IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


අවදානමට සුදානම

(කොළඹ විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඞී.එම්. කරුණාදාස)

ශ‍්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම ගැන වූ ඓතිහාසික අර්ථකථනය වූයේ කිසිදු අපල උපද්‍රවයකින් තොර රාජ්‍යයක් යන්නයි. එහෙත් පෙරදිග ලෝකයේ මුතු ඇටය, පෙරදිග ධාන්‍යාගාරය ආදී අර්ථකථන අද වන විට වෙනස් වී ඇති බව සාමාන්‍ය බුද්ධියක් ඇති  ඕනෑම අයකුට වැටහේ.

2004 සුනාමියෙන් පසු මේ බොහෝ විශ්වාස විශාල වශයෙන් වෙනස්කමකට භාජනය විය. ඇත්ත වශයෙන්ම අද හෙට නැතත් යම් කලෙක මේ භූමිය ද ගිනි කඳු පුපුරණ කලාපයට වුවද ඇතුළත් වීමට බැරිකමක් නැත. ඒ ගෝලීය පරිමාණයෙන් සිදුවන විෂමතාවේ ප‍්‍රතිඵලයක් හැටියටය. 

ස්වාභාවික ආපදාවක්, උපද්‍රවයක්  ඕනෑම තැනක ඇති විය හැකිය. එහි අදහස නම් ස්වාභාවික තත්ත්වයක් යටතේ ඇතිවන හිංසාකාරී තත්ත්වයක් යන්නයි. අප අවට පරිසරයේ සාමාන්‍ය තත්ත්වයෙන් මිදී විෂම තත්ත්වයකට පෙරළීමට හේතු සිදුවේ. මෙවර අප අත්දැකීම වූයේ අධික වර්ෂාවයි. එහි ඊළඟ ප‍්‍රතිඵලය වූයේ ගං වතුර හා නායයෑමයි. එනම් ස්වාභාවික උපද්‍රව දෙකක් එකවර හටගැනීමයි. එය බරපතළය. කෙටි කාලයක් ඇතුළත වර්ෂාව අධික වේ නම් නායයෑම් යනු අපේක්ෂාසහගත දෙයකි. හරියටම මුහුදේ ඇතිවන භූමිකම්පා තත්ත්වයක ඊළඟ අත්දැකීම අවට ප‍්‍රදේශයේ සුනාමි තත්ත්වයක් උද්ගතවීම වැනිය. 2016 අවුරුද්දේ මැයි මාසයේදී ද අපි මෙවැනිම ඉරණමකට මුහුණ පෑවෙමු.

පැය 48 ක් වැනි කාලයකදී මිලිමීටර් 150 ඉක්මවන වර්ෂාවක් ලැබුණහොත් ගං වතුර තත්ත්වයක් හටගැනීමට හැකි බවට අනුමාන කළ හැකිය. 24 වැනිදා වනවිට කාලගුණ දෙපාර්තමේන්තුව මිලිමීටර 150 ඉක්මවන වැසි නිරිත දිග බෑවුමට ඇතිවිය හැකි බව කීවේය.

එහෙත් නායයෑම් හා ගංවතුර මේ සා දරුණු වේ යැයි කිසිවෙක් අපේක්ෂා නොකළහ. සිතුවේ නිරිත දිග මෝසම සක‍්‍රීයවීමේ සාමාන්‍ය තත්ත්වයක් හැටියටය. අනෙක් අතට කෙටි කාලයකදී අධික වර්ෂාවක් ලැබීම මෝසම් වර්ෂාවේ සාමාන්‍ය සංසිද්ධියයි. මේ නිසා වර්ෂාව අධික වුවත් විෂය ප‍්‍රවීණයන් පවා සිතන්නට ඇත්තේ එකී සාමාන්‍ය ස්වභාවය වීමට ඇතැයි කියාය. මෝසම් කාලයේදී සාමාන්‍යයෙන් සවස දෙක, තුන වනවිට අධික වර්ෂාවක් ලැබීම මීට පෙර ද සිදුවිය. ජපානය දෙසට යනතුරු අග්නිදිග ආසියාතික සෑම රටකටම මේ අත්දැකීම අමුත්තක් නොවේ.

එනිසා එක අතකට මෙය පිළිගත යුතු තත්ත්වයකි. පිළිගෙන සූදානම් විය යුතු තත්ත්වයකි. නායයෑම් යැයි කීවද මෙවැනි විටෙක සෑම කඳු ප‍්‍රදේශයකම එවැනි දසුන් දැකිය නොහැකි අතර සිදුවන්නේ අස්ථාවර බෑවුම් ප‍්‍රදේශවල පස් කඳු කඩාවැටීම හා පස් කඳු දෝරේ ගැලීමය. මෙවර මේ ආපදා තත්ත්වයට දකුණු පළාතේ දිස්ත‍්‍රික්ක ද ඇතුළු නිරිත දිග කලාපයේ බිම්කඩ ලක්විණ. කළුතර, රත්නපුර, ගාල්ල, මාතර සිට හම්බන්තොට, කෑගල්ල ආදී දිස්ත‍්‍රික්ක කරා ද එය වර්ධනය විය. දැන් ඇතැමුන් අතර කතාව පවතින්නේ සෑම වසරකදීම මෙවැනි තත්ත්ව හටගනු ඇති ද යන සැකයයි. සැබැවින්ම ආසන්න කාලයේදී නිතර එවැනි අත්දැකීම් ලැබුවා යැයි කියා වාර්ෂිකව මෙවැනි තත්ත්වයක් හටගනු ඇතැයි අපට උපකල්පනය කරන්නට බැරිය. සාමාන්‍ය තත්ත්වය වන්නේ මෝසම් වර්ෂාවයි.

මෙවරත් ජීවිත හා දේපළ හානියට වැඩි වශයෙන් පාර කැපුවේ ගං වතුරට වඩා නායයෑම්ය. සාමාන්‍යයෙන් නායයෑම් ඇතිවන්නේ දළ බෑවුම්වලය. මෙවර අත්දැකීම දෙස බලද්දී දළ බෑවුම්වල මිනිස් ක‍්‍රියාකාරීත්ව වර්ධනය වී ඇති බවත් විවිධ සංවර්ධන කටයුතුවලට භාජනය වී ඇති බවත් යම් ආකාරයකින් නිරීක්ෂණය වේ. බෑවුමක් පිහිටිය ද නායයෑම සක‍්‍රිය වන්නේ වර්ෂාපතනය නිසාය. ඇතැම්විට බෑවුම් ස්වභාවය අඩු වුවද භූ ස්ථරයේ ස්ථායි ස්වභාවය අඩු නම් නාය යා හැකිය.

නායයෑමකදී සිදුවන්නේ බෑවුම් සහිත ප‍්‍රදේශවල පාංශු ස්කන්ධ (පස්) ජලයෙන් තෙත්ව ගුරුත්වය අනුව පහළට රූටාගෙන පැමිණීමය. ඒ අනුව නායයෑම යනු වෙනම ප‍්‍රපංචයක් නොව අධික වර්ෂාවේම ප‍්‍රතිඵලයකි. නායයෑම සෑම තැනකම සිදු නොවේ. පාංශු වර්ගය, මව් පාෂාණය, බාගෙට දිරාපත් වූ පාෂාණ තත්ත්වය ආදී කාරණා ඊට බලපායි. දීර්ඝ නියං සමයකට පසුව අධික වර්ෂාවක් ඇදහැලෙද්දී නායයෑම් ඉක්මනින් සක‍්‍රිය වියහැකිය. පාෂාණ ස්ථර අතරට ඉක්මනින් ජලය ගලාගෙනයෑම ඊට එක් හේතුවකි. විශේෂයෙන්ම ජලාධාර ප‍්‍රදේශවල කරන වන විනාශය නිසා ජල මාර්ගවලට බාධා පැමිණේ. එසේම නුසුදුසු ස්ථානවල මිනිසුන් කරන ඉදිකිරීම් අද වනවිට විශාල ප‍්‍රශ්නයක්ව තිබේ.

මීට වසර තිහකට පමණ පෙර කරන ලද පර්යේෂණවලින් සොයාගෙන ඇත්තේ කෙටි කාලයකදී මිලිමීටර 400 ඉක්මවන වර්ෂාවක් ලැබුණහොත් නායයෑම් සක‍්‍රියවීම නිසැක බවය. ලංකාවේ වර්ෂාපතනයේ ප‍්‍රධාන ලක්ෂණ දෙකක් දැකිය හැකිය. ඒ මෝසම් සුළං රජයන ප‍්‍රධාන කාල වකවානු දෙකක් ඇති බවය. එකක් නම් මැයි සිට සැප්තැම්බර් දක්වා වූ නිරිත දිග සුළඟ බලපවත්වන කාලයයි. එම කාලයේදී ප‍්‍රධාන වශයෙන් දිවයිනේ නිරිත දිග කලාපයට වර්ෂාව ලැබේ. දෙවැන්න නම් ඔක්තෝම්බර් 15 සිට පෙබරවාරි දක්වා වූ ඊසාන දිග සුළඟ බලපවත්වන කාලයයි.

මධ්‍යම කඳුකරයේ දළ බෑවුම්වල වගාකරන්නටත් නිවාස ඉදිකරන්නටත් එපා යැයි භූගෝල විද්‍යාඥයන් අවධාරණය කරන්නේ කලෙක සිටය. එහිදී භූමියේ ඇති මතුපිට ස්ථර වෘක්ෂලතා ස්ථර ඉවත් වූ විට පාංශු ස්ථර වර්ෂා ජලය හමුවේ ඉතා ඉක්මනින් පහළට රූටායෑමට පහසුවීම ඊට හේතුවයි. කඳු බෑවුමක නිවසක් තනද්දී අනිවාර්යයෙන්ම බෑවුම ලම්භකව (අංශක 90ට) කැපීමක් සිදුවේ. එහිදී භූමිය තැනිතලා කරයි. එහෙත් කඳු බෑවුම ලම්භකව කැපූ තැන සැමදාම එකම අයුරින් පවතින්නේ නැත. මන්දයත් සාමාන්‍ය භෞතික විද්‍යාත්මක නියමය වන්නේ ස්වභාවිකවම සෑමදෙයක්ම සමතුලිත වන්නට උත්සහ කිරීම නිසාය. අංශක 90ක බෑවුම යනු දරාගන්නට අපහසුම තත්ත්වයකි. ඉතින් අධික වැස්සකදී පස් පහළට රූටා ඒම වැළැක්විය නොහැකිය.

මේ ආකාරයටම සත්ත්ව පාලනයට මාර්ග ඉදිකිරීමට වනාන්තර හෙළිකිරීමෙන් ද මෙබඳුම හානි සිදුවේ. මෙසේ බලද්දී නායයෑම් ඇතිවීමට බලපාන සාධක කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. ඒ මිනිස් පාලනයට හසුකරගත හැකි සාධක හා හසුකරගත නොහැකි සාධක වශයෙනි. භූ විද්‍යාත්මකව පොළොවේ පිහිටීම, එහි ව්‍යුහාත්මක ලක්ෂණ, භූ ලක්ෂණාත්මක සාධක, දේශගුණික සාධක ආදිය මිනිස් පාලනයට යටත් වන ඒවා නොවේ. අපට පාලනය කළ හැක්කේ භූමිය මත අප විසින් ඇතිකරන ලද අවදානම් සහිත සාධක පමණි. එහෙත් මේ කාරණාවලට බලපාන්නේ මානව ක‍්‍රියාකාරකම් පමණක් යැයි කිව නොහැකිය. 2003 වසරේදී නුවරඑළිය ප‍්‍රදේශයේදී විශාල වනාන්තර ප‍්‍රදේශ එහෙම්පිටින්ම නායයෑමට ලක්වීම එක් නිදසුනකි.

ජනගහනයේ වර්ධනය සමඟ ජන ඝනත්වය වැඩිවීම ද අද වනවිට ප‍්‍රධාන ප‍්‍රශ්නයක් වී තිබේ. ඒ අනුව ජන පීඩනය ස්වභාවික උපද්‍රවවලට ප‍්‍රධාන හේතුවක් වී තිබේ. එහෙත් හානි පිළිබඳ කතා අතීතය සමඟ සැසඳුවහොත් ඒ ලෙසින්ම ඇත්තක්ද? 1984 කළුතර බුලත්සිංහල ඇති වූ නායයෑමකින් පුද්ගල ජීවිත 42 ක් අහිමිව තිබේ. 1947 වැනි තරම් ඈත වසරකදී කඩුගන්නාවේ සිදු වූ නායයෑමකින් මරණ 40 ක් වාර්තා වී තිබේ. එසේ බලද්දී ඈත මෑත බේදයකින් තොරව හානි සිදුව ඇති වග පැහැදිලිය. බොහෝ තැන්වල හානි වැඩිවී තිබෙන්නේ අවබෝධයෙන් තීන්දු නොගැනීම් නිසාය. උදාහරණයකට ඇතැම් වේලි ආසන්නයේ නිවාස ඉදිකර ඇති ජනයාට පදිංචියට වෙනත් ඉඩම් රජයෙන් ප‍්‍රදානය කර ඇත. එහෙත් ඔවුහු පැරණි ඉඩම්වල ද ඇතැම්විට පදිංචිව සිටිති. මෙවැනි අවස්ථා හැඳින්විය හැක්කේ දැන දැනම අනතුරේ වැටීම් හැටියටය.

මෙවැනි අවස්ථාවලදී ජීවිත හානි සිදුවීම සැබැවින්ම ඛේදවාචකයකට වඩා අපරාධයකි. මන්දයත් අප අනතුරේ වැටී ඇත්තේ දැන දැනම වන බැවිනි. විශේෂයෙන්ම මෙවර ඇති වූ ගං වතුර නැරඹීමට ගොස් පුද්ගල මරණ 18 පමණ සිදුව ඇති බව බලධාරීහු පැවැසූහ. මෙය නම් කවර අපරාධයක්ද? ස්වාභාවික උපද්‍රව අතරේ සිරි නැරඹීමේ අමුතු ජන මානසිකත්වයක් නිර්මාණය වෙමින් තිබේ. මෙය වහ වහා අප පිටුදැකිය යුතු තත්ත්වයකි. කවර අන්දමකින් හෝ මේ විපතට පත්ව ඇත්තේ අපේම සහෝදර ජනතාව බව අප අමතක නොකළ යුතුය. දැනටම ජීවිත සිය ගණනක් රටට අහිමිව තිබේ. 

ස්වාභාවික ආපදා ගත් කල ඇතැම් කාරණා අපට පාලනය කරන්නට බැරි බව අපි කීවෙමු. සුනාමිය, ගිනි කඳු, භූමිකම්පා ඊට හොඳම නිදසුන්ය. එසේ නම් නායයෑම් ගං වතුර ආදී තත්ත්ව යම් පමණකට හෝ අපට පාලනය කරන්නට බැරිද? සැබැවින්ම පුළුවන. ඒ අන් වෙනස් මඟකින් නොව අපේම මානව කටයුතු කළමනාකරණය කිරීමෙනි. ස්වාභාවික ආපදාවකදී අප පළමුව කළ යුත්තේ ජීවිත බේරාගැනීමය. දේපළ හානි ගැන විමසන්නේ ඉන්පසුවය.

ස්වාභාවික උපද්‍රව වනාහි ලංකාවටම පමණක් නොව ලෝකයටම පොදු ධර්මයකි. විද්‍යාත්මකව අධ්‍යයනය කර පිළියම් යොදනු විනා කතන්දරවලින් පලක් නැත්තේ එහෙයිනි. සුනාමි පෙරහුරු පැවැත්වීම වැනි දේ එසේ අප උගෙන ගත් හොඳ පාඩම් හැටියට අපට පෙන්වා දියහැකිය. ආපදා කළමනාකරණය යනු එසේ දිනෙන් දින දියුණු කළ යුතු අංශයකි. ස්වාභාවික සම්පත් ඇත්තේ මිනිසාගේම පරිභෝජනයට යන පරිභෝජනවාදී මතවාදය පැවැතියේ අතීතයේදීය. 1970 හා 1980 දශකවලින් පසු මේ මතය අභියෝගයට ලක්විය. ධරණීය සංවර්ධනය යන මතය පැමිණෙන්නේ ඊට විකල්පයක් වශයෙනි. ඉතින් සරලව කිව්වොත් පරිසරය සමඟ හැප්පෙන්නට නොයා මානව කටයුතු පරිසර හිතකාමී ලෙස කළමනාකරණය කරගැනීම අපේ පැවැත්මට හොඳය යන ස්ථාවරයට දැන් සමස්ත ලෝකයම පැමිණ සිටී.

 

(සටහන - බිඟුන් මේනක ගමගේ)



අදහස් (2)

අවදානමට සුදානම

Nimal Jayaweera Wednesday, 31 May 2017 06:41 AM

මෙවර ගං වතුර පිලිබද විශේෂ පර්යේශනයක් සිදු කල යුතුව ඈත. මක්නිසාද මෙවර ගං වතුරට විශාල ලෙස යට වුනු ප්‍රදේශ (පාලින්ද නුවර,හිනිදුම වෑනි ) වල වතුර බැසයෑමට තිබුන ගංගාවක් තමයි බෙන්තර ගඟ. එහෙත් මෙවර බෙන්තර ගගෙ ජල මට්ටම් ඉහල ගියද ,බෙන්තර ගගෙ පහල පෙදෙස් යට විමක් සිදු වුවේ නෑත වතුර බෑස යාමද වෙගවත්ව සිදුවිය පාලින්ද නුවර,හිනිදුම වෑනි ප්‍රදේශ වල මෙතරම් වතුර ඒක රාශි වුනෙ ඈයි දක්ශින අධිවෙගි මාර්ගය ඉදිකිරිමෙදි බෙන්තර ගගට වතුර බෑසයන මුලාශ අවහිර වුනාද එසෙ සිදුවෙලානම් ඉදිරියෙ සිදු වෙන වර්ෂාපතනයෙන් යට නොවී සිටිමට ගත යුතු ප්‍රතිකර්ම මොනවද වර්ෂාවෙදි පොලවට වැටෙන වතුර ටික මෝයවල් ලොකු කරල මුහුදට යවන එක නොවේ වෙන්න ඕනෑ දක්ෂිණ මාර්ගය නෑගෙනහිරෙන්ද ,බටහිරෙන්ද වාරිමාර්ග සැලසුම් හදන විශේෂ පුද්ගලයන්ගෙ කමිටුවක් පත්කර විශාල වැව් කිහිපයක් අලුතින් සකසන්න. මේ සදහා මෙම් ගංවතුරෙන් යටවුන මුඩු ඉඩම් අර ගුවන් හමුදාව මගින් ලබාගත් වීඩියෝ දර්ශන මගින් ලබාගත හැක. මෙවනි දෙයකින් මිරිදිය මාලු ප්‍රමානයද වෑඩි විමෙන් රටෙ ආර්ථික දියුණුවද ඇතිවේ. මේ ආශ්‍රිත සංචාරක කර්මාන්තයද දියුනු කල හෑක

:       13       386

chitra Wednesday, 31 May 2017 11:28 PM

නිමල් ජයවීර මහත්තයා කියනවා වගේ මේ මොහොතේ පටන් ශ්‍රී ලංකා වාසීන් ගංවතුරට මුහුණ පෑ.. නොපෑ මුළු රටටම නීතියක් ඉදිරිපත් කරන්න හැම ගෙදරකටම තමන්ගේ කුණු විතරක් නෙමෙයි ගේ අවට වතුර බැසයන කුඩා කාණුව ගැණත් හිතන්න මදුරු වුවදුරටත් පිළිතුරක්...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 709 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2376 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site