වර්තමානයේ බුදු සසුන වෙනුවෙන් සිදුකරනු ලබන විශිෂ්ටතම කාර්යභාරයක් ලෙස නම් කරමින් ත්‍රිපිටක සංරක්ෂණ පනතක් දැනට නීති කෙටුම්පත් අංශයේ කෙටුම්පත් වෙමින් පවතින බවට පුවත්පත් ලිපියක දුටිමි.
අනාගත පරපුර වෙනුවෙන් ත්‍රිපිටකය, අට්ඨකථා හා ටීකා ආරක්ෂා කොට තැබීම සඳහා නෛතික රැකවරණය සැලසීමත් ත්‍රිපිටක මූලාශ්‍ර වෙනස් කිරීමට නොදී ආරක්ෂා කොට තැබීමත් එහි මූලික අරමුණු ලෙස පෙන්වා ඇත. මෙම ක්‍රියාව අතීතය හා සම කරමින් එකල ධර්මධර විනයධර මහා යතිවරු සහ සැදැහැවත් බොදුනුවන් යුද කෝලාහල, දුර්භික්ෂ ආදී සියලු බාධක මැද ත්‍රිපිටකය රැක ගැනීම සඳහා සිදුකළ අප්‍රමාණ කැපකිරීම පෙන්වා දෙයි.

එකල ජීවිත පරිත්‍යාගයෙන් ධර්මය විනය රකිමින්, තථාගතයාණන් වහන්සේගේ අණ පිළිපදිමින් නිවන් මඟ ගිය භික්ෂූන්ගේ අප්‍රමාණ ශාසනික මෙහෙය මෙකල ත්‍රිපිටක පනත ගෙන එන මණ්ඩලයේ සාමාජිකයනට අතිශයෝක්තියෙන් ආරෝපණය කිරීමක් එම ලිපියෙන් පෙන්නුම් කරන නමුත්, එකල මෙන් ත්‍රිපිටක ග්‍රන්ථ රැක ගැනීමට ඉතා වෙහෙසක් මෙකල ගත යුතු ද? මුඛ පරම්පරාවෙන් ගෙන ආ ධර්මය මනාව දත් සිවිපිළි සිඹියාපත් අරිහතුන් වහන්සේලා සාගතයනට ගොදුරු වීම, විවිධ විදේශීය ආක්‍රමණ, පුස්කොළ පොත්වල ලියූ ත්‍රිපිටක ධර්මය ජරාජීර්ණය වීමෙන් නිරතුරුව නැවත නැවත ලිවීමට ඕනෑ වීම ධර්මය හැදෑරීමට සියලු පිටපත් එක් තැනක නොතිබීම වැනි කරුණු හේතුවෙන් ධර්මය හැදෑරීමට සහ ආරක්ෂා කිරීමට මහත් වෙහෙසක් ඕනෑ විය. එහෙත් මෙකල තාක්ෂණය දියුණුය.
උදාහරණයක් ලෙස බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථවල මූල පිටපත් ඕනෑම අවස්ථාවක බෞද්ධ පොත් සාප්පුවකින් හෝ අන්තර්ජාලයෙන් ඉතා සුළු වේලාවකින් ඕනෑම අයකුට භාවිත කිරීමට, ලබාගැනීමට හැකිය. එබැවින් ත්‍රිපිටකය ආරක්ෂා කිරීම පිණිස මේ කියනා තරමේ මහ ලොකු මහන්සියක් අනවශ්‍යය. එකම අවශ්‍යතාව මහජනයා හට ධර්මය හැදෑරීම පිණිස ඒවා බාගත කළ හැකි නිල වෙබ් අඩවියක් සහ ත්‍රිපිටක ග්‍රන්ථවල නාමයන් ප්‍රසිද්ධ මාධ්‍ය තුළින් දැනුම්වත් කිරීම පමණි. අවශ්‍ය නම් ඒ පොත් හැර අනෙක්වා ථේර බුද්ධ භාෂිතය ලෙස පරිහරණය නොකරන ලෙස ඉල්ලීමක් කළ හැක.
රහතන් වහන්සේලා සජ්ඣායනා කළ ධර්මය අඩංගු බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ භාවිත කරන්නේ ද නොකරන්නේ ද යන්න ජනතාව විසින් ගත යුතු ස්වාධීන තීරණයකි. මන්ද තම තමන්ගේ නිවන පිළිබඳව තීරණ ගැනීම තමන් සතු අයිතියක් මිස එය මණ්ඩලයකින් තීරණ ගත යුත්තක් නොවේ.
කරුණු එසේ වුව ද ඉහත සඳහන් කළ ආකාරයේ නිල නිවේදනයක් මෙතෙක් ත්‍රිපිටක මණඩලයෙන් සිදු වී නොමැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වැනි වගන්තිය වන, “බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය.” කියනා කරුණ ගෙනහැර පෑමෙන් ත්‍රිපිටක මණ්ඩලය, රාජ්‍ය පාලකයන්ව ඒ සඳහා නම්මවා ගන්නට ඇත.
මහා පරිනිබ්බාන සූත්‍රය: භික්ෂු අපරිහානී ධර්ම
මහණෙනි, යම් තාක් මහණහු නොපැනවූවක් නොපනවන්නාහු ද, පැනවූ දෑ නොසිඳින්නාහු ද, පැනවූ තාක් සිකපද සමාදන්ව ගෙන පවත්නාහු ද, ඒ තාක් මහණුනට වැඩීමම බලාපොරොත්තු විය යුතුයි, පිරිහීම නොම බලාපොරොත්තු විය යුතුයි.
යාවකීවඤ‍්ච භික්ඛවේ, භික්‍ඛු අපඤ‍්ඤත‍්තං න පඤ්ඤපෙස්සන්ති, පඤ්ඤත්තං න සමුච්ඡින්දිස්සන්ති, යථාපඤ්ඤතේතසු සික්ඛාපදේසු සමාදාය වත්තිස්සන්ති, වුද්ධියේව භික්ඛවේ, භික්‍ඛූනං පාටිකංඛා නෝ පරිහානි http://(https://bit.ly/3wEUqqT)
තුන් කල් නියත සම්බුදු වදනේ අදහසට අනුව මේ පනත ගෙන ඒමෙන්, භික්ෂූන්ගේ අධිගමනයන්ට පත්වීමේ පරිහානියක් සිදුවේ. ඒ වාගේම, බුද්ධ සාසනයෙත් පිරිහීමක් මෙයින් බලාපොරොත්තු විය යුතුය. එහෙම නම්, ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයේ මූල ඉලක්කය මෙම පනත ගෙන ඒමෙන් ඉටු නොවෙන බව බුදු වදනට අනුව පැහැදිලිය.
රජය පැත්තෙන් බැලුවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් “බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම” කියන කාරණය පනත සම්මත වීම නිසා සිද්ධ නොවෙන බව මේ අනුව කීමට හැකිය.
වෙනත් විදිහකට කියනවා නම් රජය මෙම පනත ගෙන ඒමෙන් බුද්ධ ශාසනය අනාරක්ෂිත බවට සහ පිරිහීමකට බඳුන් වීමක් සිද්ධ වේ. රාජ්‍ය මට්ටමේ සිට පහළම යාන්ත්‍රණය තෙක් පනත ක්‍රියාත්මක කළ අය, අණ දුන් අය, උදව් කළ අය සහ වර්ණනා කළ සියලු දෙනා බුදු අණ කැඩීමේ වරදට හවුල්කාරයෝ වෙති. එහි ප්‍රතිඵල නම් බොහොම දරුණු විපාක වේවි.
අරිහතුන් වහන්සේලාගෙන් පැවත එන ත්‍රිපිටක ග්‍රන්ථ බොදුනු සැමගේ මුදුන් මල්කඩ බව සියලු දෙනා අවිවාදයෙන් පිළිගන්නකි. “ථේරවාද සම්ප්‍රදාය තුළ පිහිටා සිටිව්!” යැයි කියමින් ත්‍රිපිටක මණ්ඩලයේ භික්ෂුන් වහන්සේලාම පනත් ගෙනෙමින් දණ්ඩන පනවමින්, ඒවාට රුකුල් දෙමින් දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ භික්ෂු අපරිහානි ධර්මයනට වක්‍රාකාරයෙන් නිග්‍රහ කිරීම, අවමන් කිරීම, අයථා භාවිතය, සාවද්‍ය ලෙස අර්ථ නිරූපණය කිරීම සිදුකරයි. එය ථෙරවාද සම්ප්‍රදාය අතික්‍රමණය කිරීමකි. මේ කරන්නට යන්නේ කක්කුට්ටන්ගේ වැඩකි. එබැවින් උන්වහන්සේලා මනා නිග්‍රහයට සුදුසු බව කිව යුතුය.
බැරි වෙලාවත් මෙම පනත සම්මත වුවහොත් ථෙරවාදී සම්ප්‍රදායට අනුගත නොවීමේ වරදට අන් අයට පෙර එහි මුල්ම දඬුවම උන්වහසේලාටම ලැබිය යුතුය.
රාජ්‍ය නීතියට අනුව, මේ පනත 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ: සිතීමේ නිදහස, හෘදය සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස යටතේ, 10. සෑම තැනැත්තකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ හෝ ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේය යන්නද, භාෂණයේ, රැස්වීමේ, සමාගමයේ, රැකියාවේ සහ යාම් ඊම් යනාදියේ නිදහස යටතේ 14. (1) සෑම පුරවැසියකුට ම - (අ) භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට; (ඉ) එකලාව හෝ අන් අය හා සමග, ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම, ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්, පිළිපැදීමෙන්, ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට; (ඊ) එකලාව හෝ අන් අය හා සමග හෝ ස්වකීය සංස්කෘතිය භුක්ති විඳීමේ හා වැඩි දියුණු කිරීමේ නිදහසට සහ ස්වකීය භාෂාව භාවිත කිරීමේ නිදහස ආදී මූලික මානව ආයිතිවාසිකම් මෙම ත්‍රිපිටක සංරක්ෂණ පනතෙන් කඩවෙන්න බොහෝ දුරට ඉඩකඩ තිබිය හැකිය.
අත්තනෝමතය හිස තුළ පුරවාගත් අදූරදර්ශී මෝඝ භික්ෂු කණ්ඩායමක් විසින් සැකසූ මෙම පනත බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් මෑත ඉතිහාසයේ සිදුකළ විශේෂතම කාර්යභාරය ලෙස ඇගයීම කෙසේ වෙතත්, චින්තන නිදහස ගරු කරන බුදු දහමටත්, මානව හිමිකම් අගයන ලෝක රාජ්‍යයන්ගෙන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී රජයට ඇති පිළිගැනීමටත්, විදේශයන්ගෙන් මෙරට භික්ෂුව කෙරේ ඇති ප්‍රසාදයටත්, කළු පැල්ලම් ඇති කිරීමටත් මෙම අධර්මානුකූල ත්‍රිපිටක සංරක්ෂණ පනත රුකුලක් වන බව නම් නොඅනුමානය.
ත්‍රිපිටක ධර්ම ගවේෂී - එරංග ලියනගේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ බුද්ධ ධර්මයට විකෘති අර්ථ ඉදිරිපත් කර සැබෑ අර්ථ යටපත් කිරීමක් මෑත කාලයේ බහුලව සිදුවෙනවා. එය වැළැක්වීමට රාජ්‍ය පාලනය පැත්තෙන් නීති තිබීම සුදුසුයි.
ඉතාමත් වැදගත් සටහනක්. සංගායනා සිදුකරන ලද්දේ අරිහතුන් වහන්සේලාගේ සහභාගිත්වයෙන්. එම උත්තමයන් වහන්සේලා ධර්ම මාර්ගයේ ගමන්කර අරිහත්පලය ශාක්ෂාත් කරගත් උත්තමයන්. දැන් මේ සංරකෂණ මණ්ඩලයට පත්වන අය අඩුම තරමේ සෝවාන් මාර්ගයේවත් ගමන්තරන අයද? එවැනි අය ධර්මය විග්‍රහ කිරීමේදී මේ ශ්‍රේෂ්ට ධර්මය සංකෝචනයක් නොවනු ඇති බවට ඇති සාධක මෙනවාද? ත්‍රිපිටකය සංරකෂණයට අපගේ කිසිම විරැද්දත්වයක් නොමැත. ඒ සදහා අවශ්‍ය නම් කොපිරයිට් නීතියද භාවිතාකල හැක. ඊට අමතරව ඉදිරි කාලයකදී මෙම සංරක්ෂණ මංඩලවල සියිනා අය කරන අර්තදැක්වීම් ධර්මය ලෙස ( නීති අර්ත දැක්වීමේදී මෙන්) භාවිතාවට යා හැක. නමුත් සංරක්ෂණය ඉදිරියේ තබාගෙන මේ කරනා නාඩගම් වලින් සිදුවන්නේ දහම අකාලයේ මිය යාමට උදව් කිරීමකි. අපගේ දූදරැවන්ටද මෙම ධරිම මාර්ගයේ ගමන්කර මේ සසරින් එගොඩවීමට මග හෙලිපෙහෙලි කර තබත්වා.
මේ නාඩගම්වලට කලින් මිත්‍යා දෘෂ්ඨිකයින්ගෙන් ආගම බේරාගනිමු.
පසුගිය වසර දහයක පමණ කාලයක තමන් රහත් යැයි කියාගන්නා යම් පිරිසක් විසින් ත්‍රිපිටකයේ සඳහන් කරුණුවලට පටහැනි යම් යම් කරුණු බුද්ධ දේශණාව ලෙස සමාජගත කිරීමටත්, එම විකෘත අදහස් ත්‍රිපිටකය ලෙස මුද්‍රණය කිරීමටත් උත්සාහ කරන ලදී. මේ නිසා බොහෝ ධර්මධර, විනයධර භික්ෂූන් වහන්සේලා මුද්‍රිත ත්‍රිපිටකයට යම් නීතිමය ආරක්ෂාවක් සැලසීම කාලීන අවශ්‍යතාවක් බව ඉතාම දූරදර්ශීව අවබෝධ කරගෙන සිටීම ඉතාම වටිනා කරුණකි. මෙසේ ත්‍රිපිටක ධර්මය විකෘති කිරීම වැළැක්වීමට ගන්නා නීතිමය උත්සාහයන් කතා කිරීමේ නිදහස නැවැත්වීමක් ලෙස හෝ වෙනත් රටවල උදහසට ලක්වේ යැයි කීම නම් ඉතාම බොළඳ අදහසක් බව නොකියාම බැරිය.
ඔය කියන සංරක්‍ෂණ පනත බුදුදහම විකුණන් කන, බඩගෝස්තරවාදී, දේශපාලන හෙංචයියන් කීපදෙනෙක් එකතුවෙලා කරන එකක්..
ලවුඩ්ස්පීකර් මහා සද්දෙට දාලා උදේ, සවස අහල පහළ ගෙවල්වල මිනිසුන්ට හිරිහැර කරන අයට නීතිය ක්‍රියාත්මක වන්නේ කවදාද?
සාදු.. සාදු ... සාදු... බුදුහාමුදුරුවන්ගේ මිහිඟු බෙරයේ උපමාව සිහිවෙනවා මේ වගේ විකාර දැක්කාම... ආරක්ෂා කරන්න ගිහින් එහි ස්වභාවික ගතිය විනාශ වෙනවා මේකෙන්.. මොනවා වෙන්න යනවද මන්දා මේ රටට..?