IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


පක්ෂවල වගකීම දැන්වත් ඉටුකරන්න

දේශපාලන පක්ෂවල අරමුණ රට පාලනය කිරීම සඳහා ජනතාවගෙන් බලය ලබා ගැනීමය. එසේ බලය ලැබුණු විට හරියාකාරයෙන් රට පාලනය කිරීම බලය ගත් පිරිසේ අරමුණය. විපක්ෂයට ගිය දේශපාලන පක්ෂවල වගකීම වන්නේ ආණ්ඩුව නිසියාකාරයෙන් වගකීම ඉටු කරන්නේදැයි නිරීක්ෂණය කිරීමය. විපක්ෂයේ වගකීම වන්නේ ආණ්ඩුවේ සියල්ලටම විරුද්ධවීම නොවේ. යහපත් දෙයට සහාය වීම මෙන්ම අයහපත් දෙයට විරුද්ධවීම විපක්ෂයේ කාර්යභාරයට අයත්ය. ඒ අර්ථයෙන් ගත් කල්හි ඉතිහාසයේ අන් කවරදාටත් වඩා වගකීමක් මේ මොහොතේ විපක්ෂයට පැවරී තිබේ.

අද රට පාලනය කිරීමට සිටින්නේ ජනාධිපතිවරයා පමණි. අගමැතිවරයා ඉල්ලා අස්විය. අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමත් සමඟ කැබිනට් මණ්ඩලයද අහෝසි වී ගියේය. මෙහෙම ගියොත් රටම අඩාල විය හැකිය. අරාජිකත්වය යනු මෙයම විනා අන් යමක් නොවේ. අරාජිකත්වය තරම් රටකට හතුරු තවත් අනතුරක් නැත.

අන්තර් පාලනයක් සඳහා ජනාධිපතිවරයා විපක්ෂයේ සියලු පක්ෂවලට ආරාධනා කළේය. විපක්ෂයේ ප්‍රතිචාරය වූයේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් ඉල්ලා අස්විය යුතු බවය. විපක්ෂයේ එම ඉල්ලීම්වලින් ඉටුවී නැත්තේ එකක් පමණි. එනම් ජනාධිපතිවරයා ඉල්ලා අස් නොවීමය. සැබැවින්ම ජනාධිපතිවරයා ඉල්ලා අස්වුවහොත් තවත් අතුරු ප්‍රශ්න රැසක් නිර්මාණය කරනු ඇත. මෙය තේරුම් ගැනීම විපක්ෂයේ පක්ෂවලට හැකියාව ඇත. එහෙත් නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයකුත් තවත් ටිකක් සොයන්නට යාම රට වැටී ඇති අනතුරුදායක තත්ත්වය අමතක කිරීමකි. එසේ කිරීම ඒ ඒ පක්ෂවලට ඡන්දය දුන් ජනතාවට මෙන්ම පොදුවේ රටට කරන අපරාධයකි. නිගරුවකි. එමෙන්ම දැන දැනම වගකීම අමතක කිරීමකි.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකත්වයේ මෙන්ම විද්වතුන්ගේ උගතුන්ගේ හා වෘත්තීයවේදීන්ගේ ඉල්ලීම වූයේ ද සියලු පක්ෂ ඒකාබද්ධ වූ සර්ව පාක්ෂික ආණ්ඩුවකට යාමය. මෙහි ඇති ප්‍රධානම කාරණය වන්නේ මතුව ඇති අර්බුදයට විසඳුම තිබෙන්නේ අරගල බිම්වල නොවන බවය. අර්බුදයට විසඳුම නිර්මාණය කරගත හැකිවන්නේ පාර්ලිමේන්තුව තුළින්ය. එනම් රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්වය.

රටපුරාම අරගල බිම් ඉදිවී තිබේ. එම අරගල බිම්වලින් නැගෙන එක් සටන් පාඨයක් වනුයේ ‘225ම එපා’ යන්නය. එය දේශපාලනික ප්‍රකාශනයකි. ජීවිතය අහිමිව අපාදුක් විඳින ජනයා තම වේදනාව පිටකර හරිනුයේ එසේය. එහෙත් එය යථාර්ථය නොවේ. පවතින වටපිටාව තුළ මැතිවරණයකට යාමේ හැකියාවක් මෙන්ම වත්කමක්ද නැත. මෙම යථාර්ථය ජනතාවට වටහා දීමේ වගකීමක් සෑම දේශපාලන පක්ෂයකටම තිබේ.

අරගලකරුවන්ගේ ඉල්ලීම්වලට සාධාරණ ප්‍රතිචාරයක් නොදී පාර්ලිමේන්තු විසඳුමකට ද යා නොහැකිය. එසේ වීමෙන් සිදුවන්නේ සටන් බිම් තව තවත් ගිනියම් වීමය. එය සිසිල් කිරීමට නම් අරගල කරුවන්ගේ ඉල්ලීම් වලට සාධාරණය ඉටු විය යුතුය. මේ වනවිටත් එම සාධාරණය ඉටු වී තිබේ. එනම් අගමැතිවරයා ප්‍රමුඛ ඇමැති මණ්ඩලය ඉල්ලා අස්වීමය. මෙතැන් සිට විසඳුම වෙත යා යුත්තේ පාර්ලිමේන්තුවේ පිවිසුමෙනි.

රට තිබෙන්නේ ගිනි කන්දක් මතය. මෙම ගිනි කන්ද විවිධ ස්වරූපවලින් පුපුරා යමින් තිබේ. මේ මොහොත වනවිට ඒ වෙනුවෙන් සෑහෙන වන්දියක්ද ගෙවා අවසන්ය. සැබැවින්ම තවත් ගෙවීමට වන්දියක් ඉතිරි වී නැති තරම්ය.

දේශපාලන පක්ෂවල මතවාදී වෙනස්කම් තිබේ. ප්‍රතිපත්තිමය විසඳුම් තිබේ. ඒ සියල්ලම සත්‍ය වේ. එහෙත් රටට ඇවැසි මොහොතකදී ඒ සියල්ලම අමතක කර පොදු න්‍යාය පත්‍රයකට එකඟ විය යුතුය. එම එකඟතාව සදාකාලික වූවක්ද නොවේ. රට අර්බුදයෙන් මිදීම සඳහා යම් පදනමක් දමා ගැනීමට සමත්වනතුරු කෙටි කාලයකට එම එකඟතාව ඇති කර ගත හැකිය. එම කාලය තුළදී ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර ගත හැකිය. එමෙන්ම විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ඇතුළු ව්‍යවස්ථාමය සංශෝධනවලට යා හැකිය. එමෙන්ම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ කරගත හැකිය.

අතිශයින්ම දුෂ්කර අවදානම් සහගත හා අවාසනාවන්ත තත්ත්වයක් හමුවේ වුවද රටට බලගතු ජයග්‍රහණ නිර්මාණය කරගත හැකි කදිම අවස්ථාවක් උදාවී ඇත. මෙම තත්ත්වය මඟ හැර යාමට කිසිවකුට අයිතියක් නැත. රට ඉල්ලන දේ ලබාදිය නොහැකි නම් එම දේශපාලන පක්ෂවලට හිමිවන්නේ ඉතිහාසයේ කුණු බක්කිය වේ. එම ඉරණම වෙනස් කිරීමට අවශ්‍ය බලපෑම දසතින්ම රටේ පුරවැසියන්ගෙන් මතුවිය යුතුය.

 

(***)



අදහස් (0)

පක්ෂවල වගකීම දැන්වත් ඉටුකරන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 276 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 802 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1217 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site