිම කැඩුවට පුරාන විහාරවලට අනන්ත හානි කළාට අපි එක පල්ලියක්වත් කැඩුවේ නැතිබව කියන්නේ සතුටිනි. (අ)
හොද ආදර්ශයක්, හැමෝටම මේ විදිහට හිටන්න පුළුවන් නම් ගොඩක් ප්‍රශ්න නෑ (ම)
සමගිව විසු ශ්‍රී ලාංකික මුස්ලිම් අවසාන පරම්පරාව...!! (අ)
ඔබට බුදු සරණයි! ඔබ වැන්නවුන් අන්තවාදීන්ට හොඳ පාඩමක් (නි)